ජීවිතයේ ගැඹුර අඩුකරන ”භාෂාව”…

බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්‍රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්‌වාමීන්වහන්සේ හමුවී වැඩි විස්‌තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ ‘මහණෙනි මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යනම් ඇස නිසා සකස්‌ වෙන ඵස්‌ස, වේදනා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්‍යයයි’ කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචියට දේශණා කළේ ‘බාහිය දුටුදෙය දුටුබව සිතන්න. ඇසුන දෙය ඇසුනබව පමණක්‌ සිතන්න. සිත සිතක්‌ පමණක්‌ බව සිතන්න’ කියලයි. මෙහි අර්ථය ඵස්‌සය කෙරෙහි නොඇලෙන්න කියන කාරණයයි. ඵස්‌සය අනිත්‍යවශයෙන් දැකීමේදී විඳීමක්‌ සකස්‌ වෙන්නේ නැහැ. සරල කමටහනකින් රහතන් වහන්සේ නමක්‌ බිහිවුණා.

ගිහි පිංවතුන්ලාට මීට අමතරව දානයේ ශීලයේ වටිනාකම දේශණා කළා. මේ කොයි දේශනය තුළත් තිබුණේ සරල බවයි. ගැඹුqර කියන්නේ කෙලෙස්‌ කියන කාරණයයි. කෙලෙස්‌ වලින් මිදෙන්න මිදෙන්න ධර්මයේ ස්‌වභාවයම පැමිණෙනවා. යමෙක්‌ ධර්මය ගැඹුරු ආකාරයෙන් දකින්න යනවානම් ඒ ඔහු තුළ කෙලෙස්‌ වැඩෙනවාය කියන කාරණයයි සිද්ධවෙන්නේ. ජීවිතයේ ගැඹුරු බව දැකලා කලකිරීමෙන් භාවනා කිරීමට එන පිංවතාට භාවනාවේ ගැඹුරු බව කියන්න ගියොත් ඔහුට ජීවිතයත් එපා වෙන්න පුළුවන්.

ජීවිතයේ ගැඹුර අඩුකරන ”භාෂාව” තමයි විදර්ශණා භාවනාව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සරල ආකාරයෙන්ම ඔබේ ජීවිතයට ධර්මය ගලපාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්‌ඨාන ධර්මයන් ඔබ සරල කමටහනක්‌ කරගන්න. ජීවිතයේ ගැඹුර භාවනාවේ සරල භාවයෙන් පුරවාගන්න. ජීවිතය නොගැඹුරු කරගන්න. නාම රූප ධර්මයන්ට ඒවායේ ස්‌වභාවයෙන් පවතින්නට ඉඩහරින්න. පිංවත් ඔබ නාමරූප ධර්මයන්ගේ සැබෑම අනිත්‍ය ස්‌වභාවය විදර්ශණාවෙන් දකිමින් ජීවත්වෙන්න. මම තුලින්ම ‘මම’ නිරෝධය කරන මාර්ගයට එන්න. ධර්මය යනු ගැඹුරක්‌, දිගක්‌, පලළක්‌, සුවයක්‌, වින්දනයක්‌ නොව අනිත්‍යයම බවත්, අනිත්‍ය ඔබෙන් වසන්කරන්නේ තෘෂ්ණාව විසින් බවත් හඳුනාගන්න. බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල සතරසතිපට්‌ඨාණ සූත්‍රය, ආනාපාන සති සූත්‍රය දෙස බලන්න. මේවා තුළින් අපට කියාදෙන්නේ ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාසය සියුම් කරන ස්‌වභාවය ගොරෝසු කයේ ඝණ සංඥාව සියුම් කරන ස්‌වභාවයයි. මේ සෑම දෙයකම තිබෙන්නේ ගොරෝසු දෙය සියුම් කර දකින වැඩපිළිවෙලයි. මේ සියුම් භාවය යටපත් කරන්නේ පංචනීවරණ විසින්. පංච නීවරණ යටපත් කරදැමීම උදෙසා ශීලයේ පරිපූර්ණ භාවයත් ඒ තුළින්ම සමාධිමත් භාවයත් සකස්‌ කරගෙන පිංවත් ඔබ අර්ථවත් මනුෂ්‍යයෙක්‌ වන්න. ධර්මය තුළට එන්න.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ