අහස් මාලිගා ගොඩනගාගෙන ජීවත්වුණත් ජීවිතයත් මරණයත් අතර තිබෙන කාල පරතරය මොනතරම් කෙටිද යන්න ආශ්වාස ප්‍රාශ්වාසය තුළින් දකින්න. ඕනෑම කෙනෙක් මැරෙනවාය කියන්නේ ඉහළට ගත්තාවූ හුස්‌මපොද නාසයෙන් පිටවුනාය කියන කාරණයයි. හුස්‌ම රැල්ලක් ඉහළට ගන්නකොට ‘ජීවිතය’ කියලා දකින්න. එම හුස්‌මරැල්ල නාසයෙන් පිටවෙනකොට මරණය මනසින් දකින්න. නැවත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ජීවිතයත් මරණයත් අතර ඇති කෙටි භාවය දකින්න. ජීවත්වීමට ඇති තෘෂ්ණාව හේතුවෙන් කාය සංස්‌කාර සකස්‌වෙන හැටි දකින්න.
පිංවත් ඔබ මොහොතක් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නවතාගන්න. ශරීරය දෙස හොඳින් අරමුණු කරන්න. ඔබට දැනේවී පපුව ප්‍රදේශය තදවන ස්‌වභාවය. ශරීරය පුපුරන්න එනවා වගේ ස්‌වභාවයක් සකස්‌වෙනවා. මේවා මරණයේ පෙරනිමිති බව මනසින් දකින්න. ඉතා කෙටි මොහොතක් පමණක් පිංවත් ඔබ මෙය සිදුකරන්න. නැවත පියවි ස්‌වභාවයට ආශ්වාස ප්‍රාශ්වාසයට එන්න. දැන් හොඳින් කය වායෝධාතුවෙන් පුරවාගන්න. ශරීරයට දැනෙන ආශ්වාදය මෙනෙහි කරන්න. හුස්‌ම නොගෙන සිටියදී ඇති වූ මරණීය විඳීමත්, හුස්‌ම ශරීරයට පුරවාගනිද්දී ඇති වූ ආශ්වාදය විඳීමත් අනිත්‍ය බවම දකින්න. මේ විඳීම් දෙකම සකස්‌වූයේ හේතු ධර්මයන් නිසා බව නුවණින් දකින්න. පිංවත් ඔබ කැමැති කැමති ආකාරයට අවබෝධය උදෙසා ආශ්වාස, ප්‍රශ්වාසය ප්‍රයෝජනයට ගන්න. ශරීරයත් ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුවත් වෙන්කොට දකින්න. ශරීරය ඔබට අයිති නැති බවත්, වායෝ ධාතුවද ඔබට අයිති නැති බවත් මනසින් දකින්න. කාය සංස්‌කාරයන්ගෙන් තොරව ශරීරය නොපවතින බව නුවණින් මෙනෙහි කරන්න. තමාගේ ජීවිතයට වගේම තමා වැඩියෙන්ම ආදරය කරන අයගේ ජීවිතවලටත්, තමා කැමති අකමැති සැමගේම ජීවිතවලටත් මෙය ගලපා දකින්න.