දිනය පුරාවට අපිව ආලෝකමත් කරපු හිරු, බටහිර අහස් කුසෙන් බැස යන්නයි සූදානම් වෙන්නේ, රත් පැහැයෙන් දිළිහෙන හිරු, තවත් මොහොතකින් අපේ දෑස් මායිමෙන් සමුගනීවි, නැවත හෙටත් උදෑසන අපිව ආලෝකමත් කරන්න එන බලාපොරොත්තුවෙන්. සෑම රූපයක්ම, සෑම විඳීමක් ම, වෙනස් වෙලා යනවා අපිව ලෝකය තුළ නතර කරලා. මෙම ලිපිය සටහන් කරන භික්ෂුව, සංස්කාර විසින් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගණනක් මේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ නතර කරවගෙනයි සිටින්නේ. මේ අසාධාරණය කාටවත්ම පේන්නෙ නැහැ. හැබැයි ඉතින් උදේට කකන්තෝරුවට පැයක් ප්‍රමාදවෙලා ගියොත් රතු ඉර ගහනවා. රජයේ කාර්යාලයකට රාජකාරි කටයුත්තකට ගොස් පැයක් ප්‍රමාද වුණොත්, මොන තරම් චෝදනා, විවේචන අප තුළින් මතු වෙලා එනවද……? ඒත් දෙවියනේ, සංස්කාර විසින් අපව මේ භවාත්‍රයේ කල්ප ගණනාවක් ප්‍රමාදීභාවයට පත්කොටගෙන සිටියදීත් අප සුවසේ විත්තිකරුවා වන සංස්කාර ම පෝෂණය කරනවා.
බුදුරජාණන් වහන්සේ සත්‍ය වචනයේ ඇති වටිනාකම මොනවට පැහැදිලි කොටදි තිබියදීත්, අපේ රටේ ඇතුළු ලෝකයේ ජීවත්වෙන පින්වත් මනුෂ්‍යයෝ හරියට බොරු කියනවා. සම්මා වාචාවන් අපි තුළින් නොවැඩුණොත් කවදාකවත් අප තුළ සම්මා සතියක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකය බිහිවුන දා පටන් ම මනුෂ්‍ය ප්‍රජාව කරපු පළමුවැනි වරද තමයි බොරුකීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකය බොරු පහකින් (5) වැසී ගිහින් තිබෙන්නේ කියලා. මේ ලෝකයා බොරු පහක් තුළ බැසගෙනයි ජීවත් වෙන්නෙ කියලා. බොරු පහක් ආත්මය කොටගෙනයි ජීවත් වෙන්නෙ කියලා. බොරුව ආත්මයක් කොට ගනිත්දී, කෙසේ නම් අප, අපව භවාත්‍රයේ ප්‍රමාදීභාවයට පත්කරන සංස්කාරයෝ හඳුනා ගැනීමට සම්මා සතියක් ඇතිකොට ගන්නද…? සම්මා සමාධියක් ඇතිකොට ගන්නද…? මේ ලෝකය වසාගෙන තිබෙන පළමුවැනි බොරුව තමයි, රූපය නිත්‍යයි, සැපයි / සුභයි කියන බොරුව. ඉතිරි බොරු හතර තමයි වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන ධර්මයන් නිත්‍යයි, සැපයි, සුබයි කියන බොරුව.
පින්වත් ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නකෝ, ඔබ මේ බොරු පහ මගේ කොටගෙන නේද ජීවත් වෙන්නෙ කියලා. පින්වත, අපි කල්ප ගණනාවක් ප්‍රමාදයි. ඇත්තටම බොරුව අපේ ජීවිතය බවට පත්වෙලා, නමුත් අපි බොහොම උද්දාමයෙන් කියන්නේ, මම දිවිහිමියෙන් පංචශීලය සුරකිනවාය කියලා. නමුත් මේ නිමේශයේදීත් රූපය සැපයි, නිත්‍යයි, සුභයි ආත්මයි කියන බොරුවේ කොටස්කරුවෙක් වෙලා අපි දිවිහිමියෙන් රකිනවා යැයි කියන පංචශීලය ධර්මයේ අවබෝධාත්මක දිශාවන්ට අපිව යොමු කරන්නේ නැහැ. අපි දිවිහිමියෙන් රකින පංචශීලයත් අපිව භවාත්‍රයේ ප්‍රමාදීභාවයට පත්කරන සංස්කාර නමැති විත්තිකරුවාගේ පෝෂණය උදෙසා මයි යොමුකොට ගන්නේ.
බුදුරජාණන් වහන්සේ ලෝකය බැසගෙන සිටින ඉහත බොරු පහ ලෝකයට හෙලිකරලා, මේ විෂම බොරු පහෙන් සත්‍යය ජයගන්න අවශ්‍ය ඇත්ත හතරක්, පූජනීය සත්‍යය හතරක්, ලෝකයට දේශනා කරනවා. ඒ ඇත්ත හතර තමයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් කියන්නේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය යැයි කියන්නේ. පින්වත මේ මොහොතේ කොරෝනා වසංගතය ඔබට ධර්මානුකූලව බලකරනවා, තවත් ප්‍රමාද නොවී ලෝකය වසාගෙන තිබෙන බොරු පහෙන් (5) මිදිලා ලෝකය ජයගන්න, දුකෙන් මිදීයන ඇත්ත හතරට ජීවිතය යොමුකර ගන්නය කියලා.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමින් වහන්ස කුමක්ද මේ ලෝකය තුළ සිද්ධ වෙන්නෙ කියලා. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලබාදෙන්නේ බොහෝම සරල එහෙත් ගැඹුරු පිළිතුරක්. මහත්තයෝ, ලෝකය ලෝකයේ ස්වභාවයෙන් ම තිබෙනවා. ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. අවිද්‍යාව හේතුවෙන්, ඒ කියන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඇත්ත හතර නොදැනීමේ හේතුවෙන් සකස්වෙන සංස්කාරයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් මේ මොහොතේ සුවසේ ධර්මානුකූලව ක්‍රියාත්මක වෙනවා. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතයත් අද හෝ හෙට කැඩී, බිඳී, විසිරී යයිද දන්නේ නැහැ. භික්ෂුවටත් මේ දවස්වල සුළඟේ වියළි බව නිසා ම, සෙම්ප්‍රතිෂ්‍යා ගතියක් තිබෙනවා. නමුත් ඒ සෙම්ප්‍රතිෂ්‍යාව තුළ, “මම” හෝ “කොරෝනා” රෝගය හෝ බැසගෙන නැහැ. කොරෝනා රෝගය සිහිපත් වෙද්දී, භික්ෂුවට එම රෝගය යනු, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සහ සකස් වූ, අනිත්‍ය වූ සංස්කාරයක් පමණයි.
පින්වත් ඔබ කොරෝනා රෝගය ආත්මීය දෘෂ්ඨියෙන් ගන්න එපා. කොරෝනාව තුළ “මම” හෝ “මම” තුළ කොරෝනාව තිබෙනවා යැයි දකින්න එපා. විපාකයට පැමිණෙන සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාරයන්ටම භාරදෙන්න. ඔබ නිදහසේ ප්‍රීතිය, පස්සද්ධිය තුළ ම සිටින්න. එතැනයි ඇලීම්, ගැටීම්වලින් තොර උපේක්ෂාවට මාර්ගය වෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුව නිරතුරුව ම සිතන්නේ, “සංස්කාර” ඔබට අවශ්‍ය නම්, මේ ජීවිතය ජීවත් කරන්න, ඔබට අවශ්‍ය නම් දැන්ම අපවත්කොට දමන්න කියලයි. භික්ෂුව හොඳාකාරව දන්නවා, මේ ජීවිතය අතීත සංස්කාරයන් හේතුවෙන් නැටවෙන රූකඩයක් පමණක් මයි කියලා. ජීවිතය ගැන කිසිම ස්ථිරභාවයක් භික්ෂුවට නැහැ. රූකඩ කරුවාගේ නූල් සූත්තරයට නටනවා පමණක් මයි. පින්වත් ඔබලා හෙට දවසේ කොරෝනා වසංගතය ජයගත්තද, ඔබලාගේ ජීවිත අන්ත පරාජිතවයි තිබෙන්නේ. ජයග්‍රහණයක උපේක්ෂා සහගත ඉරියව්වක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. පටිච්චසමුප්පාද ධර්මයේ සෙවනැල්ලක් අපේ ජීවිතවලට වැටී නැහැ. ශීල විශුද්ධියෙන් සහ චිත්ත විශුද්ධියෙන් පෝෂණය වන සුන්දර දිට්ඨි විශුද්ධිය, අපේ ජීවිත තුළ පුරන්වෙච්ච වෙල්යායක් වගෙයි. උපේක්ෂාවේ තනපතක් ඇහැට පේන්නවත් නැහැ. ඵස්සය අසල වැටකඩොලු, කැඩී බිඳී ගිහින් තිබෙන්නේ. තෘෂ්ණාවේ සොර දෙටුවා, උපාදානය සිත්සේ සොරකම් කරනවා භවය නැමැති ගිණුම ශක්තිමත් කොටගන්න. පින්වත, භවය ශක්තිමත් වනතාක්කල් ඉපදීම තිබෙනවා.
පින්වත් ඔබ මේ නිමේෂයේදීත් කොරෝනා වසංගතය හේතුවෙන් ඇලීම් සහ ගැටීම් තුළ නම් ජීවත් වෙන්නේ, මේ නිමේශයේදී ම ඔබ, භවය තිරිහන් කොටගැනීමේ මෙහෙයුමකයි ජීවත්වෙන්නේ. භවය තිරිහන්වෙන තැන ඉපදීම නියතයක් ම වෙනවා. ඉපදීම තිබෙන තාක්කල් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් ගොඩ, දෑසින් කඳුළු හලන, හදවතින් පිච්චි පිච්චි ජීවත්වෙන, දුක් ගොඩ ඔබෙත්, මගෙත් සෙවනැල්ලක් සේම පසුපසින් සීරුවෙන් පැමිණෙනවා. පින්වතුනේ පංචඋපාදානස්කන්ධ ලෝකයම අකුසලයෙන් ගිනිගත් වර්තමානයේ, කරුණාකර ඉපදීම නිරෝධානය කිරීමේ මෙහෙයුම අරඹන්න. ඉපදීමට හේතුවන පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව උපද්දවන ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට වහ වහා ඇඳිරි නීතිය පනවන්න. පින්වත් ඔබ තුළ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් මුහුවෙන ඵස්සය ඉදිරිපිට දැනට ගරාවැටි ඇති ඇලීම් සහ ගැටීම් වැටකඩුලු හොඳින් බැඳදමා, ඵස්සය ඉදිරිපිට සතිය සිහිය නැමති ආරක්ෂකයා සීරුවෙන් තබන්න.
මේ සටහන ලියන මොහොතේ මුළු රටටම ඇඳිරි නීතිය පනවලයි තිබෙන්නේ. ගමේ වැව අද්දර හේන් යායක, ජලය පොම්ප කරන මෝටරයේ හඬ හැර ප්‍රදේශය ම දැඩි නිහඬතාවයක ගිලිලයි තිබෙන්නේ. පරිසරය වෙනදාට වඩා හරිම ආලෝකමත්. ගහකොළ කැලේ සතා සිවුපාවා පවා නිදහසේ පිරිසිදු වාතය ස්පර්ශ කරනවා. පරිසරයේ වායු දූෂණය හොඳටෝම අඩු වෙලා. සුළඟ පවා හරිම සැහැල්ලුයි. කොරෝනා කළු වලාකුළු මත රිදී රේඛාවක් සේ නිරෝගී පිරිසිදු වාතාශ්‍රයක් පරිසරයට ලැබුණත් ඒ පිරිසිදු වාතය ආශ්වාස, ප්‍රශ්වාස කරන්න මනුෂ්‍යයෝ කවුරුවත් ම පරිසරයේ නැහැ. පින්වත් මනුෂ්‍යයෝ සියලුදෙනා ම ඇඳිරි නීතියට යටත්ව නිවාසවලට හිරවී සිටියදී, පිරිසිදු සෞම්‍යය වාතාශ්‍රයේ නිකලෙස් සුවය විඳිමින් වර්තමානයේ වැඩ සිටින ජීවමාන බුදුරජාණන් වහන්සේ වන, “උතුම් ශ්‍රී සද්ධර්මය” සද්ධර්මයේ ඒහිපස්සික ගුණය ගැන, කුසල් ධර්මයන්ගේ සහ අකුසල් ධර්මයන්ගේ යහපත් සහ අයහපත් විපාකයන් විවෘතව සැඟවීමකින් තොරව විපාක දීමේ ස්වභාවය ගැන, සුන්දර ධර්ම දේශනාවක් පවත්වනවා. ලොව පුරා වසංගතයක්ව පැතිර යන කොරෝනා වෛරසය, සුන්දර ධර්ම දේශනාවක්. හොඳින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. දුප්පත් පොහොසත් සැමටම, බලවත්, දුර්වල සැමට ම එකම හැන්දෙන් බෙදන කොරෝනාව සංස්කාර නමැති අධිකරණයේ “ස්වාධීනත්වය” පිළිබඳව ඔබට දෙන වටිනා සහතිකයක්. ලෝකය තුළ පවතින අන්තවාදී, ඒකපාක්ෂික මානව හිමිකම් විහිළුවලට, සුන්දර අතුල් පහරක් කොරෝනාව ලබා දෙනවා.
දේශසීමා මායිම් නොතකා කොරෝනා වසංගතය සමස්ත ලොකු සහ කුඩා, මනුෂ්‍ය ප්‍රජාවම භීතියට, මරණ බියට පත් කොට තිබියදී ජිනීවා නුවර මානව හිමිකම් කට්ටිය කොහේ ගිහින්ද දන්නේ නැහැ. ඒ අයගේ සුපුරුදු වාර්තා, ප්‍රකාශ, විරෝධතා මොකුත් ම නැහැ. කොටින්ම මානව හිමිකම් කාර්යාලත් වසා දමලා. පේනවද, උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණය, අකුසල් විපාකයෝ විවෘතව බබළන අපූරුව. තමන් සියල්ලම “දත්” යැයි සිතන, මිත්‍යාදෘෂ්ටික මහදැනමුත්තලාට, දැන් තේරෙනවාද, තමන්ගේ ඒකපාක්ෂික මානව හිමිකම් අසත්පුරුෂභාවය තුට්ටුවකටවත් මායිම් නොකරන, සද්ධර්මයේ ඒහිපස්සික සාධාරණ අධිකරණ ක්‍රියාවලියක්, ලෝකය තුළ ක්‍රියාත්මක වෙනවාය කියන කාරණය. ඒ සාධාරණ අධිකරණ ක්‍රියාවලිය තුළ අසත්පුරුෂ මානව හිමිකම්, නෝනා, මහත්වරුන්ද, අකුසල් සංස්කාරයන්ගේ දණ්ඩනයට ලක්වෙලා. සාදු..! සාදු..!, කොරෝනාව ඔබ ලෝකයාට ම දේශනා කරන සුන්දර අර්ථවත් දේශනාවක් මයි…!
පින්වතුනි, කාලය වේගයෙන් ගෙවීයනවා. “ජීවිතය”, ලෝකය තුළ නතර කරලා, මෝඩකමට, අනාගතය, අනාගතය යැයි කියලා සංස්කාරනම් පොදි බඳින්න එපා. පින්වත් ඔබ කාම භවයේ ගිලීයාවි. පින්වත් ඔබ ජීවමාන ශාස්තෘන් වහන්සේ වන “උතුම් ශ්‍රී සද්ධර්මය”, දේශනා කරන, කොරෝනා ධර්ම දේශනය හොඳින් ශ්‍රවණය කරලා, නුවණින් මෙනෙහි කරලා, සුන්දර ධර්මයක් ම වන කොරොනාව තුළින් සුන්දර ධර්මයක් ම මතුකොට ගන්න. පංචඋපාදානස්කන්ධ ලෝකය ම අකුසලයෙන් ගිනිගත් මේ නිමේෂයේ දී ඔබගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හොඳින් සංවර කරගන්න. හොඳින් රැකගන්න. අතීතයේ නොරක්නා ලද සළායතනයෝ, අතීතයේ නොදත් නොදමනය කරගන්නා ලද සළායතනයෝ, වර්තමාන විනාශයට එකම වගකිවයුත්තා බව නුවණින් තේරුම් ගන්න. වර්තමානයේ කොරෝනා වසංගතය ගැන ඇසෙන් රූප දැක, කනෙන් ශබ්ද අසා, මනසින් සිතුවිලි සිතා, මනස අසංවර කරගන්න නම් එපා…!
තෙරුවන් සරණයි …..!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් “අතහැරීම 16” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න.