දුක සහ සතුට යන අන්ත දෙකෙන් ම නිදහස් වන්න.

පින්වත, 2026 වසර උදා වුණා නේද? පින්වත් ඔබ උදා වූ නව වසර පංච නීවරණයන්ගෙන් ද, එසේත් නැතිනම් සප්ත බොජ්ඣංගයන්ගෙන් ද පිළිගත්තේ? පින්වත, ඔබ උදා වූ නව වසර කාමච්ඡන්දයන් ආදි වූ පංච නීවරණයන්ගෙන් පිළිගත්තා නම්, අධර්මයෝ අධර්මයන් මයි ධර්මානුකූලව වඩවලා දෙන්නේ. පින්වත, ඔබ ලෞකික සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සතිය, සිහිය මුල්කොට ගත්, සප්ත බොජ්ඣංගයන්ගෙන් නම් නව වසර පිළිගත්තේ, ධර්මයෝ ධර්මයන් ම ඔබ තුළින් වඩවලා දේවි. පින්වත, බලාපොරොත්තු බිඳවැටීම්, සිත් වේදනා, අහිමි වීම් මේවා අයිති අකුසලයට. පින්වත, අකුසලයට අයිති දේවල් අකුසලයට භාර දෙන්න. පින්වත, අකුසලය ‘මම ය’, ‘මගේ ය’ යැයි කියලා අකුසලය ඔබ අයිති කොට ගන්න එපා. පින්වත, ලෝකය ඔබටවත්, භික්ෂුවටවත් අයිති නැහැ. ලෝකය අයිති අවිද්‍යාවෙන් උපදින ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට. පින්වත, අවිද්‍යාවේ ලෝකයට අභියෝග කරන්න යන්න එපා. පින්වත, ලෝකයට අභියෝග කළොත්, ජය හෝ පරාජය නමැති ලෝකය මයි යළි උපදින්නේ. පින්වත, නිමාවක් හෝ අවසානයක් නැති ලෝකයක අපි අතරමං වෙලා. පින්වත, අපි ජරා, ව්‍යාධි, මරණ සංස්කාර ලෝකය තුළ අතරමං වුවත්, තවම මනුෂ්‍ය අපි චතුරාර්ය සත්‍යය ධර්මයෝ මරා දමලා නැහැ. පින්වත, අපි පුණ්‍යවන්ත එහෙත් තෘෂ්ණාව හේතුවෙන් අතරමං වූ ජාතියක්. පින්වත, උදා වූ පුණ්‍යවන්ත 2026 වසරේ, ඔබ යළි ලෞකික සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උපදින්න. පින්වත, ප්‍රශ්න අකුසලයට භාර දී, කුසලයේ සතුටු සිතින් උදා වූ 2026 නව වසරේ නැගී සිටින්න. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින උතුම් ධම්මානුපස්සනාව ඔබේ ශක්තිමත් ම විදර්ශනාමය ආරක්‍ෂකයා කොට ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ බහුල ලෝකය තුළ, සතුට හරිම දුර්ලභ දෙයක්. පින්වත, සතුට යැයි කියන්නේ පින. පින්වත, වර්ණය, සැපය, බලයටත් පින යැයි කියනවා. පින්වත, උදා වුණ පුණ්‍යවන්ත 2026 නව වසරේ ඔබ ලබන වර්ණය, සැපය, බලය ‘මම’ යැයි, ‘මගේ’ යැයි, ‘මගේ ආත්මය’ යැයි ආත්මීය දෘෂ්ටියෙන් දකින්න එපා. එහෙම දැක්කොත්, ඔබ ලබන වර්ණය, සැපය, බලයට සැබෑ හේතුව වන “පින” කෙරෙහි විශ්වාසය ඔබෙන් ගිලිහිලා යාවි. පින්වත, එහි ඵලය ආත්මීය දෘෂ්ටියෙන් උනන උද්ධච්ඡභාවයේ, මාන්නයේ “පව”, ඔබ ලැබූ වර්ණය, සැපය, බලයේ ලොකුම සතුරා වේවි. පින්වත, ඔබ, ඔබට සතුරෙක් වුණොත් බාහිර සියල්ලෝ ම සතුරන් හැටියට ඔබට පෙනේවි. පින්වත, අභියෝගයන් ඉදිරියේ නැගී සිටින ආත්ම විශ්වාසය ඔබට දෙවියෙක්, බ්‍රහ්මයෙක් විසින් දෙන දෙයක් නොවේ. පින්වත, ඔබේ ම පිනේ ශක්තියෙනුයි ආත්ම විශ්වාසය මතු කොට ගත යුත්තේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට සිතෙන්නේ, 2026 වසරේ මේ ලෝකයේ සතුටින් ම ජීවත් වන මනුෂ්‍යයා, භික්ෂුව කියලයි. පින්වත, එම අහිංසක සිතුවිල්ල සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් සෝදා හරිද්දී, භික්ෂුවගේ ජීවිතය, දුක සහ සතුට යන අන්ත දෙකෙන් ම නිදහස් වී, ධර්මයේ උපේක්‍ෂාවට පත් වෙනවා. පින්වත, කාටවත් ම අභියෝග කරන්න බැරි සතුටේ ධර්මානුකූල හිමිකරු ඉන්නේ භික්ෂුවගේ ම උපේක්‍ෂාසගහත ආධ්‍යාත්මය තුළයි. පින්වත, ඔබයි මේ ලෝක ධාතුවේ දුර්ලභ ම මනුෂ්‍යයා. උදා වුණ 2026 වසරේ පරාජිත අදහස්වලින් මිදී, ඔබ තුළ ජීවත් වන ජයග්‍රාහී මිනිසා මතු කොට ගන්න. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ උරුමය, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ උරුමය, උතුම් අධිගමයන්ගේ උරුමය, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් නිදහස් වීමේ උරුමය දරාගත්ත මේ ලෝක ධාතුවේ පුණ්‍යවන්ත ම මිනිසා ඔබයි. පින්වත, අපරාජිතභාවයෙන් නැගී සිටීමට ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ මෙම පුණ්‍යවන්ත ධර්ම දානය, ඔබ සියලුම දෙනාට අයෝමය ශක්තියක් වේවා! යැයි, 2026 වසරේ ආරම්භයේ දී ම මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.

පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිද්දී, පින්වත් ඔබ, කාම, රූපී, අරූපී යැයි කියන භවාත්‍රය ම සිහියට නගා ගෙන මේ සියලු කාමයේ සහ වේදනාවේ සැප සහ දුක් ආස්වාදයෝ සහ ආදීනවයෝ අනිත්‍ය යැයි සිහිනුවණින් දකින්න. පින්වත, කාම, රූපී, අරූපී භවාත්‍රය ම අනිත්‍ය යැයි දකිද්දී, ඔබේ සිත තාවකාලිකව භවාත්‍රයෙන් මිදුණා වෙනවා. එවිට ඔබේ සිත තාවකාලිකව පිහිටන්නේ භව නිරෝධය තුළයි. පින්වත, කෙලෙස්වලින් බරිතව, අකුසලය තිරිහන් වන ලෝකයක, විදර්ශනාමය කුසල් ප්‍රතිලාභයෝ උපක්‍රමශීලීව ඔබේ ජීවිතයට මතු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, පුංචි සිතුවිල්ලෙනුත් උපරිම, “ධර්මයෝ, ධර්මයෝ ම වඩත්” කියන ප්‍රතිලාභය මෙත් සිතින් උපයා ගන්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, පසුගිය විසිඑක් වෙනිදා භික්ෂුවගේ උපන් දිනය යෙදී තිබුණා. පින්වත, ගොඩාක් පින්වතුන් මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන්, සියතින් ම භික්ෂුවට සුභපැතුම් එක්කරලා තිබුණා. පින්වත, මේ සත්පුරුෂ හැමෝට ම පෙරළා කෘතවේදීභාවය දැක්වීම උදෙසා ම, මේ හැමෝට ම විදර්ශනාමය ආශීර්වාදයක් හිමි කොට දීම උදෙසා ම, භික්ෂුව මේ සියලුම සුභපැතුම් ඉදිරියේ “සියලුම සංස්කාරයෝ අනිත්‍යයි” කියලා, තාවකාලිකව කාම, රූපී, අරූපී භවාත්‍රයෙන් සිත මුදවාගෙනයි පෙරළා පින්වත් ඔබලාට විදර්ශනාමය මෙත් සිතින් ‘අභිවාදන සීලිස්ස’ යැයි ආශීර්වාදයන් තැබුවේ. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මේ ලෝක ධාතුවේ දුර්ලභ ම සහ වටිනා ම ධනයයි. පින්වත, මේ උතුම් ධනයයි කවදා හෝ දවසක උපතත්, මරණයත් යැයි කියන දුක්ඛ සත්‍යයෝ, පරිපූර්ණ වශයෙන් ම නිරෝධය කොට දමන්නේ.

පින්වත, ඔබ සියල්ල අතහරින්න, එවිට ඔබට සියල්ල ම ලැබේවි, පින්වත, ඔබට සියල්ල ම ලැබෙද්දී, ඒ කිසිවක් ම ඔබට අවශ්‍ය නොවේවි. පින්වත, සියල්ල අතහරින්න යැයි කියද්දී, ඔබ බියට පත් වෙන්න එපා. පින්වත, සියල්ල යැයි කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන කාරණා පහටයි. පින්වත, ඉහත කාරණා පහ කෙරෙහි තෘෂ්ණාවයි ඔබ අතහැරිය යුත්තේ. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව අතහැරෙද්දී, ඔබට උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ඥාන, සම්මා විමුක්තිය දක්වා සියල්ල ම ඔබට ලැබෙනවා. පින්වත, සම්මා දිට්ඨියේ පටන් සම්මා විමුක්තිය දක්වා සියල්ල ම ඔබට ලැබෙද්දී, එම අවබෝධ ඥානයෝ කිසිවක්, ඔබ, ඔබේ කොට දකින්නේ නැහැ. පින්වත, එවිට ඔබ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් නිදහස් වූ උත්තමයෙක් වෙනවා. එම උත්තමයාට ඉහත සියලුම ලෝක ධර්මයෝ, නිවී ගිය පටිච්චසමුප්පාද ධර්මයෝ තුළින් නික්ලේශීව විකසිත වෙන, අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් ම වෙනවා. පින්වත, ලෝකයත්, ලෝකයේ නිරෝධයත් අතර එකම එක වෙනසයි තිබෙන්නේ. පින්වත, ලෝකය තුළ තෘෂ්ණාව තිබෙනවා. ලෝකයේ නිරෝධය තුළ තෘෂ්ණාව නිවී ගිහිල්ලා. පින්වත, සද්ධර්මයේ සෑම අර්ථයක් ම ස්වාක්ඛාත ගුණයෙන් යුක්තයි. පින්වත, ඊට හේතුව ඔබවත්, භික්ෂුවවත් නොවේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයයි. පින්වත, ‘තෘෂ්ණාව’ යැයි කියන අකුරු හතරේ අර්ථය, අනාගතයේ යම් දවසක මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝත් ලෝකයෙන් අතුරුදන් කොට දමනවා. පින්වත, දුකේ උල්පත වන තෘෂ්ණාවට බිය වෙන්න; තෘෂ්ණාව ගැන ලජ්ජා වෙන්න.

පින්වත, අකුසලයක් විපාක දෙන්නේ එම විපාකය තුළින් තව තවත් අකුසල් සිද්ධ කොට ගන්නයි. පින්වත, අකුසල් විපාකයෝ ඉදිරියේ සිහිනුවණින් කටයුතු කරන්න. පින්වත, අතීත අකුසල් නමැති පටිච්චසමුප්පන්න මාර සේනාවෝ, වර්තමාන පංච නීවරණයන්ගෙන් ජවය ලබමින්, ඵස්සය හේතුවෙන් සකස් වන ඇලීම් සහ ගැටීම් යුද බිමේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකේ විජයග්‍රහණයන් සොයනවා. පින්වත, චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය හේතුවෙන් සකස් වන අවිද්‍යා මාර යුද බිම ඉදිරියේ ඔබ අකුසලයෙන් නිරායුධ වෙන්න. පින්වත, අකුසලයේ මාර සේනාවන්ට, අකුසලයෙන් ම ප්‍රතිප්‍රහාර දීමේ සාංසාරික පුරුද්ද වෙනුවට අකුසල් මාර සේනාව ඉදිරියේ ඔබ කුසලයෙන් සන්නද්ධ වෙන්න. පින්වත, අසත්පුරුෂ ආශ්‍රයේ තීව්‍රභාවය හේතුවෙන් සකස් වන ආනන්තරිය පාප කර්මයෝ යටපත් කරන්න අපි කාටවත් ම බැහැ. පින්වත, ඉන් මෙහා විපාකයට පැමිණෙන අකුසල් ධර්මයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් යටපත් කරන්න පුළුවන්ය කියන විශ්වාසය අපිට තිබෙන්නට ඕනේ. පින්වත, එම විශ්වාසය ඔබේ දෑස් පනාපිට ම බිඳී ගියොත්, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි උතුම් ධම්මානුපස්සනාව තුළින් සම්මා ඥානයන්ට අදාළව ඔබේ ජීවිතය පුහුණු කරන්න දක්‍ෂ වෙන්න. පින්වත, ජාතියක් හැටියට බොහෝම වේගයෙන් අපේ මනුෂ්‍ය ධර්මයන් පිරිහීගෙන යනවා. පින්වත, පිරිහී යන මනුෂ්‍ය ධර්මයෝ, පරිසරයටවත් දරාගන්න බැහැ. පින්වත, සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුර නොදකින අපි තවම ප්‍රශ්නවලට සොයන්නේ එදා වේල විසඳුම් මයි.

පින්වත, සිංහල බෞද්ධ සමාජයේ ඇස් වසා, තිරිහන් වීමට වෙර දරන නිරාගමිකභාවය පසුගිය කාලයේ සමාජගත කළ අසත්පුරුෂ අදහසක් තමයි, පන්සල ගන්නවා පමණයි, පන්සල දෙන්නේ නැහැය කියන මිථ්‍යා ධර්මය. පින්වත, නිරාගමිකභාවය සමාජගත කළ මෙම අසත්පුරුෂ මිථ්‍යා අදහසට තරු පෙනෙන පිළිතුරක්, ස්වභාව ධර්මයේ දිට්වා කුණාටුව විසින් ම ලබා දී තිබෙනවා. පින්වත, ප්‍රේත ලෝකයේ ජීවත් වන ප්‍රේතයන්, යක්‍ෂ ලෝකයේ ජීවත් වන යක්‍ෂයන්, තිරිසන් ලෝකයේ ජීවත් වන තිරිසන් සතුන් පවා සම්බුද්ධ කසාවන් චීවරයට බියක් සහ ගෞරවයක් දක්වනවාය කියන කාරණය භික්ෂුව අත්දැකීම් තුළින් ම දන්නවා. ඒත් මිථ්‍යා දෘෂ්ටික නිරාගමිකභාවය සංඝයා කියන අර්ථයට දෙන්නේ අන්ත දුර්වල අගෞරවයක්. පින්වත, මෙම නිරාගමික පින්වතුන් සංඝයාව හඳුන්වන්නේ ‘තට්ටයා’, ‘ගණයා’, ‘පින් බතා’ වැනි පව්කාර අසත්පුරුෂ චචනවලින් මයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය අබ ඇටයක් තරම්වත් නොදන්නා නිසා ම, මෙම අසරණයන්ට සංඝ රත්නයට ගැරහීමේ විපාකයෝ ඒහිපස්සිකව බුර බුරා විපාක දෙද්දිත්, එම පින්වතුන්ලා විපාකයන් දකින්නේත් ආස්වාදයෝ හැටියට මයි. පින්වත, දිට්වා කුණාටුව ඇති වුණ මොහොතේ පටන් රජය සහ නිලධාරීන් ක්‍රියාත්මක වීමටත් පෙරාතුව, අසරණ වූ ජනතාව උදෙසා පෙනී සිටියේ ගමේ පන්සල බව අපි හැමෝම දන්නවා. පින්වත, ගමේ පන්සල අදත් අසරණ වූ පින්වතුන්ලාගේ නිවස බවට පත් වෙලා. පින්වත, ගෞරවනීය මහා සංඝ රත්නය දිට්වා කුණාටුව හේතුවෙන් පීඩාවට පත් අපේ ම ජනතාවට ජාති, ආගම්, පක්‍ෂ භේදයකින් තොරව සිදු කළ කාලය, ශ්‍රමය, ධනයේ පරිත්‍යාගයන්, ආහාරපාන ලබා දීමෙන් සිදු කළ මානුෂීය පරිත්‍යාගයන් සහ ඊට ලබා දුන් නායකත්වය, නිරාගමික චෝදනාවන්ට ලබා දුන් සත්පුරුෂභාවයේ ඒහිපස්සික ස්වභාව ධර්මයේ ම පිළිතුරක් වෙනවා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 ජනවාරි 04 ඉරිදා දිවයින පුවත්පතින්.