පින්වත, ලෝකය දුවන්නේ සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය ඉබි ගමනින් යන්නේත් සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය කඩා වැටෙන්නේත් සංස්කාර හේතුවෙන් මයි. පින්වත, සංස්කාරයන්ට හේතුව වන්නේ අවිද්‍යාවයි. පින්වත, අපි හැමෝටම සුන්දර අනාගත බලාපොරොත්තු තිබෙනවා. පින්වත, බලාපොරොත්තු තිබිලා විතරක් හරි යන්නේ නැහැ. පින්වත, එම සුන්දර බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කොට ගන්න නම්, ඊට අදාළ පිනත් අපිට තිබෙන්න ඕනේ. පින්වත, දේවදත්ත හාමුදුරුවන්ටත් සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමේ බලාපොරොත්තුව තිබුණා, හැබැයි ඉතින් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කිරීමට අවශ්‍ය දසපාරමී පුණ්‍ය ධර්මයෝ ගැන පුංචි හෝ සිහිකල්පනාවක් දේවදත්ත හාමුදුරුවන්ට තිබුණේ නැහැ. පින්වත, එහි අවසානය ආනන්තරිය පාප කර්මයන්ගේ ඵලයයි. පින්වත, මහා සංඝ රත්නය සමග වචන භාවිතා කිරීමේ දී සංඝ භේදය කියන බලවත් අකුසලය ගැන අපිට සිහිනුවණ තිබෙන්නට ඕනේ. පින්වත, මහා සංඝ රත්නය සමග කට වරද්දා ගත්තොත්, තිබෙන පිනත් පිරිහිලා යන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය වඳ බැහැපු පින්වතුන්ලා තමන් කතා කරන වැරදි වචන තම කටේ තිබෙන කෙටේරිය නැමෙන, නැමෙන දිශාවට විග්‍රහ කොට දෙන්න පුළුවන්, එහෙත් අකුසලය සකස් වෙන්නේ වචනවලට මුල්වූ චේතනාව මත බව, අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, ඔබලාගේ සුන්දර බලාපොරොත්තු දිගින් දිගටම බිඳ වැටෙනවා නම්, තවදුරටත් මිච්ඡා වාචාවෝ කෙරෙහි නොව, මෛත්‍රිය, ශීලය තුළින් උපදින, පින කෙරෙහි විශ්වාසය ඇති කොට ගන්න. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ගැන පුංචි හෝ වැටහීමක් ඇති පින්වතා ගින්දරට අත තිබ්බත්, උතුම් තෙරුවන්ට නම් අත තියන්නේ නැහැ.
පින්වත, රත්තරන් වේශයෙන් රත්තරන් නොවන අනුකරණයන් පහළ වුණොත් සැබෑ රත්තරන් අතුරුදන් වෙලා යන්න පුළුවන් යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ වේශයෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් බැහැර, හැඟීම්වලට කතා කරන කාලීන රැල්ලක් පහළ වුණොත්, එය ශාසන අනතුරක් පිළිබඳව පෙරනිමිත්තක් වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, මෙම සංස්කාරයන්ගේ වෙනස් වීම සිහිනුවණින් තේරුම් ගන්න නම්, අපිට කාමච්ඡන්දයන් යටපත් වූ සමාධිමත්, සංසිඳුණ සිතක් තිබෙන්න ඕනේ. පින්වත, කාමච්ඡන්දයන් සහිත සිත, හැඟීම්වලට කතා කරන අලුත්, අලුත් රැළිවලට ගොඩාක් කැමතියි. පින්වත, අලුත්, අලුත් රැළි කාලෙන් කාලෙට එනවා. පින්වත, රැල්ලක් කියලා කියන්නේත් පෙර පින නමැති සංස්කාරයන්ගේ ම ඵලයක්. පින්වත, පෙර පිනේ ඵලයෙන් උපදින රැළිවල, වර්ණය, සැපය, බලය යස අගේට පෙනෙන්නට තිබෙනවා. පින්වත, පිරිවර සම්පත් ලබන්න පෙර පින තිබෙන්න ම ඕනේ. පින්වත, තිබෙන පින ධර්මානුකූලව කළමනාකරණය කොට ගන්න නම්, සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ පින විග්‍රහ කොට ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, සම්මා දිට්ඨියේ අර්ථයන් තුළින් පින විග්‍රහ කොට නොගන්නා අදක්‍ෂයා, පින ගින්දරක් කොට ගෙන, තමාගේ ම පිනේ විනාශය තමා ම සකස් කොට ගන්නවා. පින්වත, අලුත්, අලුත් රැළි ඇවිල්ලා එම රැළි, හීන වෙලා ම යන්නේ, පින අනිත්‍ය වී යන සංස්කාරයක් යැයි නොදැන, පින භුක්ති විඳින්න යෑම නිසා මයි.
පින්වත, සංස්කාරයෝ යැයි කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකයට ම ඉව අල්ලන මාර ධර්මයක්. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ පිනට පුළුවන්, සම්මා සම්බුද්ධ ශාසනය පෝෂණය කරන්න. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවූ පිනට පුළුවන්, සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කොට දමන්න. පින්වත, පිනෙන් උපදින වර්ණය, සැපය, බලය ඉදිරියේ විදර්ශනා නුවණට පුළුවන් වන්නේ ඇලීම් සහ ගැටීම්වලින් තොර ධර්මයේ උපේක්‍ෂාවෙන් උපදින, විදර්ශනාමය මෛත්‍රියෙන්, අකීකරු වර්ණය, සැපය, බලය දෙස බලා සිටීම පමණක් මයි. පින්වත, අතීතයේ වැඩසිටිය මුගලන් මහෝත්තමයන් වහන්සේ පවා බලයට අධිපති වසවර්ති මාරයාගේ අකීකරු ක්‍රියාවන් දෙස අතීත පිනේ හේතුඵල ධර්මයන් දකින, ධර්මයේ උපේක්‍ෂාවෙන් වැඩසිටියා පමණක් මයි. පින්වත, පිනෙන් පිරුණ ජීවිත හරිම ලස්සනයි. පින්වත, එම ලස්සන ජීවිතවල තෘෂ්ණාව අවම වුණොත්, එම ජීවිත ප්‍රීතියෙන් සහ පස්සද්ධියෙන් පිරී ඉතිරී යන්න පුළුවන්. පින්වත, එවිටයි ඇලීම් සහ ගැටීම් අවම ධර්මයේ උපේක්‍ෂාව දෙසට ජීවිතය නැමී යන්නේ. පින්වත, ‘තාක්‍ෂණික මාරයා’ වන සමාජ මාධ්‍ය ජාලා හරි හරියට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ වෙන්දේසියේ දමමින් පෙරළා, සංස්කාර ලාභ සොයන ඇලීම් සහ ගැටීම් බහුල ලෝකයක, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට ගොදුරු වූ උතුම් තෙරුවන්ගේ සරණ අහිමි, සරණක් සොයා හැමෝගේ ම මුහුණු බලමින් යන පින්වත් මනුෂ්‍යයන්ව, නැවත නැවතත් පැටලෙන්නේ, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර මායාවේ මයි. පින්වත, සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය යනු, පිනේ මායාකාරී මැජික්කරුවෙක්. පින්වත, කරුණාකර, සමාජගත වන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ දෙස චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ම ඇසෙන් බලන්න දක්‍ෂ වෙන්න. පින්වත, එසේ නොවුණොත් ඔබ යළි යළිත්, පිනේ ඵලයෙන් උපදින විඤ්ඤාණයේ මායාවන්ට රැවටෙන්න පුළුවන්.
පින්වත, පින යැයි කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයක්. පින්වත, යම් පින්වතෙක් පෙර පටිච්චසමුප්පන්න ජීවිතවල ශීලයේ ආරක්‍ෂාව තුළ හිඳිමින්, කර්මය කර්මඵල විශ්වාසයට ගරු කරමින්, හැමෝම සම්බන්ධ කොට ගෙන හවුලේ පින්කම් කිරීමේ හේතුඵල ධර්මයෝ මුල්කොට ගෙන, මෙම ජීවිතයේ දී වර්ණය, සැපය සහ පිරිවර සම්පත් ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. පින්වත, අපිට ලැබෙන වර්ණය, සැපය, බලය සහ පිරිවර සම්පත් ඉදිරියේ, ‘අවිද්‍යා පච්චයා සංඛාර’ යැයි කියන ධර්මතාවය ගැන හොඳ සිහිනුවණින් පසුවෙන්න ඕනේ. පින්වත, අවිද්‍යාව ජීවත් වෙන්නේ තෘෂ්ණාවෙන්, පින්වත, සංස්කාරයෝ උපදින්නේ අවිද්‍යාවෙන්. පින්වත, තෘෂ්ණාව, අවිද්‍යාව සහ සංස්කාරයෝ යැයි කියන තුන් ධර්මතාවයෝ ම පණ දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ට. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව වර්ණය, සැපය, බලය සහ පිරිවර සම්පත් දෙස බලන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වූ, පිනට අදාළ අනිත්‍ය වී යන සංස්කාරයෝ හැටියට මයි. පින්වත, පින නිත්‍ය සඤ්ඤාවෙන් භුක්ති වින්දොත් අපිට ලැබෙන්නේ පංච නීවරණයන්ගේ නීරසයි. පින්වත, පින අනිත්‍ය සඤ්ඤාවෙන් විනිවිද දැක්කොත්, අපිට සම්මා ඥානයන්ගේ නිකෙලෙස් රසයයි දැනෙන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “මනුෂ්‍යයාටත්, දෙවියාටත්, පැවිද්දාටත් පින අත්‍යවශ්‍යයි” කියලා. පින්වත, පිනට භය වෙන්න එපා. පින්වත, පෙර පිනේ ඵලයෙන් ඔබට ලැබෙන වර්ණය, සැපය, බලය සහ පිරිවර සම්පත්, පෙරළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් පෝෂණය කොට ගන්න. පින්වත, පින, පෙරළා පින උදෙසාත්, දෙවනුව පින ඔබේ ම විදර්ශනා ප්‍රඥාව උදෙසාත් ආයෝජනය කරන්න.
පින්වත, ඔබේ ඵස්සය තුළ බැසගත්ත පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, අතීත සාංසාරික කාම ලෝකයේ සිත් සේ අත්වින්ද කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ අතීත දැනීම්වල රසය, බොහෝම සියුම්ව ඔබට වර්තමානයේ මතු කොට දෙනවා. පින්වත් ඔබ උදෑසන පංචශීලය සමාදන් වී අද දවසේ පංචශීලය ආරක්‍ෂා කොට ගෙන ජීවත් වෙනවා යැයි අධිෂ්ඨානය කළත්, සවස් වෙන කොට ඔබ සිල් පද දුර්වල කොට ගන්නේ, ඔබේ ඵස්සය තුළ බැසගත්ත පටිච්චසමුප්පන්න විඤ්ඤාණය මතු කොට දෙන අතීත කාමයේ සහ රූපයේ ආස්වාදයන්ගේ දැනීම් හේතුවෙන් මයි. පින්වත, අතීත සංස්කාරයන් හේතුවෙන් බලගැන්වෙන විඤ්ඤාණයේ මායාකාරී හැසිරීම ග්‍රහණය කොට ගැනීමට නම්, බල ධර්මයන්ගේ විදර්ශනා නුවණ අවශ්‍ය ම වෙනවා. පින්වත, එතෙක් ඔබේ සිහිනුවණ, “කාමයේ සහ රූපයේ ආස්වාදය එපා” කියද්දී, පෙරළා ඔබේ පටිච්චසමුප්පන්න ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම් කාමයේ සහ රූපයේ ආස්වාදයෝ ඉල්ලනවා. පින්වත, ඔබ ආදීනවයන් දැක කාමයේ සහ රූපයේ ආස්වාදය එපා යැයි සිතත්දී, පෙරළා ඔබේ සිත කාමයේ සහ රූපයේ ආස්වාදයන් අවශ්‍ය යැයි ඔබට බල කරන හැටි ඔබත් අත්විඳ තිබෙනවා නේද? පින්වත, සිල් පද දුර්වල කොට ගන්නෝ යැයි කියන්නේ, මායාකාරී විඤ්ඤාණයේ සිරකරුවෝ මයි. පින්වත, තමන්ට තවමත් නොතේරෙන දහමකින් වරදට යොමු වෙන එම පින්වතුන් අහිංසකයි. පින්වත, මනුෂ්‍ය ජීවිතවල සිදු වන වැරදි දෙස ආත්මීය දෘෂ්ටියෙන් බලන්න එපා. පින්වත, සමාජගත වන සියලුම මනුෂ්‍ය වැරදි ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය යැයි දකිමින් වැරදිකරුවා තුළිනුත් ධර්මයක් ම දකින්න දක්‍ෂ වෙන්න.
පින්වත, කාමයන් සුලභ ලෝකය තුළ කාමයන්ගේ නිරෝධයට මඟ කියන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ හරිම දුර්ලභ ධර්මතාවයක්. පින්වත, ලෝකය යැයි කියන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව කවදාකවත් ඔබට චතුරාර්ය සත්‍යය ධර්මයෝ කියලා දෙන්නේ නැහැ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සහ වීර්යය ද, පංච නීවරණ ධර්මයෝ කෙරෙහි ලජ්ජාව සහ බිය ද ඇති කොට ගන්න. පින්වත, ලෝකයෙන් මිදීම දිශාවට ගමන් කරන පින්වතා, ලෝකය ගැන සිතන්නේ නැහැ. ඔහු ලෝකය මකා දමනවා, චිත්තානුපස්සනාවෙන්. පින්වත, ඔහු වේදනාවෝ විඳින්නේ නැහැ. ඔහු වේදනාවෝ මකා දමනවා, වේදනානුපස්සනාවෙන්. පින්වත, ඔහු ලෝකයට අදාළ ධර්මතාවයන්ට බැඳී යන්නේ නැහැ. පින්වත, ඔහු රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ විනිවිද දකිනවා, ධම්මානුපස්සනාවෙන්. පින්වත, ඔහු ආධ්‍යාත්මික සහ බාහිර රූපයන්ට අසිහියෙන් බැඳී යන්නේ නැහැ, ඔහු රූපය විනිවිද දකිනවා, කායානුපස්සනාවෙන්. පින්වත, ඔබේ සළායතනයන්ගේ ඵස්සය තෘෂ්ණාවට විවෘත කළොත් ඇලීම් සහ ගැටීම් ලෝකය ඔබට මහා බරක් වෙනවා. පින්වත, තාවකාලිකව ලෝකයෙන් නිදහස් වෙන්න. ඇසෙන් දැක්ක දෙය, ‘දැක්කා’ යැයි කියන තැන නවතින්න. කනට ඇසුණ දෙය, ‘ඇසුණා’ යැයි කියන තැන නවතින්න. සිතට දැනුණ දෙය, ‘දැනුණා’ යැයි කියන තැන නවතින්න. පින්වත, බාහිර ලෝකයට යන්න දෙන්න, ඔබ නවතින්න. පින්වත, තෘෂ්ණාවේ බරෙන් මිදීම උදෙසා ඡන්දය අවදි කොට ගන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 ජනවාරි 25 ඉරිදා දිවයින පුවත්පතින්.