පිංවත, අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සහ මිතුරා, අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි. අපේම සතුරා සහ මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී, අපි වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අමනාපයෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි, අපේ සතිය සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියට, අපේම මිච්ඡා සංකප්පයන්ට සහ අපේම මිච්ඡා ශීලයටයි. පිංවත, සම්මා ධර්මයන්ගෙන් අවාරයට ගිය, මිච්ඡා ධර්මයන්ගෙන් පෝෂණය වෙන පංච උපාදානස්කන්ධ ලෝකය අධර්මයේම රැඩිකල්භාවයන් ජීවිතගත කරනවාය කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා. අවිද්‍යාව දෝරෙ ගලා යද්දී, ගමක වේවා, නගරයක වේවා, රටක වේවා විනය, ශීලය සහ නීතිය තෘෂ්ණාව නමැති මාරයාගේ සත්‍යයේ සහ සාධාරණත්වයේ මුවහත මොට්ට වූ අවියක් වෙනවාය යනු හේතුඵල ධර්මයක්මය. පිංවත, තවදුරටත් සමාජගතව පවතින නොමිනිස්, දුශ්ශීල ධර්මතාවයන්ගේ හේතුව නුවණින් නොදැක, ඵලය පසුපස පමණක් හඹා යන්න එපා. එසේ ගියොත් පිංවත් ඔබට අකුසල් විතර්ක කෝච්චි වලටම ගොඩවෙන්නට සිද්ධ වේවි. පිංවත් ඔබේ මාතෘභූමියේ දෙනෙතින් ගලනා ශෝක, පරිදේව දුකේ උණුසුම් කඳුලැලි නමැති ඵලයට හේතුව ධර්මානුකූලව දකින්න. ඔබේ මාතෘභූමියට සිදුව ඇති එකම හූනියම නම් දේශය පාලනය කරන බලධාරීන්ගේ අසීමිත අවිද්‍යාවෙන් උපන් දුශ්ශීලභාවයන්මයි.
පිංවත, දෙකෝටියකට වැඩි ජනතාවගේ සැපය සහ සතුට පිංවත් පාලක පිංවතුන්ලාගේ දුශ්ශීලභාවය විසින් උදුරාගෙන ඇති සමාජයක මෙතෙක් පැවති දේශපාලන නටබුන් වලින් තවදුරටත් වටිනා පුරාවස්තු සෙවීමේ නිරර්ථක වෑයමක යෙදෙන්න එපා. දුශ්ශීලභාවය බොහෝම වේගයෙන් ඔඩුදුවන සමාජයක හෙට දවස අයිති වෙන්නේ සිහිය, අසිහිය බවට පත් වූ මිච්ඡා සතියම පමණක්මයි. මිච්ඡා සතියේ අකීකරු දරු මුණුපුරන් වෙන්නේ පංච නීවරණ ධර්මයෝමය. ධර්මයේ සහ අධර්මයේ වෙනස නොහඳුනන, ශීලයේ සහ දුශ්ශීලභාවයේ වෙනස නොහඳුනන, මෝහයේ මන්දබුද්ධිකභාවය මිච්ඡා සතියේ රෝග ලක්ෂණයි. පිංවත, මිච්ඡා සතිය අකුසලයේ සහ පවේ උපතයි. අපේම අතීත පිනේ පොහොරින් උපදින අපි හැමෝගේම අනාගත පැතුම් ප්‍රාර්ථනා නොපිපීම මිලිනව යන්නට අපි කරපු පව කුමක් ද? දුශිල්වත්භාවයේ අනසකට යටත්ව ජීවත්වීමට ශිල්වත් අපි කරපු පව කුමක් ද? පිංවත, අනුනගේ පව් අපේ කරමත වැටෙද්දී, අපි කළ යුත්තේ අනුනගේ පව් අපි දරා ගැනීමට නොව, කර්මය කර්මඵල විශ්වාසයට අදාළව පව හෙළිකොට දීමයි. පිංවත, ඔබගේ ජීවිතයේ මුදුන් මුල වෙන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයයි. එම කල්‍යාණමිත්‍ර ආශ්‍රයන් ඔබට ලැබෙන කල්‍යාණ ධර්මයයි. පිංවත, මිච්ඡා කිරි මුල් කෙරෙහි තවදුරටත් විශ්වාසය නොතබා, ජාතියේ මුදුන් මුල වෙන, කල්‍යාණමිත්‍ර ආශ්‍රය තව තව ශක්තිමත් කොටගන්න. එවිටමයි පිංවත් ඔබ ශිල්වත්භාවයේ සහ දුශ්ශීලභාවයේ හේතුඵල ධර්මයන් මොනවාට හඳුනාගෙන, වර්තමානයේ ඔබේ වගකීම නිවැරදිව තේරුම් ගන්නේ. පිංවත, දුශ්ශීලභාවයේ ඵලය පරාජයමයි, දුගී දුප්පත්භාවයමයි, පරාදීනභාවයමයි. පිංවත, තවදුරටත් කවුරුන් හෝ වේවා ජනතා නායකයන් යැයි කියා ගන්නා දුශ්ශීල පිංවතුන්ලාගෙන් ඔබේ අනාගතයට යහපත් බලාපොරොත්තු වෙන්න එපා. එය දුර්වල මිච්ඡා සතියක්. පිංවත් ඔබ ඔබේම සම්මා වායාමයන්ගේ ශක්තියෙන් පෝෂණය වූ සම්මා සතියෙන් අකුසලයට එරෙහිව කුසලයෙන් අවදිවෙන පෞරුෂත්වයෙන් යුත් මනුෂ්‍යයෙක් වෙන්න.
පිංවත, යම් රටක පාලක පිංවතුන්ලා අධාර්මික වේ ද, දුශ්ශීල වේ ද එම පාලක පිංවතුන්ලාගේ වැරදි පූර්වාදර්ශයන් ඔස්සේ යමින්, රටේ පූජක පක්ෂයත්, ජනතාවත් අධාර්මික වීම සහ දුශ්ශීලභාවයට පත්වීම හේතුඵල ධර්මයක්. පිංවත, වර්තමාන පිංවත් දේශපාලන සන්තාන වලින් සමාජගතවෙන අධාර්මිකභාවයයි, වැරදි පූර්වාදර්ශයි සමස්ත සමාජයම විකෘතියක් බවට පත්කොට තිබෙන්නේ. වර්තමානයේ සංඝ සමාජයේ පිරිහීමටත්, පිංවත් ජනතාවගේ පිරිහීමටත්, ගෞරවනීය සංඝ සමාජය හෝ පිංවත් ජනතාව නොවේ වගකිව යුත්තේ. මේ දෙපාර්ශවය වරදට පොළඹවන සමාජ පරිසරයක් සහ වැරදි පූර්වාදර්ශයන් ලබා දෙන්නේ අධර්මිෂ්ඨ පාලක පිංවතුන්ලා විසින්මයි. රටකට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන නායකයන්ව පත්කරන්නේ, රට තුළ විනයක්, නීතියක් ස්ථාපිත කරන්න. වරදට දඬුවම් දෙන්න. පිංවත, විනයකින් තොරව සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ වගේම, විනයකින්, නීතියකින් තොරව රටක් පවතින්නේ නැහැ. අධාර්මික පාලක පිංවතුන්ලාගේ එකම උත්සාහය වෙලා තිබෙන්නේ ගෞරවනීය සමස්ත පූජක පක්ෂයේ සහ පිංවත් ජනතාවගේ ශීලය දුර්වලකොට තම අධර්මිෂ්ඨ වුවමනා එපාකම් වලට ඉනිමං තබා ගැනීමයි. පිංවත, මේ වියරු අධාර්මිෂ්ඨභාවයේ ගමන සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂ මරාගෙන යන ගමනක් යන්නේ. පිංවත, අවිද්‍යාවේ ජන්ම ගතිය වෙන්නේ, සැපයට එකම හේතුව වෙන්නේ තෘෂ්ණාව යැයි සමාජගත කිරීමයි. අවිද්‍යාව පාර කියන්නේ දුශ්ශීලභාවයෙන්ම ලෞකික සැප සෙවීමටයි. පිංවත, අවිද්‍යාවට වෛර කරන්න එපා. අවිද්‍යාවේ ලේ සුවඳ වෙන්නේ ශෝක, පරිදේව දුකේ සුවඳයි.
පිංවත, බාහිර ලෝකය හාර අවුස්සා වැරදි සොයන්න එපා. වැරදිකරුවන් සොයන්න එපා. ඔබ සොයනා වරදකරුවා සිටින්නේ ඔබ තුළමයි. ඒ වරදකරුවා අන් කවරෙක්වත් නොව පිංවත් ඔබේම මෝහයයි. දුශ්ශීල දේශපාලන පිංවතුන්ලා තුළින් යහපත් හෙටක් බලාපොරොත්තුවෙන ඔබගේ මෝහයයි. පිංවත, අද දවසේ ඔබේ මාතෘභූමිය ප්‍රශ්න මගහැර ජීවත්වෙන බව පෙන්වන්නේ, ජාතික ආර්ථිකයෙන් උපයාගත් ධනයකින් හෝ වර්තමාන දුශ්ශීල දේශපාලන පිංවතුන්ගේ දක්ෂභාවයකින් නොව, ඔබේ මවුබිම බිඳ දැමීමට වෙර දරන අසත්පුරුෂ ජාත්‍යන්තරයේ උපක්‍රමශීලී මුදල් විසි කිරීම් මත බව කාරුණිකව තේරුම් ගන්න. මේ දුශ්ශීල දේශපාලනය තුළින් තම අසත්පුරුෂ අරමුණු ඉටුකොට ගැනීම උදෙසා ජාත්‍යන්තරය කෝටි ප්‍රකෝටි ගණන් ධනය හෙට දවසේ විදයම් කරාවි. පිංවත, ඔබ මේ අත්දකින්නේ අකුසල් සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්. පිංවත, බලයෙන් නොසෑහෙන, ධනයෙන් ඇතිවීමක් නැති, තමන් උපන් මවුබිමෙන් පළිගන්න, ජනතාව කෙරෙහි ද්වේශයෙන් පසුවෙන වර්තමාන දුශ්ශීල දේශපාලනය තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. අවිද්‍යාවේ අන්ධභාවය නිසාම, ජනතාව මේ තෘෂ්ණාවේ ගින්න දකින්නේ ශීතල වතුරක් හැටියටයි. පිංවත ඔබ මේ පහස ලබන්නේ ශීතල වතුරක නොවේ. හෙට දවසේ මහා විනාශයක ආරම්භයක් වන ගිනි ගොඩකයි. පිංවත, මේ දුශ්ශීල දේශපාලනය නිසා බහුතරයක් ජනතාව බලවත් සේ අකුසල් මූලයන් රැස්කොට ගන්නවා. පිංවත් ජනතාවට සිත් සේ ශිල්පද බිඳ ගැනීමට හැකි සේ සමාජය නිර්මාණය වෙනවා. පාසල් දරුවාගේ පටන් මත සහ දුරාචාරය ප්‍රවර්ධනය කරනවා. පිංවත් ජනතාවගෙන් බහුතරයක්ම දශ අකුසල් ධර්මයන්ගෙන් පිච්චෙනවා. පිංවත, අපි රටක් සහ ජාතියක් හැටියට මේ යන්නේ අපේම අතීත අකුසල් විසින් සකස්කොට දුන් ඉරණම් ගමනක් ද?
පිංවත, ධර්මානුකූලව රටේ දේශපාලන නායකයන් ධාර්මික වුණොත් පමණක්මයි, පූජක පක්ෂය සහ ජනතාව ධාර්මික වෙන්නේ. යම් පිංවතෙක් ගෞරවනීය සංඝ සමාජය වැරදියි කියලා එක ඇඟිල්ලක් දික් කරනවා නම්, ඉතිරි ඇඟිලි හතර දික් වෙන්නේ දුශ්ශීල දේශපාලනයට බව කරුණාවෙන් තේරුම් ගන්න. සංඝ සමාජයේ අපි සියල්ලෝම උතුම් සෝවාන්ඵල අවබෝධයවත් ලැබූ අය නොවේ. බහුතරයක් සංඝ සමාජයේ අපි ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී අර්ථයනුයි නියෝජනය කරන්නේ. ඒ නිසාම උතුම් සංඝ සමාජයන් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට බැඳී යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී දෙදෙනා අසත්පුරුෂ ආශ්‍රයන් සහ පංච නීවරණ ධර්මයෝ බහුලව වැඩුවොත් ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී අර්ථයන්ගෙන් පිරිහී පෘථග්ජනභාවයට ඇද වැටෙනවාය කියලා. ඉහත ධර්මතාවය ගිහි සහ පැවිදි අපි කාටත් පොදුයි. මුලින්ම අධිගමලාභීන් අතුරුදහන් වී දෙවනුව ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී අර්ථයන් අතුරුදන් වී තෙවනුව මුළු මනුෂ්‍ය සමාජයම පෘථග්ජනභාවයට පත්වීමෙන් තමයි, ශාසන අතුරුදන්වීම පවා සිද්ධ වෙන්නේ. පිංවත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය උදෙසා රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍ය වෙනවා. දුශ්ශීල පාලක පිංවතුන්ලා විසින් සමාජය තුළ කාමච්ඡන්දයන් සහ පංච නීවරණයයෝ බහුල කළොත්, එයම සංඝ සමාජයේ පිරිහීමට රජය අනුබල දීමක් කළා වෙනවා.
පිංවත, සංඝ සමාජයේ අපි කොතෙක් සමාජයට ධර්ම දේශනා කළත්, දිනෙන් දිනම අකුසල් මූලයන් සහ දුශිල්වත්භාවයන් සමාජය තුළ වේගවත් වෙනවා. දුශ්ශීලභාවයේ විපාකයන් හරිම දරුණුයි. රටේ සහ ජනතාවගේ ජනප්‍රියභාවය මරා දමනවා. ජනතාව හිඟන්නන් සහ පුලන්නන් බවට පත්කරනවා. ජනතාව තුළින් අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය බෙලහීන කොට දමනවා. ජාතියක් හැටියට හම්බ කරගෙන කෑමක් ගැන නොසිතා, තිබෙන දෙය විකුණාගෙන කෑමට පෙළඹෙනවා. මේවා දුශ්ශීලභාවයේ දිට්ඨධම්මවේදනීය විපාකයන්. පිංවත, භික්ෂූන් වන අපිට රකින්න දේපළක්, මුදලක්, බලයක් නැහැ. නමුත් අපිට රකින්න පරම්පරාවක් තිබෙනවා. ඒ කොණ්ඩඤ්ඤ මහෝත්තමයන් වහන්සේගෙන් පැවත එන උතුම් සංඝ සමාජයයි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවුවනක් පිරිසයි. අසීමිත තෘෂ්ණාවෙන් ඔදවැටුණු දුශ්ශීල දේශපාලනය සමාජගත කරන දුශ්ශීලභාවයන් ඉදිරියේ, සිවුවනක් පිරිස කෙසේ නම් ආරක්ෂාකාරී වෙන්න ද? පිංවත, වර්තමානයේ ශිල්වත් ඔබෙන් වියයුතු අග්‍රම පිංකම මේ දුශ්ශීල දේශපාලනය යම් පමණකට හෝ පිරිසිදු කිරීමයි. මේ සත්පුරුෂ ක්‍රියාන්විතයේ නායකයා, ඔබ හෝ අපි නොවේ, උතුම් ආජීව අට්ඨමක ශීලයයි. ආජීව අට්ඨමක ශීලයේ නායකත්වය තුළින් ශක්තිමත්ව පෙරට එන්න. ඔබ ශීලයෙන් ශක්තිමත් නම් ජනප්‍රියභාවයන්, අභියෝග ජය ගැනීමත් උතුම් ශීලයේම ආනිශංශයන් වෙනවා.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ
උපුටා ගැනීම – 2022.12.04 වන ඉරුදින දිවයින පුවත්පත