අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?

වර්තමාන සමාජය ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සංඥාව කරා ගමන් කිරීමේ, බීජයම අවස්ථාව හැටියටයි, ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා, ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන, තිරිසන් සතුන් සේ, හැසිරෙන, මෘග සංඥාව කරා ගමන් කරන, මෘග සංඥා කෝච්චිය, වර්තමානයේ ඉබි ගමනින්, ගමන් ආරම්භ කොට තිබෙනවා, මෙ මෘග සංඥා කෝච්චියේ ඉදිරිපස, ගමනාන්තය දැක්වෙන පුවරුවක් සවිකොට තිබෙනවා, එහි සටහන්ව තිබෙන්නේ, අවුරුදු ලක්‍ෂ 50 කට වැඩි, දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් හරහා, ගමන් කරනු ලැබේ කියලා.

පින්වත් ඔබ, මේ ඉදිවෙන අස්වාභාවික කෘති‍්‍රම, ලෝකයේ, අධර්මයෙන් මොළය සෝදාගත් අස්වාභාවික මනුෂ්‍යයෙක් වෙනවාය කියන්නේ, මේ අති දීර්ඝ, දුකම උරුම කරන ගමනාන්තයකට ගමන් කරන, මෘග සංඥා කෝච්චියට ගොඩවුණාය කියන කාරණයයි. පින්වත් ඔබ මේ වන විටත්, අසිහියෙන්, මෘග සංඥා කෝච්චියට ගොඩවී ඇති පින්වතෙක් නම්, වහ වහා, ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය මනාව අවදිකොටගෙන, මෘග සංඥා කෝච්චියෙන් බැසගන්න, තවමත් ඔබට කාලය ඉතිරිව තිබෙනවා. මොකද වර්තමානයේ තවමත් ඉබි ගමනිනුයි, මෘග සංඥා කෝච්චිය ගමන් කරන්නේ. සමාජයේ තව අධර්මය වැඩිවෙලා, මෘග සංඥා කෝච්චියේ වේගය වැඩි වුණොත්, පින්වත් ඔබට නැවත ගැලවීමක් නම් නැහැ.

වර්තමානයේ සමාජය තුළ සිදුවෙන මේ, ධර්මානුකූල ඇත්ත කතාව, පිළිනොගෙන, යම් පින්වතෙක්, මේ දෝරේ ගලාගෙන යන, මනුෂ්‍යයාගේ ඇසෙන්, කනෙන්, ගලා බසිනා තෘෂ්ණාවේ සැඩ පහරට, අධර්මයෙන්ම වේලි බඳින්නට ගියොත්, එම අධර්මයේ වේලිත් සමතලා කොටගෙන, මේ තෘෂ්ණාවේ සැඩ පහර ගලාගෙන යනවාමයි, වර්තමාන සමාජයේ ඉහත කාරණය සනාථ කිරීමට ඕනෑ තරම් උදාහරණයන් තිබෙනවා.

මනුෂ්‍යයාගේ, ආයතන හයෙන් ගලා බසිනා, තෘෂ්ණාවේ සැඩ පහර, මොන තරම් විනාශකාරී ප‍්‍රතිඵලයන් සමාජයට අයිතිකොට දුන්නද, මේ තෘෂ්ණාවේ සැඩ පහර තුළ සැඟවුණ, සුන්දර ධර්මානුකූල හේතුඵල ධර්මයන් තිබෙනවා. ඒ හේතුඵල ධර්මය තමයි, පින කියන්නා වූ කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. විසිතුරු විසිතුරු දෙය, දන් දෙන පින්වතා, විසිතුරු විසිතුරු දෙයම ලබනවා කියනවා, ප‍්‍රනීත දෙය දන්දෙන පින්වතා, පෙරළා ප‍්‍රනීත, ප‍්‍රනීත දෙයම ලබනවා කියනවා, ඉහත ධර්මයේ විවෘතව බබළන ඒහිපස්සික ගුණයයි වර්තමානයේ, සමාජ අසිරිය, විසිතුරුභාවය, ප‍්‍රනීතභාවය තුළ අපි ධර්මානුකූලව දකින්න ඕනේ.

වර්තමාන සමාජයේ පින්වතුන්ලා, සිල්පද දුර්වල කොටගෙන කැමැති කැමැති රූපයන්, වේදනාවන්, හඳුනා ගැනීම්, සංස්කාරයන්, දැනීම්, ජීවිතවලට එකතුකොට ගන්නවා. වර්තමාන සමාජයේ පින්වතුන්ලා මේ අයිතිකොට ගන්න සුන්දර නිවාස, යාන වාහන, සැප සම්පත්, මිල අධික අධ්‍යාපනය, සෞඛ්‍යය, පහසුකම්, ප‍්‍රනීතභාවයන්, ජනතාවගේම පටිච්චසමුප්පන්න පිනේ ඵලයයි. නමුත් ජනතාව මෙම පින, අත්විඳින්නේ දුශ්ශීලභාවය, අකුසල් මූලයන්, බරපතළ ආකාරයෙන් ජීවිතවලට එකතුකොට ගනිමිනි.

ඉහත සටහනින් පින්වතුන්ලාට ප‍්‍රශ්නයක් ඇතිවෙන්න, පුළුවන්, පින විපාක දෙනකොට, මෙවැනි අසහනකාරී තත්ත්වයක් සමාජය තුළ ඇතිවෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින මොනතරම් සුන්දර වුවත්, සැපයට අග‍්‍ර වුවත්, පින ධර්මානුකූලව, සිහියෙන් කළමනාකරණය කොට නොගත්තොත්, පින ගින්දරක් වෙනවාය කියලා. වර්තමානයේ මේ සමාජය අත්විඳින, පංචනීවරණ බැසගන්න, කාමච්ඡුන්දයන් රැල්ල, පින ගින්දරක් බවට පත්කොටගන්න, අහිංසක පින්වතුන්ගේ අනුවේදනීය, ධර්මයේ කතාවයි සමාජගත කරලා තිබෙන්නේ.

උතුම් බෞද්ධ ධර්ම මාර්ගයේ ශක්තියෙන්, ස්වභාව සෞන්දර්යය, ස්වාභාවික සම්පත්, වලින් පෝෂණය වූ අපේ රටට, අනෙක් රටවලට වඩා ශ්‍රේෂ්ඨ අවස්ථාවක් ලැබිලා තිබුණත්, ජනතාවගේ පිනේ ශක්තිය, ශක්තිමත්ව තිබුණත්, මේ උතුම් ධර්මතාවන්, රාජ්‍යයේ දියුණුවටත්, බලවත්භාවයටත්, ජනතාවගේ, මෙලොව පරලොව දියුණුව උදෙසා, යොමුකොට ගැනීමට, අපේ රටේ ගෞරවනීය දේශපාලන නායකත්වයන් අපොහොසත්ව තිබෙනවා.

බෞද්ධකම නොහඳුනන, ලෝකයේ ප‍්‍රධාන, බලවත් රටවල් පවා දක්‍ෂවෙලා තිබෙනවා, තම රටවල්වල ජනතාව තුළින් විපාකයට, පැමිණෙන, පිනට අදාළ, සැපයට, බලවත්භාවයට, අදාළ අතීත සංස්කාර ධර්මානුකූලව නොව, තමන් උපන් රටට ආදරය කරන, විනයගරුක දේශපාලන දර්ශනයන්ට අදාළව, රාජ්‍යයේ දියුණුව උදෙසා යොදා ගැනීමට.

ජනතාවගේ අතීත සිත, විසිතුරු, ප‍්‍රනීත ආකාරයෙන් විපාකයට පැමිණෙනකොට, රාජ්‍ය නායකත්වයන් දක්‍ෂ විය යුතුයි, රට තුළ ශක්තිමත් විනයක්, ශක්තිමත් නීති පද්ධතියක්, ස්වාධීන අධිකරණයක්, ශක්තිමත් මූල්‍ය විනයක්, ඇතිකොටගෙන, ජනතාවගේ පිනේ, ශක්තිය, විනයකින් තොරව, කාමච්ඡුන්දයන්ම යොමුකොට, අයාලයේ යෑමට ඉඩ නොදී, රාජ්‍යයේ දියුණුව උදෙසා යොමුකොට ගැනීමට.

ඉහත රටවල ජනතාවට, සම්මා දිට්ඨියට අදාළ ධර්මයක සරණක් නැහැ. නමුත් ඔවුන් තුළ යම් පමණකට හෝ, විනයානුකූල දේශපාලන දැක්මක් තිබෙනවා, තමන් උපන් රටට අදාළව, අපේ රටේ ගෞරවනීය, දේශපාලන නායකයන් දක්‍ෂ විය යුතුයි, වර්තමානයේ ජනතාව තුළින් විපාකයට පැමිණෙන අතීත සුන්දර සැපයට අදාළ පින, අවිචාරයෙන් කාලා, බීලා, විනෝදවෙලා, කාමච්ඡුන්දයන් වඩලා, පින ගින්දරක් බවට පත්කොට ගැනීමට ඉඩ නොතබා, නායකත්වයක තිබිය යුතු, විනය, පෞරුෂත්වය, නොසැලෙන බව, සත්පුරුෂභාවය, රටට ජනතාවට දක්වන ආදරය ගෞරවය, තුළින් තමන් උපන් රටට, තමන් නායකත්වය දරන රටට, පූර්වාදර්ශයන්ගෙන් යුත්, ශක්තිමත් විනයක්, ඇතිකොට ගැනීමට, ඉහත ධර්මානුකූල ක‍්‍රමවේදයයි, ජනතාවගේ පින කාමච්ඡුන්දයන් උදෙසා විනාශ නොකොට, ජනතාවගේ මෙලොව පරලොව දියුණුවත්, රාජ්‍යයේ බලවත්භාවයත් උදෙසා යොමුකොට ගැනීමේ මාර්ගය වෙන්නේ.

භික්‍ෂුව මේ තබන්නේ, දේශපාලන සටහනක් නොවේ, දේශපාලනය, කෙළෙස් සහිත පින්වතුන්ලාට, හරියට කෙළෙස් වැඩෙන මාතෘකාවක්. භික්‍ෂුව මේ සටහන තබන කොටත්, භික්‍ෂුවට හරි වෙහෙසකාරියි, බිහිරි සතුන්ට වීණා වාදනය කිරීම නිෂ්ඵල කි‍්‍රයාවක් වුවත්, පින්වත් ඔබගේ, ලෞකික දියුණුවට අදාළ නිසාමයි, සටහන් තබන්නේ, මේ රටේ ගෞරවනීය දේශපාලන පින්වතුන්ලාගේත් සැබෑ නායකත්වයක පහස නොලබන පින්වත් ජනතාවගේත් ඇසෙන්, කයෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර, රටට, ජනතාවට, සිදුකොට ඇති විනාශයත්, ඊට ධර්මානුකූල හේතුවත්, ඊට ධර්මානුකූල විසඳුම් මාර්ගයන්, සටහන් කිරීම පමණක්මයි භික්‍ෂුව මේ සිදුකරන්නෙ. බොරු විසඳුම් සොයමින්, තමා, තමන්වම, රවටා ගන්නේ නැතිව, සමාජගතවී තිබෙන, මේ විනාශකාරී තත්ත්වය සියුම් කොට ගැනීමට, තෘෂ්ණාවේ සැඩ පහරේ වේගය සීමාකොට ගැනීමට අදාළව, ශක්තිමත් විනයක් සමාජය තුළ ඇතිකොට ගැනීමට දක්ෂ වෙන්න.

විශේෂයෙන්ම රටේ දේශපාලන නායක පින්වතුන්, වගේම රටේ ජනතාවත්, තම තමන්ගේ ආයතන හයෙන් ගලා බසින, තෘෂ්ණාවේ සැඩ පහර ගැන විවේකීව පිනවන දක්ෂ වෙන්න මොකක්ද මේ අසීමිත තෘෂ්ණාව නිසා අපේ කෙලෙස් පදංග කැඩෙන්නේ නැත්තේ, අසිහිය වර්ධනය වෙන්නේ, රූපය කෙරෙහි, වේදනාව, හඳුනාගැනීම්, කෙරෙහි ඇති පෙරේතකම නිසාමයි. අපි තුළ සකස්වෙන අසිහිය නිසාම, හිරි ඔතප් දෙක බැහැරවී අපි හැසිරෙන්නේ, පෙරේතයින් වගේ, අපි තාම පෙරේත ලෝකයේ ඉපදිලා නැහැ. අපි සුන්දර කාමලෝකයේ උපන් සුන්දර මනුෂ්‍යයෝ. ඒ නිසා අපි තුළ තිබෙන්න අවශ්‍ය, සුන්දර ලැජ්ජාව භය සහිත මනුෂ්‍ය ධර්මයන් සමාජය තුළ පවට ඇති ලැජ්ජාව, භය, හොරු අරගෙන ගිහින් වගේයි පෙනෙන්නට තිබෙන්නෙ ඉහත කාරණා ගැන පින්වත් ඔබලාට සිතන්නට වේලාවක් නැති බව ඇත්ත. ඒත් මේ අවිවේකය තව තවත් තෘෂ්ණාවේ සැඩ පහර, වේගවත් වීමට ධර්මානුකූල හේතුවක් වෙනවා. අපේ වියපත් නායක පින්වතුන්ලාට අවිවේකයි කියන කොට, අවංකව අපි බියට පත්විය යුතුයි. මොකද මේ අසිහියෙන් යුත් විනයෙන් තොර අවිවේකය තෘෂ්ණාවේ සැඩ පහරේ වේගය තව ප‍්‍රවේගකාරී බවට පත්කොට දෙනවා. ලෝක සම්මතයන්ට අදාළව නායක පින්වතුන්ලාගේ පින්වත් ජනතාවගේ අවිවේකීභාවය තුළින්, රාජ්‍යයක් දියුණුව කරා යා යුතුව තිබියදී, අවිවේකය තුළින් අසහනය, දුර්වලභාවය කරාම ගමන් කරන රාජ්‍යයක් බවට, අපි පත්වී තිබෙනවා.

කරුණාකර මොහොතක් නැවතී සිතන්න, පින්වත් ඔබට විවේකයක් අත්‍යවශ්‍යයි. අද රටට අඩුව ඇති එකම කාරණය, තෘෂ්ණාවේ සැඩ පහරේ වේගයට හසුනොවී, නැවතී විවේකීව සිතන්න පුළුවන් ගෞරවනීය නායකයෙකුයි. ඒ විවේකීභාවය තුළින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, සියුම්ව සිහිය පිහිටුවා ගන්න, උත්සාහ ගන්න මෙතෙක් අසිහියෙන් රැස්කොටගත්ත, අයිතිකොට ගත්ත, රූපයන්ගේ, සැප වේදනාවන්ගේ, හඳුනා ගැනීම් වල අනිත්‍යභාවය, වෙනස්වෙන ස්වභාවය කසායට දමන අනුපාන සේ, පුංචියට, පුංචියට දකින්න පුරුදු වෙන්න. ගොඩාක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. පින්වත් ඔබ මේ පැවිදි වෙන්න නොවේ, උත්සාහ කරන්නේ, තෘෂ්ණාවේ සැඩ පහර සියුම්කොට ගත්ත විනයගරුක ආදර්ශවත් නායකයෙක් වෙන්න. රටත්, ජාතියත්, ආගමත්, යම් පමණකට හෝ ඊළඟ පරම්පරාවට ආරක්‍ෂාකොටදී, පූජනීය වන්දනීය රටක උපන්, පින්වත් ඔබගේ පූජනීය වගකීම ඉටුකරන නායකයෙක් වෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සමාජ වියරුවක් බවට පත්වී ඇති, මනුෂ්‍යයාගේ, ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් ශරීරයෙන්, මනසින්, ගලාබසින තෘෂ්ණාවේ සැඩ පහර, යම් පමණකට හෝ පාලනය කොටගැනීමට නම්, උතුම් ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන්, පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, සිහිය යම් පමණකට හෝ පිහිටුවාගත යුතුම යැයි කියලා.

තමන් උපන් රටට, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ආදරය කරන, පිංවත් ඔබ, කෝටි ගණන් සල්ලි වියදම් කරලා, අධිෂ්ඨාන පූජා, ප‍්‍රාර්ථනා පූජා, අසූහාරදාහක් මල් පහන් පූජා තිබ්බත්, සිදුවෙමින් පවතින තෘෂ්ණාවේ සැඩ පහර පාලනය කරන්න බැහැ. අපගේ සංස්කාර කෙරෙහි ලෝභ සිත් නිසා, තෘෂ්ණාවේ සැඩ පහර තවත් වේගවත් වෙන්න පුළුවන්. වර්තමාන විකෘතියට ධර්මානුකූල එකම විසඳුම, උතුම් ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, අවම මට්ටමකින් හෝ සිහිය පිහිටුවා ගැනීම පමණක්මයි.

මෙය සටහන් තබන භික්‍ෂුව, සමාජයට කුඩාවට හෝ ධර්මානුකූල මෙහෙවරක් සිදුකරනවා. පින්වත් ඔබ ඉදිරියට වැඩමකොට ධර්ම දේශනාවන් පවත්වනවා මාධ්‍ය සමග කටයුතු කරනවා, අන්තර් ජාලය සමග කටයුතු කරනවා, නමුත් මේ සෑම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ, ශක්තිමත් විනයක් තුළ සිටිමින්මයි. භික්‍ෂුව සමාජය සමග ගනුදෙනු කිරීමේදී, පළමුවෙනි අර්ථය විනයයි, දෙවැනි අර්ථය දඬුවමයි, තුන්වැනි අර්ථය සමාව දීමයි. විනයෙන් දුර්වල පිංවතකුට, භික්‍ෂුව ලබාදෙන ලොකුම දඬුවම තමයි, ඇසුරෙන් ඈත්වීම. එම දඬුවම ලබාදෙන්නේ නිවැරැදිභාවයට පත්කොට ගැනීම උදෙසාමයි. එම නිසායි තුන්වැනි අර්ථය සමාවදීම කියලා සටහන් තැබුවේ. නමුත් වර්තමාන සමාජයේ දඬුවම කි‍්‍රයාත්මක වෙන්නේ පුද්ගලයෙක් විනාශකොට දැමීම, පරාජය කොට දැමීම උදෙසාමයි. විශේෂයෙන්ම දේශපාලනයෙදි පරාජිතයාගෙන් එලව එලවා පළිගන්න ස්වභාවයන් අතීතයේදීත්, වර්තමානයේදීත් අපි දකිනවා. දඬුවම විනාශය උදෙසා, කි‍්‍රයාත්මක වෙන්නේ, විනය දුර්වල නිසාමයි. ඒ නිසාම සිහිය දුර්වලයි. අනිත්‍යවූ පංච උපාදානස්කන්ධයම මගේ කොට ගන්නවා, සැප රූපයන් තුළ බැසගන්නවා. සැප වේදනාවන් තුළ බැසගන්නවා, සැප හඳුනාගැනීම් තුළ බැසගන්නවා, වේදනානුපස්සනාව වල් වැදිලා, ඒ නිසාම චිත්තානුපස්සනාව මෝදුවෙන්න බැහැ. ධම්මානුපස්සනාව සැගවී බලා සිටිනවා. සතර සතිපට්ඨානයෙන් තොර මනුෂ්‍ය සන්තානය, අවිනය, අසිහිය, දඬුවම, විනාශය තුළින් සමාජයම තෘෂ්ණාවේ සැඩ පහරට තව තව ගොදුරු වෙනවා.

උතුම් ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන්, රූප, වේදනා, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම්වල වෙනස්වෙන ස්වභාවය, තම වසගයේ ස්ථිරවම පවත්වාගත නොහැකි ස්වභාවය, යම් පමණකට හෝ ජීවිතයට එකතුකොටගත් නායකයෙක් රටට නොමැති නිසාම, අශ්ව කුලප්පුවෙන් ගොඩනැෙඟන, අධර්මයෙන් මොළය සෝදාගත්, කෘති‍්‍රම ලෝකයේ අස්වාභාවික මනුෂ්‍යයන්ගේ සහනය සමාජය තුළ දිනෙන් දිනම වැඩිවෙනවා. උතුම් ආර්යඅෂ්ඨාංගික මාර්ගයත්, සතර සතිපට්ඨාන ධර්මයනුත්, ධර්මයේ එහිපස්සික ගුණයෙන් බබළමින්, තමා තුළින් ධර්මය දකින, ඕපනයික ගුණය ඉදිරියේ, ප‍්‍රශ්නාර්ථයක් තබාගෙන, පින්වත් නායකයෙක් එන මග බලාගෙන සිටිනවා. කරුණාකරලා නිවන් දැකීම උදෙසා නොවේ, දශ අකුසලයන්ගෙන් මිදීම උදෙසාවත්, උපන් රට, ජාතිය, සම්මා සම්බුද්ධ ශාසනයේ යම් හෝ ආරක්‍ෂාවක් උදෙසාවත්, පින්වත් ඔබ, ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි යම් පමණකට හෝ සිහිය පිහිටුවා ගන්න.

අතිපූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේ.