පිංවත, ඔබ ගොඩාක් දේවල් මගේ කොටගෙන ඒ සියල්ල මගේ යැයි සිතාගෙන සිටියත්, ඔය කිසිවක් ඔබට අයිති නැහැ. මොහොතක් සිහි නුවණින් දකින්න, අනාගතයේ යම් දවසක ඔය මගේ කොටගත් සියල්ලම හැර දමා, සතර දෙනෙක්ගේ කර මතින් පවුලේ සුසාන භූමියට යන අවසන් ගමන. හැබැයි ඉතින් ඒ සුසාන භූමියට යන්නේ මළ කඳක් පමණක්මයි. ඔබේ පටිච්චසමුප්පන්න නැවත උපත භවාත්‍රයේ කොතැනකට යයි ද? පිංවත් ඔබ මොනතරම් දේවල් සිතුවත්, ඉහත දෙය නොසිතන නිසාමයි, භික්ෂුව මේ දෙය සටහන් තැබුවේ. ජීවත්ව සිටිය දී නිවන ගැන පුංචි හෝ අවධානයක් යොමු නොකරන අපි, මැරුණාට පස්සේ බැනර් වලින්, ගුණකථන වලින් නිවන් දකින්න හරිම දක්ෂයි. පිංවත, ඔබ මැරෙන්නට පෙර මැරිලා බලන්න. මරණානුස්සතිය ඔබට උපකාර කරනවා, ජීවත්ව සිටියදීම මරණයේ අත්දැකීම ලබන්න. ඔබ මිය යන්නට පෙර මරණයේ අත්දැකීම ලබා එය පුහුණු වුණාම, මරණය ඔබට විදර්ශනාමය අත්දැකීමක්ම වෙනවා. පිංවත, මොහොතක් දෑස් පියාගෙන මනසින් මැරෙන්න. ඔබ මරණානුස්සතියට බිය නම්, ඉන් අදහස් වෙන්නේ ඔබ ඔබව දාල යන්න කැමති නැහැ කියලයි.
පිංවත, ඔබ ඔබව දාල යන්න කැමැති නැහැ නේද? ඔබ ඔබව අරගෙනමයි යන්න හදන්නේ. පිංවත් ඔබ මොනවාද මේ යනකොට අරගෙන යන්න හදන්නේ? ඔබ යනකොට අරගෙන යන කදමල්ලට කියන්නේ විඤ්ඤාණ පච්චයා නාමරූප කියලා. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය හේතුවෙන් සකස් වුණා වූ පංච උපාදානස්කන්ධ ධර්මයෝ, ඔබ මගේ කරගෙන පටිච්චසමුප්පන්නව අරගෙන යනවා, ආයෙමත් පටිච්චසමුප්පන්නව සළායතනයෝ උපද්දවා ගන්න. පිංවත, ඇත්තටම ඔබට දැන් වෙහෙසක්, බියක් නැද්ද? භික්ෂුව අතීත රූපස්කන්ධයට නුවණ මෙහෙයවද්දී භික්ෂුවට අරමුණු වෙනවා, කෝටි ප්‍රකෝටි ගණනක් භික්ෂුවගේ අතීත පටිච්චසමුප්පන්න ඇස්, කන්, නාස, දිව සහ මළ කඳන්. සත්‍යකින්ම ඔබ ඔය දෙපා තබාගෙන සිටින්නේ, අතීත බාහිර සතර මහා ධාතුව බවට පත් වූ ඔබේම අතීත මළ කඳන් ගොඩට නේද? ඔබ ඔය ඔබේම මළකඳ මිහිදන් වූ අතීත සුසාන භුමියක් මතයි දෙපා තබාගෙන සිටින්නේ. බලන්නකෝ අපේ මෝහයක තරම. අපි අපේම අතීත මළකඳන් මිහිදන් වූ සුසාන භූමිය මගේ කරගෙන ලස්සන ගෙදරක් හදලා, ලස්සනට මල් වවලා, සුසාන භූමියක් මගේ කොටගෙන ජීවත්වෙන අපුරුව.
පිංවත, ඔබ සිතනවාද සුසාන භූමියක ජීවත්වන අපිට, හරි යයි කියලා. පිංවත, අවංකව සිතන්න කාටද හරි ගිහින් තිබෙන්නේ. හැබැයි ඉතින් කාමයේ සහ රූපයේ කෙටි ආශ්වාදයට රැවටිලා මට හරි ගියා කියලා සිතුවොත් එය නම් මුලාවක්. අපි හැමෝම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව උගුලේ සිරවෙලා. අතීත සුසාන භූමිය මත දෙපා තබද්දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, “මිනී අළු” අපිට පංච උපාදානස්කන්ධ දුකමයි උරුම කර දෙන්නේ. පිංවත, මේ විනාශය අපි අපිටම කරගන්නා හූනියමක්. අපිට හදිහූනියම් කරනවාය කියලා, අනුනට බැණලා වැඩක් නැහැ. භවාත්‍රයේ කොතැනක ඉපදුනත් එතැන මහ පොළොවේ තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණ මිනී අළුමයි. පිංවත, අපිම අපිට හූනියම් කරගෙන අපි අනුනට කොච්චර නම් චෝදනා කරනවාද?
පිංවත, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති කට්ටඩියායි නාමරූප නමැති හූනියම් සිද්ධ කරන්නේ. පිංවත දකුණු පළාතේ අති ප්‍රබල කට්ටඩි මහත්වරුන් මෙහෙය වන්නේත් මේ විඤ්ඤාණය නමැති පටිච්චසමුප්පන්න මහ කට්ටඩියාමයි. ඒ විතරක් නොවේ, වසවර්ති දිව්‍ය තලයේ වසවර්ති මාරායාව මෙහෙය වන්නේත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මහ කට්ටඩියාමයි. බුදුරජාණන් වහන්සේ මේ බලගතු විඤ්ඤාණය නමැති කට්ටඩියාව හඳුන්වන්නේ මායාකරුවා, මැජික්කරුවා යැයි කියලයි. අවිද්‍යාව නමැති පසේ සංස්කාර නමැති පොහොරින් වැඩෙන නිසාම, විඤ්ඤාණයට බීජය යැයි ද ධර්මයේ සඳහන් වෙනවා. පටිච්චසමුප්පාද ක්‍රියාන්විතයේ කොතැනක බැලුවත්, විඤ්ඤාණයේ බීජ විසිරිලයි තිබෙන්නේ. එම නිසාම නොනවතින ජාති, ජරා, ව්‍යාධි, මරණ වගා සංග්‍රාමයක් අපි හැමෝම තුළ ක්‍රියාත්මක වෙනවා.
පිංවත, ඔබ තවමත් මේ හූනියම කපන්න තොවිලය පටන් ගත්තේ නැද්ද? ඔබට හිරි, ඔතප් දෙක නැති ද? තවත් මේ මිනී අළුගොඩ මත දෙපා තබාගෙන ජීවත් වෙන්න. පිංවත, මුලින්ම හොඳ කට්ටඩි මහත්මයෙක්ව තෝරා ගන්න. විදර්ශනා නුවණින් විඤ්ඤාණය දමනය කොටගත් කල්‍යාණ මිත්‍රයාමයි, මේ වියරු භව හූනියම කපන්න සුදුසු පුද්ගලයා වෙන්නේ. පිංවත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අර්ථවත් කල්‍යණමිත්‍ර ආශ්‍රය ඔස්සේ ඔබ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කළොත්, ඔබට මේ භව හූනියම විනිවිද දැකිය හැකි සම්මා සමාධිමත් සිතක් ඇති වෙනවාය කියලා. ඒ සම්මා සමාධිමත් සිත උපයෝගී කරගෙන උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් නැවත නැවත නිවැරදිව පුහුණු කිරීමෙන් උපරිම වසර හතක් තුළ මේ වියරු භව හූනියම නිරෝධය කරන්න පුළුවන්ය කියලා.
පිංවත, නිරෝධය කරන්න පුළුවන් දෙයක් අපි වගා කරලා හරි හරියට ජාති, ජරා, ව්‍යාධි, මරණ අස්වැන්න සිත් සේ නෙළා ගන්නවා. දැන් ඉතිං මරණයට පත්වෙලා, සුසාන භූමියට යනකොට තියලා යන්න හම්බ කළා හොඳටෝම ඇති. භව දුක ඇවිළවීම පසෙක තබා, භව දුකේ නිවීම ගැන සිතන්න. පිංවත, සළායතනයෝ අනිත්‍යයි. සළායතනයෝ නිසා යම් විඳීමක් ඇතිවේද එය අනිත්‍යයි. සළයතනයෝ නිසා යම් හඳුනා ගැනීමක් ඇතිවේද එය අනිත්‍යයි. සළායතනයෝ නිසා යම් සංස්කාරයක් ඇතිවේද එය අනිත්‍යයි. සළායතනයෝ නිසා යම් විඤ්ඤාණයක් ඇතිවේද එය අනිත්‍යයි. නාමරූප ධර්මයෝ අනිත්‍යයි.
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් අහනවා, ස්වාමීන් වහන්ස, සිංහල බෞද්ධකම ශක්තිමත් කරන්න නම් අපි කුමක්ද කළ යුත්තේ කියලා. පිංවත් ඔබට සිංහල බෞද්ධකම ශක්තිමත් කරන්න අවශ්‍ය නම්, කරුණාකර ඔබ මුලින්ම කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. කල්‍යාණ මිත්‍රයෙකුට පමණක්මයි සිංහල බෞද්ධකම පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. කල්‍යාණ මිත්‍රයා, කල්‍යාණ ධර්මයන් ශ්‍රවණය කරන කෙනෙක්. එම ධර්මයන් නුවණින් මෙනෙහි කරන කෙනෙක්. කල්‍යාණ මිත්‍රයා චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ තම ජීවිතය විසිරුවා දකින ආර්ය අෂ්ටාංගික මාර්ගය තම ජීවිතයට දරාගන්න කෙනෙක්. ඔහු තමයි සිංහල බෞද්ධකමේ ආරක්ෂකයා වෙන්නේ. පිංවත, සිංහල බෞද්ධකම වේගයෙන් දුර්වල වෙනවා. කරුණාකර ඔබ සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. එය සිංහල බෞද්ධකමේ ආරක්ෂාව උදෙසා, මේ අඳුරු යුගයේ දී, ඔබට කළ හැකි ශ්‍රේෂ්ඨම පිංකමක් වෙනවා. පංච නීවරණ ඔඩු දුවන ආවේගශීලීභාවය සහ ප්‍රචණ්ඩත්වය සිංහල බෞද්ධකම යැයි වරදවා වටහා ගන්න නම් එපා.
ගෙවී ගිය අඳුරු මාස කිහිපයේ දී අනාගත මෘග සංඥාවේ බීජමය ලක්ෂණ අපි කොතෙක් නම් දැක්කාද? උතුම් මනුෂ්‍ය ධර්මයන් සෝදා පාළුවට යද්දී, වෛරය, පළිගැනීම අපි ආහාරයට ගත්තේ තළු මරමින්. අවසානයේ අපි සියල්ලෝම ලැබූ ජයග්‍රහණය වෙන්නේ අකුසලය පමණක්මයි. පිංවත, සියළු සංස්කාරයෝ වෙනස් වෙලා යන ලෝකයක, අපේ සමාජයේත් වෙනසක් සිදුවුණ බව ඇත්ත. ඒත් ඒ වෙනස කුසලයට අදාළව සිදු වූ වෙනසක් නම් නොවේ. අකුසලයේ තිඹිරි ගෙයින් උපන් විකෘති උපතක්මයි. අපි වැපිරූ බීජයන්ට අදාළව අපිට අස්වැන්න ලැබිලා තිබෙනවා. නමුත් මේ ගෙවී යන්නේ රටට ලැබුණු අළුත් වෙනසේ ආශ්වාදනීය කාලයයි. කෙටි ආශ්වාදයෙන් පසුව එළඹෙන්නේ දීර්ඝ ආදීනවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පිංවත, අපි අකුසලය හේතුවෙන් වැටුණොත්, නැවත අපිට නැගිටින්න තිබෙන බාධක ඔබට දැන් වැටහෙනවා නේද? අපේම වැරදි හේතුවෙන් ඇතිකොටගත් දේශීය සහ විදේශීය අසත්පුරුෂ අභියෝගයන්ට මුහුණ දෙමින් අපිම කැපවීමෙන් නැගී සිටින්න වෙනවා. උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම පිංවතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන උතුම් සම්බුදු වදන සිහි නුවණින් දකිමින්, මෙම මානසික ව්‍යාධියේ දරුණුම රෝග ලක්ෂණය වෙන මමත්වයේ දැඩිභාවය යම් පමණකට හෝ අඩුකොටගෙන ඔබලා මාතෘභූමියේ හෙට දවස ගැන සිතිය යුතු වෙනවා. වර්තමානයේ මාතෘභූමියට ආවේගශීලීභාවයෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, මර්ධනයෙන් තොර මෛත්‍රියෙන්, පංචශීලයෙන් හික්මුණ වෙනසක් අත්‍යවශ්‍යම වෙනවා. ඔබේ මාතෘභූමිය සෙනෙහසින් බලාපොරොත්තු වෙන එම වෙනසට පිංවත් ඔබයි මුල් විය යුත්තේ. ඔබයි පූර්වාදර්ශකයා විය යුත්තේ. අද මාතෘභූමියට අවශ්‍ය ජනතාව මර්ධනය කරන අණපනත් නොව, පංචශීලයේ ආරක්ෂාවෙන් ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා දේශපාලනයක් බව වර්තමාන දේශපාලන නායක පිංවතුන් සිහි නුවණින් තේරුම් ගන්න ඕනේ. පසුගිය මාස කිහිපයේ රට තුළ සිදුවුණ බරපතල ආර්ථික සහ දේපළ විනාශයන්ට මුල්ම වගකිවයුත්තා වෙන්නේ ආවේගශීලී ජනතාව නොව, ජනතාව ආවේගශීලීභාවයට පත්කළ දුශ්ශීල දේශපාලනය බව අපි නිහතමානීව තේරුම් ගත්තොත් පමණක්මයි, අපිට නිවැරදි හෙටක් උදෙසා ආරම්භයක් ඇති වෙන්නේ. පිංවත් දේශපාලන ඔබලා මේ දිග හරින්නේ අළුත් පිටකවරයක් සහිත පරණ නවකතාවම නම් මේ කතාවේ අවසානය මාතෘභූමිය තවත් මහා ජාත්‍යන්තර ණය උගුලක පටලවන බංකොලොත්භාවයම වෙන්න පුළුවන්. අපේ දේශපාලනය පුරුදු වෙලා තිබෙන්නේ අනාගත ඡන්ද පදනම උදෙසා ණයට අරගෙන සහනාධාර දෙමින් කන්න මිසක්, නිෂ්පාදනය දිරිමත් කරලා හම්බ කරලා කන්න නොවේ. පිංවත, මේ සියල්ල හේතුඵල ධර්මයන්. භික්ෂුව මේ ඇඟිල්ල දිගු කරන්නේ ඔබට නොව ඔබේ අවිද්‍යාවටයි.
අතිපූජණී රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.