පිංවත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ශීලය ගැන විමසා බලද්දී, බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ, සම්මා වාචාවන්. ඒ කියන්නේ යහපත් සත්‍ය වචන සහ ප්‍රිය වචන. අපේ ජීවිත තුළින් සම්මා වාචාවන් දුර්වල කොටගත්තොත්, අපේ සමස්ත ශීලයම සෝදා පාළුවට ලක් වෙනවා. වර්තමාන සමාජයේ බොරු කරනවා ගොඩාක්ම වැඩි නිසා, එහි විපාකයන් හැටියට බොරු කියනවාත් ගොඩාක් වැඩිවෙලා. අනුනට චෝදනා කරන්නට, අනුනට මඩ ගහන්නට, අනුන්ව වට්ටන්නට සමහරක් පිංවතුන් තෝරගන්න හොඳම අවිය වෙලා තිබෙන්නේ බොරු කීමයි. අමූලික බොරුවක් වුව ද, එය නැවත නැවත කීමෙන් ඇත්තක්ම වෙලා යන බව කර්මය කර්මඵල විශ්වාසය නොඅදහන පිංවතුන්ලා තේරුම් අරගෙන තියෙනවා. ලෝකය මේ ගමන් කරන්නේ, ශීලය ගිලිහුණු, දුශ්ශීලභාවය තිරිහන් වෙන අනාගත මෘග සංඥාවන් දිශාවටයි. වර්තමානයේ පිංවත් ඔබ යමක් ඇසෙන් දැකලා මිසක්, අනුන් සමාජගත කරන දෙයක් කනෙන් අහලා පමණක් විශ්වාස කරන්න එපා. ඒ තරමටම බොරුව සමාජය විනාශ කරන අවියක් වෙලා තිබෙනවා. බොරුවත් සමගම ද්වේශය, වෛරය, පළිගැනීම, මමත්වයේ දැඩිභාවය සහෝදරත්වයෙන් පෝෂණය වෙන බව අපි තේරුම් ගන්න ඕනේ.
සමාජය නිවැරදි කිරීමේ නාමයෙන් අපි පසුගිය මාස කිහිපය තුළ ගොඩාක් අකුසල් සිද්ධ කරගත්තා. වචී කර්ම සහ කාය කර්ම වලට වඩා බලවත් අයහපත් මනෝ කර්මයන් තොග පිටින් අපි රැස්කොට ගත්තා. මිච්ඡා වායාමයන්ට අදාළව මෙතෙක් සිදුකළා වූ අකුසල් තව තව සිද්ධ කොටගත්තා මදිවාට, මෙතෙක් නොකළා වූ අකුසල් ද අපි ජීවිත වලට එකතුකොට ගත්තා. උතුම් සම්මා වායාමයන්ගෙන් තොරව කුමන නම්, සම්මා සතියක් ද, කුමන නම් සම්මා සමාධියක් ද? සියල්ල අවසානයේ දී අපේ මිච්ඡා වචී, කාය, මනෝ සංස්කාරයන්ගේ ඵලයෙන් බිහි වුණේ, තවත් අකුසලයෙන්ම අංග විකල දරුවෙක් පමණක්මයි. ගෙවී ගිය මාස කිහිපය අපි මෙතෙක් නොකළා වූ අකුසල් සිදුකොටගත් මාස කිහිපයක්. කුසල් ධර්මයන්ගෙන් අපි ගොඩාක් ප්‍රමාද වුණා. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති තමා තුළම පෝෂණය වෙන වධකයා ඔබට දැනීම් සකස්කොට දුන්නේ, සම්මා මාර්ගය ඔස්සේ ප්‍රශ්න විසඳෙන දිශාවට නොවේ. මේ සියලු දුර්වලතාවයන් භික්ෂුව බැර කරන්නේ මනුෂ්‍ය අපේ අවිද්‍යාවේ ගිණුමටයි. අතීතයේ අපි කුසල් ධර්මයන්ගෙන් ප්‍රමාද වූ නිසාම, වර්තමානයේ ඔබ කුසලයෙන් අප්‍රමාදී වෙන්න. සංස්කාර තරාදියේ අකුසලය පැත්ත තව බර වැඩි වුණොත්, අපි නොසිතූ පැත්තකින් අකුසල් සංස්කාරයෝ ඉදිරියේ දී විපාකයට එන්න පුළුවන්කම තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ජයග්‍රහණයන් ලබන්නා සතුරන් ඇතිකොට ගන්නවාය කියලා. පරාජිතයා නිරතුරුවම පසුතැවීමට, කනස්සල්ලට පත්වෙනවාය කියලා. අපි තේරුම් ගන්න ඕනේ ජය සහ පරාජය යම් තැනක ද, එතැන තවත් අවුලක ආරම්භයක් තිබෙනවාය කියලා. මෙය සටහන් තබන භික්ෂුව තම ජීවිතය තුළින් ලබන ජය සහ පරාජයන් ඉදිරියේ සෑම විටම ජය සහ පරාජයන්ගේ හේතුඵල ධර්මයන් දකිමින්, මධ්‍යස්ථ වෙනවා. ජය කියන අන්තය හෝ පරාජය කියන අන්තය මගේ යැයි නොගෙන මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයම තව තවත් ශක්තිමත් කොටගන්නවා. එවිට භික්ෂුව තුළ ජය සහ පරාජය විනිවිද දකින, විදර්ශනා ප්‍රඥාවේ විජයග්‍රහණයන්මයි මෝදු වෙන්නේ. අපි යම් ලෞකික ජයග්‍රහණයක් ලබා සතුරන් ඇතිකොට ගන්නවා නම් සත්‍යකින්ම එය ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. තවත් අනාගත පරාජයක ආරම්භයක් පමණක්මයි. මේ ලෝක ධාතුවේ සැබෑම විජයග්‍රාහකයා වෙන්නේ ජය සහ පරාජය යන අර්ථයන් දෙකම හේතුඵල ධර්මයන්ට අදාළව දකිමින්, සියළු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින විදර්ශනා ප්‍රඥාවේ විජයග්‍රහණය ලබන්නායි. ඔහුව ජයග්‍රහණය කරවන්නට හෝ පරාජය කරවන්නට කාටවත්ම බැහැ. ඔහු ජය සහ පරාජය දෙකින්ම මිදිලයි ජීවත් වෙන්නේ.
පිංවත, අපි මේ ජීවිතයේදීම මෙතනට යන්න වෙනවා. ඒත් අපේ තෘෂ්ණාවක මහත බලන්නකෝ. ජයග්‍රහණය උදෙසා, බලය උදෙසා අපි මරා ගන්නමයි හදන්නේ. සතර අපාය පෙනි පෙනී මමත්වයේ දැඩිභාවයට තව තව පොහොර දමා ගැනීමමයි කරන්නේ. පිංවත, අපි කොච්චර කතා කළත් තේරුමක් නැහැ. උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය පමණක්මයි භික්ෂුවට සිහිපත් වෙන්නේ. පිංවත, කවුරු වැරදි කළත්, ඔබ නිවැරදි වෙන්න. අද දවස අයිති වැරදිකරුවන්ට වුවත්, හෙට දවස නිවැරදි ඔබේ යැයි සිතන්න. එවිට ඔබට පුළුවන් අද දවසේ තව තවත් නිවැරදි වෙන්න.
පිංවත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය සතුටින් ප්‍රාර්ථනා කරන්න එපාය කියලා. රූපය සතුටින් පිළිගන්න එපාය කියලා. ඔබ රූපය සතුටින් පිළිගත්තොත් රූපය ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙද්දී ඔබ දුකට පත්වෙනවා. පිංවත, ඔබ සැප, දුක්, උපේක්ෂා, විඳීම් සතුටින් පිළිගන්න එපා. මේ සැප, දුක්, උපේක්ෂාවෝ වෙනස් වෙලා යද්දී, ඔබ දුකට පත්වෙනවා. පිංවත, මේ හඳුනා ගැනීම් සතුටින් පිළිගන්න එපා. මේ හඳුනා ගැනීම් වෙනස් වෙලා යද්දී ඔබ දුකට පත්වෙනවා. පිංවත, මේ ප්‍රණීත සහ අප්‍රණීත සංස්කාරයෝ ඔබ සතුටින් පිළිගන්න එපා. මේ සංස්කාරයෝ වෙනස් වෙලා යද්දී, ඔබ දුකට පත්වෙනවා. පිංවත, මේ සංස්කාරයෝ හේතුවෙන්ම සකස්වෙන විවිධාකාර වූ දැනීම් ඔබ සතුටින් පිළිගන්න එපා. මේ දැනීම් වෙනස් වෙලා යද්දී ඔබ දුකට පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වේදනාවෝ නොඇවිලෙන ලෙස රූපය දෙස බලන්නය කියලා. පිංවත, ඔබ කෙසේ ද අධ්‍යාත්මික සහ බාහිර රූපය දෙස වේදනාවෝ නොඇවිලෙන ලෙස බලන්නේ? අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං. පිංවත, රූපයේ සමුදය, රූපයේ නිරෝධය මෙලෙස සිහිනුවණින් දකිද්දී අපේ ඉලක්කය වෙන්නේ අවිද්‍යාවමයි. අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මතුකොට ගන්නා උතුම් සම්මා සමාධිමත් සිතමයි. දැන් ඔබට පුළුවන් ඔබ මෙතෙක් සතුටින් පිළිගත්තා වූ රූපය දෙස කායානුපස්සනාවෙන් බලන්න. ඔබ රූපය දෙස කායානුපස්සනාවෙන් බලද්දී, කායානුපස්සනාව හේතුවෙන්ම ඔබ තුළ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ සකස් වෙන්න පුළුවන්. භාවනාවේ දී ආශ්වාදය අපිව හුරතල් කරන්න පුළුවන්. ඒ නිසාම භාවනා නිමිත්ත කෙරෙහි හොඳින් සතිය සිහිය පිහිටුවා ගතයුතුයි. ඒ වගේමයි භාවනා ආශ්වාදයේ හුරතල් මට්ටු කිරීමට නිරතුරුවම චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාවේ වේවැල වහ වහා ප්‍රයෝජනයට ගතයුතු වෙනවා. එවිටයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම තුළින් සතර සතිපට්ඨාන ධර්මයනුත් මොනවට පෝෂණය කළා වෙන්නේ. පිංවත, සතර සතිපට්ඨාන ධර්මයෝ නිවැරදිව ඔබ තුළ වැඩෙයි ද, ඒ නිමේෂයේ දී ඔබ තුළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙනවා. පිංවත, සම්මා සමාධිමත් සිතෙන් ඔබ සූදානම් නම් ධර්මය ඔබ සොයාගෙන එනවා. ඔබ සම්මා සමාධිමත් සිතෙන් දුරස් වෙනවා නම් ඔබව සොයාගෙන එන්නේ අධර්මයෝමයි.
පිංවත, ඔබට සතර අපාය ගැන බියක් නැති ද? නැතිනම් ඔබට සතර අපාය ගැන අමතක වෙලා ද? පිනේ ආශ්වාදයත්, පවේ ආශ්වාදයත් කියන අර්ථයන් දෙකම අපිට සතර අපාය අමතක කරවනවා. තිරිසන් ලෝකයේ ජීවත්වෙන සත්තු තව සතෙක්ව අමු අමුවේම ගිල දමනවා. සර්පයෙක් විසින් ගෙම්බෙක්, කටුස්සෙක් ගිල දමනවා. සර්පයෙක් විසින් ගෙම්බෙක්, කටුස්සෙක් ගිල දමන්නේ පණ පිටින්මයි. මෙවැනි සිද්ධීන් දකිද්දී භික්ෂුව සිතන්නේ අතීත සංසාරයේ මම කොතෙක් පණ පිටින් අනුනට බිලි වෙන්න ඇති ද කියලා. ඒ වින්ද මරණීය වේදනාවන් භික්ෂුව නුවණින් දකිනවා. ඒ අතීත සතර අපායේ වින්ද පංච උපාදානස්කන්ධ දුක සිහිනුවණින් දකිද්දී, භික්ෂුවට සිතෙන්නේ සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින සිත, ඒ මොහොතේම සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙන සිත කායානුපස්සනාව දෙසටමයි භික්ෂුව යොමු කරන්නේ.
පිංවත, රූපය මම ය කියල ගන්න එපා. රූපය මගේ මයි කියලා ගන්න එපා. ඔය රූපයේ තිබෙන්නේ තාවකාලික ලස්සනක්. ඔය රූපයේ තිබෙන්නේ තාවකාලික හැඩයක්. පිංවත, දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන දැන් පිනැති දෙවියන්ගෙන් හිස් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ සහ සතර අපායේ ජනගහනය දැන් වැඩි වෙනවා. තාමත් සංසාර බියෙන් ඔබේ හිස ගිනි ගත්තේ නැද්ද? සංසාර බියෙන් ඔබේ හිස ගිනි නොගන්නේ නම් ගිනි නිවීමක් ගැන කුමන නම් කතාවක් ද? පිංවත, ඔබේම අවිද්‍යාවේ කළුවරට මුවා වී, ඔබේම අතීත සංස්කාරයන්ගෙන් පෝෂණය වෙන විඤ්ඤාණය නමැති වධකයාට ඔබ, ඔබව පාලනය කරන්න දෙන්න එපා. පිංවත් ඔබ මේ වියරු, අසත්පුරුෂ පංච උපාදානස්කන්ධ ලෝකය දෙස සිහිනුවණින් බලලා, ඔබ පුරුෂ ධෛර්යය ඇතිකොට ගන්න. මාගේ ලේ, සම්, මස්, ඇට, නහර වියලේවා. මා සතර අපායෙන් නොමිදී මිය නොයමියි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ හුස්ම ඉහළට අරගෙන නැවත පිටකරන මොහොතේ ඔබේත්, මගේත් මරණය සිදුවිය හැකිය කියලා. පිංවත, ජීවිතයත්, මරණයත් අතර පරතරය හරිම පොඩියි. ජීවිතය සෙල්ලමක් කොට නොගෙන පූජනීය වගකීමක් කොට දකින්න.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2022.08.07 වන ඉරුදින දිවයින පුවත්පත