පිංවත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හද ගැහෙන රටයි. පිංවත, ඔබ වර්තමානයේ නොඅවදියෙන් සිටියොත්, පිංවත් අපේ විඳීම් මෝරා කාමච්ඡන්දයන් වැසි වසින මේ කෙලෙස් අනෝරා වැස්සේ අපි සියල්ලෝම ප්‍රමාදීභාවයට පත්වෙන්න පුළුවන්. පිංවත, මේ කෙලෙස් වැස්සේ අකුසල් වැසි දියෙන් බේරී සිටීමට පිනේ අගුපිල් සොයනවා වගේම, වර්ණය, සැපය, බලයෙන් මොනවට සපිරි පිනෙන් පමණක් උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නොරැකෙන බව ද අපි සිහි නුවණින් තේරුම්ගත යුතුව තිබෙනවා. පිංවත, කරුණාකර මහ පොළොව මත දෙපා තබාගෙන ජීවත් වෙන්න. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මහ පොළොව වෙන්නේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයයි. පිංවත, දුකට මුල අසීමිත තෘෂ්ණාවයි. පිංවත, දුකෙන් මිදීමට මුල උතුම් මධ්‍යම ප්‍රතිපදාවයි. පිංවත් ඔබ අසිහියෙන් පංචකාම සැප සොයමින් තෘෂ්ණාවේ පියගැටපෙල තරඟයට නගින්නට යන්න එපා. අකුසලයෙන් පය ලිස්සා වැටුණොත් ඔබ වැටෙන්නේ උතුම් ශාසන අර්ථයනුත් අහිමි කොටගෙනමයි. තෘෂ්ණාවේ පියගැටපෙලින් ලිස්සා වැටී මෙලොව සහ පරලොව යන දෙකම අහිමි කොටගත්, ජීවත්වෙන මළකඳන් කොතෙක් නම් අපේ සමාජයේ ජීවත් වෙනවා ද? පිංවත, ඔබේ ජීවිතය තුළින් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්න. එවිටයි ඔබ ජීවත්වෙන මළකඳක් නොවී සැබැවින්ම ඔබ ජීවත්වෙන මනුෂ්‍යයෙක් බවට පත්වෙන්නේ.
පිංවත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේම වීර්යයෙන් උපයාගත් පිරිසිදු ධනයෙනුයි ජීවත් වෙන්නේ. ඒ නිසාම එම ජීවිත උතුම් සම්මා ආජීවයක්ම වෙනවා. එම ජීවිතවල මිච්ඡා ආජීවයේ කැත සහ කුණු මුකුත්ම තැවරිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ධනය බවට පත්වෙන්නේ උන්වහන්සේම වීර්යයෙන් උපයාගත් ශ්‍රද්ධාවයි, ශීලයයි, සමාධියයි, ප්‍රඥාවයි, ඥාන දර්ශනයි, විමුක්තියයි. අපි කවදාහරි දවසක මේ ආර්ය ධනයට හිමිකරුවෙක් වෙයි ද, එදාට එම ශ්‍රාවකයා දුප්පත් සහ පොහොසත් සම්මුති ලෝකයෙන් සදහටම නිදහස් වෙනවා. අනේ අපි කවදාද මේ සල්ලි කොළ ධන තෘෂ්ණාවෙන් මිදී, අනුනට ණය නැති, තමන්ට බියක් නැති, තෘෂ්ණාව සිඳුණ තැන උපාදානයෝ සිඳෙන, උපාදානයෝ සිඳුණ තැන භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණ සිඳී යන මේ උතුම් ආර්ය ධනයේ හිමිකරුවෙක් වෙන්නේ.
ගෞරවනීය පිංවත, මේ උතුම් ශාසනය කියන අර්ථයට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවුවනක් පිරිසම අයිතියි. තෙරුවන් සරණ ගිය බෞද්ධ ජනතාවට පංච නීවරණයෝ දෝරෙ ගලාගෙන යන අකුසලය සහ පව දෙගොඩ තලා යන අරගලය, උද්ඝෝෂණය, විවේචනය කියන අර්ථයන් අයිති නැහැ. පංච නීවරණයන්ගෙන් සප්ත බොජ්ඣඬ්ඟයන් මතුකොට ගන්න බැහැ. අකුසල් ධර්මයන්ගෙන් පින සහ කුසලය මතුකොට ගන්න බැහැ. පිංවත් ඔබට මතකද අරගලය සහ උද්ඝෝෂණය නාමයෙන් මුළු රටේම ජනතාව කොළඹ පැමිණි සිද්ධිය. එම අරගලය නිමා වුණේ හිටපු නායකයන් පවා බලයෙන් ඉවත් කරලයි. රජ ගෙදර, අගමැති නිල නිවස, රාජ්‍ය පාලනයේ මූලස්ථානය පවා අරගලකරුවන් අයිතිකොටගෙනයි සිටියේ. නමුත් අවසානයේ ලැබුණ ප්‍රතිඵලය අන්ත අසරණ ප්‍රතිඵලයක් නේද? පිංවත, කරුණාවෙන් තේරුම් ගන්න පංච නීවරණයන්ගෙන්, අකුසලයෙන්, දුශ්ශීලභාවයෙන් අපි ජීවත්වෙන සමාජයට පින සහ කුසලය මතුකොට දෙන්න බැහැ. ඔබගේ පිංවත් මාතෘභූමිය අසත්පුරුෂ ධර්මයන් විසින් මෙහෙයවන මේ විනාශයෙන් යම් පමණකට හෝ මුදා ගන්න බැහැ. කරුණාකර ඔබ ඔබේ මාතෘභූමියට අවංකව ආදරය කරන, කුසල් ධර්මයන්ට, පිනට ගරු කරන පිංවතෙක් නම්, මේ මොහොතේ පටන් පිංවත් ඔබ දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනේ ශක්තියෙන් ඔබේ නිවසේ සිට, ඔබේ කාර්යාලයේ සිට, ඔබේ වැඩ බිමේ සිට නිහඬ අධ්‍යාත්මික සම්මා වායාමයකට සූදානම් වෙන්න. පංච නීවරණයන් වැඩෙන දිශාවන්ගෙන් පිංවත් ඔබ ඉදිරියට ගියොත් අසත්පුරුෂ ධර්මයන්ටමයි අපි උපකාර කළා වෙන්නේ. මේ මොහොතේ මාතෘභූමියට අවශ්‍ය මේ විපාකදෙන බලවත් අකුසල් සංස්කාරයෝ යටපත් කොටගෙන නැගී සිටීමට ජනතාවගේ ශීලයේ, මෛත්‍රියයේ, ත්‍යාගයේ ශක්තියයි. පිංවත් රටවාසී රටට ආදරය කරන, තමන් උපන් මාතෘභූමියේ ආත්මගරුත්වය ආරක්ෂාකොට ගැනීමට කැමති, මේ උතුම් ශාසන අර්ථයන් රැකගැනීමට කැමති සියලුම පිංවත් ජනතාව අකුසලයෙන් පෝෂණය වූ පව තව තව වැඩෙන පංච නීවරණ සටන් වලින් බැහැර වී තමන් තුළින් මතුකොට ගන්නා ශ්‍රද්ධාවේ, ශීලයේ, මෛත්‍රියේ, ත්‍යාගයේ ශක්තියෙන් සැබෑ අධ්‍යාත්මික ව්‍යායාමයකට සූදානම් වීමේ අවශ්‍යතාව අපි සියල්ලන් ඉදිරියේම තිබෙනවා.
පිංවත, ද්වේශ කිරීම නවත්වා මෛත්‍රී කිරීමට සූදානම් වෙන්න. පිංවත, දුශ්ශීලභාවය පිරිසිදු කොටගෙන ශිල්වත් වීමට උත්සුක වෙන්න. විවේචනයන් නවත්වා හේතුඵල ධර්මයන් දැකීමට පුහුණු වෙන්න. ලෝභ සිත් දුරුකොට එකිනෙකාට උපකාර කිරීමට තව තවත් යොමු වෙන්න.
පිංවත, අපි විදර්ශනාව ගැන කතා කිරීමට පෙර, අපි සම්මා සමාධිමත් සිතක් ඇතිකොට ගන්න ඕනේ. අපේ සමාජය තුළ මතු වී තිබෙන සමාජ අර්බුද හේතුවෙන් අහිංසක ජනතාව කෙසේ නම් සම්මා සමාධියක් ගැන සිතන්න ද? පිංවත, භික්ෂුව මේ සටහන් තබන්නේ ඔබේ දැනුමේ ආශ්වාදය උදෙසා නොවේ. භික්ෂුව මේ සටහන් තබන්නේ පිංවත් ඔබව සම්මා සමාධියක් දෙසට මෙහෙයවීම උදෙසාමයි. ඒත් මේ පවතින සමාජ අර්බුද ඉදිරියේ පිංවත් ජනතාව කෙසේ නම් සම්මා සමාධියක් ඇතිකොට ගන්න ද? අවිද්‍යාවේ තීව්‍රභාවය නිසාම අපේ රටේ සෑම පාලක පිංවතුන්ලාම උත්සාහ ගන්නේ පිංවත් ජනතාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන්ගෙන් බැහැරට ගන්න. ලෞකික ප්‍රඥාව මරාගෙන මිච්ඡා ප්‍රඥාව ජීවත් කරවනවා. ගෞරවනීය අතීත, වර්තමාන, දේශපාලන බලධාරී පිංවතුනි, පිංවත් අහිසංක ජනතාව උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර කිරීමේ බලවත් අකුසල් විපාකයන් පිංවත් ඔබලා දිට්ඨධම්ම වේදනීයව මේ නිමේෂයේදීත් අත්විඳිනවා. පිංවත් ඔබලා මේ සිදුකොට ගන්නා අකුසල් කන්දරාවන් නිසා, මේ උතුම් ශාසන අර්ථයන් නොසලකා හැරීම නිසා මහා සංඝරත්නයේ සහ අන්‍ය ආගමික නායක පූජකතුමන්ලාට ගරු නොකිරීම නිසා මේ පදංග වශයෙන් ශක්තිමත් වෙන බලවත් අකුසල් හේතුවෙන් ඔබලා සියල්ලෝම දැන් උමතුවෙන් කටයුතු කරන්නේ. පිංවත් ඔබලාට කළයුත්ත සහ නොකළ යුත්ත තේරුම් ගන්න බැහැ. හොඳ සහ නරක තේරුම් ගන්න බැහැ. ධර්මය සහ අධර්මය තේරුම් ගන්න බැහැ. පව සහ පින තේරුම් ගන්න බැහැ. සුගතිය සහ දුගතිය තේරුම් ගන්න බැහැ. ඉහත ලක්ෂණයන්මයි අකුසලයෙන් උමතු වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙන්නේ. පිංවත් ඔබලා මේ විනාශකොට දමන්නේ උතුම් තෙරුවන් කියන උත්තම අර්ථයයි. බුදුරජාණන් වහන්සේගේ අයෝමය දශ පාරමී ශක්තියේ ප්‍රාතිහාර්යයි. ගෞරවනීය පිංවත, තම තමන් විසින් සිදුකොට ගන්නා වූ ඉහත අකුසල් කන්දරාවන් නිසා, ධර්මයේ සඳහන් උමතුභාවයන්ට පත් වූ දේශපාලන පිංවතුන්ලාගෙන් කෙසේ ශාසන සුරක්ෂිතභාවයක් බලාපොරොත්තු වෙන්න ද?
පිංවත, අපේ රටේ බොහෝම වටිනා පිනැති ළමා පරපුරක් සිටිනවා. තෙරුවන්ම ප්‍රියකරන, ගරු කරන කුඩා දරුවන් අපිට පිණ්ඩපාත මඩු වලදී අප්‍රමාණවත්ව මුණ ගැසෙනවා. මේ පිනැති දරුවන් කියන්නේ පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේ දී හොඳින් පිං කරලා මියගිය සිංහල බෞද්ධයන්ගේම නැවත උපතයි. අතීත ජීවිතයේ පුහුණු කිරීම් වලට අදාළව වර්තමාන ජීවිතයේ දී එම පිංවත් දරුවන්ට දැනීම් සකස් වෙනවා පිනැති සිතුවිලි සකස් කොටගන්න. මේ වර්තමාන දරු පරම්පරාවට කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණොත් ඔවුන් වටිනා ගුණාත්මක අනාගත වැඩිහිටි පරපුරක් වෙනවා. නමුත් මේ කර්මය කර්මඵල විශ්වාස නොකරන අසත්පුරුෂ දේශපාලනය නිසා, එම පිනැති දරු පරම්පරාව වැඩිහිටියන් විසින් ළමා වියේදීම දුරාචාරයෙන් විනාශකොට දමනවා. වර්තමානයේ සෑම දහම් පාසලකම අටවැනි ශ්‍රේණියෙන් ඉහළ පංතිවල දරුවන්ගේ පැමිණීම ඉතාමත්ම දුර්වල යැයි ස්වාමීන් වහන්සේලා භික්ෂුවට මතක් කළ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. රාජ්‍ය අධ්‍යාපනය මරාගෙන පැතිරෙන පෞද්ගලික උපකාරක පංති නිසාම, අසරණ දරුවා පන්සලට යොමුවෙන, දහම් අධ්‍යාපනයට යොමුවෙන ඉරිදා උදේ වරුවත් දරු පරපුරෙන් උදුරාගෙන තිබෙනවා. පිංවත, තමාගේම කයත්, සිතුවිලිත්, වචනයත් තමාවම ප්‍රමාදීභාවයට පත්කොට දමනවා නම්, මේ මෝහයේ අවනඩු අපි කාට නම් කියන්න ද? ගෞරවනීය වැඩිහිටි පිංවතුනි, වර්තමාන පිනැති දරු පරපුරේ අනාගත යහපත උදෙසා, කර්මය කර්මඵල විශ්වාසයෙන් අප්‍රමාදී වෙන්න. මේ පිනැති දරු පරපුර අසත්පුරුෂ දේශපාලනයට විනාශකොට දමන්න දෙන්න එපා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකයන් කෝටියක් දල්වා කරන පූජාවකට වඩා, බුදුරජාණන් වහන්සේට සුවඳ මල් කෝටියක් පූජාකොට සිදුකරන පිංකමකට වඩා උත්කෘෂ්ට පිනක් මේ පිනැති ළමා පරපුරට සදාචාරාත්මකව සුරක්ෂිත හෙට දවසක් බිහිකොට දීමෙන් ලැබෙන බව ධර්මානුකූලව තේරුම් ගන්න. මේ පිනැති දරු පරම්පරාව අකුසලයෙන්, පවෙන් විනාශකොට දැමුවොත් අනාගතයේ වැඩිහිටි ඔබට පිං කරන්න මානසික සංසඳීමවත් නැතිවෙලා යන්න පුළුවන්.
ගෞරවනීය පිංවත, පරම්පරාගත දේශපාලන විශ්වාසයන්ගෙන් මිදී, පවුල්වාදී දේශපාලන මතවාදයන්ගෙන් මිදී, අප්‍රමාදීභාවය මුල්කොටගත් ලෞකික ප්‍රඥාවට, බුද්ධියට, දැනුමට, මුල්තැන දෙන දේශපාලන දැක්මක් වහ වහා ඇතිකොට ගන්න දක්ෂ වෙන්න. පිංවත, ජ්‍යෙෂ්ඨයන් නොව, දක්ෂයන් සොයාගෙන පෙරට යන්න. අද ඔබේ මාතෘභූමිය ඉල්ලන්නේ අසත්පුරුෂයන්ගෙන් තොර, සත්පුරුෂ හෙට දවසක් බව සිහි නුවණින් තේරුම් ගන්න. පිංවත් ඔබට උතුම් තෙරුවන්ගේ සරණ, දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා. ඉහත අරමුණ උදෙසා ශිල්වත්භාවයෙන් පෙළ ගැසෙන්න.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ