පින්වත, පසුගියදා ඇති වූ මහා ගංවතුර සහ නායයෑම්වල වගකීම දිට්වා කුණාටුවට භාර දීලා අත පිසදා ගන්න හදන්න එපා. පින්වත, දිට්වා කුණාටුව ඇති වීමට හේතුව සිහිනුවණින් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, දිට්වා කුණාටුව ඇති වීමට හේතුව, මනුෂ්‍ය අපි විසින් සිදු කළ පාරිසරික විනාශයන් හේතුවෙන් සකස් වූ බාහිර සතර මහා ධාතුවේ කිපීමයි. පින්වත, මෙම පාරිසරික විනාශයන්ට මුල් වුණේ මනුෂ්‍ය අපේ ම අධිතෘෂ්ණාවයි. පින්වත, තෘෂ්ණාවට මුල් වුණේ චතුරාර්ය සත්‍යය නොදැනීම හෙවත් අවිද්‍යාවයි. පින්වත, සිදු වෙච්ච විනාශය තුළින් දිට්වා කුණාටුවේ හැඩරුව නොව, අවිද්‍යාවේ හැඩරුව දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, අවිද්‍යාවේ වියරු හැඩරුව ගැන මෙලෝ සිහියක් නැති අපි, තවමත් සිතන්නේ දිට්වා කුණාටුවේ හැඩරුව ගැන මයි. පින්වත, අපේ රටේ දේශපාලන සමගිය දිනෙන් දින දුර්වල වෙනවා. පින්වත් ජනතාවගේ ජීවිතවලට ඍජුව වගකියන රාජ්‍ය ආයතනවල දේශපාලන බෙදීම් හේතුවෙන් සමගියක් නැහැ. පින්වත, දිට්වා කුණාටුව හේතුවෙන් සමාජය තුළ ඇති වූ ජනතාවගේ කැපවීම, පරිත්‍යාගය සහ උද්‍යෝගය දේශපාලනය මුල්කොට ගත්තක් නොව, උතුම් මනුෂ්‍යත්වය මුල්කොට ගත් කරුණාව, මෛත්‍රියේ ඵලයක්. පින්වත, කරුණාකර ශාසනික සහ ආගමික ඉගැන්වීම් තුළින් පෝෂණය වූ ජාතියේ මනුෂ්‍යත්වයට, නිරාගමික දේශපාලන ලේබල් ඇලවීමට ගොස්, තම, තමන්ගේ මෝහයේ තරම ජාතියට ප්‍රදර්ශනය කරන්න එපා.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, “ස්වාමීන් වහන්ස, රටේ ජීවත් වන ජනතාව ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය ජීවිතවලට එකතු කොට ගැනීමෙන් කොහොම ද, ගංවතුර, නායයෑම් අවම වෙන්නේ?” කියලා. පින්වත, “ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය පුහුණු කිරීමෙන් ගංවතුර, නායයෑම් එන්නේ නැහැ” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. පින්වත් ඔබ ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය පුහුණු කිරීමෙන් ඔබ තුළ සම්මා සතියයි ඇති වෙන්නේ. පින්වත, ධර්මයන්ගේ දුර්වලභාවය නිසා ම, අපේ සමාජයේ සම්මා සතිය බින්දුවට වැටිලයි තිබෙන්නේ. පින්වත, සම්මා සතිය යැයි කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් හෝ විශ්වවිද්‍යාල උපාධියකින් ලැබෙන්නක් නොව, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් උපදින හේතුඵල ධර්මයක් මයි. පින්වත, සම්මා සතිය තිබෙන පින්වතා හේතුඵල ධර්මයෝ තමා තුළින්, තමා දකින්නෙක් වෙනවා. එම පින්වතා පාරිසරික සතර මහා ධාතුව විනාශ කරන්නේ නැහැ. ඔහු දන්නවා, පරිසරය විනාශ කළොත් පාරිසරික සතර මහා ධාතුව කිපෙනවාය කියලා. පින්වත, සම්මා සතිය තිබෙන පින්වතා කඳු බෑවුම්වල පාරවල් කපන්නේ, නිවාස, හෝටල් හදන්නේ නැහැ. පින්වත, කඳු බෑවුම්වල සිදු කොට ඇති ඉදිකිරීම් දකිද්දී, පින්වත් ජනතාවගේ සම්මා සතියේ දුර්වලභාවය මයි ප්‍රකට වන්නේ. පින්වත, මේවාට නීත්‍යනුකූල අවසරයන් ලබා දෙන බලධාරීන්ගේ මිච්ඡා සතියයි අපිට ප්‍රකට වන්නේ. පින්වත, පරිසර විනාශයේ හේතුඵල ධර්මයෝ නොසිතන, අපේ රටේ දේශපාලනයට තිබෙන්නේ සම්මා සතිය නොව, මිච්ඡා සතියේ දේශපාලන කෑදරකම් මයි.
පින්වත, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට හෙලක්, බෑවුමක්, ප්‍රපාතයක් අසල කුටියක් තැනීම විනයානුකූලව තහනම් කරලයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව පැවිදි අපිට දේශනා කොට තිබෙනවා, “කුටියක් හදනවා නම් එම කුටිය වටා ගොනුන් දෙදෙනෙක් බැඳි කරත්තයක් බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි ඉඩකඩක් කුටිය වටේ තිබිය යුතුයි” කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ පැනවූ ඉහත අවවාදය නොතකා, පිනේ කෙටි ආස්වාදයට යට වී ඉදි කළ කුටි, කැලෑ ජීවිතයේ දී භික්ෂුව ඕනෑතරම් දැක තිබෙනවා. පින්වත, අපේ සම්මා සතිය දුර්වල වුණොත්, අපේ ම අතීත අකුසල් සංස්කාරයන්ට අපි අවස්ථාව දුන්නා වෙන්න පුළුවන්. පින්වත, අපේ සම්මා සතිය දුර්වල වීමෙන්, අපේ ම අකුසල් සංස්කාරයෝ ජනතාවගේ ජීවිත සහ දේපළ බිලි ගත්ත ආකාරය දිට්වා කුණාටුවේ ආදීනවයන් තුළින් ඔබ සිත් සේ දැක්කා නේද? පින්වත, මෙම ලෝක ධර්මයන් මතු කොට දැකීමට නම්, අපිට කර්මය කර්මඵල විශ්වාසය තිබෙන්නට ඕනේ. පින්වත, විනාශයක් සිදු වූවාට පසුව ක්‍රියාත්මක වීම අයිති වෙන්නේ මිච්ඡා සතියටයි. පින්වත, සම්මා සතිය යැයි කියන්නේ විනාශයට පෙර විනාශය වළක්වා ගැනීමයි, විනාශය අවම කොට ගැනීමයි. පින්වත, දිට්වා කුණාටුව පෙරළා දේශපාලන කුණාටුවක් බවට පත් නොකර ගැනීමට නම්, ජාතියට ආගන්තුක මිච්ඡා සතිය පෝෂණය කරන අනාගමිකභාවයන් බැහැර කොට, සම්මා සතියෙන් සිදු වූ විනාශය ජය ගන්න සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න දැන්වත් නිහතමානී වෙන්න.
පින්වත, උතුම් සම්මා දිට්ඨියේ ශක්තියෙන් උපදින කර්මය කර්මඵල විශ්වාසය යැයි කියන්නේ ඇලීම් සහ ගැටීම් බැහැර කොට මනුෂ්‍ය ධර්මයන් ඔසවා තබන හරිම ප්‍රණීත දහමක්. මෙම ප්‍රණීත දහමට පුළුවන්, සමාජය සමගියෙන් ඔසවා තබන්නට. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙද්දී, එම සමාජය ඇලීම් සහ ගැටීම්වලින් මහා ඛේදවාචකයක් වෙනවා. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ගැන වැටහීමක් තිබෙන කිසිම රජයක්, ජනතාව පීඩාවට පත් වන ආකාරයේ රාජ්‍ය බදු ප්‍රතිපත්තීන් සකස් කරන්නේ නැහැ. පින්වත, ණය ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නිලධාරීන්ට කර්මය කර්මඵල විශ්වාසය ගැන වැටහීමක් නැහැ. පින්වත, ජනතාවගේ සිත නොතළා රොන් ගත යුතු ධාර්මික පාලනය පිළිබඳව වැටහීමක් නැහැ. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල උපදෙස් මත, අපි ජීවත් වෙන සමාජයේ ක්‍රියාත්මක වන රාජ්‍ය බදු ප්‍රතිපත්තිය ගැන රටේ ජනතාව පසුවෙන්නේ දැඩි අසහනයකින් නේද? පින්වත, යම් රජයක් ජනතාව තුළ බදු බර වැඩි කොට රාජ්‍ය භාණ්ඩාගාරය පුරවා ගැනීමට උත්සාහ ගන්නවා නම්, අනිවාර්යයෙන් ම ජනතාවට දැනෙන ලෙස නිදහස් සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් ජනතා සුභසාධනයන් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්න රජයක් දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජනතා සුභසාධනයෝ කඩා වැටෙන සමාජයක ජනතාවට රිදුම් දෙන බදු බර, සමාජය තුළ ද්වේශය, වෛරය, පළිගැනීමේ චේතනාවෝ සකස් කොට දෙන්න පුළුවන්. දේශපාලන අසමගිය වැඩි වෙන්න පුළුවන්.
පින්වත, සෑම පින්වත් නායක මහත්මයෙක් ම ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ, රාජ්‍ය බදු බරෙන් ජනතාව පීඩාවට පත් වුණොත්, පින්වත් ජනතාවගේ සාධාරණ සෝසුසුම් ඉදිරියේ රාජ්‍ය භාණ්ඩාගාරයේ පුරවා ගත් බදු මුදල් යා දෙන්නේ නැහැය කියලා. පින්වත, නොසිතූ, නොපැතූ විපත් ඇති වෙලා අහිංසක ජනතාවගේ සිත් රිදවා පුරවා ගත් භාණ්ඩාගාරයේ බදු මුදල් වියදම් කොට දමනවා. පින්වත, මේවා ජනතාවගේ සිත් තළා, පෙළා රාජ්‍ය භාණ්ඩාගාරය පුරවා ගැනීමේ සුන්දර හේතුඵල ධර්මයෝයි. පින්වත, මේවා කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදත් පාලක පින්වතුන්ලාගේ අසරණභාවයෝයි. පින්වත, පංචශීලය ආරක්‍ෂා කොට ගෙන ජීවත් වන එක් මනුෂ්‍යයෙක් මානසිකව හිංසනයට ලක්කළොත්, එහි විපාකයෝ දසදහසක් තිබෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, බදු බරෙන් මානසිකව හිංසනයට ලක්වෙන, රටේ ලක්‍ෂ ගණනක් පංචශීලය සුරකින පින්වත් මනුෂ්‍යයන් හේතුවෙන්, රජයකට එල්ලවිය හැකි ඇසට නොපෙනෙන විපාකයන්ගේ තරම පෙනෙනවා නේද? පින්වත, රාජ්‍ය භාණ්ඩාගාරය පින්වත් ජනතාවගේ සිත් තළා, පෙළා පිරවීමට පෙරාතුව, කරුණාකර පින්වත් බලධාරීන්ගේ ආධ්‍යාත්මය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් පුරවා ගන්න දක්‍ෂ වෙන්න. එවිට අහිංසක සිත් තළා, පෙළා භාණ්ඩාගාරය පුරවා ගැනීමේ විපාකයෝ හඳුනා ගන්නා සතිය, සිහිය පින්වත් බලධාරීන් තුළ ඇති වේවි. පින්වත, භික්ෂුව මෙම සටහන් තබන්නේ වැරදි නිවැරදි කර ගැනීමට මිස, කිසියම් හෝ පාර්ශ්වයක් අපහසුතාවයට පත් කිරීමට නම් නොවේ.
පින්වත, පංචශීලය දුර්වල වෙන සමාජයක මනුෂ්‍ය ජීවිත තුළින් සම්මා සතිය දුර්වල වෙලා යන්නේ අජානීය අශ්ව වේගයෙන් මයි. පින්වත, මේ වේගයට ජවය දෙන්නේ පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාවෙන් උපදින කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ මයි. පින්වත, පංචශීලය දුර්වල වන වේගයට ම සමාජය තුළ අනියම් සම්බන්ධතා වැඩි වෙලා විවාහ ජීවිත බිඳ වැටීම් සහ බිඳ වැටෙන විවාහ ජීවිතවල අහිංසක දරුවන්ට මවගේ හෝ පියාගේ රැකවරණය අහිමි වීමේ ඛේදවාචකය, අහිංසක දරුවන්ව බරපතළ මානසික පීඩනයන්ට ලක්කරනවා. පින්වත, දුශ්ශීලභාවයේ ඵලයෙන් අනියම් සම්බන්ධතා දිග්ගැසී දික්කසාදයකට සිහින දකින එක්දරු තරුණ, ධනවත් මහත්මයෙකුට භික්ෂුව දුන්න ධර්මාවවාදය මෙහි සටහන් තබනවා. “පින්වත් මහත්තයෝ, මහත්මයා බොහෝ ම පොඩි තැනක ඉඳලයි වර්තමානයේ මහා ධනවතෙක් වුණේ. පින්වත් මහත්තයෝ, තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. අත්පුඩි ගහන්න නම් අත් දෙකක් ම එකතු වෙන්න ඕනේ. පින්වත් මහත්තයෝ, මහත්මයා සියලු යසඉසුරු සහිත ජීවිතයක් ලැබුවේ මහත්මයාගේ නීත්‍යනුකූල විවාහයෙන් පසුව මහත්මයාගේ ජීවිතයට එකතු වුණ දයාබර බිරිඳගේ ද පෙර පින නිසා මයි. පින්වත් මහත්තයෝ, ඔබලා දෙදෙනාගේ ම පිනේ එකතුවෙනුයි ඔබලා මේ යසඉසුරු සහ දරු සම්පත් සහිත සියලු සැප පහසු ජීවිතයක් ලැබුවේ. පින්වත් මහත්තයෝ, වර්තමානයේ ඔබ අනියම් ඇසුරේ පව්කාර රසයට ගිජු වී නීත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වුණොත්, ඔබට සශ්‍රීකභාවය ලබා දුන් එක අතක් ඔබ විසින් ම කපා දමනවා. පින්වත් මහත්තයෝ, එවිට තනි අතින් ඔබට අත්පුඩි ගහන්න නම් බැහැ. පින්වත් ඔබේ ජීවිතයේ ජයග්‍රහණයන් දුර්වල වී එවිට පරාජයෝ ආරම්භ වේවි.” පින්වත, පංචශීලය අමු අමුවේ ම කෙළෙසන, අනුනගේ ලස්සන විවාහ ජීවිත විනාශ කොට දමන, අහිංසක දරුවන් අසරණ කරන අනියම් ඇසුරකින් සෞභාග්‍යය නම් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, දුශ්ශීලභාවයේ ලොකුම විපාකයෝ ජනප්‍රියභාවය පිරිහී, භව භෝග සම්පත් පිරිහී යාමයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 දෙසැම්බර් 28 ඉරිදා දිවයින පුවත්පතින්.