හේතුඵල ධර්මයෙන් ලෝකය දකින්න.

පින්වත, සම්මා වාචාවෝ යැයි කියන්නේ යහපත් වචනවලට, පින්වත, මිච්ඡා වාචාවෝ යැයි කියන්නේ අයහපත් වචනවලට. පින්වත, අපි අදහස් ප්‍රකාශ කරද්දී, බොහෝම සිහිනුවණින් අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. පින්වත, වචන භාවිතයේ දී අපි ආවේගශීලී වුණොත්, මෙතෙක් සඟවා ගෙන තිබුණ මතවාදයෝ ප්‍රකාශ වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, අපි උතුම් සෝවාන්ඵල අවබෝධය ලබන තාක් කල් ම, එකක් සඟවාගෙන, තවත් එකක් කතා කිරීමේ පුරුද්ද අපිට තිබෙනවා. පින්වත, මිච්ඡා වාචාවෝ බහුල වන සමාජයක පංචශීලයට හෝ ආජීව අට්ඨමක ශීලයට පවතින්න බැහැ. පින්වත, යම් සමාජයක ශීලය බිඳ වැටීමේ ඵලය වන්නේ, එම සමාජය තුළ මිච්ඡා සතිය රජ වීමෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණ සිතුවිලි, විචිකිච්ඡාව මහා වේගයෙන් සමාජගත වීමයි. පින්වත, වර්තමානයේ අපි ජීවත් වන සමාජයේත් ඉහත අනතුර බොහෝම වේගයෙන් සක්‍රිය වන බවක් පෙනෙන්නට තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ ‘අධම්මික සූත්‍රයේ’ දී දේශනා කොට තිබෙනවා, “රාජ්‍ය නායකයා පිරිහීමෙන් ඇමති මණ්ඩලය පිරිහෙනවා, ඇමති මණ්ඩලය පිරිහීමෙන් මන්ත්‍රී මණ්ඩලය පිරිහෙනවා, මන්ත්‍රී මණ්ඩලය පිරිහීමෙන් මහණ බමුණන් පිරිහෙනවා, මහණ බමුණන් පිරිහීමෙන් රටේ ජනතාව පිරිහීමට පත් වෙනවා” ය කියලා. පින්වත, මේ පිරිහීමේ විනාශයට ලොකු ඉතිහාසයක්, ජාතියක් හැටියට අපිට තිබෙනවා. පින්වත, අතීතයේ වගේ ම, වර්තමානයේදීත් අපි තවමත් ප්‍රමාදියි. පින්වත, “සම්මා වාචාවෝ” රාජ්‍ය දහම බවට, අප්‍රමාදීව පත් කොට ගන්න.

පින්වත, සංඝ සමාජයේ අපි හැමෝම මේ ජීවිතයේ දී ම නිවන අරමුණු කොට ගෙන පැවිදි වෙලා නැහැ. පින්වත, සංඝ සමාජයේ සාමාජික අපේ ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් එකිනෙකට වෙනස්වයි පවතින්නේ. පින්වත, ඉහත ඉන්ද්‍රිය ධර්මයන්ගේ සහ බල ධර්මයන්ගේ වෙනස්භාවය නිසා ම, පැවිදි අපේ ලෞකික සහ ලෝකෝත්තර අරමුණු එකිනෙකට වෙනස් වෙනවා. පින්වත, සංඝ සමාජයේ සමහර ස්වාමීන් වහන්සේලා මේ ජීවිතයේ දී ම, භව නිරෝධය උදෙසා වීර්යය වඩනවා, පින්වත, තවත් ස්වාමීන් වහන්සේලා මතු භවයක, භව නිරෝධය උදෙසා වීර්යය වඩනවා, පින්වත, තවත් ස්වාමීන් වහන්සේලා මෙලොව සහ පරලොව සැපය උදෙසා වීර්යය වඩනවා, පින්වත, තවත් ස්වාමීන් වහන්සේලා ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මනුෂ්‍යයෙක් වෙන්න වීර්යය වඩනවා, පින්වත, තවත් ස්වාමීන් වහන්සේලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා, රට, ජාතිය, ආගමේ ආරක්‍ෂාව උදෙසා කැපවීමෙන් කටයුතු කරනවා. පින්වත, ඉහත සියලුම ස්වාමීන් වහන්සේලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් උතුම් පැවිදිභාවය ලැබූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. පින්වත, යම් පින්වත් රාජ්‍ය බලධාරියෙක් කියනවා නම්, සංඝ සමාජය රට, ජාතිය, ආගම වෙනුවෙන් පෙනී සිටිය යුතු නැහැය කියලා, ඔහු සම්මා දිට්ඨිය මළ, කර්මය කර්මඵල විශ්වාසය වඳ බැහැපු මිථ්‍යා දෘෂ්ටිකයෙක් බවටයි පත් වෙන්නේ. පින්වත, උත්තරීතර නිවන අරමුණු කොට ගෙන උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයක් සහ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, ඔබලා වළඳන දානය මෙත් සිතින් පිළිගෙන වැළඳුවොත්, ඔබලා එම දානයට ණයකාරයෙක් නොවෙනවා” යැයි ද දේශනා කොට තිබෙනවා.

පින්වත, සමාජය දෙස සිහිනුවණින් බලන්නකෝ, බලවත් මනුෂ්‍යයන්ගේ බලය පිරිහී යන අපූරුව. පින්වත, ගිහි වේවා, පැවිදි වේවා බලවතුන්, සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ, තම බලය සුරක්‍ෂිත කොට දෙන මාර්ගය දසකුසල් ධර්මයෝයි කියලා. පින්වත, ඔබට කවුරුන් හෝ ගැහුවත්, බැන්නත්, විවේචනය කළත්, ‘සුවපත් වේවා!’ යැයි මෛත්‍රී සිතින් ම කරුණු පහදා දෙන්න. පින්වත, ඔබ පෙරළා අකුසල් මූලයන්ගෙන් ප්‍රතිචාර දැක්වුවොත්, ඔබ සතුව තිබෙන බලයත් දුර්වල වෙලා යාවි. පින්වත, ඔබ දක්‍ෂයෙක් නම්, ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් දුර්වල වන සමාජයක, ඔබට බලවත් වීමේ අවස්ථාවෝ ගොඩාක් වැඩියි. පින්වත, බලය උදෙසා ලොකුම ශක්තිය මෛත්‍රියයි. පින්වත, බලය උදෙසා අයෝමය ශක්තිය සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින විදර්ශනා ප්‍රඥාවයි. පින්වත, අනුනගේ දුර්වලභාවයන් නිසා ඔබේ දසකුසල් ධර්මයන්ගේ බලය කෙලෙසා ගන්න එපා. පින්වත, අනුන් උපයෝගී කොට ගෙන පින්වත් ගිහි සහ පැවිදි ඔබ බලවත් වෙන්න. පින්වත, එවිට ඔබට පුළුවන් බලයට අදාළ හේතුඵල ධර්මයෝ ඒහිපස්සිකව, පූර්වාදර්ශීව සමාජයට කියලා දෙන්න. පින්වත, දසකුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනට ප්‍රමාදී වෙන්න එපා. පින්වත, ඉර, සඳ, තාරකා නොවේ, ඔබව පාලනය කරන්නේ. පින්වත, දෙවියෙක්, බ්‍රහ්මයෙක් නොවේ, ඔබව පාලනය කරන්නේ. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් කොට ගත්තා වූ කුසල් සහ අකුසල් සංස්කාරයෝ මයි, ජීවිතයක තීරකයා වෙන්නේ.

පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “කල්ප ගණනාවක් අතීතයට තමන් වහන්සේ පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් සිත මෙහෙයවා බලද්දී, අනුනගෙන් බැණුම් නාසපු, අනුනගෙන් චෝදනාවක් නොලබපු මනුෂ්‍යයෙක් දකින්නට ලැබුණේ නැහැ” ය කියලා. පින්වත, ඇලීම් සහ ගැටීම් තිබෙන තාක් කල් චෝදනා, විවේචන ලෝකය තුළ තිබෙනවා. පින්වත, චෝදනා, විවේචන අයිති අවිද්‍යාව හේතුවෙන් උපදින ඇලීම් සහ ගැටීම්වලට. පින්වත, ඔබ චෝදනා, විවේචනවලට අකමැති නම්, හේතුඵල ධර්මයන් තුළින් ලෝකය දකින, ධර්මයේ උපේක්‍ෂාවට එන්න. පින්වත, ඔබට යම් පින්වතෙක් චෝදනාවක්, විවේචනයක් කළොත් ඇලීම් සහ ගැටීම්වලට නොයා, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි ධර්මයේ උපේක්‍ෂාව ඇති කොට ගන්න. පින්වත, සමාධිමත් සිතක් තුළයි ධර්මයේ උපේක්‍ෂාව ඇති වෙන්නේ. පින්වත, ධර්මයේ උපේක්‍ෂාවේ මුදුන් මුල වන්නේ සති සම්බොජ්ඣංගයයි. පින්වත, සති සම්බොජ්ඣංගය යම් තැනක ද නොමඟ යෑමකින් තොරව ම, එතැන උපදින්නේ ධම්ම විචය බොජ්ඣංගයෝ මයි. පින්වත, උතුම් ධම්ම විචය බොජ්ඣංගයෝ මයි අනුන් එල්ල කරන චෝදනා සහ විවේචන තුළින්, ඔබේ දැක්ම නිවැරදි කොට දෙන්නේ. පින්වත, ‘අවිද්‍යා පච්චයා සංඛාරා’ සහ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන බැඳී යාම හෙවත් උපාදානයෝ යැයි ධර්මානුකූලව දකිද්දී, අනුන්ගේ ඇනුම්, බැණුම් තුළින් සත්ත්ව, පුද්ගල සඤ්ඤාවෝ මකා දමනවා. පින්වත, එවිට ලෝකය ආත්මීය දෘෂ්ටියෙන් හිස් වූ පටිච්චසමුප්පාද දහමක් වෙනවා. පින්වත, මේ උතුම් නිවැරදි දැක්ම තුළින් ඇති කොට දෙන විදර්ශනා කුසල් ශක්තිය, ඕනෑම බලවත් විවේචනයක් හෝ බොරු චෝදනාවක් බල රහිත කොට නැගී සිටීමේ මාර්ගය වෙනවා. පින්වත, සමාජගත වන කෙටි ආස්වාදයන්ට ගැටෙන්න එපා. සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවේ කුසල් ශක්තියෙන් නැගී සිටින්න. අනුනගේ අනාරක්‍ෂිතභාවයන් ඉදිරියේ ඔබ ආරක්‍ෂිතයෙක් වෙන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ, “දරුවන් දෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ගුණයන් තුළින් බලන්න” යැයි අපිට අවවාද කරද්දී, අපි පින්වත් දරුවන් දෙස බලන්නේ කාම, රාග, පටිඝයන් තුළින් නම්, එහි අවසාන ඵලය බවට පත් වෙන්නේ, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ විකෘතිය තව තවත් වේගවත් වීම පමණක් මයි. පින්වත, ඔබට තවදුරටත් පැහැදිලිව කියනවා නම්, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ තීව්‍ර වීම පමණක් මයි. පින්වත, අනාර්ය පින්වතා කෙසේ නම් හේතුඵල ධර්මයෝ හඳුනා ගන්න ද? පින්වත, සමාජය තුළ රාගික හැසිරීම් වැඩි නම්, රාගික අඩත්තේට්ටම් වැඩි නම් සමාජය තුළ ප්‍රවර්ධනය කළ යුත්තේ ශීලයයි. පින්වත, ශීලය නොතකා හැර රාගයට විසඳුම් සොයන්න යන්න එපා. පින්වත, ශීලයට වටිනාකමක් නොදී රාගය කළමනාකරණය කරන්න ගියොත්, ඉතිරිය වන්නේ විකෘති කාමාශාවෝ පමණක් මයි. පින්වත, සමාජය තුළ ඇති තරම් රාගය තිබෙනවා වගේ ම, රාජ්‍ය මට්ටමින් ම අසම්මත රාගයෝත් තිබෙනවා. පින්වත, මේ සියල්ල සීමාව ඉක්මවා ඔඩුදුවලයි තිබෙන්නේ. පින්වත, වැඩිහිටියන්ගේ දුර්වල ශීලය ළමා පරපුරටත් හිරිකිතයකින් තොරව ම කාන්දු වෙලා තිබෙනවා. පින්වත, දරුවන්ගේ සදාචාරය, සභ්‍යත්වය හදන්න යන්න පෙරාතුව, වැඩිහිටි අපි ශීලයට වටිනාකමක් දෙමු. පින්වත, වැඩිහිටි අපි නොහැදී, අපේ නොහැදියාවට අදාළව, අහිංසක, අසරණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ගුණයන්ගේ රැකවරණය ලැබිය යුතු දරු පරපුර, ළමා සහ තරුණ වියේ දී ම අසරණ කරන්න එපා. පින්වත, එවැනි ක්‍රියාවන් අයිති වන්නේ අසත්පුරුෂභාවයට මයි.

පින්වත, අනාර්ය ලෝකයා, ලෝකය දිග්විජය කරන්න සිහින දැක්කත්, ආර්ය අවබෝධයන් තුළ ලෝකය යැයි කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයටයි. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය කෙසේ නම් අධ්‍යාපනයෙන්, තාක්‍ෂණයෙන්, දැනුමෙන් පමණක් දිනන්න ද? පින්වත, බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී උතුම් සම්මා සම්බුද්ධ ඥානය සමගින් අවබෝධ කොට වදාළේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පංච උපාදානස්කන්ධ ලෝකයේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පින්වත, පාසල් වියේ දරුවෙක් යැයි කියන්නේ ලෝක විෂයයන් කෙරෙහි දැනුම අඩු, බියෙන්, සැකයකින් තොරව සැහැල්ලුවෙන් ලෝකය දකින කෙනෙක්. පින්වත, දරුවා යැයි කියන්නේ රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයට ප්‍රිය කෙනෙක්. පින්වත, දරුවන් තුළ තිබෙන, ලෝක විෂයයන් කෙරෙහි නොමේරූභාවය නිසා ම, බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ ආරක්‍ෂාව උදෙසා තම දෙමාපියන් මහා බ්‍රහ්මයන් බවට පත් කරනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ සමාජයට පැහැදිලිව දේශනා කොට තිබෙනවා, පින්වත් දරුවන්ගේ ආරක්‍ෂාව උදෙසා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා කියන බ්‍රහ්ම ගුණයන්ගේ රැකවරණය අත්‍යවශ්‍යයි කියලා. පින්වත, ඔබ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වේවා, පින්වත් ගුරුවරයෙක් වේවා, අධ්‍යාපන බලධාරියෙක් වේවා පින්වත් දරුවන්ගේ ජීවිත දෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ගුණයන්ගෙන් බලන්න. පින්වත, ඉහත දැක්මයි පාසල් දරුවන් උදෙසා ක්‍රියාත්මක කළ යුතු මුල්ම ‘අධ්‍යාපන මොඩියුලය’ වෙන්නේ. පින්වත, කාමයේ කෙටි ආස්වාදයෝ දරුවන්ට පුහුණු කිරීම නොව, කාමයේ දීර්ඝ ආදීනවයෝ මතු කොට පෙන්වීමයි, වැඩිහිටි අපේ වගකීම විය යුත්තේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 පෙබරවාරි 01 ඉරුදින දිවයින පුවත්පතින්.