ජීවිතයට පණ දෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය.

පින්වත, ඔබේ ජීවිතය ඉල්ලන හැම දෙයක් ම, ඉල්ලන පළියට දෙන්න යන්න එපා. ඔබේ ජීවිතය ඉල්ලන දේවල් ඉල්ලන පළියට දෙන්න ගියොත්, දුන්න දෙයටත් වැඩි දේවල් ජීවිතය ඉල්ලාවි. පින්වත, කාම, රූපී, අරූපී උවමනා එපාකම් අඩු සහ වැඩි වශයෙන් ඕනෑ ම ජීවිතයකට පොදු ධර්මතාවයන් වෙනවා. පින්වත, සුගතිය, දුගතිය සහ භව නිරෝධය හැටියටත් ඉහත උවමනා එපාකම් විග්‍රහ කොට ගන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, ඔබේ ඵස්සයට ඉලක්ක කරන තෘෂ්ණාවේ අඩු සහ වැඩිභාවය මත ඔබේ ඉල්ලීම් වෙනස් වෙනවා. පින්වත, ජීවිතයට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගයට අදාළ ධර්මතාවයෝ දෙන්න. පින්වත, එවිටයි ජීවිතය ඉල්ලන ඉල්ලීම්වල හොඳ සහ නරක විනිවිද දකින, සම්මා සමාධිමත් සිතක් ඇති වෙන්නේ. පින්වත, සම්මා සමාධිමත් සිතක් තුළ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාවෝ ශක්තිමත් නැහැ. පින්වත, එවිට ජීවිතය පටන් ගන්නේ ඇලීම් සහ ගැටීම්වලින් තොර උපේක්‍ෂාවට නැමුණ සති සම්බොජ්ඣංගයෙන් මයි. පින්වත, සති සම්බොජ්ඣංගයෙන් පෝෂණය වූ උපේක්‍ෂාසහගත සිත ඉල්ලන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අරුතක් මයි. පින්වත, උපේක්‍ෂාසහගත සිත නමැති මේ ඥාතියායි, ඔබේ සැබෑ ම කල්‍යාණ මිත්‍රයා වෙන්නේ. පින්වත, කාම, රූපී, අරූපී දුර ගමන් යන ඔබේ තෘෂ්ණාවෙන් තෙත් වූ ඵස්සය, ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම්වල, සංකීර්ණභාවය නිසා ම, සති සම්බොජ්ඣංගයන්ට අපේ ජීවිතවලින් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි මයි. පින්වත, ඔබේ ජීවිතයට චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අකුරු කියලා දෙන කල්‍යාණ මිත්‍රයා, සති සම්බොජ්ඣංගයෙන් පෝෂණය වූ උතුම් ධම්ම විචය බොජ්ඣංගය මයි. පින්වත, ඔහු ඉල්ලන්නේ නැහැ, ඉල්ලන දෙය විදර්ශනාවෙන් කියලා දෙනවා.

පින්වත, ඔබ සුරකින ශීලය කාමයේ කෙටි ආස්වාදය උදෙසා නොව, ඔබේ ශීලය උතුම් සමාධිය උදෙසා ම විය යුතුයි. පින්වත, ඔබ සිල්වත් යැයි උජාරුවෙන් ශීලය තුළ නවාතැන් ගන්න එපා. එවිට ඔබේ ශීලයට ‘මමත්වයේ දැඩිභාවයේ’ සුළං වදීවි. පින්වත, ඔබ ශීලය කෙරෙහි ඇති කොට ගන්නා මමත්වයේ දැඩිභාවය, ඔබේ සමාධියට පමණක් නොව, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ට ද ලොකු හානියක් කරනවා. පින්වත, ශීලයට වටිනාකමක් නොදුන් ජීවිතයක් යැයි කියන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හිස් ජීවිතයක්. පින්වත, උතුම් සෝවාන්ඵලය ආදි වූ විදර්ශනා ඥානයන් උදෙසා ශීලය අවශ්‍ය නැහැ යැයි මිච්ඡා ධර්මයන් ඇසෙන සමාජයක, අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ, උතුම් ආජීව අට්ඨමක ශීලයෙන් තොරව, අවම වශයෙන් සම්මා සතිය, සම්මා සමාධියවත් ඇති කොට ගන්න බැහැය කියන ධර්මතාවය. පින්වත, ඔබ ගෞරවයෙන් ශීලය ආරක්‍ෂා කොට ගන්නා පින්වතෙක් නම්, ඔබේ ශීලය නිරතුරුව සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ පෙරළා අර්ථවත් කොට දෙනවා. පින්වත, ඔබ පුහුණු කරන ලෝභ, ද්වේශ, මෝහයෝ සියුම් කරන නෙක්ඛම්ම සංකප්පය, ඔබේ ශීලයට විදර්ශනාමය ගතිගුණ පුහුණු කරනවා. පින්වත, ඔබ දක්‍ෂ නම් ඔබ සුරකින ආජීව අට්ඨමක ශීලය සමග ම, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍යවේක්‍ෂා ශීලය සහ සම්මා ආජීව ශීලය යන සතර ශීලය ම පුහුණු කරන්න, එය ඔබේ ශීලයට ආර්ය ශීලයේ ගති ලක්‍ෂණ ලබා දුන්නා වෙනවා. පින්වත, සළායතනයෝ කාමච්ඡන්දයන්ගෙන් පිනවීම බහුල සමාජයක, ඔබට කෙලෙස් මත් පොවන සැබෑ ම පාතාලය වෙන්නේ දුස්සීලභාවය බව සිහිනුවණින් තේරුම් ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත, සමාජය ඔබව ඔසවා තැබුවත්, සමාජය ඔබව හෙලා දුටුවත්, ඉහත කාරණාවෝ දෙකම අයිති අනුනට මිස ඔබට නොවේ. පින්වත, ලෝකයට අයිති දේවල්, පින්වත, තෘෂ්ණාවට අයිති දේවල්, පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට, ශෝක, පරිදේවයන්ට අයිති දේවල් ඔබ, ඔබේ කර ගන්න යන්න එපා. පින්වත, ඔබ, ඔබේ පාඩුවේ ඉන්න. පින්වත, මහා උජාරුවෙන් අහස උසට ම ඔසවා තැබුව ජයග්‍රාහකයොත්, බින්දුවට ම වැටුණ පරාජිතයොත් යන දෙගොල්ලන්ට ම අවසානයේ අයිති වුණේ, පවුලේ සුසාන භූමියේ සතර රියන ම නේද? පින්වත, සිනාසෙන්න එපා, ඕක තමයි ජයග්‍රහණයේත්, පරාජයේත් ඇත්ත කතාව. පින්වත, මේ ඇත්ත කතාව සිහිනුවණින් දකින පින්වතා උත්සාහ ගන්නේ තම ජීවිතය තුළින් තවදුරටත් ජයග්‍රාහී දෙවියෙක්, මනුෂ්‍යයෙක් දකින්න නොවේ, තම උතුම් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයෝ දකින්නයි. පින්වත, ගිහි වේවා, පැවිදි වේවා ඊට එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ඔබට කියලා දෙනවා, දෙමාපියන්ගෙන් දරුවන්ට සහ දරුවන්ගෙන් දෙමාපියන්ට, බිරිඳගෙන් සැමියාට සහ සැමියාගෙන් බිරිඳට විය යුතු යුතුකම් පක්‍ෂය, ගුරුවරයාගෙන් ගෝලයාට, තම ගෝලාගෙන් ගුරුවරයාට විය යුතු යුතුකම් පක්‍ෂය. පින්වත, යුතුකම් සහ අයිතිවාසිකම් පිළිබඳව කර්මය කර්මඵල විශ්වාසයෙන් පරිත්‍යාගශීලී වෙන සමාජයක, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට, මෛත්‍රියට, ශීලයට, ත්‍යාගයට ලැබෙන්නේ සම්මා සතියට නැමුණ පංච නීවරණයෝ අවම ප්‍රතිලාභයෝ මයි. පින්වත, ඔබේ යුතුකම් පක්‍ෂය සමාජයට අකුරට ඉටුකරන්නාට, ලෝකයාට ඇති ණයෙන් නිදහස් වෙන දිශාවට මයි දැනීම් සකස් කොට දෙන්නේ.

පින්වත, අතීත පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාරයන්ට ඔබව පාලනය කරන්න දෙන්න එපා. අකුසල් සංස්කාරයන්ට අදාළ දැනීම් ඔබව ගිලගනීවි. පින්වත, ගෙවී ගිය අතීතය අයිති, අනිත්‍ය වී ගිය අතීත පංච උපාදානස්කන්ධ ධර්මයන්ට. පින්වත, මළ ධර්මයෝ යළි අවදි කරන්න එපා. වර්තමානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ම ජීවිතයට පණ දෙන්න. පින්වත් මහත්මියක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මගේ සැමියා මනුෂ්‍යයෙක් නොව දෙවියෙක්” ය කියලා. පින්වත, තවත් පින්වතියක් භික්ෂුවට කියනවා, තමන්ගේ සැමියා මනුෂ්‍ය ධර්මයන් හීන සැමියෙක්ය කියලා. පින්වත, අතීත සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම් අපේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණ ධර්මයන් තුළ සැඟවිලා තිබෙනවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන මනුෂ්‍යයා වරෙක දෙවියෙකුත්, කල්‍යාණමිත්‍ර ආශ්‍රය අහිමි මනුෂ්‍යයා වරෙක අමනුෂ්‍යයෙකුත් බවට පත් කරන්නේ ‘පටිච්චසමුප්පන්න විඤ්ඤාණය’ නමැති වධකයාගේ සාංසාරික පුරුදු පුහුණු හේතුවෙන් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට සිල් පදයක් දුර්වල කොට ගන්න සිත සකස් වෙන්නේ ම නැහැ. පින්වත, ඊට හේතුව කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන්, සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්, සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමෙන් ඇති කොට ගත්තා වූ සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ඉහත ධර්මයෝ අපි මඟ හැර යද්දී, කැමැත්තෙන් ම අපි ශීලයට අඩු වටිනාකම් දෙනවා. පින්වත, හේතුඵල ධර්මයෝ, පුද්ගල සඤ්ඤාවෝ බැහැර කොට හරි සහ වැරදි අපිට කියලා දෙනවා. පින්වත, දෑස් පියාගෙන ඔබේ ජීවිතය දෙස බලන්න. ඔබට දැනෙනවා ද, ඔබේ හදවත ගැහෙන රිද්මය? පින්වත, එම රිද්මයට පණ දෙන ආයුෂය, උණුසුම සහ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති වධකයාගේ, සළායතනයෝ නමැති පටිච්චසමුප්පන්න ගොදුරු බිම කෙරෙහි සිහිනුවණින් පසු වෙන්න.

පින්වත, වර්තමානයේ ශරීරයේ පච්ච සිතුවම් කොටා ගැනීමේ කලාව ගොඩාක් ජනප්‍රිය වෙලා නේද? පිරිමි පක්‍ෂයට වඩා කාන්තා පක්‍ෂය මෙම කලාව සතුටින් පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. පින්වත, මේ අපි දකින්නේ රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයයි. පින්වත, රූපයේ කෙටි ආස්වාදයට තමයි ශරීරයේ මස් පිඬු ශක්තිමත්ව, වර්ණවත්ව තිබෙන තාරුණ්‍යය යැයි කියන්නේ. පින්වත, තාරුණ්‍යය ආස්වාදයක් වුවත්, වයස අවුරුදු හතළිහේ සීමාව ඉක්ම යද්දී, රූපයේ දීර්ඝ ආදීනවයන් එළඹෙනවා. පින්වත, රූපයේ දීර්ඝ ආදීනවයෝ උදා වෙද්දී, ඔබේ ශරීරයේ මස් පිඬු හැකිලී, සම රැළි වැටී, සමේ වර්ණවත්භාවය දුර්වල වෙලා යනවා. පින්වත, රූපයේ කෙටි ආස්වාදය ඉදිරියේ පච්ච කලාව ලස්සනට පෙනුනත්, රූපයේ ආදීනවය ඉදිරියේ ඔබේ සම රැළි වැටී, මස් පිඬු එල්ලා වැටෙද්දී, ශරීරයේ සිතුවම් කොට තිබෙන පච්ච මෝස්තරය ඉතාමත් අවලස්සනටයි පෙනෙන්නේ. පින්වත, එවිට ඔබේ රැළි වැටුණ සම පච්ච මෝස්තරය විසින් තව තවත් අවලස්සන කොට බාහිරට පෙන්වනවා. පින්වත, වර්තමානයේ ආස්වාදයෙන් දකිනා ඔබේ ශරීරයේ පච්ච මෝස්තරය, අනාගතයේ දී ඔබට මහා මානසික වදයක් වෙනවාට සැකයක් නැහැ.

පින්වත, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ අපේ ආධ්‍යාත්මයේ, සිංහල බෞද්ධ හැඩරුවේ හේතුඵල ධර්මයෝ තිබෙන්නට ඕනේ. පින්වත, පින්වත් කාන්තා ආධ්‍යාත්මය තුළ සිංහල බෞද්ධ හැඩරුවේ ප්‍රධාන ම මෝස්තරය බවට පත් විය යුත්තේ ශීලයයි. පින්වත, අත් රහිත හැට්ටයක් පැලඳගත් අතේ උඩු කොටසේ පච්ච මෝස්තරයක් සිතුවම් කොටගත් නෝනා කෙනෙක් පසුගිය දවසක භික්ෂුව දැක්කා. පච්ච මෝස්තරය හොඳින් බාහිරට පෙනෙන්න හැට්ටයේ අතත් අයින් කරලා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “ශීලය පින්වත් කාන්තාවකගේ බලයයි” කියලා. පින්වත, සිල්වත් කාන්තාව සමාජය, ඥාතීන්, ස්වාමිපුරුෂයා ඉදිරියේ පමණක් නොවේ, දෙවියන් අතරත් ජනප්‍රිය වෙනවා. පින්වත, ශීලය කාන්තා ඔබේ භව භෝග සම්පත් වන, කුමරි බඹසර, පතිදම්, ආත්ම ගරුත්වය, නීරෝගීභාවය ආරක්‍ෂා කොට දෙනවා. පින්වත, ශීලය පින්වත් කාන්තා ඔබට, යහපත් සැමියෙක්, යහපත් දූදරුවන්, යහපත් අනාගතයක් යැයි ඔබලා දකින අනාගත අභියෝගයන් ජයග්‍රහණය කොට දෙනවා.

පින්වත් කාන්තාවක් භික්ෂුවගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්, තම ශරීරයේ පච්චයක් සිතුවම් කොට ගැනීම හේතුවෙන් ශීලය දුර්වල වෙන්නේ නැහැ නේද කියලා. සත්‍යකින් ම ඔබ නිවැරදියි. ඔබේ ශීලය දුර්වල වෙන්නේ නැහැ. ගෞරවනීය පින්වතිය, මෙත් සිතින් සටහන් තබනවා, ඔබ රකින ශීලය බලයක් වෙන්න නම්, ඔබ සුරකින ආජීව අට්ඨමක ශීලය හෝ පංචශීලය, ඉන්ද්‍රිය සංවර ශීලයෙන්, ප්‍රත්‍යවේක්‍ෂා ශීලයෙන් සහ සම්මා ආජීව ශීලයෙන් අර්ථවත් වෙන්න ඕනෑය කියන කාරණය විවේකීව තේරුම් ගන්න ඕනේ. පින්වත් කාන්තාව බලයක් බවට නොව, ගොදුරක් බවට පත් වෙන සමාජයකටයි අපි පියවර තබමින් සිටින්නේ. පින්වතිය, ඔබට සමාජය ඉදිරියේ ගොදුරක් නොවී, බලයක් වෙන්න අවශ්‍ය නම්, ඔබ සුරකින ශිලයට, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍යවේක්‍ෂා ශීලය සහ සම්මා ආජීව ශීලයේ ශක්තිය මුසු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, සිංහල බෞද්ධ ආධ්‍යාත්මයේ හැඩරුව විකෘති කරන, රූපයේ කෙටි ආස්වාදයෝ, වේදනානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න, එයම පින්වත් ඔබලාට මහා බලයක් ම වේවි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 ජනවාරි මස 18 ඉරිදා දිවයින පුවත්පතින්.