පිංවත, ඔබ මේ ජීවිතයේ දී උපත ලැබුවේ ගමේ තිබෙන ග්‍රාමීය රෝහලක ද එසේත් නැතිනම් නගරයේ තිබෙන රජයේ රෝහලක ද? පිංවත, ඔබ කැමති ද ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතය ප්‍රකෝටිපති මවුපිය දෙපළකට දාව කොළඹ නගරයේ ප්‍රධාන පෞද්ගලික රෝහලක උපදින්න. පිංවත, මාතෘභූමිය තුළ ක්‍රියාත්මක වෙන දුශ්ශීල දේශපාලනයෙන් යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න එපා. දිනෙන් දින ඔඩුදුවන ආර්ථික අගහිඟකම් නිසා හිස අවුල් කරගන්නත් එපා. ධනපති පන්තිය භංග වේවා යැයි කියලා සල්ලි තිබෙන අයට වෛර කරන්නත් එපා. පිංවත කර්මය කර්මඵල විශ්වාසයෙන්, පංචශීලයේ ආරක්ෂාවෙන් මහා සංඝරත්නය අරමුණු කොටගෙන දන් පූජා කරන්න. මරණාසන්න මොහොතේ එම දානයන් උපාදානය කොටගෙන මැරෙන්න. එවිට ඔබටත් පුළුවන් ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ධනපති පන්තිය නියෝජනය කරන්න. හැබැයි ඉතින් ඊළඟ ජීවිතයේ දී ඔබ ධනවතෙක් වුණාට පස්සේ අහිංසක අසරණ දුප්පත් ඥාති පරපුර අමතක කරන්න නම් එපා. පිංවත, පටිච්චසමුප්පන්නව ලෝභ සහ අලෝභ ධර්මයන් හේතුවෙන් තට්ටුමාරු ක්‍රමයට අපි දුප්පත් සහ පොහොසත් වෙනවා. පිංවත් සල්ලි තිබෙන මහත්වරුනේ විනෝදයට, සතුටට, කෑමට, බීමට මුදල් වියදම් කරනවා වගේම කර්මය කර්මඵල විශ්වාසයෙන් දෙන දානය ගැනත් සිතන්න. එසේ නොවුණොත් පිංවත් ඔබගේ ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතය ගමේ ග්‍රාමීය රෝහලක යළි උපදින්න පුළුවන්.
පිංවත, ලෝකය තුළ දුප්පත් සහ පොහොසත් හැටියට අපි ධර්මානුකූලව දකින්නේ කුසල් සහ අකුසල් ධර්මයන්ගේ විවිධත්වයකි. මේ සංස්කාර විවිධත්වය සමාජය විසින් පාලනය කොටගත යුතුයි. එය එසේ නොවුණොත් පෙර පින වැඩි, වර්ණය, සැපය, බලය වැඩි ධනවත් පිරිස පෙර පින අඩු පිංවතුන්ලාව සූරාගෙන කනවා. රටකට නායකයෙක් සහ රජයක් පත්කොට ගන්නේ ඉහත කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ විවිධත්වය නීතිරීති පනවා පාලනය කොටගන්නයි. වර්ණය, සැපය, බලය වැඩි ධනවත් පිංවතුන්ගෙන් වැඩිපුර බදු මුදල් ලබාගෙන දුප්පත් සමාජය පෝෂණය කරන්නයි. එය එසේ නොවුණොත් රටේ ධනවත් පන්තිය තම අතීත පින අකුසලයේ ගින්දරක් බවටම පත්කොට ගන්නවා වගේම රටේ දුප්පත් ජනතාව තම දුප්පත්කම ද්වේශයෙන් වෛරයක් බවටම පත්කොට ගන්නවා. පිංවත, වර්තමාන සමාජය ඉහත අනතුරේ කරවටක් ගිලිලයි ජීවත් වෙන්නේ. දුප්පත් සහ පොහොසත් බේදයකින් තොරව සමාජය අකුසලයෙන් ගිනි ගන්නවා. පිංවත, අපි සද්ධර්මය දේශනා කරලා පමණක් මේ අනතුරෙන් සමාජය ගලවා ගන්න බැහැ. කරුණාකරලා සද්ධර්මය ශ්‍රවණය කරන පිංවත් ඔබ සද්ධර්මයේ අර්ථයන්ට අදාළව නුවණින් මෙනෙහි කරලා ශිල්වත් මනුෂ්‍ය ධර්මයන් හඳුනන අවංක තෙරුවන්ට ගරු කරන නායකයින් පිරිසක් සමාජය තුළින් මතුකොට ගන්න. පිංවත් ගිහි පිංවතුන්ලා බොහෝම උද්‍යෝගයෙන් සංඝ සමාජයේ අපිව උපයෝගී කොටගන්නේ තමන්ගේ පින ශක්තිමත් කොටගන්න. ගෞරවනීය ගිහි පිංවත, ඔබ පින ශක්තිමත් කොටගත්තාට ප්‍රශ්නයක් නැහැ. මෙවන් අකුසලයෙන් වියරු සමාජයක අභියෝග ජයගැනීමට පින අත්‍යවශ්‍යයි. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ඔබේ පින ඔබේ පෞද්ගලික ආරක්ෂාව වගේම උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවටත් යොමු කරන්න. පිංවත් ඔබ වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ගැන සිතන්නේ නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කොටගෙන පිංවත් ඔබ, ඔබේ වර්ණය, සැපය, බලය ගැනයි සිතන්නේ. පිංවත, කරුණාකර කෘතවේදී වෙන්න. උතුම් කෘතවේදීභාවය මනුෂ්‍ය සමාජයෙන් දුර්වල වුණ දවසට සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වෙනවා. පිංවත, ලෝභ, ද්වේශ, මෝහ සිල්ලර සැපයන් උදෙසා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නමැති උත්තරීතර සැපය දුර්වලකොට දමන්න එපා.
පිංවත, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා සමාජය දෙස බලන්නේ හුදු ප්‍රචාරාත්මක ඇස්බැන්දුම් තුළින් නොවේ. බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා සමාජය දෙස බලන්නේ භෞතික සම්පත්වල දියුණුව මත නොවේ. බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා සමාජය දෙස බලන්නේ තමන්ට ලැබෙන සාධුකාර හඬේ ආස්වාදයෙන් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සමාජය දෙස බලන්නේ වර්තමානයේ රැස්වෙන සංස්කාරයන්ගේ ස්වභාවය මතයි. පාලනයකින් තොරව සමස්ත ජනතාව තුළම ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝ තිරිහන්වෙන සමාජයක, දුශ්ශීලභාවය නවීන මෝස්තරයක් බවට පත් වූ සමාජයක, අමනුෂ්‍ය ධර්මයන් දේශපාලනයේ රුධිරය බවට පත් වූ සමාජයක පිංවත, හෙට දවස ඔබට සැනසිලිදායක දවසක් නම් වෙන්නේ නැහැ. පිංවත, අපි රැස්කොට ගන්නා සංස්කාරයන්ගේ ස්වභාවය මතයි හෙට ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. පිංවත, අනුවණ, අධාර්මිෂ්ට දේශපාලන පිංවතුන් නිසා තමන් වගේ ම අහිංසක ජනතාවත් අකුසලයෙන් ම විනාශ වෙනවා. පිංවත, වෛරයෙන් වෛරය ජයගන්න බැහැ. අවෛරයෙන්මයි වෛරය ජයගත යුත්තේ. පිංවත, පුරුෂ ධෛර්යය උපදවාගෙන මෙත් සිතින් නැගී සිටින්න. අපි හැමෝම පටිච්චසමුප්පන්න ලේ ඥාතීන්මයි. කවුරුන්වත් පරාජය කරන්න අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය හැමෝම ධර්මානුකූලව නිවැරදි කොටගන්න. පිංවත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ශිල්වත්භාවය ඔබ තුළ තිබෙනවා නම් උපන් මාතෘභූමියට යළි ජීවිතය දෙන්න පූර්වාදර්ශීව පෙරට එන්න.
පිංවත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ජීවමානව තිබෙන රටක පිංවත් පාලක පිංවතුන් සද්ධර්මයේ අර්ථයන්ට ගරුකළ යුතුමයි. පිංවත් ඔබලා අධර්මයට ගරු කළොත් ඔබලා අකුසල් නිධි බවට පත්වෙනවා. පිංවත, තිරිසන් සතෙකුට දෙන ආහාර වේලක ආනිංශංස සියයක් තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුවන් සරණ පිහිටි, පංචශීලය ආරක්ෂා කරන පිංවතෙකුට දෙන ආහාර වේලක ආනිශංස ලක්ෂයක් තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත, සිහිනුවණින් දකින්න මේ රටේ තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්ෂා කරන ලක්‍ෂ ගණනක් පිංවත් ජනතාව භාණ්ඩාගාරයට බදු මුදල් ගෙවනවා. මෙය සටහන් තබන භික්ෂුවට යම් පිංවතෙක් අටපිරිකරක් පූජා කළොත් එම අටපිරිකර නිසා රජයට බදු මුදල් කොතෙක් නම් ලැබෙනවා ද? එක් දිනක දී පිංවත් ගිහි ජනතාව මහා සංඝරත්නයට පූජා කරන සිවුපසය නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට බදු මුදල් කොතෙක් නම් ලැබෙනවා ද? පිංවත, මෙවන් පුණ්‍යවන්ත බදු මුදල් යම් පිරිසක් සොරකම් කළොත්, වංචා කළොත් එම පිංවතුන්ලා අකුසලයෙන්ම උමතු වෙනවා. පිංවත, අපේ රටේ වර්තමාන දේශපාලනය තුළ ඔබ දකින්නේ මේ අකුසල් පදංගයන්ගේ උමතුවයි. පිංවත, අකුසල් ප්‍රබල වෙනකොට නිවැරදි වෙන්න දැනීම් සකස් වෙන්නේ නැහැ. පිංවත, යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ සියල්ල විනාශකොට තමනුත් විනාශ වෙනවා. පිංවත, සමාජය කෙරෙහි කරුණාවෙන් භික්ෂුව මේ ධර්මයයි ඔබට සටහන් තබන්නේ. වාසි පැත්තට හෝයියා යැයි කීම භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමයි භික්ෂුවකගේ යුතුකම වෙන්නේ.
පිංවත, දුශ්ශීලභාවයේ විපාකයන් වන රටේ ජනප්‍රියභාවය බින්දුවටම පිරිහීම, රටක් හැටියට අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය හීන වී යෑම, රටේ බවබෝග සම්පත් අනාරක්ෂිතවීම යන අර්ථයන් දිනෙන් දින පිරිහීමට පත්වෙන සමාජයක ආණ්ඩු වෙනස් කරලා, පක්ෂ වෙනස් කරලා, මුහුණු වෙනස් කරලා වැඩක් නැහැ. පිංවත් ඔබ වෙනස් කළ යුත්තේ දුශ්ශීලභාවයයි. පිංවත, අකුසල් පදංග දුශ්ශීලභාවයේ හෘදසාක්ෂියට මුවාවෙලා රට ජාතිය සම්මා සම්බුද්ධ ශාසනය පිරිහීමේ අනන්තය දිශාවටම ගලාගෙන යනවා. පිනේ ආස්වාදයෙන් කුල්මත් වුණ අපි දුශ්ශීලභාවයෙන් සහ අශ්‍රද්ධාවෙන් හෙට දවසේ තවදුරටත් සෞභාග්‍යය බලාපොරොත්තු වෙනවා. පිංවත, පංච උපාදානස්කන්ධ ධර්මයෝ ඇසුරු සැනෙන් වෙනස් වෙන ලෝකයක බලාපොරොත්තු කියන්නේ මායාවක්. ඒත් ඒ මායාව, මායාවක් බවට අවබෝධකොට ගන්න නම් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න ඕනේ. පිංවත, කුසගින්නේ, අඩ හාමතේ පසුවෙන පිංවතෙකුට සද්ධර්මය දේශනා කරලා තේරුමක් නැහැ. ආර්ථික ප්‍රශ්න වලින් පීඩිත පිංවතෙකුට සද්ධර්මය දේශනා කරලා ඵලයක් නැහැ. පිංවත, සද්ධර්මයක් වැඩෙන්න නම් ලෞකික ප්‍රඥාවේ අර්ථයත් ජීවිතය තුළ තිබෙන්නම ඕනේ. වර්තමානයේ අවිහිංසා, අව්‍යාපාද, නෙක්ඛම්ම සංකප්පයන්ට දුශ්ශීලභාවයන් තුළින් පල නොකියා පලා බෙදනවා. සද්ධර්මයේ අර්ථයන් දරා ගැනීමට අවශ්‍ය සම්මා සමාධිමත් සිත මිච්ඡා සතිය තුළ සැඟවී ගිහිල්ලා. පිංවත, මෙහෙම ගියොත් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ ලෞකික ප්‍රඥාවේ අර්ථයන් ගිලිහී ගිය මිථ්‍යා දෘෂ්ටියෙන් පෝෂණය වෙන මෛත්‍රිය, ශීලය, දානය, සතිය, සමාධිය පමණක්ම ද?
පිංවත, දුශ්ශීලභාවයෙන් සමාජය ගිල ගනිද්දී ශිල්වත්භාවයෙනුයි අපි නැගී සිටිය යුත්තේ. තමන් උපන් රටේ මනුෂ්‍යයෝ තමන් උපන් රටෙන් ම පළි ගනිද්දී අපි මෛත්‍රියෙනුයි නැගී සිටිය යුත්තේ. සමස්ත ජාතියේම වර්ණය, සැපය, බලය උදුරා ගනිද්දී අපි දානයෙනුයි නැගී සිටිය යුත්තේ. අපි, අපේ සිහිනුවණ කාමච්ඡන්දයන් විසින් උදුරා ගනිද්දී තෘෂ්ණාව පිළිබඳව, අකුසලය පිළිබඳව සතිය සිහියෙනුයි අපි නැගී සිටිය යුත්තේ. අපේ ජීවිත මෝහයෙන් දුර්වල වෙද්දී අපි ලෞකික ප්‍රඥාවෙනුයි නැගී සිටිය යුත්තේ. පිංවත, මේ උතුම් මාර්ගයයි ලෞකික සැපයටත්, ලෝකෝත්තර සැපයටත් එකම මාර්ගය වෙන්නේ.
පිංවත, සමාජය දුශ්ශීල වෙද්දී එම සමාජ නායකයින් උත්සාහ ගන්නේ මහා සංඝරත්නය අතට විනය පිටකය දෙන්න නොවේ. සංඝ සමාජය අතට උදැල්ලක් දෙන්න, මාසේ අන්තිමට පඩි පැකට්ටුවක් දෙන්න, ලාභ සත්කාර දෙන්න.
පිංවත, මේවා අතීතයේදීත්, වර්තමානයේදීත් ලෝක ධර්මතාවයන්. නමුත් දුශ්ශීලභාවයේ සමාජය මේ ලෝක ධර්මතාවයන්ගේ සීමාවන් හඳුනන්නේ නැහැ. එයම ශාසන විනාශයේ පැතිකඩක් වෙනවා. පිංවත, සම්මා සම්බුද්ධ ශාසනය හරිම නික්ලේශීයි. එහි නික්ලේශී රසය විඳින්න. එහි කෙලෙස් රසය විඳින්න එපා. පිංවත, දුශ්ශීලභාවය අපිව යොමු කරන්නේ ශාසනයේ නාමයෙන් කෙලෙස් රසය විඳින්නයි. පිංවත, මිහිඳු මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා, මහරජ ඔබ රටේ අයිතිකරුවා නොව ඔබ රටේ භාරකරුවා යැයි කියලා. පිංවත, ජනතාව ඉදිරියේ සත්‍යගරුක වෙන්න. ජනතාව ඉදිරියේ නිහතමානී වෙන්න. ජනතාවට සවන් දෙන්න. පිංවත, ආර්ය උත්තමයෙකුගේ ඒ ආර්ය දැක්මට අපි හැමෝම නිහතමානීව අවනත වෙන්න ඕනේ.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023/02/05 වන ඉරුදින දිවයින පුවත්පත.