ගෞරවනීය පිංවත, ඔබ බුදු දහම දැකලා තිබෙනවා ද? බුදු දහම යම් තැනකද එතැන ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්ත බොජ්ඣඬ්ඟයෝ, සතර සතිපට්ඨාන ධර්මයෝ, ඉන්ද්‍රීය ධර්ම, බල ධර්ම, සතර සම්‍යක්ප්‍රධාන, සතර ඍද්ධිපාද මේ සියල්ලෝම තිබෙනවා. මේ සියලු ලෞකික සහ විදර්ශනාත්මක ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය නමැති එකම අම්මාගේ පුණ්‍යවන්ත දරුවෝ. පිංවත් ඔබ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොට ගත්තොත්, මේ පුණ්‍යවන්ත දරුවන්ගේ ගුණ ඔබේ ජීවිතය තුළින් දකින්න පුළුවන්. මේ දරුවෝ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඥානයන් හේතුවෙන්ම හරිම සරලයි, මේ ජීවිතයේදීම ඔබට අත්දකින්න පුළුවන්. ඔබ මධ්‍යස්ථ වීර්යයෙන් යුක්ත නම් කල් නොයවා ඔබට සමීප වෙනවා. මේ දරුවෝ සැඟවිලා නැහැ, හරිම විවෘතයි. මේ දරුවෝ ඔබ, ඔබ තුළින් දරාගන්න, ඔබ තුළින් පෝෂණය කරන්න ඕනේ. මේ දරුවන් තුළ කිසිම භේදයක් නැහැ. ඔබ උතුම් තෙරුවන්ට අවංක නම්, මේ දරුවන් ඔබට දිවිහිමියෙන් නිවීම උදෙසාම උපකාර කරනවා. පිංවත, මේ ලෝක ධාතුවේ ඔබේ විශ්වාසවන්තම ඥාතියා ධර්මයේ ගුණයන්ගෙන් මොනවාට පෝෂණය වූ මේ උතුම් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝමය. කරුණාකර පුංචි පුංචි භව නවාතැන්පලවල නේවාසිකව නොසිට මේ උතුම් ධර්මයන් තරණය කරන්න.
පිංවත, වස්සානය උදාවෙලා සති කිහිපයක්ම ගෙවී ගිහින්. මේ සන්ධ්‍යාවේ පරිසරයම කළුවර කරලා වහිනවා. කඳු සහිත කැලෑ පරිසරයට මීදුමත් පාත්වෙලා. අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට කුටියෙන් බැහැරවීමට පෙරාතුව සිහිපත් කළා, මා විසින් අධිෂ්ඨානය කළ වස් ශීලය, මේ උදෑසන යළි ආවර්ජනය කරමියි කියලා. අපේ වස් අධිෂ්ඨානය සෑම උදෑසනකම යළි, යළිත් ආවර්ජනය කරද්දී, අපේ වස් ශීලය සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයන් තුළින් තව තවත් පෝෂණය වෙනවා. ශීලයට කන කොකා හඬන කාලයකයි, අපි මේ ජීවත් වෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයේ ජනප්‍රියභාවය දුර්වල වෙන්නේ, සම්මා සම්බුද්ධ ශාසනයේ බවබෝග සම්පත් වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ දුර්වල වෙලා යන්නේ, ස්වාභාවික සහ අස්වාභාවික අභියෝගයන් ඉදිරියේ අපි ඇලීම් සහ ගැටීම් දිශාවන්ට පලා යන්නේ, ශීලයේ ආනිසංසයන්ගේ දුර්වලභාවයන් නිසාමයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, වස්සානය අපි යළි ශීලයට පණ දෙන කාලයයි. ශීලයට පණ දෙද්දී, සමාධියේ හද ගැස්ම, පිංවත් අපිට දැනෙන්න ඕනේ. සමාධියේ හද ගැස්මයි විදර්ශනා ප්‍රඥාවේ තිඹිරිගෙය වෙන්නේ. මේ විදර්ශනා ප්‍රඥාවේ තිඹිරි ගෙදර මාරයාට පරාජිත අත්දැකීම්මයි උරුමකොට දෙන්නේ. වසවර්ති මාරයා මේ ලෝක ධාතුවේ බලයට අධිපති වුණත්, විදර්ශනා තිඹිරි ගෙදර දී උපදින සම්මා ඥාන සහ සම්මා විමුක්තිය ඉදිරියේ මාරයාගේ ඉරණම පරාජය පමණක්මයි. පිංවත, දැන් ඉතිං දුවලා සහ පුතාලා හැදුවා ඇති. අතීත සංසාරයක් පුරාවට දරුවන් කෝටි කීයක් නම් හදන්න ඇති ද? ඒ එකම දරුවෙක්වත් ඔබට අයිති නැහැ. ඒ සෑම අතීත දරුවෙක්ම ඔබලාගේ භව දුක ඇවිළුවා පමණක්මයි. පිංවත, දැන්වත් ඔබේ භව දුක නිවන, විදර්ශනා ප්‍රඥාවේ තිඹිරිගෙය තුළ උපදින සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන උතුම් දරු පැටව් දෙන්නා කුළුඳුලේ උපද්දවා ගන්න. ඒ දරු පැටව් දෙදෙනා කෙරෙහි චන්දය, වීර්යය, චිත්තය ඇතිකොට ගන්න. අනේ මම කවදාද සැබැවින්ම මට අයිති මේ දරු පැටවුන් දෙදෙනා ලබන්නේ යැයි කියලා. මනසින් මේ දරු පැටවුන් දෙදෙනා සමග ජීවත් වෙන්න. සෑම විටම ඉහත සිතුවිලි චිත්තානුපස්සනාවෙන් සහ ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කොටගන්න. පිංවත, නිවන උදෙසා නිවන සමග ජීවත් වෙන්න. නිවන ජීවිතයෙන් ඈතට දැම්මොත් ඔබ ජීවත් වෙන්නේ භවය උදෙසාමය.
පිංවත, ලෝකය හරිම ලස්සනයි. ඒ ලස්සන ලෝකය ඔබ “විඳීමෙන්” අවලස්සන කොටගන්න එපා. හේතුඵල ධර්මයන්ගේ ඇසෙන් ලෝකය දෙස බලන්න. එතකොට ලස්සන ලස්සන දේවල් ගොඩාක් ඔබට හම්බ වෙනවා. සතිය, ධම්ම විචය, වීර්යය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව. බලන්නකෝ ලස්සන දේවල් ගොඩයි. පිංවත් ඔබ ලස්සනයි කියලා ළංකරගෙන තිබෙන දේවල් සමග බලද්දී මේ ලෝකය උපද්දවා දෙන සැබෑ පිවිතුරු ලස්සන, මොනතරම් ලස්සන ද? පිංවත, මෙය සටහන් තබන භික්ෂුවගේ ශරීරය දැන් දවසින් දවස දිරා යනවා. මෙය අකලට දිරා යාමක් නොවේ. කලට දිරා යාමක්. ශරීරය දිරා යනකොට ලස්සන ලස්සන විදර්ශනා ධර්මයෝ ජීවිතය තුළින් උපදිනවා. පිංවත, දිරන ශරීරය දිරන්න දෙන්න, එවිට විදර්ශනා ධර්මයෝ ඔබ තුළින් ජීවත් වේවි.
පිංවත, මේ දවස්වල පිංවත් මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් හුඟාක් වැඩියි. ඵස්සය නිරතුරුවම තෘෂ්ණාවෙන් තෙත් කරන්නමයි හදන්නේ. කරුණාකර හැමෝටම හිස පහත් කරගෙනම ඉන්න බලන්න. අපි ජීවත්වෙන සමාජයේ ඇත්තට තිබෙන වටිනාකම ගොඩාක්ම අඩුවෙලා. ඒ නිසාමයි බොරුව හැමවිටම රජ වෙන්නේ. අපි සාධාරණය බලාපොරොත්තුවෙන් සෑම තැනකදීම අපි බොරුවෙන්ම රැවටීමට ලක්වෙනවා. පිංවත, නිහතමානීව ඔබ දෙස බලන්න. අතීතයේ අපිම දුර්වල කොටගත්තා වූ පංචශීලයේ කර්කශ මෙලොව විපාකයනුයි අපි මේ ලබන්නේ. දුකට හේතුව තෘෂ්ණාවයි කියන ඇත්ත අපේ ජීවිත වලින් ගව් ගණනක් ඈතට පළා යද්දී, අපි ළඟ ඉතිරි විය යුත්තේ දුකම පමණක් නේද? ජනතාවගේ දුක අඩු කරන්න, පාලක පිංවතුන්ලාගෙන් අතීතයේ කවදත් ඔබට ලැබුණේ තෘෂ්ණාවම නේද? තමන්ගේ අනාගත ඡන්ද පදනමේ ශක්තිය උදෙසා බොරුකීම, බොරු කිරීම, ආර්ථිකයට දරා ගන්න බැරි සහනදීම, වරප්‍රසාද ලබාදීම, මේ සියල්ලම තුළ සැඟවිලා තිබෙන්නේ දුකේ උරුමය වෙන තෘෂ්ණාවම නේද? අනේ අපි කෙසේ නම් සැපක් බලාපොරොත්තු වෙන්න ද? ආර්ථිකය බිඳ වැටුණු මේ මොහොතේ අධික ලාභ ලබමින් යම් පිරිසක් සැප ලබයි ද, ඔවුන් මේ ලබන්නේ වතුර මුට්ටිය රත්වෙන තෙක් කකුළුවා ලබන සැපය යැයි එම පිංවතුන්ලා කවදා කෙළෙසක නම් තේරුම් ගන්න ද? පිංවත, අපි සියල්ලෝම මේ දකින්නේ අතීත බොරුකීමේ සහ බොරු කිරීමේ ඒහිපස්සික, විවෘත, නොසැඟවුණ ධර්මයේ ගුණයයි. භික්ෂුව මේ ඇඟිල්ල දිගු කරන්නේ පිංවත් ඔබට නොව අවිද්‍යාවටයි. කරුණාකර, මොළය වැඩි පිරිසක් හෝ මොළය අඩු පිරිසක් නොව, අවිද්‍යාව අඩු පිරිසක් ඔබේ පාලකයන් හැටියට තෝරා ගන්න. ඒ උතුම් මෙහෙවර උදෙසා සත්‍යක්‍රියා කළ යුත්තේ, ආවේගශීලීභාවයෙන් නොව, පංචශීලයේ ශක්තියෙන්ම බව නුවණින් තේරුම් ගන්න. පිංවත, ඔබට සැබෑ සත්‍යයේ වෙනසක් අවශ්‍ය නම්, බොරුවේ මුදුන් මුල් පවා උදුරු දැමිය යුතු වෙනවා. එය සිදුකළ හැක්කේ බහුතරයක් ජනතාවගේ ශීලයේ ශක්තියෙන් මිස වෙනත් හපන්කමකින් නම් නොවන බව ධර්මානුකූලව සටහන් තබනවා. පිංවත, ඔබලා විශ්වාසයෙන් පංචශීලයෙන් අත්වැල් බැඳ ගන්න. බොරුව රජ වූ ලොවක අපි මිය යන්නට මොහොතකට පෙර හෝ පුංචි ඇත්තක් දැකලා, සියළු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින් මිය යන්නට.
පිංවත, ඔබ කණ්ණාඩි මේසය ඉදිරියට ගිහිල්ලා ඔබේ රූපය දකින්න එපා. ඔබේ රූපය තුළින් අට්ඨික සංඥාව දකින්න. එවිට ඔබ, ඔබේ රූපය තුළින් ධර්මය දැක්කා වෙනවා. ඔබේ කණ්ණාඩි මේසය ලස්සන දකින තැනක් නොව ලස්සන අවබෝධ කොටගන්නා තැනක් බවට පත්කොට ගන්න. එවිට කණ්ණාඩි මේසයත් ඔබට අජීවී කල්‍යාණ මිත්‍රයෙක්ම වේවි. පිංවත, ඔබට පෙනෙනවා නේද විඳීමේ ගිනි ගොඩවල් තුළින් ද්වේශයේ, පළිගැනීමේ, නපුරුකමේ ගිනි පුපුරු විසිවෙන ස්වභාවය. පිංවත, ධර්මයේ අර්ථයන් අතුරුදන් වී යෑමට පෙරාතුව කරුණාකර ඔබ ලෝකයෙන් නිදහස් වෙන දිශාවට යන්න. දෘෂ්ටීන්, මතවාද, බැඳීයාම් වලින් විවිධ වූ සමාජය කවදාකවත් එක මතයකට එන්නේ නැහැ. කෙනෙක් පංච උපාදානස්කන්ධ ගිනි නිවද්දී, තව කෙනෙක් එම ගිනි අවුළුවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපස්කන්ධය විඤ්ඤාණයේ ගෘහයයි කියලා. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය සහ සංස්කාරස්කන්ධය විඤ්ඤාණයේ ගෘහයයි කියලා. සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා මායාකරුවෙක්ගේ, මැජික්කරුවෙක්ගේ නිවසෙහි හැසිරෙන අපි කෙලෙසක නම් මායාවන්ගෙන් මිදී පංච උපාදානස්කන්ධ ලෝකය දෙස බලන්න ද? පිංවත, මායාකාරී විඤ්ඤාණයේ ජන්මගති අරින්න අපිට බැහැ. නමුත් ඔබට පුළුවන් මම ය, මගේ ය, මගේ ආත්මය යැයි මායාකාරී සළුපිළි පැළඳගත් විඤ්ඤාණය මුල් අදියරේ දී අඩ නිරුවත් කරන්න. ඒ සඳහා ඔබේ අවිය වෙන්නේ සම්මා සමාධිමත් සිතයි. සම්මා සමාධිමත් සිතකින් තොරව, විඤ්ඤාණයේ මායාකාරී ඇඳුම් ගලවන්න බැහැ.
පිංවත, සම්මා සමාධිමත් සිතෙන්, සතුටුවෙන ජනතාව සමග සතුටු නොවී, දුක්වෙන ජනතාව සමග දුක් නොවී සැපත්, දුකත් අනිත්‍ය වූ සංස්කාර වශයෙන්ම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාමයේ සහ රූපයේ ආශ්වාදය කෙටි බව දකිමින්, දීර්ඝ ආදීනවය කෙරෙහි කළකිරීමෙන් නිස්සරණය දෙසටම යන්න. මට මෙවැනි රූපයක් තිබෙනවා. මෙවැනි විඳීම්, සංඥාවෝ, සංස්කාරයෝ, විඤ්ඤාණයෝ තිබෙනවා යැයි නොසිතා මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයම නුවණින් දකින්න. මම මයි දක්ෂ, මම යි දන්නේ, මම යි නිවැරදි, මම යි ශිල්වත්, මම යි ධර්මය තුළ සිටින්නේ. මේ මමත්වයේ දැඩිභාවයේ අදහස් කායානුපස්සනාවෙන්ම විනිවිද දකින්න. එවිටයි ඔබ විඤ්ඤාණය නමැති මායාකරුවා සම්මා සමාධිමත් සිතෙන් දමනය කළා වෙන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2022.10.09 වන ඉරුදින දිවයින පුවත්පත.