අපි හැමෝම මාරයාගේ සේවකයෝ.

පිංවත, කාමයේ ආශ්වාදය හරිම භයානකයි. කෙටි ආශ්වාදය අපිව දීර්ඝකාලීන ආදීනවයන්ට යොමු කරනවා. ආශ්වාදය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පිංවත, ආශ්වාදයට කවු ද අකමැති? ආශ්වාදයට අපි හැමෝම කැමති නිසාම, ජාතියක් හැටියට වර්තමානයේ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ දීර්ඝ ආදීනවයේ බංකොලොත්භාවය පමණක්මයි. පිංවත, බංකොලොත්භාවය ආදීනවයක් වුව ද, අපි බංකොලොත්භාවයත් ආශ්වාදයක් කොටගත් කල්හි, පදංග වශයෙන් අපේ අවිද්‍යාවමයි ශක්තිමත් වෙන්නේ. පිංවත, දියුණුවට කැමති ජාතියක් මුල්තැන දෙන්න ඕනේ, කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වූ ශිලයටමයි. ශීලයමයි රටකට, ජාතියකට ජනප්‍රියභාවය, අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය සහ බවබෝග සම්පත්, නිරෝගී, දීර්ඝායුෂ ආරක්ෂාකොට දෙන්නේ. ශීලය නොතකා හරින ජීවිත මැරෙන්නෙත් සිහි මුළාවට පත්වෙලා. පසුගිය දවසක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙන්න පෙර කෑ ගසලා තිබෙනවා, මාව පිච්චෙනවා, මාව දනවෝය කියලා. මේ පටිච්චසමුප්පන්න නැවත නිරයේ උපතක් පිළිබඳව පූර්ව දර්ශනයයි. තවත් ගිහි මහත්මයෙක් මැරෙන්නට පෙරාතුව අසිහියෙන් තම ඉඩකඩම්, බැංකු ගිණුම්, දේපළ, තනතුරු ගැන නන්දොඩවලා අකමැත්තෙන්ම මැරිලා තිබෙනවා. මේ නැවත ප්‍රේත ලෝකයේ උපතක් පිළිබඳව පූර්ව දර්ශනයයි. පිංවත, ශිල්වත්භාවයෙත්, දුශිල්වත්භාවයෙත් විපාකයන් විවෘතව බබලනවා. පිංවත, දුශිල්වත්භාවය නාසයෙන් රූටන සොටු පිඬක් සේ සූරා ජීවිතයෙන් බැහැරට දමන්න.

පිංවත, පාළුව, තනිකම ජීවිතයට දැනෙනකොට මනසින් රූපයක් ළඟට ගන්න එපා. මනසින් රූපයක් ළඟට ගත්ත කල්හි, අපි පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ආහාරයක් දුන්නා වෙනවා. පිංවත් ඔබ විඤ්ඤාණයට ආහාරයක් දුන්නොත් ළද බොළඳ වේදනා, සංඥා, සංස්කාර, යෞවන, යෞවනියෝ සියලු දෙනාම විඤ්ඤාණයේ කරට අත දමාගෙන විඤ්ඤාණයම උණුසුම් කරනවා. පිංවත, විඤ්ඤාණය උණුසුම් කිරීමෙන් යළි පටිච්චසමුප්පන්නව උපදින්නේ රූපය නමැති දරුවෙක්මයි. පිංවත, ඔබේ ජීවිතයට පාළුවක්, තනිකමක් දැනෙද්දී මේ නම් කතා කරන්නේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය යැයි නුවණින් දකින්න. පිංවත, දැනීම් අයිති විඤ්ඤාණය නමැති මායාකරුවාට. මේ අරූපී පටිච්චසමුප්පන්න මායාකරුවා වේදනා, සංඥා, සංස්කාරයෝ තුළ කිමිදෙමින් තමන්ගේ පැවැත්ම උදෙසා ඇලීම්, ගැටීම්, උපේක්ෂා විඳීම්ම ජීවත් කරවනවා. පිංවත, සංස්කාර නමැති මනාලිය ජීවත්ව සිටින තාක්කල් විඤ්ඤාණය පංච උපාදානස්කන්ධ ලෝකයට දෑඟිලි බැඳ ගන්නවා. පිංවත, අරූපී විඤ්ඤාණයට වඩා රූපී සළායතනයෝ අපිට සක්සුදක් සේ අරමුණු වෙනවා.

පිංවත, සළායතනයෝ පංච නීවරණයන්ගෙන් වසාගෙන ජීවත් වෙන්න එපා. පංච නීවරණයන් යම් තැනක ද, විඤ්ඤාණය කැමති අපේ ඵස්සය මඟුල් ගෙදරක් හෝ මළ ගෙදරක් බවට පත්කොට ගන්න. පිංවත, විඤ්ඤාණයට සති සම්බොජ්ඣඬ්ඟයේ දෑස් දෙන්න. එවිට ඔබට පුළුවන් ඔබේ ඵස්සය පන්සලක් බවට පත්කොට ගන්න. හැබැයි ඉතින් පන්සලේ හාමුදුරුවරු සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ විදර්ශනා ප්‍රඥාව නොවැඩුවොත් ඔබේ ඵස්සය විඳීම් ලෝකයේ යළි උපදිනවාමයි. පිංවත, ඔබේ නොඉඳුල් ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා. ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කළොත් සංස්කාරයෝ කුසලයෙන් සහ අකුසලයෙන් ගැබ් ගන්නවා. පිංවත, මේ සංස්කාර දරු ගැබමයි පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, උණුසුම සහ ආයුෂයෙන් යළි යළිත් පෝෂණය කරන්නේ. පිංවත, විඤ්ඤාණය ඔබේ මෙලොව, පරලොව භව වධකයා වුව ද, විඤ්ඤාණය ඔබට පළඳවන රත් පැහැ වද මල් මාලා වලට සහ වයන අඳෝනාවේ මළ බෙර හඬට විඳීම් මුසු කරන්න එපා. පිංවත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් සමග සටන් කරන්න යන්න එපා. දුක හෝ සැප තිබෙන්නේ සාමය තුළ හෝ යුද්ධය තුළ නොවේ. ජය හෝ පැරදුම යම් තැනක ද එතැන විඳීම් තිබෙනවා. පිංවත, දුක ජයගත්ත තැන සැප තිබෙනවා. පිංවත, මේ සියල්ලේම නිරෝධයයි නිදහස වෙන්නේ.

පිංවත, අපි හැමෝම මාරයාගේ සේවකයෝ. අපේ පටිච්චසමුප්පන්න සංස්කාරයන්ට අදාළව අපිට තනතුරු ලැබිලා තිබෙනවා. කුසල් සංස්කාරයන්ගේ උච්චභාවය අපිට සක්විති රජ පදවි ලබාදෙන අතර, අකුසල් සංස්කාරයන්ගේ විපාකයෝ අපිට යාචක ජීවිත ලබා දෙනවා. පිංවත, අවුරුද්දේ දවස් තුන්සිය හැට පහෙන්, දවස් තුන්සිය හැට හතරක්ම රජවරුන්ගේ, ප්‍රභූන්ගේ, ධනවතුන්ගේ, හාම්පුතුන්ගේ දිනයන් වෙද්දී කම්කරුවන්ට වෙන් වූ එකම කම්කරු දිනය පසුගියදා නිමාවට පත්වුණා. පිංවත, ධනවතුන් උදෙසා ලැබුණ දින තුන්සිය හැට හතරත්, කම්කරු පන්තිය උදෙසා ලැබුණ එක දිනයත් යනු කුසලයේ සහ අකුසලයේ පරතරයම නේද? පිංවත, ලෝකය යනු සමාජ අසාධාරණයේ පැතිකඩක් නොව, සංස්කාර ධර්මයන්ගේ ඇස්බැන්දුමක් බව නුවණින් තේරුම් ගන්න. මේ සංස්කාර ඇස්බැන්දුම පටිච්චසමුප්පන්නව වරෙක ඔබව හාම්පුතෙකුත්, තවත් වරෙක ඔබව කම්කරුවෙකු බවටත් පත් කරනවා. පිංවත් හාම්පුතුනේ ඔබලාගේම අතීත පටිච්චසමුප්පන්න පින නිසාම ඔබලාට වර්ණය, සැපය, බලය උනන උපකාරක ධර්මයයි පිංවත් කම්කරු පන්තිය යැයි කියන්නේ. පිංවත් හාම්පුතුනේ උල්පතෙන් ගලන වර්ණය, සැපය, බලය නමැති ජලය ඔබේ බව ඇත්ත. නමුත් ඒ ජලය උනන උල්පත පිංවත් කම්කරු පන්තියයි කියන කාරණය සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.

පිංවත, අවිද්‍යාව අන්ධභාවයක්. සංස්කාරයෝ අන්ධ අවිද්‍යාවේ ඇස්බැන්දුමක්. පිංවත, විඤ්ඤාණයෝ මේ අන්ධ ඇස්බැන්දුමෙන් උපන් මැජික්කරුවෙක්, මායාකරුවෙක්, වධකයෙක්ම වෙනවා. පිංවත, මේ අවිද්‍යාවේ අන්ධයාගෙන් උපන් ලෝකය කවදාකවත් ප්‍රකෘතියක් වෙන්න බැහැ, විකෘතියක්මයි. මේ විකෘතිය ඉදිරියේ අපේ ආරක්ෂාවට තිබෙන්නේ උතුම් සද්ධර්මයේ අර්ථයන් පමණක්මයි. පිංවත් හාම්පුතුනේ ඔබ මේ සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතුකොට නොගත්තොත්, ඔබ මේ ජීවිතයේ දී ධනවත් හාම්පුතෙක් වුවත්, ඔබගේ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය අසාධාරණයට ලක් වූ වැඩ බිමක කම්කරුවෙක්ම වෙන්න පුළුවන්. පිංවත, අවිද්‍යාවේ අන්ධ ලෝකය නිතර දෙවේලේ මිථ්‍යාව තුළමයි දෝලනය වෙන්නේ. පිංවත් හාම්පුතුනේ ඔබ කැමති ද ඊළඟ ජීවිතයේ දී අසාධාරණයට ලක් වූ කම්කරුවෙක් වෙන්න? පිංවත් ඔබ ඊට අකමැති නම්, කරුණාකර පිංවත් වැඩකරන පන්තියේ සැපය, සතුට, අනාගත දියුණුවට කැමති වෙන්න. මම සේම මගේ සේවකයාත් සැප ලබත්වා කියලා මෙත් සිතක්ම ඇතිකොට ගන්න. පිංවත් ඔබලා ලබන ලාභය, වර්ණය, සැපය, බලය, සැපසම්පත් මමත්වයෙන් ගොඩ ගසාගෙන ඔබලා සතුටු වෙනවා වගේම, ඔබ ලබන ලාභයෙන් කොටසක් ඔබේ සේවක පක්ෂය වෙනුවෙන් යොමු කරන්න. පිංවත, ඔබ ලෞකික ප්‍රඥාවෙන් යුත් හාම්පුතෙක් වෙන්නේ, ඔබේ ව්‍යාපාරයේ ලාභය මමත්වයෙන් ගොඩ ගසාගෙන තම සේවක පක්ෂයට නොසැලකීමේ අකුසල් විපාකයන් හේතුවෙන් ඊළඟ ජීවිතයේ දී කම්කරුවෙක් වීමෙන් නොවේ. අවිද්‍යාවෙන් උපන් සංස්කාර ඇස්බැන්දුම් ලෝකයේ විඤ්ඤාණය නමැති මැජික්කරු අපිව පටිච්චසමුප්පන්නව වරෙක හාම්පුතෙකුත් තවත් වරෙක කම්කරුවෙකුවෙත් කරනවා. පිංවත, ඔබ සම්මා ආජීවයෙන් ලබන අතිරික්ත ලාභය, ඔබේ ලාභයේ උපකාරක ධර්මය වූ ඔබේ සේවකයාගේ සැපය උදෙසා යම් පමණකට හෝ යොමුකොට පිංවත් ඔබ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී දිව්‍ය සේවක, සේවිකාවන් පිරිවරාගත් දිව්‍ය හාම්පුතෙක් වෙන්න.

පිංවත, පිංවත් හාම්පුතා සෑමවිටම සද්ධර්මයෙන් උපක්‍රමශීලී වියයුතුයි. තම සේවකයා උපයෝගී කොටගෙන තමාගේ භව සැපය සහ භව නිරෝධයට මාර්ගය සාදා ගැනීමට දක්ෂ වියයුතුයි. ඔබේ ව්‍යාපාරයේ සේවක සේවිකාවන් දෙසීයක් සේවය කරනවා නම්, එම හාම්පුතා දක්ෂ වියයුතුයි එම සේවක පිංවතුන්ව ශීලය තුළ, මෛත්‍රිය තුළ ශක්තිමත් කොට තබා ගැනීමට. ඔබේ ආයතනයේ රාජකාරී කරන හැමෝම යම් පමණකට හෝ මෙත් සිතින් පංචශීලය ආරක්ෂා කරනවා නම්, හාම්පුතා එම සේවක පිංවතුන්ට ලබාදෙන වැටුප සහ ප්‍රතිලාභයන් ශිල්වතුන්ට ලබාදෙන ප්‍රතිලාභයන්ගේ ආනිශංශයක් බවටත් පත්වෙනවා. එවිට දෙපාර්ශවයේම විශ්වාසය, සමගිය, මෛත්‍රිය ගොඩ නැගෙනවා. පිංවත, ශීලයෙන් දුර්වල සේවක මහත්මයෙකුට ලබාදෙන වැටුපට වඩා ශිල්වත් සේවක පිංවතෙකුට ලබාදෙන වැටුප හේතුවෙන් සිය හාම්පුතා ශීලයේ ආනිශංශයන්ට අදාළව වැඩි පිනක් ලබා ගන්නවා. පිංවත, ලෝක සම්මතය කුමක් වුව ද, ලෝක කම්කරු දිනයත් අවසන් වූ මේ මොහොතේ හාම්පුතුන්ගේ සැබෑ විමුක්තිය තිබෙන්නේ සේවක පක්ෂය සූරා කෑමනේ නොව, කම්කරු පන්තියේ සැබෑ විමුක්තිය තිබෙන්නේ උද්ඝෝෂණ, පෙළපාළි, අරගල කරමින් අකුසල් වැඩීමෙන්වත් නොව, දෙපාර්ශවයේම මෛත්‍රියේ සහ ශීලයේ ශක්තියෙන්ම බව අපි වටහාගත යුතුව ඇත.

පිංවත, තවත් සුන්දර වෙසක් මංගල්‍යයක් නිමාවට පත්වුණා. ඉන් අදහස් වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය තවත් වසරකින් ගෙවී ගියාය කියන කාරණයයි. සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය වර්ෂයකින් ගෙවී ගියත්, මරණයට වසරකින් ළං වුවත්, පිංවත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය හෙවත් මේ උතුම් තෙරුවන් වයසට යන්නේ නැහැ. මේ උතුම් තෙරුවන් තරුණ වෙන්නෙත් නැහැ. මේ උතුම් තෙරුවන් එකතැන පල් වෙන්නෙත් නැහැ. මේ උතුම් තෙරුවන් ජීවමානව තිබෙන තාක්කල් සත්පුරුෂ සහ අසත්පුරුෂ, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ප්‍රජාවගේ අවිද්‍යා පච්චයා සංස්කාර, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළමයි ජීවත් වෙන්නේ. පිංවත, අනාගතයේ යම් දවසක අවිද්‍යාව විසින් ලෝකය ගිල ගනී ද, එදාට සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදන් වෙලා යනවා. පිංවත, අවිද්‍යාවේ එකම මිතුරා ප්‍රමාදීභාවයයි. පිංවත, දුම්රිය ප්‍රමාද වෙද්දි, වැටුප ප්‍රමාද වෙද්දි උද්ඝෝෂණ, පිකටිං, වැඩ වර්ජන කරන අපි, අපේම ජීවිත තුළින් දේව ධර්මයන් වන ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, සමාධිය ප්‍රමාදීභාවයට පත්වෙද්දී, අපි ලබන ප්‍රමාදීභාවයේ සතුට, විනෝදය අවිද්‍යාවේම හැඩරුවයි අපිට කියලා දෙන්නේ.

පිංවත, අපි මැරුණොත් පටිච්චසමුප්පන්නව ඇසුරු සැණෙකින් යළි භවාත්‍රයේ උපදිනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදන් වී ගියොත්, යළි චතුරාර්ය සත්‍යය ධර්මයෝ උපදින්න අවුරුදු ලක්ෂ ගණනක් ගත වෙනවා. පිංවත, ඔබගේ මැරෙන ජීවිතය උපයෝගී කොටගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවත් කරවන්න. එයමයි ඔබගේ උපතේ නිරෝධය උදෙසා ඔබ ඇතිකොට ගන්නා සැබෑම ඉතිරිය වෙන්නේ. ඔබේ පුණ්‍යවන්ත මාතෘභූමිය ගෞරවනීය වෙනසක් පුන පුනා බලාපොරොත්තු වෙනවා. දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකිනා වෙනසක් පුන පුනා බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස වෙනුවෙන් මාතෘභූමිය විළිරුදාවෙන් දඟලනවා. මාතෘභූමියට එම වෙනස බිහිකොට ගැනීමට අදාළ සුදුසුකම්ලත් වෛද්‍යවරු තවම ඉදිරිපත් වෙන්නේ නැහැ. පිංවත, අප්‍රමාදී වෙන්න. විළිරුදාවෙන් දඟලන ලෙඩා මළොත්, උපත නිරෝධය කරන්න තිබෙන ධර්මයන් මැරිලාම යාවි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023/05/14 වන ඉරුදින දිවයින පුවත්පත.