අවිද්‍යාවේ හැඩය තේරුම් ගන්න.

පිංවත, අතීත, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ පරාජයෙන් හෙම්බත්ව අපගේ ඵස්සයේ අවිද්‍යාව තව තවත් ජවසම්පන්න කරද්දී, සියල්ලම පරාජය වෙච්ච සමාජයක, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියන එකම ධර්මය පමණක්ම අපරාජිතව අපි ඉදිරියේ වැඩ සිටිනවා. පිංවත, හෙට දවසේ ඔබ කුමන නැවුම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වුව ද, ඒ ජයග්‍රහණයන් අනිත්‍ය වී යන සංස්කාරයක් පමණක්මයි. පිංවත, අපි මේ කරන්නේ, බුදුරජාණන් වහන්සේ එපා කියපු දෙයක්. නොහැදෙන ලෝකයක් අපි හදන්න යනවා. සංස්කාරයෝ කැඩෙන, බිඳෙන, විසිරෙන වේගයෙන්ම කැඩී, බිඳී, විසිරී යන පංච උපාදානස්කන්ධ ලෝකය කෙලෙසක නම් නොකැඩී, නොබිඳී, අපරාජිතව පවත්වාගෙන යන්න ද? පිංවත, ඇත්ත තිත්ත බව ඇත්ත. වර්තමාන සමාජයේ බොරුව හරිම මිහිරි බවත්, ජනතාවට බොරුව හරිම ලෙන්ගතු බවත් ඇත්ත. වියරු අවිද්‍යාව අපේ ලේ නහරවල් වලට කිඳා බැස්ස සමාජයක, වර්තමානයේ භික්ෂුවට ලියන්න ඉතිරි වෙලා තිබෙන්නේ, සියලූම සංස්කාරයෝ අනිත්‍යයි කියන අපරාජිත ධර්මය පමණක්මයි.

පිංවත, පංච උපාදානස්කන්ධ ලෝකයට ඉදිරියට යන්නට ඉඩ දීලා ඔබ නවතින්න. චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ඇත්ත නොඅසන මේ සමාජය අකුසල් සංස්කාරයෝ විසින් මෙහෙයවන ඉරණම් ගමනක් මේ යන්නේ. මේ අකීකරු ඉරණම් ගමනේ දී, වැඩියෙන්ම විනාශයට ලක්වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්මයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අනතුරට ලක් වෙද්දී, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයම දුර්වල වෙලා යනවා. සමාජගත වී ඇති ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ට එකම හේතුව තෘෂ්ණාව යැයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්ම අපිට දේශනාකොට තිබියදීම, අපේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ, ඵස්සයෙන් ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර අපි හැමෝම තබාගෙන තිබෙන පුංචි බලාපොරොත්තුවත් විනාශකොටගෙනම, අනාගත පංච උපාදානස්කන්ධ දුක් සාගරය අකුසලයෙන්ම පෝෂණය කරනවා. පිංවත, දුක් වෙන්න හෝ සතුටු වෙන්න දෙයක් නැහැ. මෙයයි අපිම අවිද්‍යාවේ තීන්තෙන් ලියූ සංස්කාර නවකතාව. මේ සංස්කාර නවකතාවේ ඔබ කැමති චරිතත්, ඔබ අකමැති චරිතත් තිබෙනවා. කැමැත්ත සහ අකමැත්ත කියන්නේ අවිද්‍යාවේම නිවුන් දරුවෝ. අපි අවිද්‍යාව තුළ සිටිමින්ම, තාමත් අපි අනුනගේ අවිද්‍යාව ගැන කතා කරනවා. අවිද්‍යාවේ රූකඩය වන විඤ්ඤාණය නමැති මැජික්කරුවා, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම මනුෂ්‍යයෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන ධර්මානුකූල ඇත්ත, අපේම සක්කාය දිට්ඨියේ දුහුල් සළුවෙන් වසා, අපි පෙළෙන බරපතළ මානසික ව්‍යාධීන්ට ධර්මානුකූල ඖෂධ නොගන්නා නිසාම, සමස්ත සමාජයම ඉහත රෝගී මානසිකත්වයෙන් ඔත්පලව අධර්මයේ අපත්‍ය ආහාරයන්ට තව තවත් විඳීමේ විෂම රස නහරයන්ට ලබා දෙනවා.

අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදැනීම වුවත්, පිංවත් අපේ අවිද්‍යාව තුළ පංච නීවරණ ධර්මයන්, තෘෂ්ණාව, අතීත සංස්කාරයෝ, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය යන මේ සියළු ධර්මයෝ පදංග වශයෙන් බැසගෙන තිබෙනවා. ඒ නිසාම අපේ අවිද්‍යාව හරිම ගොරහැඬියි. ඒ නිසාම අපේ අවිද්‍යාවේ හැඩය කියවලා තේරුම් ගන්න, ශ්‍රවණය කරලා තේරුම් ගන්න, අවිද්‍යාව විසින්ම ඔබට ඉඩ දෙන්නේ නැහැ. අවිද්‍යාවේ හැඩය තේරුම් ගන්න නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයෙන් පෝෂණය වූ නිවැරදි සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතුකොට ගන්නම ඕනේ. එවිටයි ඔබ දකින්නේ, අවිද්‍යාව කියන්නේ පිස්සන් කොටුවක්ය, ඒ පිස්සන් කොටුවේ ජීවත්වෙන පිස්සන් අපිය කියලා. අසීමාන්තික තෘෂ්ණාව, අසීමාන්තික ඇලීම් සහ ගැටීම්, ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය නොවූ අසීමාන්තික අතීත පින අපේ මානසික ව්‍යාධීන් දෙගුණ, තෙගුණ කොටදෙනවා. පිංවත, මේ ඇත්ත ගැන ධර්මානුකූලව සිතන්න. සිතට විවේකයක් අවශ්‍යයි. සත්තකින්ම විවේකයට ගරු කරන පූර්වාදර්ශී සමාජ නායකයින් අවශ්‍යයි. රාත්‍රී පැදුරු සාදයෙන්, නුවරඑළිය ශීතලෙන් විවේකය සොයන මිච්ඡා නායකයින් අපි හැමෝගේම අවිද්‍යාව කාර්යබහුල කොට තිබෙනවා. අපි මේ අවිවේකයෙන් තව තවත් සොයන්නේ අවිද්‍යාවමයි. මැරෙන බව නොසිතෙන, මැරිලා නැවත පටිච්චසමුප්පන්නව උපදින බව නොසිතන, කර්මය කර්මඵල විශ්වාසයේ ගෙල සියතින්ම සිඳ දැමූ, ලෞකික ප්‍රඥාව වඳ බැහැපු සමාජයක, විවේකයට ගරු කරන පිංවත් ඔබට ලොකු ධර්මානුකූල වගකීමක් පැවරිලා තිබෙනවා. ඒ වගකීම තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ ඇත්ත වන, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි සමාජගත කිරීම. අවිද්‍යාවෙන් අන්ධ දෑස් සමාජගත වී ඇති ජනතා දුක් කඳුළු තුනී කිරීම උදෙසා බලකාමී තෘෂ්ණාවමයි ප්‍රයෝජනයට ගන්නේ. ඒ නිසාම ප්‍රශ්න දවසින් දවස ඔඩු දුවනවා. අපි තුළ ක්‍රියාත්මක වෙන ඒකාධිපති තෘෂ්ණාව හෙවත් සක්කාය දිට්ඨිය, යමක් ලැබෙන අවස්ථාවේදීම එය ප්‍රතික්ෂේප කරලා, එය නොලැබෙන අවස්ථාවේදී එය ලබා ගැනීම උදෙසා අකුසල් වඩමින් සටන් කරනවා. අනේ අපි කවදා ද තෘෂ්ණාවේ හැඩරුව හඳුනා ගන්නේ? අනේ අපි කවදා ද සක්කාය දිට්ඨියේ කිරුළ හිස මතින් බිම තබා, ලෝකයා ඉදිරියේ නිහතමානී වෙන්නේ? පිංවත, ඔබට පුළුවන් ද සිතන්න, මාගේ ජීවිතය සියලූම සත්ත්වයින්ට දෙවෙනි වේවා. මාගේ ජීවිතය සියලූම සත්ත්වයින්ට පාපිස්නාවක් වේවා. ඒ පාපිස්නාවේ සියලූම සත්ත්වයෝ දෙපා පිසිත්වා. ඒ පාපිස්නාව බාහිර සතර මහා ධාතුවටම මුහු වේවා යැයි නිහතමානීභාවයේ හෘදසාක්ෂියටම ඔබේ ජීවිතය තුළින් කතා කරන්න. ඒ නිහතමානීභාවයේ හෘදසාක්ෂියට ඔබ මෙතෙක් ඔබේ ජීවිතය තුළින් කතාකොට නැතිනම්, කරුණාකර දැන්වත් ඔබ කතා කරන්න. පිංවත, පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාව නිවා දැමූ සැබෑ නිහතමානීභාවයේ හෘදසාක්ෂියට පුළුවන්, ඔබේ අධ්‍යාත්මික සතර මහා ධාතුව, බාහිර සතර මහා ධාතුවටම මුහුකොට දකින්නට.

පිංවත, මේ නිමේෂයේ දී ඔබ ජීවත්වෙන සමාජයේ අපරාජිතව වැඩ සිටින්නේ උතුම් ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ පමණක්මයි. කාට බොරු කළත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට, පටිච්චසමුප්පාද ධර්මයන්ට, පංච උපාදානස්කන්ධයෝ අනිත්‍යයි කියන ධර්මයට බොරු කරන්න බැහැ. පිංවත ඔබ ඉදිරියේ තිබෙන පරාජිත ලෝකය හමුවේ, ඔබට විශ්වාසය තැබිය හැකි අපරාජිත කල්‍යාණ මිත්‍රයා මේ උතුම් සද්ධර්මයේ අර්ථයන් පමණක්මයි.

පිංවත, අවිද්‍යාවේ අසිහියෙන්, තෘෂ්ණාවේ ජවයෙන් දුවන ලෝකය ඉදිරියේ ඔබ නවතින්න. දුවන ලෝකය ඉදිරියේ ඔබ නවතින්න. දුවන ලෝකය ඉදිරියේ ඔබ නොදුවන කෙනෙක් වෙන්න. එතැනයි සද්ධර්මයේ ඇත්ත දකින විවේකය තිබෙන්නේ. මේ වැසිබර නව යොවුන් රාත්‍රියේ කුටියේ දොර ජනෙල් වසාගෙන භික්ෂුව ඉහත විවේකය හොඳින්ම අත්විඳිනවා. භික්ෂුවගේ ජීවිතයට උදාවුණ තවත් අළුත් වස්සානයක්. වස් අධිෂ්ඨාන කරලා, මේ ගෙවී යන්නේ හත්වෙනි දවස. පරිසරය වෙලාගෙන තිබුණ කටුක වියලි කාලගුණයට මොහොතක් විරාමයක් තබලා, මේ රාත්‍රියේ මහා වැස්සක් වහිනවා. වැස්ස සහ වස්සානය නිවුන් දරුවන් වගේමයි. මේ උදාවුණේ භික්ෂුවගේ පහළොස්වෙනි වස්සානය. පිංවත් ඔබට සිතෙනවා ඇති, ගෙවීගිය වසර දහහතර පුරාවට භික්ෂුව ළඟ ගොඩාක් මතක සටහන් ගොඩ ගැසිලා තිබෙනවාය කියලා. සත්‍යකින්ම භික්ෂුව ළඟ ඉතිරි වෙලා තිබෙන්නේ, සියළු සංස්කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි කියන ධර්මතාවය පමණක්මයි. ගෙවීගිය දහහතර වස පුරාවට භික්ෂුවට ඵස්සය වූ සෑම අධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයක්ම අනිත්‍ය වෙලා ගිහිල්ලා. ගෙවීගිය අතීතය තුළ භික්ෂුව තම සාමීචිපටිපන්න ගුණයට අදාළව ගොඩාක් දේවල් සිද්ධ කළා. ඒත් ඒ කිසිවක මම ය, මගේ ය, මගේ ආත්මය යැයි ගන්න මුකුත්ම ඉතිරි වෙලා නැහැ. පිංවත් ගිහි සහ පැවිදි පිංවතුන්ලාගේ ජීවිත වලට එකතුකොට දුන්න, අනිත්‍ය වී යන කුසල් සහ අකුසල් සංස්කාර ගොඩක් පමණක් භික්ෂුවට පෙනෙන්නට තිබෙනවා. මම ය කියලා අල්ලන්න, මම ය කියලා එල්ලෙන්න, මම ය කියලා බැසගන්න තැනක් හෝ නොතැනක් ඉතිරි වෙලා නැහැ. වස්සානයට අදාළ මේ පංච උපාදානස්කන්ධය සිහි නුවණින් දකිද්දී, භික්ෂුව ළඟ පෙනෙන්නට තිබෙන්නේ නිහතමානීකම පමණක්මයි. සුන්දර වස්සානය උපසම්පදා භික්ෂු අපේ ජීවිත වලින් කෙලෙස් ධර්මයන් හිස් කරනවා. මේ සුන්දර වස්සානයේ අපේ සුපටිපන්න ගුණයට, උජුපටිපන්න ගුණයට, ඥායපටිපන්න ගුණයට විදර්ශනා ප්‍රඥාවේ මල් වැසි වැස්සොත් පමණක්මයි, අපේ සාමීචිපටිපන්න ගුණය උතුම් සද්ධර්මයේ අර්ථයන්ට පූර්වාදර්ශී වෙන්නේ. උතුම් සද්ධර්මය අපි ජීවත් කළා වෙන්නේ.

පිංවත, අපිට පාර වැරදුණත්, සද්ධර්මයේ උතුම් ස්වාක්ඛාත ගුණයට, සන්දිට්ඨික ගුණයට, ඒහිපස්සික ගුණයට පාර වරදින්නේ නැහැ. අදත් උදෑසන පිණ්ඩපාත මඩුවට දුප්පත් ගම්වාසීන් හතළිහකට වැඩි පිරිසක් පිණ්ඩපාතය බෙදන්න පැමිණ සිටියා. භික්ෂුව එම පිංවතුන් තුළින් දැක්කේ දුප්පත්කම නොවේ. උතුම් සද්ධර්මයේ ඒහිපස්සික ගුණයයි. අපි දීප්තිමත් වුණොත් සම්මා සම්බුද්ධ ශාසනය තවමත් බබලනවා. ඒත් මේ සෑම ප්‍රණීත සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා. අනාගතයේ කවදාහරි දවසක අපි ලබන උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත්ඵල අවබෝධයන් ද පිරිනිවී යන මොහොතේ අනිත්‍ය වෙලා යනවා. මේ උතුම් අවබෝධ ඥානයන් අයිති පිංවත් ඔබට නොවේ. මේ උතුම් අධිගමයන් අයිති හේතුඵල ධර්මයන් නුවණින් දකින, උතුම් ධම්මානුපස්සනාවටමයි. ගෞරවනීය පැවිදි පිංවත, අකුසල් මාරයාගේ මානසික ව්‍යාධීන් උත්සන්න වූ මේ සුන්දර වස්සානයේ දී කවුරුන් අසරණ වුණත්, අපි සරණක් ඇති අපරාජිත පිරිසක් වෙමු. අකුසල් සංස්කාර මාරයා අපේ හිස මත තබා ඇති මිච්ඡා බර බිමින් තබා, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ සැහැල්ලුව පමණක් අපේ පැවිදි ජීවිත වලට එකතුකොට ගනිමු. වස්සානයේ සියළුම බාධා හේතුඵල ධර්මයන් නුවණින් දකින, ධම්මානුපස්සනාවටම භාර කරමු.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.