ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහිතේ ජීවමානව තිබුනත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම් ප්‍රශ්නාර්ථයක් !!!

වේගයෙන් සිල් පද දුර්වලකරගන්නා සමාජයක, වේගයෙන් අකුසල් මූලයන් වර්ධනය කොට ගන්නා සමාජයක, සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිත තුලින් සොදාපාලුවී යන සමාජයක, ආදරය නැමැති වචනයේ අර්ථය, රාගය විසින් උදුරාගත් සමාජයක, ආදරය නැමති වචනයේ අර්ථය, ද්වේශය විසින් උදුරාගත් සමාජයක, ආදරයේ නාමයෙන් අනාගතයේ නැවත කවදාකවත් ටජ්මහල් ඉදිවෙන්නේ නැහැ. ආදරයේ නාමයෙන් අනාගතයේ ඉදිවුණොත් ඉදිවෙන්නේ කඳුලු ස්මාරකයක් පමණක්මයි. මුදල් මත සියල්ල තීරණය වන සමාජයක ආදරය යනු රාගයට ගොදුරු සොයාදෙන, මරුවැලක් පමණක්මයි. වර්තමාන සමාජයේ ආදරයට හිමි තැන එතැන වුවත්, පින්වත් ඔබ ආදරයෙන් පළායන්න එපා. ආදරය තුලත් කෙටි, සුන්දර ආස්වාදයක් තිබෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. නමුත් ආදරයේ කෙටි ආශ්වාදය දීර්ඝ ආදීනවයක් කරා ඔබව රැුගෙන යනවා. කුරුලූ ලෝකයේ සෙබඩ කියන්නේ, ආදරයේ කෙටි ආශ්වාදය තුලින් ලැබූ, දීර්ඝකාලීන ආදීනවයේ ඵලයක් වෙනවා. ගිහි පින්වත් ඔබ ආදරයට ආදරය කරන්න. හැබැයි ආදරය කියන අර්ථය තුල සැඟවී ඇති කටුක යථාර්ථය ධර්මය තුලින් මතුකොටගන්න දක්ෂවෙන්න.

දෑස් දෙක පියාගෙන පින්වත් ඔබ මොහොතක් ආවර්ජනය කරන්න. මේ ලෝකයේ ජීවත්වෙන සෑම කාන්තාවක්ම, සෑම පිරිමියෙක්ම පින්වත් ඔබට, අතීත සංසාරයේ පෙම්වතෙක් පෙම්වතියක් වෙලා තිබෙනවා, මේ ලෝකයේ ජීවත්වෙන සෑම කාන්තාවක්ම පිරිමියෙක්ම සංසාරයේ ඔබට බිරිඳක් ස්වාමිපුරුෂයෙක් වෙලා තිබෙනවා. අතීතයේ ආදරය කරපු කෙනෙකුට වර්තමානයේ නැවත ආදරය කරන එකේ තේරුමක් නැහැ. අතීතයේ විවාහවෙච්ච කෙනෙක්ම නැවත විවාහකරගෙන තේරුමක් නැහැ. පින්වත් ඔබ ලබන ඔය ධර්මානුකූල දැක්මයි, අවබෝධයෙන්ම ආදරය කියන වචනය තුල සැඟවී ඇති කටුක යථාර්තය මතුකොට ගැනීමට හේතුවෙන්නේ. මෙතැනයි අර්ථවත්ම පුරුෂාධිපත්‍යයට, ස්ති‍්‍ර ආධිපත්‍යයට එරෙහිව සැබෑම විකල්පය සැඟවිලා තිබෙන්නේ. පින්වත් ඔබ ඔබේ ජීවිතය තුලින් අකුසලයන් විපාක දෙන බව, හඳුනාගත් සැනින්, ඊට එරෙහිව සටන්කරන්න යන්න එපා, එවිට තව තව අකුසල්මයි රැස්වෙන්නේ. අකුසලය ඉදිරියේ, පින්වත් ඔබ නවතින්න, උපේක්ෂා සහගත වෙන්න. නෙතට නැගෙන කඳුලු ඉදිරියේ සිතට දැනෙන දුක් වේදනා ඉදිරියේ ඔබ මෛති‍්‍ර චිත්තයක් ඇතිකොට ගැනීමට දක්ෂ නම් අකුසලය තුලින් කුසලයක් මතුකොටගත් සැබෑම දක්ෂයෙක් බවට ඔබ පත්වෙනවා. සංසාරයේ ඔබම කරපු අකුසල් ඔබම උපේක්ෂාවෙන් විඳ දරාගෙන ස්වාමිපුරුෂයා කියන අර්ථය දුකක් නම් බිරිඳ කියන අර්ථය දුකක් නම් මම මේ භව ගමනේ ලබන අවසාන ස්වාමිපුරුෂයායි, අවසාන බිරිඳයි, මේ ලැබුවේ කියන චිත්තයෙන් ආදරය කෙරෙහි තිබෙන තෘෂ්ණාව ධර්මානුකූලව දකිමින් අතහරින්න.

අකුසලයේ කඳුලු තුලින්ම සැනසුමේ නිවීම මතුකොට ගන්න දක්ෂවෙන්න. ඔබේම අකුසල් ඔබට විපාක දෙනකොට ඒවාට එරෙහිව සටහන් කිරීමට ගොස් පින්වත් ඔබත් අනාගත භවයේ මොනරෙක්, සෙබඩක් නොවන්න. ආදරය කෙරෙහි ඇති ඇලීමත් අනාදරය කෙරෙහි ඇති ගැටීමත් කෙරෙහි ඇති තෘෂ්ණාව පින්වත් ඔබ අවබෝධයෙන්ම අතහරින තැන නොඇලෙන, නොගැටෙන උපේක්ෂාව කියන අර්ථය තුලට ඔබ එනවා. උපේක්ෂාව කියන ධර්මතාවයන් අනිත්‍යයි කියලා දකින තැන පින්වත් ඔබ පුරුෂාධිපත්‍යයෙනුත් ස්ති‍්‍ර ආධිපත්‍යයෙනුත් මිදුන නිදහස බුක්ති විඳිනවා. පුරුෂාධිපත්‍යයෙනුත්, ස්ති‍්‍ර ආධිපත්‍යයෙනුත් මිදුන තැන හරිම නිදහස් සුන්දර තැනක්. එහි ඇලීම්, ගැටීම්, උපේක්ෂා කිසිවක්ම නැහැ. සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මථාවය තුල, ඔහුට සමාජයේ ජීවත්වන සෑම පුරුෂයෙක්ම, ස්ත්‍රියක්ම අනිත්‍ය වූ සංස්කාරයක් පමණක්මයි. ඔහු නුවණින් දකිනවා සංසාරයේ ස්ති‍්‍රත්වය, පුරුෂත්වය නිසා ඇතිකොටගත් ආදරය නිසා අනාදරය නිසා හෙලු කඳුලු මහ සාගරයේ ජලයට වඩා වැඩිය කියලා. ආදරය කළ සිතින්ම බත් කැවූ අතින්ම හිස ගසා මරා දැමූ අවස්ථාවන් දස දහස් ගණනකට වඩා වැඩිය කියලා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, සංස්කාරයන් විපාක සලස්වලා අනිත්‍ය වී යන්නේ අනාගතයේ විපාකයට අලුතින් සංස්කාරයක් උපද්දවලා. ඒ නිසාමයි පින්වත් ඔබට නැවත නැවතත් මතක්කොට දෙන්නේ. සැප වේදනාවත් දුක්වේදනාවත් දෙක ඉදිරියේදීම සතිය සිහිය ඇතිකොටගන්නය කියලා.