පිංවත, අපේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙනකොට, අවිද්‍යාවේ ඝනාන්ධකාරය ශක්තිමත් වෙනවා. අවිද්‍යාවේ ඝනාන්ධකාරය වැඩි වෙද්දී, සැපය කියලා අපි සොයන්නේ දුකක්මයි. පිංවත, අපි හැමෝම දුක අයිතිකොට ගැනීමේ තරඟයේ රන් කුසලාන දිනූ අයමයි. අපේ අතීත රන් කුසලාන එකතුවේ, අතීත කල්ප විනාශයන් දස දහසක් දුක් ගින්නෙන්ම ගෙවා දමා ලැබූ දුකේ රන් කුසලාන, සතර අපාය මහ ගෙදරක් බවට පත්කොටගෙන ලැබූ දුකේ රන් කුසලාන, මෘග සංඥාවන් ලක්ෂ ගණනකට මැදි වී ලැබූ දුකේ රන් කුසලාන අපේ අතීත පංච උපාදානස්කන්ධ පෙට්ටගමේ අයෝනිසෝමනසිකාරයේ මකුළු දැල් බැඳී දුර්වර්ණ වෙලා තිබෙනවා. පිංවත, වර්තමානයේ අපි තුළ ඇති තෘෂ්ණාවේ අවිවේකීභාවය නිසාම, අයෝනිසෝමනසිකාරයේ මකුළු දැල් බැඳී ඇති අතීත පංච උපාදානස්කන්ධ පෙට්ටගම් විවෘත කරලා, ලිහලා, ගලවලා බලන්න අපි හරිම අකමැතියි. අතීත පංච උපාදානස්කන්ධ දුකේ රන් කුසලාන පුස් කද්දී, අපි අනාගත පංච උපාදානස්කන්ධ දුකේ රන් කුසලාන තැන්පත් කරන්න, වර්තමානයේ උපාදානයේ ලෑලි වලින් භව රාක්ක හදනවා. පිංවත, වර්තමානයේ සමාජගත ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ශබ්ද නගා කීවත්, මෙය තමයි දුක්ඛ සත්‍යය කියලා, අපේ තෘෂ්ණාවට කන් ඇහෙන්නේ නැහැ. මම ය, මගේ ය, මගේ ආත්මය යැයි ගන්නා ආත්මීය දෘෂ්ටිය නම්, තෘෂ්ණාවට යස අගේට ගැලපිලා යනවා.
පිංවත, සද්ධර්මයේ ඒහිපස්සික ගුණය ඔබ පිළිගන්නවා ද? සද්ධර්මය ඒහිපස්සිකයි කියලා කියන්නේ සද්ධර්මයේ අර්ථයන් විවෘතයි. සද්ධර්මයේ අර්ථයන් සඟවන්න බැහැ. සද්ධර්මයේ අර්ථයන්, සරලව මෙලොවදීම අපිට අත්දකින්න පුළුවන්. පිංවත, ධර්මය වගේම තමයි අධර්මයත් විවෘතව බබලනවා. වර්තමාන සමාජයේ අධර්මයෙන් ජීවත්වෙන පිංවතුන් තේරුම් ගන්න ඕනේ, පිංවත් ඔබලාගේ දුශ්ශීලභාවයන්, වංකභාවයන්, ජනතා විරෝධීභාවයන් සඟවන්න බැහැ. එම අධර්මයෝ පිංවත් ඔබලා තුළින් සමාජයට විවෘතව පෙනෙනවා. සමාජය ඉදිරියේ අකාරුණිකව ප්‍රකටව බබලනවා. පිංවත, අධර්මයේ ඒහිපස්සික ගුණය, තව තවත් මිච්ඡා වාචාවන්ගෙන් සහ මිච්ඡා රඟපෑම් වලින් වසා දමන්න ගියොත් යළි යළිත් අධර්මයේ අකාරුණිකභාවයමයි ප්‍රකට වෙන්නේ. පිංවත, අධර්මයෝ අධර්මයන්ම පෝෂණයකොට දෙනවා. පිංවත, අකුසලයේත් ආශ්වාදයක් තිබෙනවා. පිංවත, අකුසලයේ ආශ්වාදය කෙටියි. අපේ සමාජය වර්තමානයේ විනාශකොට දමන්නේ අකුසලයේ කෙටි ආශ්වාදය විසින්මයි. අකුසලයේ කෙටි ආශ්වාදය අපිට දීර්ඝ ආදීනවයක් ලබාදෙන බව අපි තේරුම් ගන්නේ නැහැ. අවිද්‍යාවේ සිරකරුවන් වන අපි පුරුදු වෙලා සිටින්නේ අදීනවයත්, ආශ්වාදයක් කොටගන්නයි. පිංවත, අනුවණ අපි ආදීනවයත් ආශ්වාදයක් කරගත්තොත් අපිට නවතින්න සිද්ධ වෙන්නේ මිථ්‍යා දෘෂ්ටිකභාවය තුළමයි. පිංවත, ශ්‍රද්ධාවක්, ශීලයක්, ත්‍යාගයක්, ප්‍රඥාවක් නොමැති මිථ්‍යා දෘෂ්ටිකභාවය තුළ තිබෙන්නේ ආශ්වාදයේ මිරිඟුව පමණක්මයි.
පිංවත, ශාස්තෘන් වහන්සේට ගරු කරන්න. ශාස්තෘන් වහන්සේ දේශනාකොට වදාළ මාර්ගයෙන් බැහැරට නොයන්න. මෛත්‍රිය, ශීලය, දානය, සතිය, සමාධිය නොවේ මුල් වෙන්නේ. සියල්ලටම මුල් වෙන්නේ උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. පිංවත, සත්‍යකින්ම ඔබ තුළ උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව තිබෙනවා ද? සැකයකින් තොරව ඔබ පිළිතුරු දෙයි ඔබ තුළ ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව තිබෙනවාය කියලා. පිංවත, ඔබට සූත්‍රගත ධර්මය, විනය ධර්මයන්, අභිධර්මයන් කට පාඩමෙන් කියන්න පුළුවන් වෙන්න පුළුවන්. පිරිත් පොත් වහන්සේ කට පාඩමෙන් කියන්න පුළුවන් වෙන්න පුළුවන්. බුද්ධ වන්දනාවත්, බෝධි පූජාවන් තියන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඉහත සියල්ල උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකොට ගැනීමේ උපකාරක ධර්මයන් මිස, උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව නම් නොවේ. උතුම් ත්‍රිපිටක ධර්මයන් කට පාඩමෙන් සජ්ඣායනය කරන්න පුළුවන් වුවත්, එම කරුණින්ම උතුම් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති නොවෙනවා යැයි භික්ෂුව සටහන් තබද්දී, පිංවත් ඔබට එය ප්‍රහේලිකාවක් නේද? පිංවත, උතුම් ධර්මරත්නයේ මුල්ම ගුණය ස්වාක්ඛාත ගුණයයි. මේ ලෝක ධාතුවේ දුර්ලභම දහමත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය කියන කාරණා හතරකින් සරලභාවයෙන් යුතුව අපිට දේශනාකොට තිබෙනවා. එය ධර්මරත්නයේ ස්වාක්ඛාත ගුණයයි.
මේ උතුම් ස්වාක්ඛාත ගුණය නිසාම, ධර්මරත්නය සන්දිට්ඨිකයි. උතුම් සද්ධර්මය අපිට මේ ජීවිතයේදීම දකින්නට හෝ අවබෝධ කරන්නට පුළුවන්. පිංවත් ඔබට සෝවාන්ඵලයට පත්වීම උදෙසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ධර්මාවබෝධය ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයට කල් දමන්න අවශ්‍ය නැහැ. පිංවත, ඔබට සිතෙනවා නම්, අනේ මට නම් මේ ජීවිතයේ දී සෝවාන්ඵලයට පත්වෙන්න බැහැය කියලා, අවම වශයෙන් ඔබ තවමත් ඔබේ ජීවිතයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධයක් ගැන සිතලාවත් නැතිනම්, ඉන් අදහස් වෙන්නේ, පිංවත් ඔබ ධර්මරත්නයේ සන්දිට්ඨික ගුණය තවමත් පිළිගන්නේ නැහැය කියලා. ඔබ ධර්මරත්නයේ සන්දිට්ඨික ගුණය පිළිගන්නේ නැතිනම්, ඔබ ධර්මරත්නයේ ස්වාක්ඛාත ගුණය පිළිනොගත්තා වෙනවා. උතුම් ධර්මරත්නයේ ගුණයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ ධර්මය සරලයි, ධර්මය මේ ජීවිතයේදීම දකින්න පුළුවන් යැයි දේශනාකොට තිබිය දී අපි බැහැයි කීමෙන් අදහස් වෙන්නේ, අපි තවමත් ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණ නැති බවයි. පිංවත, අපිට අශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව, අචල ශ්‍රද්ධාව දක්වා ඉදිරි ගමනක් තිබෙනවා. පිංවත් ඔබ දෑස් පියාගෙන අධිෂ්ඨානයක් ඇතිකොට ගන්න, ඔබ මේ ජීවිතයේ දෑස් පියා ගන්නා අවසාන චුති සිතේ දී හෝ උතුම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවාය කියලා. ඔබ තුළ ඇතිකොටගත් භව නිරෝධය කෙරෙහි ඡන්දය, අධිෂ්ඨානශීලීව වීර්යයෙන් පෝෂණය කොටගන්න. ඔබේ ඡන්දයත්, වීර්යයත්, චිත්තයත් නිරතුරුවම විදර්ශනාවෙන් විනිවිද දකින්න. පිංවත් ඔබ මේ මොහොතක් ඇතිකොට ගත්තා වූ මේ ජීවිතයේදීම උතුම් ධර්මය දකිනවාය කියන තෙරුවන් කෙරෙහි විශ්වාසයේ චිත්තය, ඔබ මියයන මොහොතේ හෝ අචල ශ්‍රද්ධාවක් බවට පත් වී, ඔබ විදර්ශනා ධර්මයන්ගේ සරණ ලබනවාමයි.
පිංවත, බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරාතුවත් දඹදිව සමාජයේ මෛත්‍රිය, ශිලය, සතිය, සමාධිය කියන අර්ථයන් තිබුණා. රූපවචර සහ අරූපාවචර ධ්‍යාන සම්පත් පුහුණු කරපු පිංවතුන් සිටියා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන් හෙවත් ලෞකික ප්‍රඥාව ලෝකයේ තිබුණේ නැහැ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කිරීමෙන් පසුවයි, ලෝකයට ලෞකික ප්‍රඥාව දේශනා කරන්නේ. පිංවත, වර්තමානයේ අපි ලෞකික ප්‍රඥාව මගහැරලා, ශීලයෙන්, මෛත්‍රියෙන්, සතියෙන්, සමාධියෙන් පමණක් සතුටු වෙන්න හදනවා නම්, පිංවත, අපි තවම උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවිතයට එකතුකොටගෙන නැහැ. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා තමන් පුහුණු කරන්නේ සතිය පමණක්මයි කියලා. තවත් පිංවත් මහත්මයෙක් කියනවා තමන් පුහුණු කරන්නේ ශීලය පමණක්මයි කියලා. තවත් පිංවතෙක් භික්ෂුවට කියනවා, තමන් පුහුණු කරන්නේ සමාධිය පමණක්මයි කියලා. පිංවත, මේ සියළු දෙනාම ලෞකික ප්‍රඥාව මගහැරලයි ශීලය, සතිය, සමාධිය තුළ සිටින්නේ. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් තොර මෛත්‍රිය, ශීලය, සතිය, සමාධිය නියෝජනය කරන්නේ මිථ්‍යාදෘෂ්ටිය බව අපි කාරුණිකව තේරුම් ගන්න ඕනේ. පිංවත, අතීත සම්මා සම්බුද්ධ ශාසන සියල්ලේදීම අපිට වැරදිලා තිබෙනවා. මේ ලැබුණු දුර්ලභ සම්මා සම්බුද්ධ ශාසනය වරද්දා ගන්න එපා. පිංවත, ඔය සක්කාය දිට්ඨියේ මම ය, මගේ ය, මගේ ආත්මය යැයි දකින සහ විඳින ආත්මීය ආභරණ ගලවලා දමලා කරුණාකර නිහතමානීභාවයේ ආභරණ ඔබේ ජීවිතයට පළන්දවා ගන්න.
පිංවත, වර්තමානයේ අළුත් අධර්මයේ මෝස්තර රැල්ලක් පැතිරිලා යනවා. එම අළුත් මෝස්තර රැල්ල තමයි භාවනාවෙන් පමණක් නිවන් දැකීමේ රැල්ල. පිංවත, ඵස්සය කෙරෙහි තෘෂ්ණාව වැඩිවෙනකොට අළුත් අළුත් විඳීමේ, හඳුනා ගැනීමේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයන්ගේ මැජික් රැලි වේගවත් වෙනවා. පිංවත, බුදුරජාණන් වහන්සේ දුකෙන් මිදීමේ මාර්ගය යැයි දේශනාකොට තිබෙන්නේ භාවනාව නොවේ. දුකෙන් මිදීමේ මාර්ගය සතර සතිපට්ඨානය, එසේත් නැතිනම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීම යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. දුකෙන් මිදීමේ එකම මාර්ගය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්මයි. පිංවත, කරුණාකර උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් නිවැරදිව ජීවිතයට එකතුකොට ගන්න. එවිටයි ඔබ තුළින්ම භාවනාවට අවශ්‍ය සම්මා සමාධිමත් සිතක් ඇතිවෙන්නේ. වර්තමානයේ සමහරක් පිංවතුන්ලා භාවනාව තුළින් සම්මා සමාධියක් සොයනවා. භාවනාව තුළින් සමාධිය සෙවීම පසෙක තබා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ පටන් සම්මා සතිය දක්වා අර්ථයන් තුළිනුයි සැබෑ සම්මා සමාධිය ඔබේ ජීවිතයට එකතුකොට ගන්න ඕනේ. අද උදෑසන මහත්මියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස මම පහුගිය කාලයේ හොඳින් භාවනා කළා. නමුත් දැන් මගේ භාවනාවට අමනුෂ්‍යයින් පීඩා කරනවා, එම නිසා සිත හොඳටෝම විසිරෙනවාය කියලා. පිංවත, අපේ වැරදි අපි අමනුෂ්‍යයින්ට භාර දෙන්න හොඳ නැහැ. යම් භාවනා කරන පිංවතෙක් කියනවා නම්, තමන්ගේ භාවනාවට නොපෙනෙන බලවේග, එසේත් නැතිනම් අමනුෂ්‍යයින් බාධා කරනවාය කියලා, භික්ෂුව බොහෝම පැහැදිලිව කියනවා, ඔබ තවම ලෞකික ප්‍රඥාවේ අර්ථයන්වත් ජීවිතයට එකතු කොටගෙන නැහැය කියලා. පිංවත, ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් නම්, අමනුෂ්‍යයින් බාධා කරනවාය කියන කාරණය, ඔබට තහනම් වචනයක් විය යුතුයි. ඔබට බාධා කරන්නේ අමනුෂ්‍යයින් නොව ඔබේම පටිච්චසමුප්පන්න අතීත අකුසලයයි. අපි අතීතයේ සිල්වතුන්ට චෝදනා කරලා, විවේචනය කරලා, බාධා කරලා තිබෙනවා. ඒ අතීත අකුසල් නිසාම අපේ ශීලය දුර්වල වෙනවා. අතීතයේ භාවනා කරපු අයට අපි බාධාකොට, විවේචනයකොට තිබෙන නිසාම, මේ ජීවිතයේ දී අපේ භාවනාවන්ට බාධාවන් සිද්ධ වෙනවා. මෙම අතීත අකුසල් යටපත් කොටගෙන නැගී සිටීමටයි බුදුරජාණන් වහන්සේ ලෞකික ප්‍රඥාවේ අර්ථයන් දේශනාකොට තිබෙන්නේ. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය අමතකකොට භාවනාවට ගියොත් අතීත අකුසල් විවිධාකාර දැනීම් ඔස්සේ අපිට බාධා කරනවා.
පිංවත, භාවනාවේ දී පංච නීවරණ යටපත් වූ සිත අයිති සප්ත බොජ්ඣඬ්ඟයන්ට, සති සම්බොජ්ඣඬ්ඟයෙන් පෝෂණය වූ ධම්ම විචය බොජ්ඣඬ්ඟය එම සිතේ හැඩ රුව වෙනවා. වීර්යය, ප්‍රීතිය, සහ පස්සද්ධිය එම සිතේ රිද්මය වෙනවා. සමාධිය සහ උපේක්ෂාව එම සිතේ අධ්‍යාත්මය වෙනවා. ඇලීම් සහ ගැටීම, චංචලභාවය බැහැර වූ එවැනි නිශ්චල සිතක් කෙසේ නම් අමනුෂ්‍යයින්ට බිය වෙන්න ද? කෙසේ නම් අමනුෂ්‍යයින් එම නිශ්චල සිතට බාධා කරන්න ද? පිංවත, භාවනාවේ දී අපේ ඵස්සය කෙරෙහි අවධානය බිඳෙන්නේ, සිතේ සමාධිමත්භාවයේ දුර්වලභාවයන් නිසාමයි. පිංවත, අමනුෂ්‍ය රූපයක් යනු, අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැකීමට නම් සම්මා සමාධිමත් සිතක් අත්‍යවශ්‍ය වෙනවා. පිංවත, භව නිරෝධය දෙසට යන අයෝමය ශක්තිය, “හුදෙකලා භාවනාව” නොව ලෞකික ප්‍රඥාවෙන්, ශීලයෙන් සහ සමාධියෙන් පෝෂණය වූ භාවනාව බව සිහිනුවණින් තේරුම් ගන්න. සමාජගතවෙන මායාකාරී විඤ්ඤාණ මැජික් සංදර්ශන වලට යොමු නොවී ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් භාවනාවත්, භාවනාව තුළින් විදර්ශනාත්මකව ආර්ය අෂ්ටාංගික මාර්ගයත් පෝෂණය කොටගන්න දක්ෂ වෙන්න.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – දිවයින ඉරිදා සංග්‍රහය (2023/03/05)