පංච උපාදානස්කන්ධ ලෝකයට වැරදි කියන්න එපා.

පිංවත, සම්මා සම්බුද්ධ සාසනය තුළ අවුල්, වියවුල්, ගැටුම්, මතභේද, විවේචන තිබෙන්නට විදිහක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයයි. විනය ශිල්පද දෙසිය විස්සකින් සහ වරද නිවැරදි කරන අධිකරණයන් හතකින් ජීවය ලබන සම්මා සම්බුද්ධ ශාසනය, අපි හැමෝම චතුරාර්ය සත්‍යය අවබෝධය දක්වාම සමාධියෙන්, ප්‍රඥාවෙන්, ඥාන දර්ශනයන්ගෙන්, විමුක්තියෙන් ජීවත් කරවනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ ජීවිතය කියන්නේ මේ ඉහළට ගන්න හුස්ම පොද නොවේ. මේ ඉහළට ගන්න හුස්ම පොදත්, සිහියෙන් කළමනාකරණය කොටදෙන උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයයි. පිංවත, ප්‍රාතිමෝක්ෂ ශීලය ජීවිතය බවට පත්වෙද්දී, එම සංවරශීලී සමාධිමත් ජීවිතය ධර්මාවබෝධය දිශාවටමයි පියවර තබන්නේ. ඉන්ද්‍රීය සංවර ශීලය, ප්‍රත්‍යවේක්ෂා ශීලය, සම්මා ආජීව ශීලය අපේ ප්‍රාතිමෝක්ෂ ශීලයට කල්‍යාණ මිත්‍රභාවයෙන්මයි උපකාර කරන්නේ. පිංවත, නොවිසිරුණු සම්මා සමාධිමත් සිතක් උපත ලබන්නේ, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ මව් කුසෙන්මයි. අපේ සිත තවමත් පංච නීවරණයන්ගෙන් විසිරිලා නම් ඉන් අදහස් වෙන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ නොමේරූභාවයමයි.

පිංවත, අවිද්‍යාවෙන් උපන් පංච උපාදානස්කන්ධ ලෝකයට ඔබ වැරදි කියන්න එපා. අවිද්‍යාවේ පරම අර්ථය වෙන්නේ චතුරාර්ය සත්‍යය නොදන්නාභාවයයි. අසරණ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ පිංවත් ඔබ සරණක් නැති මනුෂ්‍යයෙක් වෙන්න එපා. අවිද්‍යාව නිරෝධය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන්කොට ඔබ සරණක් ඇති මනුෂ්‍යයෙක් වෙන්න නම්, උතුම් සම්මා සතිය ඔබ තුළ ඇතිකොට ගන්නම වෙනවා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සැකය, විචිකිච්ඡාව බැහැරකොට ධර්මය ධර්මයසේම දකින, විනය විනයසේම දකින, වරද වරදසේම දකින උතුම් සම්මා සතියයි තෘෂ්ණාවෙන් වියරු පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දැකීමට අවශ්‍ය නොවිසිරුණු සිතක උපත ලබා දෙන්නේ. පිංවත, ඔබ තුළ සත්තකින්ම සම්මා සතිය තිබෙනවා ද? ඔබ ධර්මයේ ස්වාක්ඛාත ගුණය පිළිගන්නවා ද? ඔබ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් තමා තුළින් සරලව මතුකොට දකිනවා ද? ඔබ තුළින් ඔබ දුක දකිනවා ද? දුකට එකම හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාවේ නිරෝධය, තෘෂ්ණාව නිරෝධය කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරම සත්‍යය ඔබ, ඔබ තුළින් දකිනවා ද? පිංවත් ඔබ ධර්මයේ සන්දිට්ඨික ගුණය කෙරෙහි සතිය සිහිය ඇතිකොටගත් කෙනෙක් ද? ඇයි ඔබ දුකට හේතුවෙන තෘෂ්ණාවත් සමග තවත් ප්‍රමාද වෙන්නේ? ධර්මයේ ස්වාක්ඛාත ගුණය කෙරෙහි තවමත් ඔබ පසුවන්නේ සැකයෙන් සහ විචිකිච්ඡාවෙන් නේද? පිංවත, ඔබ පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍ය දැකීමට නම්, ධර්මයේ ස්වාක්ඛාත ගුණය කෙරෙහි විශ්වාසය ඔබේ ජීවිතය තුළ අරටු බහින්නම ඕනේ. ධර්මයේ ස්වාක්ඛාත ගුණය කෙරෙහි ඔබ තුළ ඇතිකොට ගන්නා නොසැලෙන විශ්වාසයයි ධර්මයේ සන්දිට්ඨික ගුණයට ඔබ ඔබටම එලා ගන්නා පාවඩය වෙන්නේ. පිංවත, මේ උතුම් ධර්මයෝ ඔබ තුළ නිවැරදිව මෝදුකොට දෙන්නේ උතුම් සම්මා සතියේ පූජනීයභාවයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග හයකින් පෝෂණය වූ සම්මා සතිය අපි තුළ දුර්වල වෙන ප්‍රමාණයට සම්මා සමාධිය අපෙන් ප්‍රමාද වෙලා යනවා. එවිට අපි තුළ ප්‍රකට වෙන්නේ අධර්මයේ ඒහිපස්සික ගුණයයි. අපි පංච නීවරණ ඔඩුදුවන සිතින්, පංච උපාදානස්කන්ධ ලෝකය මම ය, මගේ ය, මගේ ආත්මය යැයි දකිනවා. පංච උපාදානස්කන්ධ ලෝකය සැපයි, සුභයි, නිත්‍යයි, ආත්මයි කියලාම ගන්නවා. අතීත පංච උපාදානස්කන්ධ ලෝකය සතුටින් හෝ දුකෙන් සමරණ අපි, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය තෘෂ්ණාවෙන්ම ප්‍රාර්ථනා කරනවා, වැළඳ ගන්නවා. උතුම් සම්මා සතිය නොඉපදුන ජීවිතයක උතුම් සද්ධර්මයේ අර්ථයන් සියල්ලම අකලට මැරී යද්දී, අපේම මිච්ඡා සතියට මුවාවෙලා, අපිව ජීවත් කරන්නේ, අපිට පාර කියන්නේ පංච නීවරණ ධර්මයෝ විසින්මයි.

පිංවත, අපිට යන්න දුර ගමනක් තිබෙනවා. ලෞකික ප්‍රඥාවෙන්, ශීලය, සමාධිය, විදර්ශනා ප්‍රඥාව, ඥාන දර්ශන, විමුක්තිය. පිංවත, ගමන දුර වගේ පෙනුනත්, ධර්මයේ ස්වාක්ඛාත ගුණය විසින් සියළු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින එක සිතුවිල්ලකින් තාවකාලිකව මේ දුර ගමන මේ නිමේෂයට කෙටි කරගැනීමට බුදුරජාණන් වහන්සේ මාර්ගය අපිට දේශනාකොට තිබෙනවා. පිංවත දුර ගමනක් උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් කෙටි කරදෙන අර්ථයයි ස්වාක්ඛාත ගුණය කියලා කියන්නේ. පිංවත, ඵස්සය ළඟ නැවතී මොහොතක් ඔබේ ජීවිතය තෘෂ්ණාවෙන් තාවකාලිකව හිස් කරන්න. දුර ගමන් දුවන ඔබේ ලෝකය තාවකාලිකව ඔබ ළඟම නවතීවි. ඒ නැවතුන ලෝකය ඔබ මම ය, මගේ ය, මගේ ආත්මය යැයි දකින්න එපා.

ඒ නැවතුන ලෝකය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින්න. අවිද්‍යා පච්චයා සංඛාරා, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. පිංවත, එකම එක හේතුඵල ධර්මයකින් සංස්කාර ලෝකය නිරෝධය කරන උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය සම්බුද්ධ වන්දනාවේ දී සජ්ඣායනයට පමණක් සීමා කරන්න එපා. වර්තමානයේ සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය සජ්ඣායනයට පමණක්ම සීමා වෙලයි තිබෙන්නේ. සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය අපි ප්‍රයෝජනයට ගන්නේ, අපේ සංස්කාර ලෝකය තව තවත් ගැඹුරු කරගන්න. පිංවත, ස්වාක්ඛාත ගුණයෙන් යුත් නොගැඹුරු ධර්මයක් අපේම පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන් ගැඹුරු කරද්දී, සද්ධර්මයේ සන්දිට්ඨික ගුණයට අපි ළඟ රැඳෙන්න බැරිව යනවා. සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයෙන්, සන්දිට්ඨික ගුණයෙන් අපි බැහැරට යද්දී, බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයට අපි අගෞරව කළා වෙනවා. පිංවත, ඔබ මොහොතක් දෑස් පියාගෙන ධර්මයේ ස්වාක්ඛාත ගුණය ගැන සිතන්න. ඒ සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දැකලා සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය අත්දකින්න. ගැඹුරත්, නොගැඹුරත් යන දෙඅර්ථයම නිරෝධය කිරීමේ ශක්තිය සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයට තිබෙනවා.

රෝහල් මෘතශරීරාගාරයක මරණ පරීක්‍ෂණ කරන පිංවත් දොස්තර මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මම දිනපතා මළ සිරුරු විවෘතකොට මරණ පරීක්ෂණ කරනවා. ඒත් මට රූපය පිළිබඳව අනිත්‍ය සංඥාවන් වැඩෙන්නේ නැහැය කියලා. පිංවත් මහත්තයෝ දැනුම කියන අර්ථයත්, අවබෝධය කියන අර්ථයත් අහසයි, පොළොවයි වගේ පරතරයක් තිබෙන දෙඅර්ථයක්. මළමිනියක් පරීක්ෂණයට ලක් කරද්දී ඔබ තුළ වැඩෙන්නේ තෘෂ්ණාවෙන්ම පෝෂණය වෙන දැනුමයි. මරණයට හේතු සෙවීම, කුතුහලය, තව තවත් දැනුම කෙරෙහි සක්කාය දිට්ඨියමයි වැඩි කරන්නේ. ඒ මොහොතේ ඔබ පසුවෙන්නේ පංච නීවරණයන් තුළයි. පංච නීවරණ අධර්මයෝ අධර්මයක්මයි වඩලා දෙන්නේ. ධර්මයට අදාළව අනිත්‍ය සංඥාවන් වඩලා දෙන්නේ නෑහැ. පිංවත් ඔබ දක්ෂ වෙන්න මරණ පරීක්ෂණය තුළින් ඔබ ලබන රූපය කෙරෙහි දැනුම අවබෝධයක් බවට පත්කොට ගන්න. ඔබ ලබන දැනුම අවබෝධයක් බවට පත්කොට ගැනීමට නම් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් ඔබේ ජීවිතයට එකතුකොට ගන්න ඕනේ.

පිංවත, ඔබ ජීවිතයේ අත්දැකීම් තුළින් සහ මෙනෙහි කිරීම්, පතපොතින් ශ්‍රවණය කිරීම් තුළින් ලබන රූපයේ අනිත්‍යභාවය පිළිබඳ දැනුම අවබෝධයක් බවට පත්කොටදෙන මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත, ඔබේ ජීවිතයට විදර්ශනා නුවණ මෝදුකොට ගැනීමට යන ගමනේ දී රූපයේ අනිත්‍යභාවය දැකීමට පෙර ඔබේ ඉලක්කය විය යුත්තේ ලෞකික ප්‍රඥාවයි. අධර්මයේ නොමගින්, ධර්මයේ මග මතුකොටදෙන විදර්ශනා ප්‍රඥාවට අවැසි සංස්කාරයෝ ශක්තිමත් කොටදෙන ලෞකික ප්‍රඥාවේ මව්කිරෙනුයි ඔබේ ජීවිතයට ශීලයේ සහ සමාධියේ වර්ණය සහ සැපයත්, විදර්ශනා ප්‍රඥාවේ බලයත් විකසිත වෙන්නේ.

රූපය පිළිබඳව කෙටි අනිත්‍යභාවයක් දැකීමෙන්, තම ජීවිතයට හෝ වෙනත් කෙනෙකුගේ ජීවිතයට සිදුවෙන කලකිරීම් සහගත සිද්ධියක් දකිද්දී, තම ජීවිතය ඉදිරියට බාධක පැමිණෙද්දී අපි තුළ ඇති වෙන්නා වූ අනිත්‍යයි කියන දැක්ම හෝ දැනුම අනිත්‍ය සංඥාව පිළිබඳව අවබෝධයක් යැයි සිතා අනිත්‍ය සංඥාවේ කෙටි ආශ්වාදයට රැවටෙන ගොඩාක් දෙනෙක් සමාජයේ සිටිනවා. එවැනි පිංවතුන් තමා තුළ වැඩුණ අනිත්‍ය පිළිබඳ දැනුම තුළ මම සිටිනවාය, මා තුළ අනිත්‍ය දැනුම තිබෙනවාය කියලා, දැනුම සක්කාය දිට්ඨියෙන්ම ගන්නවා. පටිච්චසමුප්පන්නව පෙර පිනකට සහ අනිත්‍ය පුහුණු කිරීම් වලට අදාළව ඔබ වර්තමානයේ ලබන අනිත්‍ය පිළිබඳ දැනුම නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය නොකිරීම නිසාම, අනිත්‍යයේ ආශ්වාදයක් බවට පත්කොට ගන්නවා. අනිත්‍ය සංඥාවේ ආශ්වාදය අපිව මිච්ඡා අධිගමයන්ට කොටු කරනවා. ඉක්මන්කාරී පැවිදි ජීවිත වලට යොමු කරනවා.

පිංවත, ආශ්වාදය කෙටියි. එහි ආදීනවය දීර්ඝයි. මෙය සටහන් තබන භික්ෂුව, තම ගිහි ජීවිතය ඉදිරියට පැමිණි කලකිරීම් හේතුවෙන් ලැබූ අනිත්‍ය පිළිබඳ දැනුම, අවබෝධයක් යැයි රැවටී, වයස අවුරුදු විසි හතරෙදියි පැවිදි වෙන්න ගියේ. එහෙත් අනිත්‍ය දැනුමේ ආශ්වාදය දශශිල් වූ ගිහි මා තුළ තිබුණේ දින දහයක් වැනි කෙටි කාලයක් පමණක්මයි. කාමරාග, පටිඝ ආදීනවයෝ මාගේ ජීවිතය තුළ නිදහස ඉල්ලා සටන් කරන්න පටන් ගත්තා. දැනුමයි අවබෝධයයි අතර පරතරය එදා මම හඳුනා ගත්තා. එදා දශශීලය පවාරණය කොට ගෙදර පැමිණි මම, දැනුම අවබෝධය දිශාවට වර්ධනය කොටගෙන පැවිදි වෙන්නේ තවත් වසර විස්සක් ගියාට පසුවයි.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.