දරුවන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොටගන්නේ කෙසේ ද?

පාසල් දරුවන් තමන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොට ගැනීමට නම්, නිරතුරුවම තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සමඟ කථා කරන්න ඕනේ. පින්වත් දරුවන්ට මතුවෙන ප‍්‍රශ්න, ගැටළු, සැක සහිත තැන් ගෞරවයෙන් යුතුව අසා දැනගන්න ඕනේ. මෙතනදී තමයි ඔවුන් ලබන අලුත්, නැවුම් දැනුම ඔස්සේ, නුවණින් මෙනෙහි කිරීමෙන් පින්වත් දරුවන්ගේ සතිය සිහිය වැඩිදියුණු වෙන්නේ.

පින්වත් දරුවන් ගුරුතුමාගෙන් විමසනවා, ඇස් දෙක අන්ධ දරුවන් ජීවත් වෙන ලෝකය තුළ, කොහොමද අපිට ලස්සන ඇස් දෙකක් ලැබුණේ කියලා. එවිට ගුරුතුමා කියනවා, ඔබට ලස්සන ඇස් දෙකක් ලැබිලා තිබෙන්නේ, ඔබ පෙර ජීවිතයේදී අනුන්ගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කරලා නැහැ. ඔබ ගිය ජීවිතයේදී බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකයන් පූජා කරලා තිබෙනවා. ඔබ අනුන්ට අකුරු කියලා දීලා, අනුන්ගේ දෑස් පාදලා තිබෙනවා. ගුරුතුමාගේ හේතුඵල ධර්මයන්ට අදාළ පිළිතුර අහලා, දැන් දරුවන් නුවණින් මෙනෙහි කරනවා. එවිට දරුවන් තුළ සතිය සිහිය මෝදු වෙනවා. ඔබ ඊට පස්සේ, අනුන්ගේ දියුණුව දැකලා, ඊර්ෂ්‍යාව ඇතිකොට ගන්නේ නැහැ. පන්තියේ ඔයාට වැඩිය දක්‍ෂ දරුවෙක් දැකලා කේන්ති ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකයන් පූජා කිරීමට මැලි වෙන්නේ නැහැ. ඔබේම පන්තියේ දරුවෙකුට නොදන්නා අධ්‍යාපන කරුණක් කියලා දීමට, අතපසු වූ සටහනක් ලබාදීමට ඔබ මැලිවෙන්නේ නැහැ. ඔබ දැන් දන්නවා මම අනුන්ට ඊර්ෂ්‍යා කළොත් මීළඟ ජීවිතයේදී මගෙත් ඇස්දෙක දුර්වල වේවි කියලා.

පින්වත් දරුවන් ගුරුතුමාගෙන් අහනවා, ඇයි දරුවෙක් ලස්සන වෙලා උපදින්නේ කියලා. එවිට ගුරුතුමා පිළිතුරු දෙනවා. ”දරුවෙක් ලස්සන වෙලා උපදින්නේ, පෙර ජීවිතයේ මෛත‍්‍රිය පුහුණු කරලා, බුදු සමිඳුට ලස්සන සුවඳ මල්, දෑත් දෝවනය කරලා මල්වලට පැන් ඉසලා, පූජා කරලා මහා සංඝ රත්නයට දන්පැන් පූජා කරලා තිබෙන නිසායි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ” කියලා. මේ කාරණා ගුරුතුමාගෙන් දැනගත්තාට පසුව, දරුවන් හේතුඵල ධර්මයන්ට අදාළව නුවණින් මෙනෙහි කරනවා. එවිට දරුවන් තුළ සතිය සිහිය මෝදුවෙනවා. මම පන්ති කාමරයේදී, නිවසේදී කේන්ති ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනකොට දෑත් හොඳින් සෝදාගෙනයි මල් පූජා කරන්නේ, මල් වට්ටියට පැන් ඉසලයි පූජා කරන්නේ, පරවුණු මල්, පෙති කැඩුණු මල්, බිම වැටී තිබුණ මල් බුදුන් වහන්සේට පූජා කරන්නේ නැහැ, කාටවත් ම සිත් වේදනාවක් දෙන්නේ නැහැ, හැමෝම කීකරුභාවයෙන් සතුටු කරනවා, දෙමාපියන්, මහා සංඝරත්නයට දන්පැන් පූජා කරන කොට, එම පින්කම්වලට ඍජුව ම සම්බන්ධ වෙනවා. මොකද පින්වත් දරුවන් දැන් දන්නවා කෙනෙක් ලස්සන වෙන්නේ ඉහත හේතූන් නිසාය කියලා.

දරුවෙක් ගුරුතුමාගෙන් අහනවා, ඇයි සමාජයේ මාමා කෙනෙක්, නැන්දා කෙනෙක් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වෙන්නේ, ඇයි තවත් මාමා කෙනෙක් කම්කරු රැකියාවක් කරන්නේ කියලා. එතකොට ගුරුතුමා දරුවාට කියනවා, යම් මාමා කෙනෙක්, නැන්දා කෙනෙක් උසස් වෘත්තියක් ලබන්නේ, පෙර ජීවිතයේදී මහණ බමුණන් මුණගැසෙන්න ගිහිල්ලා, ස්වාමීන් වහන්සේලා මුණගැසෙන්න ගිහිල්ලා, අසා දැනගෙන තිබෙනවා, ධර්මය කුමක්ද..? අධර්මය කුමක්ද..? කියලා, කුසලය කුමක්ද..? අකුසලය කුමක්ද..? කියලා, සුගතිය කුමක්ද..? දුගතිය කුමක්ද..? කියලා. මේවා අසා දැනගෙන, දැනගත්තා වූ යහපත් දෙයට අදාළව ජීවත්වෙලා තිබෙනවා. එහි ඵලය තමයි, මේ ජීවිතයේදී පින්වත් දරුවන් උසස් අධ්‍යාපනය තුළින් ලබන වෘත්තිය දැනුම වෙන්නේ. ඒ වගේම යම් දරුවෙක් මේ ජීවිතයේදී උසස් වෘත්තියක් නොලබන්නේ එම දරුවා පෙර ජීවිතයේදී ස්වාමීන් වහන්සේලාගෙන්, දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් යහපත අයහපත අසා දැනගෙන, ඊට අදාළව ජීවත්වෙලා නැහැ. ඒ අතීත සාංසාරික පුරුදු, පින්වත් දරුවන්ට මේ ජීවිතයේදී ඇතිවෙන්න පුළුවන්. මේ කාරණාවන් පින්වත් ගුරුතුමාගෙන් අසා දැනගත්තාට පසුව දරුවන් පුහුණු වෙනවා, ස්වාමීන් වහන්සේලාගෙන්, මහණ බමුණන්ගෙන්, දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් හොඳ නරක අසා දැනගෙන, කුසලය, අකුසලය අසා දැනගෙන දැනගත් කාරණාවන් නුවණින් මෙනෙහි කොට අයහපතින් බැහැර වී, අකුසලයෙන් බැහැර වී, යහපත ජීවිතය තුළින් ශක්තිමත් කොට ගන්න. එවිට පින්වත් දරුවන් තුළ ඊට අදාළව සතිය සිහිය මෝදු වෙනවා. එවිට එම දරුවා, අනාගතයේ නූගත්භාවයට හේතුවෙන කාරණාවලින් බැහැරවෙලා, උගත්භාවයට අදාළව ළමා ජීවිතය ශක්තිමත් කොටගන්නවා.

පින්වත් දරුවෙක් ගුරුතුමාගෙන් විමසනවා, ඇයි මාමා කෙනෙක් දුප්පත්වෙලා උපදින්නේ කියලා, ඇයි නැන්දා කෙනෙක් අල්පේශාක්‍ය හැටියට පත්වෙලා උපදින්නේ කියලා. එවිට පින්වත් ගුරුතුමා දරුවාට පැහැදිලි කොට දෙනවා, යම් කෙනෙක් දුප්පත් හැටියට, අල්පේශාඛ්‍යභාවයට පත්වෙලා උපදින්නේ පෙර ජීවිතයේදී එම පින්වතුන් තමන්ගේ වත්පෝසත්කම් නිසා, ලස්සන රූපය නිසා, උගත්කම් නිසා මාන්නයට පත්වෙලා, අහංකාරභාවයට පත්වෙලා, උඩඟුභාවයට පත්වෙලා, අනුන්ට කායිකව, මානසිකව හිංසා කිරීම නිසයි, අනුන්ව පහත් කොට සැලකූ නිසයි, පෙර ජීවිතයේදී මහා සංඝරත්නයට දන්පැන් පූජා නොකළ නිසයි, අල්පේශාක්‍යභාවය දුප්පත්භාවයට, කුලහීනභාවයට පත්වෙලා උපදින්නේ කියලා. පින්වත් ගුරුතුමාගේ හේතුඵල ධර්මයට අදාළ පිළිතුරු දැනගන්න දරුවා, එම කරුණු නුවණින් මෙනෙහි කොට, සතිය සිහිය මෝදුකොට ගන්නවා. තමා අනාගතයේ අල්පේශාක්‍යභාවයට, කුලහීනභාවයට හේතුවෙන මාන්නය, අහංකාරකම, උඩඟුකම ජීවිතයෙන් බැහැර කරනවා. හැමෝම නිහතමානී, සුවච, කීකරු, මහා සංඝ රත්නයට දන්පැන් පූජා කරන, යහපත් දරුවන් වෙනවා.

තමන් පන්තියේ පළමුවැනියාය කියලා, දුර්වල ශිෂ්‍යයන්ගේ, සිත රිදවන්නේ නැහැ. තමන් පොහොසත් කියලා, දුප්පත් ශිෂ්‍යයාගේ සිත රිදවන්නේ නැහැ. තමන් ලස්සනයි කියලා, ලස්සන අඩු ශිෂ්‍යයාට විහිළු කරන්නේ නැහැ. එම දරුවා නුවණින් මෙනෙහි කොට දකිනවා, අනුන්ව පහත් කොට සැළකුවොත්, එම ක‍්‍රියාව තමන්ගේ අනාගත ජීවිතය අල්පේශාක්‍යභාවයට, කුලහීනභාවයට පත්වීමට හේතු වෙනවාය කියලා.

පින්වත් දරුවෙක් ගුරුතුමාගෙන් විමසනවා, ඇයි කෙනෙක් නිරෝගි ජීවිතයක් ලබන්නේ කියලා. එවිට පින්වත් ගුරුතුමා කියනවා, යමෙක් නිරෝගි ජීවිතයක් ලබන්නේ, එම පින්වත් දරුවා පෙර ජීවිතයේදී සතුන්ව මරලා නැහැ. සතුන්ට හිංසාවන් කරලා නැහැ, මනුෂ්‍යයන්ට හිංසාවන් සිදු කරලා නැහැ, කේන්තිය, ද්වේශය පුහුණු කරලා නැහැ, මහා සංඝ රත්නයට, සිල්වතුන්ට දන්පැන් පූජා කරලා තිබෙන නිසයි, කෙනෙක් නිරෝගිභාවයට පත්වෙලා ජීවත් වෙන්නේ කියලා. එවිට දරුවා එම කාරණාවන් නුවණින් මෙනෙහි කරලා සතිය සිහිය මෝදු කොටගන්නවා. මම අනාගතයේ රෝගිභාවයට හේතුවෙන සත්ව ඝාතනය, සත්ව හිංසනය, මනුෂ්‍ය හිංසනය සිදු කරන්නේ නැහැය කියලා, අම්මාගේ, තාත්තාගේ, ගුරුවරයන්ගේ සිත රිදවන්නේ නැහැ කියලා. එවිට එම දරුවා කුහුඹුවෙකුට, කැරපොත්තෙකුටවත් හිංසාවක් කරන්නේ නැහැ. බිත්තියේ දුවන හූනන්ගේ වලිගය කඩන්නේ නැහැ. බල්ලන්ට, පූසන්ට ගහන්න යන්නේ නැහැ. මදුරුවෙක් ශරීරයේ වැසුවත්, එම මදුරුවා එළවලා දමනවා. හැබැයි පින්වත් දරුවන් මෛත‍්‍රිය වඩනවාය කියලා, වර්තමානයේ මදුරුවන්ට දෂ්ඨ කරන්න ඉඩදීලා බලාගෙන නම් ඉන්න එපා. එම ක‍්‍රියාව මෝහයටයි අයිති වෙන්නේ, මදුරුවාට හිංසා නොකර එළවා දමන්න. මදුරුවන් බෝ නොවන පරිසරයක් සකස්කොට ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත් දරුවන් ගුරුතුමාගෙන් නොදන්නා කරුණු අසා දැනගෙන, දැනගන්නා වූ කරුණුවලට අදාළව නුවණින් මෙනෙහි කිරීම තුළිනුයි සතිය සිහිය මෝදුකොට ගත යුත්තේ..!

තෙරුවන් සරණයි…!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “ලස්සන වෙන්න කැමති පින්වත් දරුවන්ට මෙත් සිත” ග්‍රන්ථයෙනි.

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…