ඔබ අහිංසක ශිෂ්‍යයින්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න.

සති අන්තයේ නිවාඩු දිනවල පාසල් වයසේ දරුවන් ගොඩාක් උදෑසන පිණ්ඩපාත මඩුවට පැමිණෙනවා. සමහරක් දරුවන් පසඟ පිහිටුවලා සංඝයාට වන්දනා කරනවා. බොහෝම ඉන්ද්‍රීය සංවරභාවයෙන් සංඝයාට දන් පූජා කරනවා. පුංචි දරුවන්ගේ මේ සංවරශීලී හැසිරීම් දකිද්දී, භික්ෂුවට සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට පිළිබඳව පුංචි බලාපොරොත්තුවක් ඇති වෙනවා. සියළු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, ඒ උතුම් අනිත්‍ය ධර්මයන් අපට උගන්වන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තව තවත් දීර්ඝායුෂ ලබන්න ඕනේ. සමහරක් පුංචි දරුවන්ගේ පුංචි අහිංසක හැසිරීම් දකිද්දී, ඒ හැසිරීම් තුළ සැඟවිලා තිබෙන්නේ පෙර ජීවිතයේ පටිච්චසමුප්පන්නව පුහුණු කළ යහපත් සංස්කාරයන්ගේ රුව ගුණමයි. ඒත් අවිද්‍යාව ගැන, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාර ගැන, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය ගැන අබ ඇටයක් තරම් දෙයක් නොදන්නා, අපේ සමහරක් පාලක පිංවතුන්ගේ අධර්මයේ නොමනා පාලනයන් හේතුවෙන් මේ අහිංසක සංවරශීලී දරුවන්ගේ හෙට දවස කුමක් වේවි ද? අහිංසකයා අංගුලිමාලයෙක් කරපු ලෝකයක් තුළයි අපි ජීවත් වෙන්නේ. පුංචි දරුවනි, ලෝකය නොමනා දිශාවට වෙනස් වුවත් ඔබේ ශ්‍රද්ධාව නළියන අහිංසක සංවරශීලී හැසිරීම් වෙනස් කරගන්න එපා.

පිංවත් දරුවන්ට තව තවත් යහපතට පාර කියලා දෙන්න මහා කරුණා ගුණයෙන් පිරුණු සහ පුංචි සිත්වල හැසිරීම් ධර්මානුකූලව හඳුනන, බුදුරජාණන් වහන්සේ වර්තමානයේ ජීවමානව නැහැ. බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හැසිරීම් ඉදිරියේ, බුදුරජාණන් වහන්සේගේ කරුණාබරිත වදන් ඉදිරියේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකය නිවා ගත්ත පුංචි දරුවන් කොතෙක් නම් අතීතයේ සිටියා ද? බුදුරජාණන් වහන්සේ ජීවමානව නොමැති අද දවසේ භික්ෂු අප ඉදිරියේ ගෞරවයෙන්, සංවරශීලීව පසඟ පිහිටුවා වන්දනා කරන වර්තමාන චුල්ලපන්ථකලාට, සංකිච්චලාට, සෝපාකලාට යමෙක් නිවනට යන පාර හෝ සුගතියට යන පාර වරද්දයි ද, එය ආනන්තරිය පාප කර්මයකට මෙහා කරගන්නා වූ බලවත්ම පාපයක්ම වෙනවා. පුංචි අහිංසක, ශ්‍රද්ධාවන්ත දරුවන් ඉදිරියේ අපි අවංක වෙන්න ඕනේ. ශ්‍රද්ධාවන්ත, සංවරශීලී දරුවෙක් කියන්නේ පටිච්චසමුප්පන්නව පුහුණු කළ කුසල් ධර්මයන්ගේ ඵලයක්. පටිච්චසමුප්පන්නව කුසල් ධර්මයන් පුහුණු කළ දරුවෙක්ගේ ඒ සුන්දර, යහපත් ධර්මයන්, අධර්මයන් බවට පත්කොට දමන්න හොඳ නැහැ. පිංවත් උසස් පෙළ විභාගයට සූදානම් වෙන දියණියක්, භික්ෂුවට කියනවා, අපේ උපකාරක පංති ගුරුතුමා සෑම දරුවෙකුටම කියන්නේ මේ රටේ ඉන්න නම් හිතන්නවත් එපා. දෙමාපියන්ට බල කරලා හරි විදේශයකට පැන ගන්නය කියලා. මේ පිංවත් ගුරුතුමා අහිංසක තම ශිෂ්‍යයින්ට කල්‍යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ. නමුත් එතුමා දරුවන්ට මිත්‍රයෙක් වෙනවා. පිංවත් දෙමාපියනි, ගුරුවරුනි, ඔබ අහිංසක ශිෂ්‍යයින්ට මිත්‍රයෙක් වෙන්න එපා, කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. වැඩිවියට පත් පාසල් දරුවන් වැරදි කරනවා නම්, අකීකරුභාවයන් දක්වනවා නම්, ඊට හේතුව වැඩිහිටි අපි ප්‍රාථමික පංතිවල දී එම දරුවන්ට කල්‍යාණ මිත්‍රයෙක් නොවී, මිත්‍රයෙක් වීමමයි. පිංවත, කල්‍යාණමිත්‍රභාවයත්, මිතුරෙක්ය කියන අර්ථයත් අතර තිබෙන පරතරය දුගතියත්, නිවනත් අතර තිබෙන දැවැන්ත පරතරය වගේමයි. අහිංසක දරුවාට මිතුරෙක් වූ දිසාපාමොක්තුමා, එම දරුවාව අංගුලිමාල කෙනෙක් බවට පත්කරද්දී, ආනන්තරිය පාපකර්මය පෙනි පෙනී සිටි අංගුලිමාලට නිවනට දොර විවෘත කොටදුන්නේ බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණමිත්‍රභාවයමයි.

ගෞරවනීය දෙමාපියනි, ගෞරවනීය ගුරුවරුනි පුංචි දරුවන්ගේ සංවරශීලී අහිංසක හැසිරීම් අපිට බල කරනවා, අනේ මට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න කියලා. පසුගිය දවසක තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, අකුරු කියලා දෙන්න කියලා දරුවාව පන්සලට එවන්න කිව්වා. නමුත් සිද්ධ වුණේ එම දරුවාව අපයෝජනය කිරීමයි කියලා. පිංවත, කරුණාකර තවත් කෙනෙකුට මිත්‍රයෙක් නොවී, කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. පිංවත, ඔබ ඉපදුනේ කෝටිපතියෙක්, ප්‍රකෝටිපතියෙක් වෙලා, එම දේපල, ධනය උපාදානය කොටගෙන සතර අපායට වැටෙන්න නොවේ. පිංවත, ඔබ ඉපදුනේ ඉහල වෘත්තිකයෙක් වෙලා සතර අපායට හෝ නැවත සතර අපායට වැටෙන සුගතියට ගාල්වීමට නොවේ. පිංවත, කල්‍යාණමිත්‍රභාවය සමාජය තුළ හිඟ නම්, කරුණාකර ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වෙන මාර්ගයයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ. කල්‍යාණ මිත්‍රයා යැයි කියන්නේ, ඔබව අකුසල් මූලයන්ට යොමු කරවන කෙනෙක් නොවේ. සංසාර බිය මතුකොට පෙන්වා ඔබව අප්‍රමාදීභාවයට මෙහෙයවන පිංවතාටයි.

පිංවත, අකුසලය ඔඩුදුවන සමාජයක අපි හැමෝටම හෙට ගැන තිබෙන්නේ අවිනිශ්චිතභාවයක්. මේ අවිනිශ්චිතභාවය ඉර, හඳ, ග්‍රහ තාරකා ඔබට දුන්න දෙයක් නොවේ. ආලෝකයට අදාළ ඉර, සඳ, තාරකාත් මනුෂ්‍ය අපේම සංස්කාරයන්ගේ ඵලයන් වෙද්දී ඉර, හඳ, තාරකා කෙසේ නම් අපිට හොඳ සහ නරක දෙන්න ද? පිංවත, මේ අවිනිශ්චිතභාවය අපිම සිදුකොට ගත්තා වූ අකුසල් සංස්කාරයෝමය. සංස්කාර අයිති ඔබට හෝ අනුනට නොවේ අවිද්‍යාවටයි. පිංවත, පැමිණිල්ලක් සහ විත්තියක් නැති තැන නඩුවක් කොහින්ද? එතනම තිබෙන්නේ සිතේ සංසිඳීමයි. ඒ සංසිඳුණු සිත සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියන අර්ථය තුළ ඍජුව බැසගෙනයි තිබෙන්නේ. තෘෂ්ණාවේ ඉන්ධන හිඟ නිසාම ඵස්සය, ඵස්සය ළඟම නැවතිලා. පිංවත, ලෝකය අයිති අවිද්‍යාවට නිසාම, ලෝකයෙන් මිදීමට “අයිතිකරුවෙක්” නැහැ. ලෝකයෙන් මිදීම යනු අවිද්‍යාවේම නිරෝධයයි. මෙය සටහන් තබන භික්ෂුව අතීත භව ගමනේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙලා මට දාව උපන් දරුවෝ ලක්ෂ කීයක් නම් අවිද්‍යාවෙන් ප්‍රමාදීභාවයට පත්කරන්ට ඇති ද? පංච උපාදානස්කන්ධ ලෝකයේ නිත්‍ය, සැප, සුභ මිරිඟුව පේනවා. තෘෂ්ණාවේ තරඟයේ විරයන් කොට මගේම ලෙයින් උපන් දරුවන් ලක්ෂ කීයක් නම් සතර අපායන්හි කොටස්කරුවන් කරන්නට ඇති ද? භික්ෂුව දෑස් පියාගෙන අතීත පටිච්චසමුප්පන්න පංච උපාදානස්කන්ධ ලෝකයට සිත යොමු කරනවා. මගේම ලෙයින් උපන් දරුවන්ට පුතේ, දුවේ හොඳට ඉගෙන ගන්න, හොඳට හම්බ කරන්න, හොඳට සැප විඳින්න යැයි මාරයාගේ ජාතික ගීය ගයමින්, මගේම ලෙයින් උපන් දරුවන් මාරයාගේ වසඟයට යවපු හැටි භික්ෂුව නුවණින් දකිනවා. සත්‍යකින්ම අතීතයේ මම, මගේම රුධියට අසත්පුරුෂ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. මගේ හෘද සාක්ෂිය මට කියනවා, මම මොන අපරාධයක් ද අතීතයේ කරලා තිබෙන්නේ කියලා. පිංවත, ඒ අපරාධය නැවත මගෙන් සිද්ධ වෙන්නේ නැහැ. අතීතය සිහිපත් කරලා කරපු අපරාධයට සමාව ඉල්ලලා වැඩක් නැහැ. අතීතය පුරාවට භික්ෂුව දකින්නේ අවිද්‍යාව පමණක්මයි. අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාරයෝ, විඤ්ඤාණයෝ පමණක්මයි.

පිංවත, භික්ෂුව වයස අවුරුදු හතළිස් හතරේ දී පැවිදි වුණත්, මේ ජීවිතයේ දී මට මගේම ලෙයින් උපන් දරුවන් නැහැ. නමුත් භික්ෂුව හොඳාකාරවම දන්නවා, මේ සටහන කියවන ඔබ, තෘෂ්ණාවේ වියරු තරඟයට යොමුකොට, මා විසින්ම භව ගමනේ ප්‍රමාදීභාවයට පත්කළ, මගේම ලෙයින් උපන් අතීත දරුවෙක්ය කියලා. කල්‍යාණමිත්‍ර ආශ්‍රය මගහැර, ධර්මයේ අර්ථයන් නොතැකූ නිසාම, ඉබාගාතේ ඉබි ගමනින් පැමිණි අවිද්‍යාවේ දිය සීරාව ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකේ මහා සාගරයක් බවටම පත්වෙද්දී භික්ෂුව මේ ජීවිතයේ දී ඔබට දිගු කරන මේ දෑත අවිද්‍යාවෙන් ඔබව තවදුරටත් පෙලන දෑතක් නම් නොවේ. අතීත භව ගමනේ අම්මෙක්, අප්පෙක් වෙලා මගේම ලෙයින් උපන් දරුවන්ට මම දේවත්වයෙන් ඉගැන්වූ අවිද්‍යාවේ බොරුව, විද්‍යාවෙන් විවෘතකොට පෙන්වන මගේම දරුවන්ට අතීතයේ මා කළ වරදට වන්දි ගෙවන බුදුරජාණන් වහන්සේගේ සැබෑම කල්‍යාණමිත්‍රභාවයයි කරුණාවෙන් ඔබට මේ සටහන් තබන්නේ. පිංවත, මේ සටහන භික්ෂුව තබන්නේ ඔබට කියවන්නට පමණක් නොවේ, ඔබට සිහි නුවණින් මෙනෙහි කරන්නටයි. තවදුරටත් අපි අපේම රුධිරයට, “අවිද්‍යාව” දේවත්වයෙන් සරණකොට දෙනවා ද?

අපේම රුධිරය, තෘෂ්ණාවේ මහා තරඟයට යොමුකොට මෙලොව තාවකාලිකව දිනා පරලොව දුකේ ඛේදවාචකයක් බවටම පත්කොට දෙනවා ද? පිංවත, බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි පුතාට දුන්න මහා කරුණාවේ දායාදයත්, පිංවත් ඔබ ඔබේම දරුවාට දෙන දායාදයත් යනු විද්‍යාවත්, අවිද්‍යාවත් අතර තිබෙන නිරෝධයේ සහ දුකේ පරතරයමය.

පිංවත, ඔබ ආදරයට ආදරය කරන කෙනෙක් ද? එසේත් නැතිනම් අනාදරය ඉදිරියේ අනාදරයෙන්ම පිළිතුරු දෙන කෙනෙක් ද? ආදරයට ආදරය කරන්න කාට බැරි ද? අනාදරය ඉදිරියේ ගැටෙන්නත් කාට බැරි ද? මේ දෙයාකාරයේ ධර්මයෝම ඇලීම් සහ ගැටීම් ලෝකයයි. ලෝකයෙන් මිදීම දෙසට ඉව අල්ලන්නා, ආදරයත්, අනාදරයත් යන දෙඅර්ථයම අනිත්‍ය වී යන සංස්කාරයක් වශයෙන්ම දකිමින් ආදරයත්, අනාදරයත් කෙරෙහි නොඇලී, නොගැටී ධර්මයේ උපේක්ෂාවම ජීවිතයට එකතුකොට ගන්නවා. පිංවත, ඔහුයි මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ආදරයත්, අනාදරයත් යන අර්ථයන් දෙකම දිනූ සැබෑම ආදරවන්තයා වෙන්නේ. ඔහු ලෝකය දකින්නේ ආදරය හෝ අනාදරය හැටියට නොවේ. අවිද්‍යාවේ මිරිඟුව හැටියටමය.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.