පින්වත, කිනම් පක්‍ෂයක වේවා, අපේ රටේ පින්වත් රාජ්‍ය නායකතුමා හෙට හිමිදිරි උදෑසන අවදි වෙලා, සුවඳ පැනින් නා, පිරිසිදු වී, කර්මය කර්මඵල විශ්වාසය ඇති කොට ගෙන, ආජීව අට්ඨමක ශීලය සමාදන් වී, තමා සමාදන් වූ ආජීව අට්ඨමක ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගන්නා බවට, තමා තමාට ම පොරොන්දු වී, හෙට දවසේ පටන් රාජ්‍ය පාලනයේ අලුත උපන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘සිල්වත් රජ කෙනෙක්’ බවට පත් වුණොත්, මේ පුණ්‍යවන්ත දේශයට කිනම් සෞභාග්‍යයක් උදා වෙයි ද? පින්වත, රජතුමා පූර්වාදර්ශීව සිල්වත් වෙද්දී, තම ඇමති මණ්ඩලයත් සිල්වත් වෙනවා. පින්වත, ඇමති මණ්ඩලය සිල්වත් වෙද්දී, ඊට අනුව යමින් මන්ත්‍රී මණ්ඩලයත් සිල්වත් වෙනවා. පින්වත, ගෞරවනීය රාජ්‍ය නායකයෝ, පාලකයෝ සිල්වත් වෙද්දී, තම ලාමක බලය රැකගැනීම උදෙසා පැවිදි පක්‍ෂයට නොමනා ලාභ සත්කාරයෝ ලබා දෙන්නේ නැහැ. පින්වත, එම නිසා ම, පැවිදි පක්‍ෂයේ සිල්වත්භාවය තව තවත් ශක්තිමත් වෙනවා. පින්වත, ඉහත සියල්ලෝ ම ශීලයෙන් ශක්තිමත් වෙද්දී, එම පූර්වාදර්ශයෝ අනුව යමින්, පින්වත් ජනතාව ද සිල්වත්භාවයට වැඩි වටිනාකමක් දෙනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ශීලයේ ශක්තියට පුළුවන් වර්තමානයේ පරාජිත ජාතිය, ජයග්‍රහණයෙන් උඩුයටිකුරු කරන්න. පින්වත, අපේ පින්වත් රාජ්‍ය නායකයෝ තවම ඊට පුංචි හෝ සූදානමක් නැහැ. පින්වත, අපි අදත් ප්‍රවර්ධනය කරන්නේ බිඳුණ සිල් පද මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට තම ජීවිතය පූජා කරලා, තමන් උපන් රට විතරක් නොවේ, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකය ම, උතුම් සම්මා විමුක්තියක් බවට පත් කොට ගනිමින්, උතුම් ශීලයේ ආනිශංසයෝ සක් සුදක් සේ ලෝකයාට ඔප්පු කොට පෙන්වනවා.
පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය බවට පත් වෙන්නේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි. පින්වත, ගෞරවනීය උපසම්පදා ස්වාමීන් වහන්සේලා තුළින් ප්‍රාතිමෝක්‍ෂ ශීලය, විශේෂයෙන් ම සතර පාරාජිකාවෝ පිරිහිලා ම ගිය දවසට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ලෝකයෙන් අතුරුදන් වෙලා යනවා. පින්වත, ගෞරවනීය පැවිදි අපිට පුළුවන් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්න. පින්වත, වර්ණය, සැපය, බලයෙන් සම්මා සම්බුද්ධ ශාසනය අලෝකවත් කරන්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින්, වර්තමානයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ සිටින උතුම් ධර්ම විනයට සෙවණැල්ලක් වී වැඩ සිටින්න, වර්තමානයේදීත් පැවිදි අපිට පුණ්‍ය ශක්තිය තිබෙනවා. පින්වත, ගෞරවනීය පැවිදි අපි හැමෝම, මහා කරුණා ගුණයෙන්, අපිට දුකෙන් මිදීමට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මතු කොට දුන්, බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණමිත්‍රභාවයෙන් උපන් දරුවෝ. පින්වත, අපේ පැවිදි ජානවල බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ රුව සහ ගුණ තිබෙන්න ම ඕනේ. පින්වත, අධර්මයෝ පෙරළා අධර්මයෝ ම වඩවා දෙන නිසා ම, පැවිදි අපි පුංචි වරදේදීත්, එම පුංචි වරදට ලජ්ජාව සහ බිය ඇති කොට ගන්න ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උතුම් පැවිද්ද යැයි කියන්නේ ආශ්චර්යයක් නොවේ. පින්වත, තම උතුම් පැවිද්ද තුළින් දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගන්නා වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි, උතුම් පැවිදි ජීවිතයක ආශ්චර්යය බවට පත් වෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන දකිනවා, සංසාරයේ මම පැවිදි වෙලා, මගේ දුර්වල ශීලය, කල්ප කොතෙක් නම් මාව, පටිච්චසමුප්පන්නව සතර අපායන්ට දමන්න ඇති ද කියලා.
පින්වත, මනුෂ්‍ය ජීවිතවලින් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ දුර්වල වෙන කොට, ශීලයට කොන්ද කෙළින් තබාගෙන ඉන්න බැහැ. පින්වත, එවිට ශීලය, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ දිශාවට නැවිලා යනවා. පින්වත, අපි උතුම් තෙරුවන්ට කීකරු වුණොත්, අපි උතුම් ධර්ම විනයට අකීකරුකම් කරන්නේ නැහැ. පින්වත, උතුම් පැවිද්ද යැයි කියන්නේ දඬුවමක් නොවේ. උතුම් පැවිද්ද යැයි කියන්නේ දඬුවමින් මිදීමක් නැතහොත් නිදහස්වීමක්. පින්වත, අවිද්‍යාව අපිට නිරතුරුව ම දඬුවම් කරනවා. පින්වත, කුසල් සංස්කාරයෝ අපිට සිනහ වෙලා දඬුවම් කරනවා. පින්වත, අකුසල් සංස්කාරයෝ අපිට සිනහව මකා දමා දඬුවම් කරනවා. පින්වත, වර්තමානයේ ඔබ උතුම් තෙරුවන්ට කීකරු වෙන්න, පින්වත, එවිට අතීතය හෝ අනාගතය පිළිබඳව ඔබට ප්‍රශ්නයක් නැහැ. පින්වත, ඔබ නිරතුරුව ම වර්තමානය තුළයි ජීවත් වෙන්නේ. පින්වත, ඉන්ද්‍රිය සංවර ශීලයෙන් ශක්තිමත් සම්මා සමාධිමත් සිත, ලෝකය සරල කොට දෙනවා. පින්වත, අපි කවදාක හරි “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින, සරල ම තැනට ලෝකය පත් කොට ගන්න ඕනේ. පින්වත, සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිද්දී, අවිද්‍යාවට පවතින්න බැහැ. පින්වත, අවිද්‍යාවට පවතින්න බැරි තැනයි, විමුක්තිය උපදින්නේ. පින්වත, උතුම් සම්මා පැවිද්ද හරිම නිදහස්. පින්වත, සැබෑ සම්මා පැවිද්ද උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා ඥාන සහ සම්මා විමුක්තිය බරක් කොට ගන්නේ නැහැ. පින්වත, තෘෂ්ණාව හරිම දක්‍ෂයි ඇලීම් සහ ගැටීම්වලට බර වෙලා, ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් නොව, සම්මා ඥාන සහ සම්මා විමුක්තිය ද මිච්ඡා ධර්මයන්ගෙන් ආත්මීය දෘෂ්ටියේ බර පොදියක් බවට පත් කොට දෙන්න.
පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ, ලෝකය හරිම ලස්සනට විග්‍රහ කොට දෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ වැඩ සිටින්නේ, ලෝකය කිරි ගහට ඇන්නා වගේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් ලස්සනට විග්‍රහ කොට ගෙනයි. එම ආර්ය ජීවිතවල ඇලීමේ සහ ගැටීමේ අවලස්සන නැහැ. පින්වත, ප්‍රීතිය සහ පස්සද්ධියට විවෘත ධර්මයේ උපේක්‍ෂාවෙන්, එම ආර්ය ජීවිත සතිමත්වයි වැඩ සිටින්නේ. පින්වත, එම ආර්ය ජීවිතවල ඵස්සයේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන විඳීමේ අවුල් සංසිඳුණ තැන, එම ආර්ය ජීවිතවල බාහිර අවුල් සංසිඳී යනවා. පින්වත, අනාර්ය මනුෂ්‍ය ජීවිත ආර්ය ධර්මයන් හඳුනන්නේ නැහැ. පින්වත, එම ජීවිතවල ශ්‍රද්ධාව මැකිලා යනවා; මෛත්‍රිය සැඟවිලා යනවා; ශීලය අතුරුදන් වෙලා යනවා. පින්වත, එවිට ඇලීම් සහ ගැටීම් විතර්කයෝ, විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයෝ සහ දැනීම් අවුල් කොට දමනවා. පින්වත, අනාර්ය මනුෂ්‍ය ජීවිතවල ඇතුළාන්තය විඳීම් හේතුවෙන් ගිනි ගනිද්දී, එම අනාර්ය සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම්, ලෝභ, ද්වේශ, මෝහයෝ සහ කාම, රාග, පටිඝයෝ හේතු කොට ගෙන, බාහිර සමාජයත් අවුල් කොට දමනවා. පින්වත, අපේ ඵස්සය හේතුවෙන් සකස් වන විඳීමේ ගිනි, බාහිර සමාජයත් ගිනි තියනවා. පින්වත, සමාජය දෙස හොඳින් දෑස් හැර බලන්න. තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම්වලින් ගිනි ගන්නා මනුෂ්‍ය ජීවිත, පෙරළා මනුෂ්‍ය සමාජය ම ඇලීම් සහ ගැටීම්වලින් අවුල් කොට දමනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලයයි. පින්වත, අපි ජීවත් වෙන අවුල්වලින් පිරි සමාජයේ ජය හෝ පරාජයේ තීරකයා වන්නේ ද, මනුෂ්‍ය අපේ ඉන්ද්‍රිය සංවර ශීලය මයි.
පින්වත, අධර්මයෝ අධර්මයන් ම වඩවා දෙනවා. පින්වත, අපි ලියනවා, පින්වතුන්ලා කියවනවා. පින්වත, අපි දෙගොල්ලන්ගේ ලිවීමේ කෙටි ආස්වාදයත්, කියවීමේ කෙටි ආස්වාදයත් හැර, වෙනත් කිසිම ගුණාත්මක ඵලයක් සමාජය තුළ දකින්නට නැහැ. පින්වත, සමාජය දවසින් දවස අසමගියෙන් ලෙඩ වෙනවා. පින්වත, හැමෝම උත්සාහ ගන්නේ නායකයෝ වෙන්න. පින්වත, තමන් දෙවෙනි වී තමන් උපන් මාතෘභූමිය නායකත්වයට පත් කොට ගන්න කාටවත් ම උවමනාවක් නැහැ. පින්වත, තම තමන්ගේ දැනුම, බුද්ධිය සහ හැකියාවන් මෙලොව සහ පරලොව ජය ගැනීම උදෙසා උපයෝගී කොට ගැනීමට කල්‍යාණමිත්‍ර මාර්ගයෝ විවෘතව තිබියදීත්, තම දැනුම, බුද්ධිය සහ හැකියාවන් මෙහෙයවන්නේ අධිකරණ, බන්ධනාගාර, සිර ගෙවල් දිශාවට මයි. පින්වත, “උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම මනුෂ්‍යයෙක් ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා” යැයි කියන සම්බුදු වදන මොනතරම් නම් සත්‍යයක් ද? පින්වත, “ලෝකය තිබෙන්නේ මනුෂ්‍ය දුර්වලතාවයන් දැක, ඇලෙන්න හෝ ගැටෙන්න නොව, ලෝකය අවබෝධ කොට ගෙන නිදහස් වෙලා යන්න” යැයි කියන දහම, මොනතරම් නම් ප්‍රායෝගික ද? පින්වත, තමන් කිසියම් මානසික ව්‍යාධියකින් පෙළෙනවා යැයි නොදකින, ‘මමත්වයේ දැඩිභාවය’ මොනතරම් අපේ ජීවිත ප්‍රමාදීභාවයට පත් කරනවා ද? පින්වත, ඔබට නිවැරදි වෙන්න අවශ්‍ය නම්, ඔබ, ඔබ තුළ තිබෙන වැරදි දකින්න ම ඕනේ. පින්වත, ඔබ, ඔබ තුළ තිබෙන වැරදි, වැරදි හැටියට නොදකිනවා නම්, ඔබ වරදේ සිරකරුවෙක් වෙනවා. පින්වත, අපි තවම ඉගෙනීම අවසන් කරලා නැහැ. අපි තවමත් ඉගෙන ගන්නවා. පින්වත, අපි තවමත් “මේ ඇස ඉපදුණේ අවිද්‍යාවෙන්” ය කියන පාඩමවත් ඉගෙන ගෙන නැහැ. පින්වත, එම නිසා ම ඇසෙන් දකින රූපයන්ට අපි රැවටිලා යනවා.
පින්වත, ජීවිතය තවම නැවතිලා නැහැ. ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය ජීවිතයෙන් බැහැර නොයන තාක් කල් ජීවිතය, ජීවත් වෙනවා. පින්වත, ඇත්තට ම ජීවිතයෙන් කිසිම කරදරයක් නැහැ. පින්වත, ජීවිතය, ජීවිතයේ ස්වභාවයෙන් ම පවතිනවා. පින්වත, ජීවිතයේ ස්වභාවය තමයි, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ. පින්වත, ඉහත ධර්මයෝ අපි කාටත් පොදු ධර්මතාවයෝයි. පින්වත, බාහිර ස්වභාව ධර්මයේ ගහකොළ, අහස, පොළොවත් ඔබේ ආධ්‍යාත්මික රූපයත් අතර පුංචි හෝ වෙනසක් නැහැ. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර සියලු රූපයෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ අර්ථයෝ මයි. පින්වත, බාහිර සහ ආධ්‍යාත්මික රූප හැටියට ගත්තොත් අපි හැමෝම සතර මහා ධාතුවේ ඥාතීන් වෙනවා. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ, ‘සංඛාර පච්චයා විඤ්ඤාණ’, ‘නාමරූප පච්චයා සළායතන’, ‘සළායතන පච්චයා ඵස්සය’ කියන පටිච්චසමුප්පාද ධර්මයෝ තුළින් මනුෂ්‍ය ජීවිතවලට ආයුෂය, උණුසුම සහ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ සජීවී පහස ලබා දෙනවා. පින්වත, කරදරයක් නැති ජීවිත, කරදරයක් බවට පත් කරන්නේ තෘෂ්ණාව විසින් මයි. පින්වත, ලෝකයේ ලොකුම කරදරකාරයා තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් මයි. පින්වත, ඇලීම්, ගැටීම් අවම ජීවිතය, දුවන සංස්කාර ලෝකය ඉදිරියේ මන්දගාමීවයි තිබෙන්නේ. පින්වත, ඇලීම් සහ ගැටීම්, පංච උපාදානස්කන්ධ ලෝකය අධිවේගී කොට දෙනවා. පින්වත, ලෝකයේ වේගවත් ම ධාවකයා විඳීම් සහ සඤ්ඤා හේතුවෙන් සකස් වන සංස්කාරයෝ යැයි කීවාට වරදක් නැහැ. පින්වත, මේ වේගවත් ම ධාවකයා දුවන්නේ රට වටේ පමණක් නොවේ, අවිද්‍යාවේ හති දමමින් පටිච්චසමුප්පන්නව භවාත්‍රය වටේ ම දුවනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 ජුනි 07 දිවයින ඉරිදා සංග්‍රහය.