පුංචි පාසල් දරුවෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා, ස්වාමීන් වහන්ස, මල් ගස්වල පිපෙන සමහරක් මල් හරිම සුවඳයි. නමුත් තවත් සමහර මල්වල කිසිම සුවඳක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තටම සමහරක් මල් ගොඩාක් ලස්සන වුණත්, වර්ණය සහ හැඩයක් තිබුණත්, ඒ මල්වල සුවඳ පොඩ්ඩක්වත් නැහැ. පිංවත, අජීවී බීජ නියාමයන් සකස් වෙන්නේ, සජීවී අපේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි. අනාගතයේ දවසක් ඒවි, සුවඳ පමණක් නොව ගස්වල පිපෙන මල් ද අතුරුදන් වී යන. එදාට මලක් වෙනුවට අපි දකින්නේ, තියුණු කටුවක් පමණක්මයි. තාමත් අපි සුවඳවත්, වර්ණවත්, හැඩැති, ලස්සන මල් දකින්නේ අපේම අතීත මෛත්‍රියෙන් පෝෂණය වූ ශීලයට පිං සිද්ධ වෙන්න. අපේම ජීවිත අනාගතයේ දී හිංසනයෙන් පෝෂණය වෙන දුශ්ශීලභාවයන් විසින් උදුරා ගනිද්දී, ලස්සන, සුවඳැති මල් අතුරුදන් වී තියුණු කටු පමණක් අතු අග ඉතිරි වෙනවා. පිංවත, ඔබත් සුවඳැති ලස්සන මලක් ද? එසේත් නැතිනම් තියුණු කටුවක් ද? ඔබේ හෘද සාක්ෂියට මොහොතක් තට්ටුකොට අහන්න. පිංවත, සුවඳැති ලස්සන මල් වලින් තවමත් නොඅඩු ලෝකයක පිංවත් ඔබ, දැන්ම නම් තියුණු කටුවක් වෙන්න එපා. පිංවත, මීට පස්සේ සුවඳැති වේවා, නොසුවඳැති වේවා මලක් දකිද්දී, එම මල තුළින් කර්මය කර්මඵල විශ්වාසයක්ම දකින්න.
අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයේ වැඩිය මාර්ගයේ බස් නැවතුමක පාසල් වයසේ ගැහැනු දරුවන් දෙදෙනෙක් සිටියා. උදෑසනින්ම උපකාරක පංති යන මේ දරුවෝ, වර්තමාන නිල නොවන ගැහැනු දරුවන්ගේ ජාතික ඇඳුම වන දිග කලිසමකින් සහ ටීෂර්ට් වලින් සැරසිලයි සිටියේ. දරුවන් දෙදෙනා අතේම දුරකථන. වටාපිටාව ගැන කිසිම තැකීමක් නැතිව, දුරකථන වලින් සිනාවෙවී, මිච්ඡා වාචාවන් කතා කරනවා. පිංවත් දරුවනි, ඔබලා දුරකථනයෙන් මිච්චා වාචාවන් කතා කරද්දී, ඔබලා තුළින් මුසාවාදා, පිසුණාවාචා, පරුෂාවාචා, සම්පප්‍රලාපා කියන ශිල්පද හතරක්ම දුර්වල වෙනවා. මිච්ඡා වාචාවන් තුළින් පිංවත් දරුවන් ශිල්පද හතරක්ම එකවිටම දුර්වල කරගන්නේ ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය නිසාමයි. පිංවත් ඔබ, ඔබටම හිංසා කරන්නෙක් වෙන නිසාම, ඔබ මිච්ඡා සංකප්පයන් තුළයි සිටින්නේ. දුරකථන වලින් මිච්ඡා වාචාවන් සිදුකරන දරුවන් සෑම මොහොතකම තෙරුවන්ට අකීකරු වුණා වෙනවා. පිංවත් දරුවනි, ඔබලා දුරකථන අතේ තියාගෙන සිදුකරන මිච්ඡා වාචාවන් තුළින් කෙටි ආශ්වාදයක් ලබන බව ධර්මානුකූලව ඇත්ත. ඒත් ඒ කෙටි ආශ්වාදය පසුපස දීර්ඝ ආදීනවයක් තිබෙනවා. පිංවත් දරුවන් දන්නවා ද, ඒ දීර්ඝ ආදීනවය කුමක් ද කියලා. පිංවත් ඔබලා මිච්ඡා වාචාවන්ට මුල්තැන දුන්නොත්, ඔබ තුළින් මිච්ඡා කම්මන්තයන් සිද්ධ වෙන්න පුළුවන්. මිච්ඡා කම්මන්තයන් කියන්නේ, දෙමාපියන් සහ වැඩිහිටියන්ගේ සිත් රිදවීම්, කාමයේ වරදවා හැසිරීම්, අන්සතු දෙය සොරකම් කිරීම්. පිංවත, මිච්ඡා කම්මන්තයන්ට ඔබලා යොමු වුණොත්, එයම දරුවන්ගේ මිච්ඡා ආජීවයක් වෙන්න පුළුවන්. පාසල් වයසට නොගැලපෙන මිච්ඡා ආජීවයන් නිසාම, මිච්ඡා වායාමයන් වන මෙතෙක් නොකළා වූ අකුසල් දරුවන් අතින් සිද්ධ වෙන්න පුළුවන්. මේ සියල්ල සිද්ධ වෙද්දී, ඔබේ ළමා ජීවිතය, ළමා කමින් බැහැර වූ වැඩිහිටිකරණය වූ, අධ්‍යාපනය දෙවෙනි තැනට දැමූ මිච්ඡා සතිය ඇතිවෙන්න පුළුවන්. දැන් ඉතින් ඔබේ ළඟම නෑයා මිච්ඡා සමාධිය හෙවත් පංච නීවරණයන්මයි. දරුවනි, පංච නීවරණයන් යනු අවිද්‍යාවේ එකම පෝෂක ධර්මයයි. තම අධ්‍යාපනයෙන් බැහැර අරමුණු උදෙසා දුරකථන භාවිතා කරන දරුවන් දකිද්දී, එම පිංවත් දරුවන් තුළින් භික්ෂුව දකින්නේ තෙරුවන් කෙරෙහි අසද්ධාවමයි. පිංවත් දරුවනි, කරුණාකර ඔබ, ඔබට හිංසා කරගන්න එපා. ඔබ, ඔබට හිංසා කරගත්තොත්, අනිවාර්යයෙන්ම ඔබ සමාජයට හිංසනයක්ම කළා වෙනවා.
පිංවත් දරුවනි, සංස්කාරයන් හේතුවෙන්මයි ඔබලාගේ දැනීම් සකස් වෙන්නේ. ඔබලාට පාසල් වයසට නොගැලපෙන දැනීම් සකස් වෙනවා නම් ඔබලා අයහපත් සංස්කාරයෝ යටපත් කොටදමන යහපත් චේතනාවන් ඇතිකොට ගන්න ඕනේ. තමාට වඩා ගුණයහපත් කල්‍යාණමිත්‍ර ආශ්‍රයන්ගේ සහ යහපත් ධර්මයන් නුවණින් මෙනෙහි කිරීමේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. පිංවත් දරුවනි, ඔබලා ඉපදුනේ නොමඟ යන්න නොවේ. හෙට උපදින දරු පරපුරට හරිමග කියලා දෙන්නයි. පිංවත් දරුවනි, පුංචි රාහුල හාමුදුරුවෝ සෑම උදෑසනකම වැලි අහුරක් දෝතට අරගෙන ප්‍රාර්ථනා කළේ, අද දවසේ තම දෝතේ ඇති වැලි කැට ගාණට මට අවවාද ලැබේවා කියලා. පාසල් වයස කියන්නේ අනුනට උගන්වන වයසක් නොවේ. නිහතමානීව අනුනගෙන් ඉගෙන ගන්නා වයසක්. මෙය සටහන් තබන භික්ෂුව, පුංචි දරුවෙක්ගෙන් වුණත්, අදත් යමක් ඉගෙන ගන්න කැමතියි. ඒත් මොනවා ද දරුවනි, ඔබලා අපිට උගන්වන්නේ? භික්ෂුව පුංචි කාලේ, මගේ අම්මා මට කියනවා, පුතේ ඔයාට ළඟදීම මල්ලියෙක් සාප්පුවෙන් ගෙනත් දෙන්නම් කියලා. ඇත්තටම පුංචි මම එදා සිතුවේ මල්ලියෙක් ගේන්නේ සල්ලි දීලා සාප්පුවෙන්ය කියලා. දරුවෙක් බිහි වෙන්නේ මවුකුසෙන් කියලා එදා මම දැනගෙන සිටියේ නැහැ. ඒත් වර්තමානයේ අම්මා කෙනෙක් ඉහත කතාව දරුවෙකුට කිව්වොත්, එම දරුවා කියාවි, අම්මේ මම කොණ්ඩෙ බැඳලා නැහැය කියලා. පිංවත, මහ සාගරයේ කොතනින් දිය දෝතක් ගත්තත්, ලුණු රසයි වගේම, ඕනෑම පිංවත් දරුවෙකුගේ යහපත් සහ අයහපත් හැසිරීමක් ගත්තොත්, එහි සංස්කාරයන්ගේ රසයක්මයි තිබෙන්නේ. පිංවත් දරුවනේ, සංස්කාරයන්ගේ දෙමාපියන්ට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පිංවත් දරුවන් ලොකු හෝ පොඩි කුමන වරදක් කළත්, භික්ෂුව එම වරදේ, වරද පටවන්නේ දරුවන්ට නොවේ. දරුවන් තුළ වැඩෙන අවිද්‍යාවටයි. වැඩිහිටියොත් අවිද්‍යාව නොහඳුනා ගනිද්දී, පිංවත් දරුවන් කෙසේ නම් අවිද්‍යාව හඳුනා ගන්න ද? පිංවත් දරුවනේ දුකට හේතුව තෘෂ්ණාවයි.
පිංවත්` දරුවන් ලස්සන, හැඩැති, අළුත් මෝස්තර, ඇඳුම් පැළඳුම් පළඳින්න කැමතියි නේද? ඇයි එහෙම කැමැත්තක් සකස් වෙන්නේ? දරුවන් රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව නිසා. විඳීම් සහ හඳුනා ගැනීම් වලට තිබෙන තෘෂ්ණාව නිසා. පුංචි චුල්ලපන්ථක හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ලස්සන පුංචි කමටහනක් දෙනවා. පිරිසිදු සුදු රෙදි කැබැල්ලක් අතට දීලා, එය පිරිමදින්නය කියලා. ඒ සුදු රෙදි කැබැල්ල සුදු පැහැයෙන් පිරිසිදුව දිලිසෙනවා. පුංචි චුල්ලපන්ථක පුංචිකමට දිලිසෙන සුදු රෙදි කැබැල්ල මුලින්ම අතට ගනිද්දී, රෙදි කැබැල්ල කෙරෙහි සැප වේදනාවක්මයි ඇති වුණේ. අනේ ලස්සන රෙදි කැබැල්ලක් යැයි කියලා සැප විඳීමක්මයි, සැප හඳුනා ගැනීමක්මයි පුංචි චුල්ලපන්ථක හාමුදුරුවෝ තුළ ඇති වුණේ. පුංචි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරුභාවයෙන්, දිලිසෙන පිරිසිදු රෙදි කැබැල්ල මුලින් අතට ගනිද්දී, රූපයේ ආශ්වාදය, කාමයේ ආශ්වාදය පුංචි සිතුවිලි වෙලා ගත්තා. දැන් පුංචි හාමුදුරුවෝ පිරිසිදු රෙදි කැබැල්ල දෑතින් පිරිමදිනවා. පුංචි ඇඟිලි තුඩු රෙදි කැබැල්ලේ පිරිමැදෙද්දී, එතනත් සැප වේදනාවක්මයි ඇති වුණේ. පුංචි චුල්ලපන්ථක හාමුදුරුවෝ තුළ පිරිසිදු රෙදි කැබැල්ල හේතුවෙන් දැන් සැප වේදනා ගොඩයි. පුංචි හාමුදුරුවෝ මෙතෙක් වින්ද සැප වේදනාවන් නිසාම, තම දෑතින් පිරිමදින රෙදි කැබැල්ල කෙරෙහි හොඳින් සිත පිහිටුවාගෙනයි සිටියේ. පුංචි හාමුදුරුවන්ට දැන් පෙනෙනවා, රෙදි කැබැල්ල පිරිමදින්න, පිරිමදින්න ලස්සන සුදු රෙදි කඩ පොඩි වෙලා, ඇඟිලි තුඩුවල තිබූ දහදිය තැවරිලා, ලස්සන පිරිසිදු රෙදි කඩ කිලිටි වෙලා යනවා. ගොඩාක් සැප වේදනාවන්, ඒ පුංචි සිතේ දුක් වේදනාවන් බවට පත්වෙද්දී, ඒ පුංචි සිත නැවතුනේ, ධර්මයේ උපේක්ෂාව තුළමයි. චුල්ලපන්ථක පුංචි හාමුදුරුවෝ නුවණින් මෙනෙහි කරන්නට ඇති, රූපය වෙනස් වෙලා යනවා. රූපය ඇසුරින් සකස්වෙන ඵස්ස, වේදනාවෝ වෙනස් වෙලා යනවාය කියලා. බලන්නකෝ පුංචි චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ තිබුණ දක්ෂභාවය. ඒ දක්ෂභාවයට අතීත සංස්කාර හේතුවුණ බව ඇත්ත. ඒත් ඒ දක්ෂභාවය මතුකොට දුන්නේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරුභාවයයි. දරුවනේ ඔබලාත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල පුතාගේ පමණක් පියා නොවේ. අපි හැමෝගේම මහා කරුණාවේ පිය උරුමයයි.
පිංවත් දරුවනි, ඔබලා දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, සමාජ ගුණ ධර්මයන්ට කීකරු වෙද්දී ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු වුණා වෙනවා. එයම පිංවත් දරුවන්ගේ මෛත්‍රිය වෙනවා. මෛත්‍රියට ආනිශංස එකොළහක් තිබෙනවානේ. එයම ඔබේ අනාගතය සාර්ථක කරන පිනේ ශක්තියම වෙනවා. මේ පිනේ ශක්තියට පුළුවන් ඔබව පුංචි චුල්ලපන්ථක කෙනෙක් කරන්න. පිංවත් දරුවනේ ඔබලාගේ ලස්සන ඇඳුම් පැළඳුම්, පාසල් නිල ඇඳුම්, ඔයාලගේ ලස්සන සපත්තු මේස්, ඔයාලගේ පිරිසිදු පතපොත පොඩිවෙලා, කිළිටි වෙලා, පරණ වෙලා, දුර්වර්ණ වෙලා යනවා නේද? පුංචි වයසේ දී ලස්සන, අළුත් දේවල් තුළින්, ඔබ ලැබූ සැප වේදනාවන් වෙනස් වෙලා යනවා නේද? සිහි නුවණින් පුංචි දරුවන් බලන්නකෝ, ඔබේ පුංචි ළමා ජීවිතයට සෝවාන්ඵලයට පත්වීමට හැකි කමටහන් කොතෙක් නම් පුංචි ඔබේ ජීවිතය තුළ තිබෙනවා ද කියලා. පිංවත් දරුවනේ, කිළිටි වෙන ඔබේ ලස්සන ලේන්සුව තුළින්, කිළිටි වෙන ඔබේ ලස්සන ඇඳුම් පැළඳුම් තුළින් මීට පස්සේ ඔබේ පිංවත් ළමා ජීවිතයට, නොකිළිටි විදර්ශනාමය ධර්මයක් එකතුකොට ගන්න දක්ෂ වෙන්න. පිංවත් දරුවන්ගේ කිළිටි වන ඇඳුම් සේදීම ඔබේ අම්මාට වෙහෙසක් කරන්න එපා. ඔබේ කිළිටි ඇඳුම් තුළින්, ඔබ උතුම් විදර්ශනාමය කුසල් ධර්මයන් මතුකොට ගනිද්දී, ඔබේ අපිරිසිදු ඇඳුම් පැළඳුම් ඔබටම පිරිසිදුකොට ගැනීමට අවශ්‍ය දැනීම් ඔබ තුළින්ම සකස් වේවි. පිංවත් දරුවනේ බුදුරජාණන් වහන්සේගේ මේ ලස්සන ධර්මයේ හිමිකරුවෙක් වෙන්න. ආගන්තුක නොහික්මුණු ක්‍රියාකාරකම්වල සිරකරුවෙක් වෙලා ඔබේ ලස්සන අනාගතය නිරපරාදේ අකුසලය තුළ බන්ධනාගාර ගතකරන්න එපා යැයි මෙත් සිතින් සිහිපත් කරනවා.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.