පින්වත, අපේ ජීවිත තුළින් පංචශීලය දුර්වල වුණොත්, එහි ඵලය ඉන්ද්‍රිය අසංවරභාවයයි, පින්වත, එවිට සළායතනයන්ගේ ඵස්සය ඇලීම් සහ ගැටීම්වලින් අසංවර වෙනවා. පින්වත, ඔබ කුමන ආගමක වේවා, ඔබේ කල්‍යාණ මිත්‍රයා බවට පංචශීලය පත් කොට ගන්න. පින්වත, සමාජය තුළ බාල, තරුණ, මහලු භේදයකින් තොරව ඔඩුදුවන ඉන්ද්‍රිය අසංවරය දඬුවමෙන් යටපත් කරන්න බැහැ. පින්වත, අද දවසේ සමස්ත ජාතියට අත්‍යවශ්‍ය පංචශීලයේ ශක්තියයි. පින්වත, අනාගතයේ කවදාහරි දවසක මේ පූජනීය සිංහල බෞද්ධකම විනාශ කොට දමන්න මුල්වෙන්නේ ස්වාභාවික විපත් නොව, සිංහල බෞද්ධයාගේ ම සිල් පද දුර්වලභාවයෙන් උපදින ඉන්ද්‍රිය අසංවරභාවය මයි. පින්වත, අපි ඉදිරියේ දිගහැරෙන, දුකට හේතුව තෘෂ්ණාව යැයි නොදන්නා සමාජ ක්‍රමය අපි හැමෝට ම උගන්වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමට මයි. පින්වත, සළායතනයෝ පිනවීමේ අසීමිත උන්මාදය නිසා ම, කායික සහ මානසික රෝහලක් බවට ම සමාජය පත් වෙමින් තිබෙනවා. පින්වත, සමාජගත කරන ඉහත උන්මාදය ඉදිරියේ මෙතෙක් තම සිංහල බෞද්ධ ආධ්‍යාත්මය රැකගෙන සිටි සිංහල බෞද්ධ පාසල් පද්ධතියේ ආත්ම ගරුත්වය පවා, විනාශ කොට දැමීමේ මහා පාප කර්මයන් උපක්‍රමශීලීව සිදු වෙමින් පවතිනවා. පින්වත, මෙතෙක් සිංහල බෞද්ධකමට පණ දුන්, ජාතික ආරක්‍ෂාවට උර දුන්, සිංහල බෞද්ධ පාසල් පද්ධතියේ විනය ආරක්‍ෂා කොට ගැනීම, සෑම පින්වත් ගුරුවරයෙක් ම, සෑම පින්වත් දරුදැරියකගේ ම පූජනීය ජාතික යුතුකමක් වෙනවා.
පින්වත, රජ මැදුරුවල කහ පාට බල්බ් වැල් එල්ලුණත්, මේ උදා වී තිබෙන්නේ සිංහල බෞද්ධකමට පල නොකියා පළා බෙදන අඳුරු හෝරාවක්. පින්වත, ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ උදෙසා උතුම් සිංහල බෞද්ධකම බිලි දෙන්න, සිංහල බෞද්ධයාට අවශ්‍ය නැහැ. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ මුල්කොට ගත් ක්ලීන් ශ්‍රී ලංකාවක් වෙනුවෙනුයි, ජාතිය ම පෙනී සිටිය යුත්තේ. පින්වත, සිංහල බෞද්ධයා හදවතින් ම ප්‍රාර්ථනා කරන ලෝකයේ ශ්‍රේෂ්ඨ ම ධනය, ශ්‍රද්ධා ධනයයි. පින්වත, ජාතියේ ශ්‍රද්ධා ධනය බිලි ගෙන, මහා භාණ්ඩාගාරයේ රුපියල්, ඩොලර් සංචිත වැඩි කරලා පෙන්වන සන්දර්ශන ඉදිරියේ, අපි ආවේගශීලී නොවී, තව තවත් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන් සමාජගත කරන්න ඕනේ. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙනවා. පින්වත, පුද්ගල සඤ්ඤාවන්ගෙන් නොව, අවිද්‍යාව කියන ධර්මානුකූල අර්ථය මුල්කොට ගෙනයි ප්‍රශ්නයේ මුල දකින්න ඕනේ. පින්වත, උතුම් සිංහල බෞද්ධකම ආරක්‍ෂා වෙන්නේ හැඟීම්වලට යට වීමෙන් නොව, ලෞකික ප්‍රඥාවෙන් තීන්දු ගැනීමෙන් බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, උතුම් ශ්‍රද්ධා ධනය නොතකා, රුපියල්, ඩොලර් මිච්ඡා ධනය මුල්කොට ගත් මිච්ඡා සැපයට අත වනන අඳුරු හෝරාවේ, සිංහල බෞද්ධයාගේ අත්පොත වන සිංහල බෞද්ධ පාසල් පද්ධතිය, සමාජගත වන දුස්සීලභාවයෙන් උපදින, ඉන්ද්‍රිය අසංවරයෙන් ආරක්‍ෂා කොට ගැනීම අදාළ පාසල්වල පින්වත් ගුරු, ශිෂ්‍ය දෙපාර්ශ්වයේ ම පූජනීය වගකීම සහ සිංහල බෞද්ධකමේ ආත්ම ගරුත්වය ආරක්‍ෂා කිරීම වෙනවා.
පින්වත, ඔබ කරන රැකියාවට, ව්‍යාපාරයට සහ ඔබ ලබන සැප සම්පත්වලට ඉදිරියෙන් ‘පින’ කියන කාරණය තියා ගන්න. පින්වත, පටිච්චසමුප්පන්න පෙර පින මයි, ඔබ භුක්ති විඳින සැපසම්පත්වලට හේතුඵල ධර්මයන් වුණේ. පින්වත, සමහර පින්වතුන්ලා තමන් භුක්ති විඳින සැපසම්පත් ඉදිරියේ සකස් වන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට යට වී පින අමතක කොට දමනවා. පින්වත, අපි ජීවත් වන සමාජය ගුණාත්මකභාවයෙන් කඩා වැටෙමින් පැවතියත්, සැබවින් ම අපි ජීවත් වන සමාජය පුණ්‍ය නිධානයක්. පින්වත, අපේ ඇලෙන සහ ගැටෙන සිතුවිලිවලට මේ පුණ්‍ය නිධානය මඟ හැරෙනවා. පින්වත, ඔබ ජීවත් වන මනුෂ්‍යත්වය ගිලිහෙන සමාජය තුළ, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් සිතුවිලි දිනකට මොනතරම් නම්, ඔබට ඇති කොට ගන්න පුළුවන් ද? පින්වත, අනුනගේ හරි හෝ වැරදි අපිට මොකට ද? පින්වත, අනුනගේ හරි හෝ වැරදි ඔබේ පින උදෙසා, කුසලය උදෙසා, භව නිරෝධය උදෙසා උපයෝගී කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, සමාජයේ මනුෂ්‍ය ධර්මයන් පිරිහීම ගැන පසුතැවෙන්න එපා. පින්වත, සිනහවකින් අනුන්ව සතුටු කරන්න. පින්වත, ප්‍රිය වචනයකින් අනුන්ව සතුටු කරන්න. පින්වත, නිහතමානීභාවයෙන් සහ පරිත්‍යාගශීලීභාවයෙන් අනුන්ව සතුටු කරන්න. පින්වත, සමාජයෙන් පෙරළා ලැබෙන ප්‍රතිචාරයන් ගැන තැකීමක් කරන්න යන්න එපා. පින්වත, හොඳ හෝ නරක ප්‍රතිචාර දෙකේ දී ම, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් ම ඔබ සන්නද්ධ වෙන්න. පින්වත, ලෝකයේ ඇස් වසා, ඔබේ ප්‍රඥාවට ඇස් දෙන්න.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, “ස්වාමීන් වහන්ස, විඤ්ඤාණය යැයි කියන්නේ කුමකට ද?” කියලා. පින්වත, ධර්මයේ සඳහන් වන්නේ විඤ්ඤාණය යැයි කියන්නේ, “සංස්කාරයෝ හේතුවෙන් සකස් වන ඵලය විඤ්ඤාණය” යැයි කියලා. පින්වත, විඤ්ඤාණය යැයි කියන්නේ, ‘විශේෂ වූ දැනීම’ යැයි ද සඳහන් වෙනවා. පින්වත, විඤ්ඤාණයේ සැබෑ හැඩරුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, “විඤ්ඤාණය මැජික්කරුවෙක්” ය, “විඤ්ඤාණය මායාකරුවෙක්” ය කියලයි. පින්වත, සංස්කාරයන්ට අදාළව පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ හැසිරීම වෙනස් වෙලා යනවා. පින්වත, කරුණාකරලා විඤ්ඤාණයේ නාමයෙන් ක්‍රියාත්මක වන මැජික්කරුවෙක්ව, මායාකරුවෙක්ව සොයන්න යන්න එපා. පින්වත, මැජික්කරුවෙක්, මායාකරුවෙක් ගැන කෙසේ නම් තේරුම් ගන්න ද? පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ‘නිවස’ වෙන්නේ, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ‘ගෘහය’ වෙන්නේ, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ‘ආහාරය’ වෙන්නේ රූපයයි” කියලා. පින්වත, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය තුළ හිඳිමින්, තවදුරටත් විඤ්ඤාණය යැයි කියන්නේ කුමක් ද යැයි සිතමින් විඤ්ඤාණයේ මායාවේ සිරකරුවෙක් වෙන්න එපා. පින්වත, සළායතනයෝ හරහා පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මක වන, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන් සියල්ල තුළ ම විඤ්ඤාණය පටිච්චසමුප්පන්නව මැජික්කරුවෙක් සේ බැසගෙන සිටිනවාය කියන කාරණය සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, විඤ්ඤාණයේ මායාවට ගොදුරක් නොවී, විඤ්ඤාණයට නිවස වන, ගෘහය වන, ආහාරය වන රූපය හෙවත් සළායතනයෝ ම කායානුපස්සනාවෙන් විනිවිද දකින්න. පින්වත, ඔබේ ඵස්සය අසලින් ‘තෘෂ්ණාව’ ගලවා දමන්න, එවිට ඔබට පුළුවන් විඤ්ඤාණය ගැන සොයන මායාකාරී සිත, චිත්තානුපස්සනාවෙන් මකා දමන්න, උතුම් ධම්මානුපස්සනාවෙන් ම විනිවිද දකින්න.
පින්වත් තරුණ දරුවෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මම රාත්‍රී නින්දෙන් බියකරු සිහින දැකලා බියට පත් වෙනවා” ය කියලා. පින්වත, අපි ජීවත් වන සමාජයේ ජීවත් වන පින්වතුන්ලා රාත්‍රියේ බියකරු සිහින දැකීම, දැන් බෝවෙන ව්‍යාධියක් බවට පත් වෙලා. පින්වත, අනාගතය පිළිබඳව පාට, පාට, ලස්සන සිහින දැන් අපේ ජනතාවට පෙනෙනවා හුඟාක් ම අඩුයි. පින්වත, වර්තමානයේ මහා වැසි වැටුණොත්, ගංවතුර සහ නායයෑම් බියෙන්, බියට පත් වෙලා ජනතාව නින්දෙන් අවදි වෙනවා. පින්වත, ගංවතුර සිහින දැකලා නිතර, නිතර රාත්‍රී නින්දෙන් බියට පත් වූ පින්වත් කාන්තාවක් මේ දවස්වල පිහිනුම් ඉගෙන ගන්න, පිහිනුම් පාසලකට යනවාය කියලා භික්ෂුවට ආරංචි වුණා. පින්වත, සිහින යැයි කියන්නේ විඤ්ඤාණයේ මායාවක්. පින්වත, මෙම විඤ්ඤාණයේ මායාවට පණ දෙන්නේ සංස්කාරයෝ හෙවත් චේතනාවෝයි. පින්වත, ඔබේ චේතනාවෝ ධර්මානුකූල නැතිනම්, එහි ඵලය පංච නීවරණයෝ මයි. පින්වත, ඔබ නින්දේ ද සිටින්නේ නැතිනම් අවදියෙන් ද සිටින්නේ කියන කාරණය, මායාකාරී විඤ්ඤාණයට අදාළ නැහැ. පින්වත, චේතනාවෝ බලගැන්වෙන තැන පටිච්චසමුප්පන්නව විඤ්ඤාණය උපදිනවා. පින්වත, ඔබේ චේතනාවෝ, ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, මෛත්‍රියෙන් සවිමත් කොට ගන්න. එවිට පාට, පාට, ලස්සන දිව්‍ය, මනුෂ්‍ය සිහින යළි ඔබට පෙනේවි.
පින්වත, වර්ණය, සැපය, බලය යැයි කියන්නේ අපි හැමෝම ප්‍රියකරන ධර්මතාවයකට. පින්වත, බලයට අධිපති වෙන්නේ නම් වසවර්ති දිව්‍ය පුත්‍රයායි. පින්වත, අපි සිහිනුවණින් කටයුතු නොකළොත් කුසල් මූලයන් වන අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන්ට බලය අභියෝගයක් වෙන්න පුළුවන්. පින්වත, අදක්‍ෂයා තම බලය අකුසල් මූලයන්ගෙන් දුර්වල කොට ගන්නා අතර, දක්‍ෂයා තම බලය කුසල් මූලයන්ගෙන් තව තවත් ශක්තිමත් කොට ගන්නවා. පින්වත, ඔබට ලෝභ සිතක් ඇති වුණොත් එම ලෝභ සිත යටපත් කොට ගෙන අලෝභ සිතක් ඇති කොට ගන්න. පින්වත, එවිට දානයට අදාළ ආනිශංස ධර්මයෝ වන වර්ණය, සැපය, බලයෙන් ඔබව තව තවත් බලවත් වෙනවා. පින්වත, කේන්ති සිතක්, ක්‍රෝධ සිතක්, වෛරී සිතක්, පළිගැනීමේ සිතක්, විවේචනය කිරීමේ සිතක් ඔබට ඇති වුණොත් කරුණාකර එම අකුසල් සිත යටපත් කොට ගෙන මෛත්‍රී චිත්තයක් ඇති කොට ගන්න. පින්වත, එවිට මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහකින් ඔබව තව තවත් බලවත් වෙනවා. පින්වත, දුස්සීලභාවයට අදාළව සිතක් සකස් වෙද්දී, එම දුස්සීල සිත යටපත් කොට ගෙන සිල්වත්භාවය ඇති කොට ගන්න. පින්වත, එවිට ශීලයට අදාළ ආනිශංස පහකින් ඔබව තව තවත් බලවත් වෙනවා. පින්වත, මෝහයට අදාළ අශ්‍රද්ධාවැති සිතක් සකස් වුණොත්, උතුම් තෙරුවන්ගේ ගුණයක් ම සිහියට නගා ගන්න. පින්වත, එවිට ඔබ තුළ අමෝහයට අදාළව සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ ම ආනිශංසයන්ගෙන් ඔබ තව තවත් ශක්තිමත් වෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 පෙබරවාරි 08 ඉරුදින දිවයින පුවත්පතින්.