කුඩා වරදේත් බිය දකින්න.

පින්වත, සැප අහිමි, දුකට බර ජීවිත මොනතරම් නම් සමාජය තුළ තිබෙනවා ද? පින්වත, මාසික වැටුපෙන් පමණක් අඹුදරුවන් පෝෂණය කර ගෙන ජීවත් වන දෙමාපියන්, ලෝකයාට හොරා අත්විඳින මානසික පීඩනය කවදාහරි දවසක අවසන් කරන්නේ රජයේ රෝහලක ඇඳක් මත නේද? පින්වත, පණ යන මොහොතේ දරුවෙක්වත් ළඟපාතක නැහැ. ජීවිතය පුරා ම අඹුදරුවන් වෙනුවෙන් දුක් විඳලා කාටවත් ම නොකියා ම පටිච්චසමුප්පන්නව යන්න යනවා. පින්වත, භික්ෂුව හොඳටෝම දන්නවා වන්දනා ගමනක්, විනෝද ගමනක්, නොගිය වැඩිහිටි දෙමාපියන් ගැන. පින්වත, විනෝද වෙන්න, ලබන වැටුපේ ඉතිරියක් තිබුණේ නැහැ. ඊළඟ වැටුප මහ මෙරක් වගේ මයි දැක්කේ. පසළොස්වක පොහොය දවසට පන්සලට ගියත් ඒ අසරණ දෑත්වල පොල් තෙල්, හඳුන්කූරු තිබුණේ නැහැ. පොලිතීන් කවරයක අහල පහළින් කඩා ගත්ත මල් ටික විතරයි තිබුණේ. පින්වත, මෙම පින්වතුන්ලා දුක ‘මම ය’ කියලයි දැක්කේ, දුක විනිවිද දැක්කේ නැහැ. දුක විඳලා ම අවසන් කළ යුතු යැයි දැක්කා. පින්වත, දුකට හේතුව ‘තෘෂ්ණාව’ යැයි දැක්කේ නැහැ. සැපයට මාර්ගය ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය’ යැයි දැක්කේ නැහැ. පින්වත, ඒහිපස්සිකව ධර්මයේ අර්ථයන් තුළ ජීවත් වුවත්, ධර්මයක් නොදැක ම එම අසරණ පින්වතුන් මෙලොවින් සමු ගත්තා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, මෛත්‍රියත්, ශීලයත්, දානයත් සම්මා දිට්ඨියට අදාළව කර්මය කර්මඵල විශ්වාසයෙන් විග්‍රහ කොට ගන්න අසමත් වූ එම ජීවිතවල, පරලොව ජීවිතය කුමක් නම් වේවි ද? පින්වත, ඔබේ පින්වත් දරුවාට පුංචි සන්ධියේ ‘අ’, ‘ආ’ යැයි අකුරු කියා දෙනවා වගේ ම, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ ආනිශංස ධර්මයෝ කියලා දෙන්න. දුකෙන් පිරි ලෝකය ඉදිරියේ ඔබේ දරුවා අනාගත සැපයෙන් අසමත් කරන්න එපා.

පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව ජීවිතය විග්‍රහ කොට ගන්න අසමත් පින්වතුන්ලාගේ හිස මතට අනාගතයේ දවසක ලෝකය කඩා වැටෙන්නේ හිතා ගන්නවත් බැරි විදියට. පින්වත, එවැනි පින්වතුන්ලා ජයග්‍රහණය දකින්නේත් ‘මම ය’, ‘මගේ ම’ යැයි කියලා. එම නිසා ම ජයග්‍රහණය ඉදිරියේ මාන්නය, ආත්මීය දෘෂ්ටිය තව තවත් තීව්‍ර කොට ගන්නවා. පින්වත, මෙවැනි පින්වතුන්ලා පරාජයන් දකින්නේත් ‘මම ය’, ‘මගේ ම’ යැයි ආත්මීය දෘෂ්ටියෙන් මයි. එම නිසා ම පරාජයන් නිහතමානීව පිළිගන්න සහ පරාජයන්ට හේතු දකින්න කැමති නැහැ. එම නිසා ම සතුරන් සහ අවුල් තව තවත් වැඩි කොට ගන්නවා. පින්වත, මම නිවැරදියි, අනෙක් හැමෝම වැරදියි, මට විතරයි පුළුවන්, අනෙක් හැමෝට ම බැහැ යැයි දැකීම, ආත්මීය දෘෂ්ටියේ ප්‍රධාන ම රෝග ලක්‍ෂණය වෙනවා. පින්වත, අධර්මය කියවා ධර්මය යැයි තේරුම් ගැනීම නිසා ම, ජයග්‍රහණයෝ කඩාගෙන වැටෙද්දී, පෙරළා එල්ලෙන්නේ අධර්මයන්ගේ වලිගයේ මයි. පින්වත, සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් තීන්දු තීරණ අරගෙන, සමගියෙන් විසිරිලා යන්න ආත්මීය දෘෂ්ටියේ ලේ ඥාතියෙක් වන ‘අධිමාන්නය’ බාධා පමුණුවන කොට, ඒකපාක්‍ෂික ගති ලක්‍ෂණ ජීවිතගත වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, මෙම අධිමාන්නය තුළ හීනමාන්නයත් බැසගෙන තිබෙනවාය කියන කාරණය අපි සිහිනුවණින් විනිවිද දකින්න ඕනේ. පින්වත, ජනප්‍රියභාවය ශීලයේ සහ මෛත්‍රියේ ආනිශංසයක් කොට දකින්න. පින්වත, තව තවත් සිල්වත් වෙන්න. මෛත්‍රියෙන් හැමෝට ම ගරු කරන්න. පින්වත, වර්ණය, සැපය, බලය දානයේ ආනිශංසයෝ හැටියට දකින්න. තව තවත් දන් දෙන්න. වර්ණය, සැපය, බලය ශක්තිමත් කොට ගන්න. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ඔබේ ජීවිතයේ ජයග්‍රහණයෝ ආරක්‍ෂා කොට දෙන, කලණ මිතුරු බවට පත් කොට ගන්න.

පින්වත, ශීලය පැවිදි අපේ ජීවිතවලට ආලෝකයක්, ශීලය අපේ ජීවිතවලට ජනප්‍රියභාවයක්, ශීලය අපේ ජීවිතවලට ආරක්‍ෂාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෙක් සතු භව භෝග සම්පත් වන උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් ගුණාත්මකව ඵල දරන්නේ ශීලයේ ශක්තියෙන් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට අනුශාසනා කොට තිබෙන්නේ, “කුඩා වරදේත් බිය ඇති කොට ගන්න” කියලයි. පින්වත, කුඩා වැරදි කෙරෙහි බිය අපෙන් පහව ගියොත්, පුංචි, පුංචි වැරදි හේතුවෙන් “අධර්මයෝ, අධර්මයන් ම වඩත්” කියන ලොකු වැරදි දිශාවට අපිව මෙහෙයවනවා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ලොකු වැරදි සහ පොඩි වැරදි යැයි දෙකක් අපි දකින්න හොඳ නැහැ. අපෙන් දුර්වල වන සෑම සිල් පදයක් ම ලොකු වරදක් කොටයි අපි දකින්න ඕනේ. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල්වත්භාවයට බිය වෙන්නා, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ටයි බිය වෙන්නේ. පින්වත, අපි චතුරාර්ය සත්‍යය ධර්මයන්ට බිය වුණොත් තෘෂ්ණාව අපිට ගොඩාක් ලෙන්ගතු වෙනවා. පින්වත, තෘෂ්ණාවේ භව භෝග සම්පත් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ මයි. පින්වත, තෘෂ්ණාවේ භව භෝග සම්පත්වලින් අපේ ජීවිතවල කිරි උතුරවන්න හොඳ නැහැ. එවිට සෞභාග්‍යය වෙනුවට පිරිහීමට දොරටු විවෘත වෙනවා. පින්වත, පැවිදි ජීවිතයකට ශීලය හරිම සැහැල්ලුවක් වෙනවා. ශීලය තෘෂ්ණාවේ බරෙන් අපිව සැහැල්ලු කරනවා. පින්වත, ශීලය අපිව පිරිහීමට හේතු වන මාර ධර්මයන් ඉදිරියේ අපේ සම්මා සතිය අර්ථවත් කොට දෙනවා. පින්වත, ශීලය අපිට සිහි මුළා නොවූ මරණයක සුන්දර භාග්‍යය ලබා දෙනවා.

පින්වත, භික්ෂුවගේ ජීවිත කාලය පුරාවට සමාජය තුළ සිදු වූ ජනප්‍රියතම සිදු වීම ගෝල්ෆේස් අරගලයයි. පින්වත, රටේ බහුතරයක් ජනතාව එක හඬින් එකට එක් වූ මෙම අරගලය, රටේ රාජ්‍ය පාලනය පවා අකර්මණ්‍ය කොට දැමුවා ඔබට මතක ද? පින්වත, අපි එදා දැක්කේ රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයේ සැබෑ ම හැඩරුවයි. පින්වත, පිනේ කෙටි ආස්වාදයත්, පවේ ආදීනවයත් හේතුවෙන් දෙපාර්ශ්වයකට ජය සහ පරාජය උරුම කොට දුන් අරගලය පසුපස සැඟවී තිබෙන, දීර්ඝ ආදීනවයෝ දෙස අපි සිහිනුවණින් පසුවෙන්න ඕනේ. පින්වත, අපි අත්දකින යම් විනාශයක්, ජයග්‍රහණයක් බවට පත් කොට ගන්න නම්, එම විනාශය චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ විසිරුවා දැක, විනාශයට මුල් වූ හේතුඵල ධර්මයන් මතු කොට ගැනීමට අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, තෘෂ්ණාව, තෘෂ්ණාවෙන් පරාජය කරන්න බැහැ. පින්වත, විනාශයට මුල් වූ තෘෂ්ණාව, තෘෂ්ණාවෙන් ම පරාජය කරන්නට ගියොත්, පෙරළා උපදින්නේ තෘෂ්ණාවේ විකෘතියක් මයි. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදත් ජීවිත හරිම ආවේගශීලියි. පින්වත, මෙම ආවේගශීලීභාවය විවෘතව වගේ ම සැඟවී ප්‍රකාශ වෙන්නත් පුළුවන්කම තිබෙනවා. පින්වත, සෝවාන්ඵල අවබෝධය ලැබූ පින්වතාගේ සිතත්, කාමයන් ඉල්ලනවා. ඔහු එම කාමයන් තුළ ජීවත් වෙන්නේ ආර්ය ශීලයේ ආරක්‍ෂාව තුළ සිටිමින් මයි. පින්වත, සකෘදාගාමී පින්වතාගේ සිත අනුශය කාමයන් කෙරෙහි කැමැත්ත දැක්වුවත්, තමාගේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය දැක්මෙන් පෝෂණය වූ සිත, පෙරළා කාමයන් ප්‍රතික්ෂේප කරනවා. පින්වත, පෘථග්ජන පින්වතා තම සිත ඉල්ලන කාමයන් ඉදිරියේ, අසිහියෙන් ම කාමයන්ට බැඳිලා යනවා. පින්වත, ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී පින්වතා කාම සිතුවිලි ඉදිරියේ වරද සහ නිවැරදිභාවය විමසා බලා දෙකෙන් එකකට බැඳී යනවා.

පින්වත, අවංක ආදරයට සීමාවක් නැහැ. පින්වත, අවංක ආදරය අසීමාන්තිකයි. පින්වත, අවංක ආදරය තුළත් මොනවට බැසගෙන තිබෙන්නේ අවිද්‍යාවේ සහ තෘෂ්ණාවේ රසයයි. පින්වත, ආදරය කරන්නට පෙරාතුව ඔබ සිතන්නේ ආදරයට සීමාවක් තිබෙනවාය කියලයි. ඒත් ආදරය කරන්න, කරන්න, ආදරය තව තවත් තෘෂ්ණාවේ දළු දමා ලියලනවා. පින්වත, දළු දමා ලියලන අවංක ආදරයේ දී, ඔබ මෙලොව දී ලබන ආස්වාදනීය අවසානයක් තිබෙනවා. එම ආස්වාදනීය අවසානයට කියන්නේ තෘෂ්ණා පච්චයා උපාදානං, උපදාන පච්චයා භවය කියලයි. පින්වත, පටිච්චසමුප්පන්නව ඔබලාගේ අවංක ආදරණීය දැනීම් භවයට කැන්දාගෙන යනවා. පින්වත, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, තරුණ ගිහි ජීවිතයේ දී, “පිප්ඵලී” විවාහක තරුණයෙක් හැටියට තම ආදරණීය බිරිඳ, “භද්දකාපිලානාගෙන්”, උතුම් පැවිද්ද උදෙසා සමුගන්නා මොහොතේ දී ප්‍රකාශ කළ ආදරයේ, කෙටි ආස්වාදයේ නාමයෙන් බැඳී යන දීර්ඝ ආදීනවයේ සාංසාරික දුකේ හද ගැස්ම, පිප්ඵලී මෙසේ ප්‍රකාශ කරනවා. “පින්වත් භද්දකාපිලානා, අපි දෙදෙනා අතීත භව ගමනේ පටිච්චසමුප්පන්නව ජීවිත දසදහස් ගණනක් ප්‍රේමවන්තයන් ලෙස, අඹුසැමියන් ලෙස එකට හමුවුණා, හමුවෙලා අවංකව ආදරය කළා. අපගේ පටිච්චසමුප්පන්න ආදරයට ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ කියන ධර්මතාවය ඔස්සේ කල්ප ගණනාවක දීර්ඝ අතීත ආයුෂයක් තිබෙනවා. පින්වත් භද්දකාපිලානා, මේ මොහොතේ අපේ පටිච්චසමුප්පන්න ආදරණීය ආදරයට උපේක්‍ෂාසහගත සිතින් අපි සමුදෙමු. පින්වත් භද්දකාපිලානා, ඔබ බුදුරජාණන් වහන්සේ සොයාගෙන උතුරු දිශාවට යන්න, මම දකුණු දිශාවට බුදුරජාණන් වහන්සේ සොයාගෙන උතුම් පැවිද්ද උදෙසා යනවා.” පින්වත, පටිච්චසමුප්පන්නව භවයෙන් භවය, අවිද්‍යාවේ මුලෙන්, තෘෂ්ණාවේ පොහොරින් ලියලා වැඩුණ ආදරණීය ආදරයක කෙලෙස් රසය නිවී ගිය පසුව උපදින, ආදරණීය විරාගී විමුක්තියේ රසය, ආදරණීය දෙහදක, දෑඟිලි බැඳුණ ගමනක පටිච්චසමුප්පන්න අවසානය වෙනවා. පින්වත, ආදරණීය සියලුම රසවත් සංස්කාරයෝ උතුම් සම්මා ඥානයෙන්ගේ නික්ලේශී රසයන් ඉදිරියේ මැකිලා ම යනවා. පින්වත, ආදරයේ නාමයෙන් කෙටි ආස්වාදයේ සිහින දකින්න එපා. පින්වත, එම සිහින තුළ සැඟවුණ, අතීත සංස්කාර හේතුවෙන් සකස් වන, විඤ්ඤාණයේ මායාව දකින්න. පින්වත, එවිටයි දෙහදක බැඳුණ යුතුකම් සහ අයිතිවාසිකම් කෙරෙහි මහ මෙරක් සේ නොසැලී, යුතුකම් ඉටු කරමින් දෙපාර්ශ්වය ම සතුටින් අයිතිවාසිකම් භුක්ති විඳින්නේ. පින්වත, තෘෂ්ණාව තිබෙන තාක් කල් ආදරයට වෙහෙසක් නැහැ. පින්වත, තෘෂ්ණාවේ ලාටු හදවත් අලවනවා. පින්වත, තෘෂ්ණාවේ ලාටු නිවී යද්දී, ආදරණීය බැඳීම් යළි නොඇලවෙන්න ම ගැලවී යනවා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 ජනවාරි 11 ඉරිදා දිවයින පුවත්පතින්.