අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ.

පිංවත, මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත් වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්‍ය වූ රූපයක් හේතුවෙන් සකස්වුණ අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැක භික්ෂුව පිංවත් ඔබව අමතක කොට දැම්මා. පිංවත් ඔබව අමතක කළාය කියලා, ඔබ භික්ෂුව සමග අමනාප වෙන්න එපා. භික්ෂුව ඔබව අමතක කළේ පිංවත් ඔබට ලිපිය ආරම්භයේදීම විදර්ශනාමය අත්දැකීමක් ලබා දෙන්න. පිංවත් ඔබත් ඒ විදර්ශනාත්මක අත්දැකීම ඔබේ ජීවිතයට එකතුකොට ගන්න. ඔබට දැනෙන භික්ෂුව පිළිබඳ මතකය අනිත්‍ය වූ රූපයක් ඇසුරින් සකස් වූ අනිත්‍ය වූ ඵස්සයක් යැයි නුවණින් දකිමින්, භික්ෂුව තුළින් ධම්මානුපස්සනාවට පණ දෙන්න. පිංවත, ‘දිවයින ඉරිදා සංග්‍රහය’ තුළින් අපි ගෞරවයෙන් මුණ ගැසුණේ, ලෝකය වගා කරන්න නොවේ. ලෝකය නිරෝධය කරන්න. අපි ගෞරවයෙන් මුණ ගැසුණේ භව ගමනේ තවත් ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී මරණයක පරාජිත හිමිකරුවෙක් වෙන්න නොවේ. මෙතෙක් බැඳුණු අත්වැල් ලිහාගෙන සතර අපා දුකෙන් නිදහස් වීමටයි.

පිංවත, අපිට ජීවත් වෙන්න ඉතිරි වෙලා තිබෙන්නේ තව බොහෝම කෙටි කාලයයි. කැලැන්ඩරයේ පිටු අපේම සංස්කාර විසින් බොහෝම වේගයෙන් පෙරළනවා. පිංවත, ඔබේ ජීවිතයෙන් සියල්ල පැත්තකින් තියලා, අප්‍රමාදීභාවය ජීවත් කරවන්න. ප්‍රමාදය වහ වහා සතර අපා ගිනි ඇවිලෙන සුළුයි. අතීතයේ පටිච්චසමුප්පන්නව ගෙවා දැමූ දුර මෙපමණ යැයි කියන්න බැරුවා වගේම මේ ජීවිතයේ දී අපිට වැරදුණොත් අනාගත භව දුක මෙපමණ යැයි කියන්න බැහැ. පිංවත, පංච නීවරණ අඩ නින්දේ ආශ්වාදයේ පාට පාට සිහින දැක්කා දැන් හොඳටෝම ඇති. පංච නීවරණයන්ගෙන් නිදිබර ඔය විඳීමේ මුහුණ සති සම්බොජ්ඣඬ්ඟයේ පිරිසිදු දියෙන් තෙමා ගන්න. පංච නීවරණ අඩ නින්දෙන් අවදි වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කහවනු වැස්සක් වැස්සත් පිංවත් මනුෂ්‍යයා සෑහීමකට පත්වෙන්නෙ නැහැය කියලා. පිංවත, සමාජයෙන් පූර්වාදර්ශ බලාපොරොත්තු වෙන්න එපා. නොසෑහීම තුළ ඔබ තවත් ප්‍රමාදයට පත්වේවි. ස්වාක්ඛාත ආදී වූ සද්ධර්මයේ උතුම් අර්ථයන් පූර්වාදර්ශයට ගන්න. අවිද්‍යාව ශක්තිමත් වෙද්දී, සංස්කාරයෝ හරිම මුරණ්ඩුයි. ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය නොවූ මුරණ්ඩු සංස්කාරයෝ විඤ්ඤාණය නමැති වධකයාට ජවය දෙද්දී, සමාජය කල්‍යාණමිත්‍ර ආශ්‍රය දෙවෙනි තැනට දමා ජීවිතය ළඟට ගන්නේ, කාමච්ඡන්දයන් ප්‍රවර්ධනය කරන අසත්පුරුෂ ආශ්‍රයන්මයි. පිංවත, ලෝකය මේ යන්නේ කවදත් ලෝකයට සුපුරුදු ගමන. නොවෙනස්වන ලෝකය ඉදිරියේ පිංවත් ඔබ වෙනස් විය යුතුයි. පිංවත, බලවත් දෘෂ්ටීන් හැට දෙකක් මැද බුදුරජාණන් වහන්සේගේ අයෝමය ඥාන ශක්තියෙන් අපිව වෙනස් කළා. ගෞරවනීය පිංවත, මේ වෙනස්වීමට ඔබේ යහපත් සංස්කාරයෝ හොඳින් මෝරා ඇති කාලයයි.

පිංවත, අපේ හමුවීම ආදරණීය හමුවීමක් නොවේ, ගෞරවනීය හමුවීමක්. පිංවත, අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ, බැඳීම් ලිහෙන හමුවීමක්. පිංවත, අපේ හමුවීම බොරුව දකින හමුවීමක් නොවේ, සත්‍යය දකින හමුවීමක්. අපි මේ යන්නේ රූපයේ නිරෝධය සොයාගෙන. රූපයේ සමුදය සොයාගෙන නොවේ. අතීතයේ වැඩසිටිය උතුම් රහතන් වහන්සේලාට වගේම, අපිටත් අනාගතයේ දවසක් එනවා, අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයනුත් අපිට කරදර නොකරන. රූපයේ අවිද්‍යාව තිබෙන තාක්කල් අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයනුත් අපිට ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්ගෙන් කරදර කරනවා. එවිට ආර්ය විවේකය තබා හුදු විවේකයත් අපිට නැතුව යනවා. අපි කවදාකහරි රූපයේ අවිද්‍යාව නිරෝධය කරද්දී, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ වධක විෂ දළ මරා දමනවා. එවිට විඤ්ඤාණය ආර්ය ප්‍රඥාවේ අණසකට යටත්, දුක වගා කරන බීජ නූපදවන තවදුරටත් අතීත සංස්කාරයන්ගේ පිහිටෙන් ආයුෂය සහ උණුසුම ඇසුරේ ක්‍රියාත්මක වෙන නාමික අරූපි ධර්මතාවයක්ම වෙනවා.

පිංවත, ඔබේ ලෝකයට හෙට හිරු වෙනදා වගේම උදා වුණත්, අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙන ඝනාන්ධකාර රාත්‍රියක. මේ අඳුරේත් පංච නීවරණයෝ අපේ ජීවිත තුළ හොල්මන් කරනවා, තෘෂ්ණාවට ආහාර සොයාගෙන. පිංවත, ඔබේ ජීවිතය සප්ත බොජ්ඣඬ්ඟයන්ගෙන් ආලෝකමත් කරගන්න. සප්ත බොජ්ඣඬ්ඟයන්ගේ සුවඳ ඔබේ ඵස්සය මත තවරා ගන්න. ඔබේ පෙර පින නිසාම ඔබ ගොඩාක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් ටිකක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ලස්සන කාට ආඩම්බරකම් පෙන්නුවත් ජරා, ව්‍යාධි, මරණ ඉදිරියේ ලස්සනට පසු බසින්නම සිද්ධ වෙනවා. පිංවත, ඔබත් ලස්සන කෙනෙක් නම් ඔබම සිතලා බලන්න ඔබ තුළ තිබෙන ලස්සන පංච නීවරණ ලස්සනක් ද එසේත් නැතිනම් සප්ත බොජ්ඣඬ්ඟ ලස්සනක්ද කියලා. ඔබ ළඟ තිබෙන්නේ කාමච්ඡන්දයන් පෝෂණය කරන, රූපය මෝස්තරකරණය කරන කෘතිම ලස්සනක් නම් එම ලස්සන අයිති වෙන්නේ පංච නීවරණයන්ට. පංච නීවරණ ලස්සන තුළ ඇලීම් සහ ගැටීම් ගොඩාක් බහුලයි. ඒ නිසාම ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරෙන සිත්, සැකය ඔබේ විඳීම් අපවිත්‍ර කරනවා. රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය වැඩිවෙනකොට ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමේ, මෝස්තරකරණය කිරීමේ මානසික ව්‍යාධිය උත්සන්න වෙනවා. එවිට රූපය දකින්නේ රත්තරන් හැටියට. යම් පිංවතෙක් රූපය රත්තරන් හැටියට දකිද්දී, එම පිංවතා තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය පරණ යකඩ තත්ත්වයටම පත්වෙනවා.

පිංවත, විඤ්ඤාණය නමැති වධකයා ඔබට දැනීම් සකස්කොට දෙන්නේ රූපය විඳින්නය කියලා. රූපය වින්දොත් අනාගත භවය උදෙසා සංස්කාර රැස්වෙන බව අවිද්‍යාව විසින් අපිට වසන් කරලා තිබෙන්නේ, අවිද්‍යාවෙන් පෝෂණය වෙන විඤ්ඤාණය නමැති වධකයා ඔබට දැනීම් සකස්කොට දෙන්න පුළුවන්. මෙච්චර ලස්සන රූපයක් ඔබට ලැබිලා තිබෙන්නේ, එම රූපය සිල් සමාදන් කරවන්න, භාවනා කරවන්න නොවේ, රූපයේ ආශ්වාදය විඳින්නය කියලා. පිංවත ඔබේ පෙර පිනට ලැබුණ රූපය විඳින්න ගිහිල්ලා ජීවිතය අපායක් කරගන්න පිංවත් මනුෂ්‍යයෝ ඔබ දැකලා තිබෙනවා ද? තාරුණ්‍යයේ සුසිනිඳු මල් පෙති කැඩී බිඳී ගිහිල්ලා, විවාහ ජීවිත අසාර්ථක වෙලා, කායික වශයෙන් සම රැළි වැටිලා, අකලට හිසකෙස් හැලිලා, ශරීරයේ වා, පිත්, සෙම් කිපීම නිසාම බලවත් කර්ම රෝග හැදිලා පිංවත දුකෙන් උපන්, පිනෙන් පෝෂණය වූ රත්තරන් යැයි සිතූ ශරීරය ඉස්තරම් කරන්න ගිහින් ඔබේ ශරීරය දැන් ඔබටම අපායක් වෙලා නේද? මෙවැනි අපායන් ඔබ සඟවාගෙන සිටියත් ධර්මයට හොඳින් පෙනෙනවා. ධර්මය විවෘතයි, ධර්මය ඒහිපස්සිකයි.

පිංවත, පංච නීවරණයන්ගෙන් පෝෂණය කරගන්නා ලස්සන, වයසට යනකොට ශෝක, පරිදේවයෝ දෙගුණ තෙගුණ වෙනවා. ඒ නිසාම පංච උපාදානස්කන්ධ දුක වැඩි වෙනවා. රූපය මගේ කොටගෙන තෘෂ්ණාවෙන් රූපය උපාදානය කොටගත් පිංවතුන් මරණාසන්න මොහොතේ, මගේ කොටගත් රූපය අතහැර යන්න අකමැති වෙනවා. මරණය ගැන කතා කරන්න, මරණය ගැන සිතන්න බිය වෙනවා. පංච නීවරණ ලස්සන ජීවිතයට ළංකොටගත් දැනට කර්ම රෝගයකින් පෙළෙන පිංවත් මැදිවියේ මහත්මියක් තම හිතමිතුරන්ට කියනවා, මොනවා කතා කළත් කමක් නැහැ, මරණය ගැන නම් කතා කරන්න එපාය කියලා. මරණය පැමිණියත් රූපය අතහරින්න කැමති නැහැ. පංච නීවරණ මෝස්තරකරණයේ ලස්සන ජීවිතයේ අවසන් කාලයට සිදුකරන විනාශය පෙනෙනවා නේද? ඔබ, ඔබේ මරණාසන්න මොහොතේ ඔබේ රූපය දාලා යන්න අකමැති කෙනෙක් නම්, සිහිමුළා වූ මරණයකින් පසුව, ඔබේ රූපය මිහිදන් කළ සුසාන භූමියම, මිනී වළම උපාදානය කොට ඉපදෙන අමනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. පිංවත, මෝස්තරකරණය සීමාව ඉක්මවා යන්න එපා, මධ්‍යස්ථ වෙන්න. දෙතිස් කුණපයක් බාහිරින් ලස්සන කරන, හැඩවැඩ කරන, අතපය පුම්බන මෝහයේ මල් වැසි වලට තෙමෙන්න එපා. තෘෂ්ණාව බැඳීයාම් වලට මුලයි, බැඳීයාම් භවයට මුලයි, භවය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට මුලයි. මේ සියල්ලේම මුදුන් මුල අවිද්‍යාවයි.

කවදාහරි දවසක මරණාසන්න මොහොතේ රූප උපාදානයෙන් ඔබේ සිත කලබල කරන පංච නීවරණ ලස්සනින් බැහැර වෙලා සප්ත බොජ්ඣඬ්ඟන්ගෙන් ඔබේ ජීවිතය ලස්සන කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, සතියෙන් ඔබේ ජීවිතය ලස්සන වෙනකොට ඔබ ලබන්නේ සම්මා ප්‍රීතියක්මයි, සම්මා පස්සද්ධියක්මයි. සප්ත බොජ්ඣඬ්ඟ ලස්සනේ දී ඔබ ලස්සන කරන්නේ ඔබේ චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සතිය සිහියයි. ඔබ ජරා, ව්‍යාධි, මරණ දුක දැක්ක කෙනෙක්. දුකට හේතුව තෘෂ්ණාව යැයි දැක්ක කෙනෙක්. ඒ නිසාම ඔබේ පිංවන්ත ජීවිතය ගමන් කරන්නේ දුකට නැවතීමක් තබන ආර්ය අෂ්ටාංගික මාර්ගය දිගේමයි. පිංවත, මුදුන් මුල් නැති, සිවුපසයේ කිරිමුල් වලින් පමණක් පෝෂණය වෙන, අපේ ගෞරවනීය හමුවීම, සියළු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින විදර්ශනාමය හමුවීමක්ම වේවා!

අපිව මෙත් සිතින් එක්කළ ‘ඉරිදා දිවයින සංග්‍රහය’ට මේ පිං අයිති වේවා!

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ

උපුටා ගැනීම – 2022.11.06 වන ඉරුදින දිවයින පුවත්පත.