අවිද්‍යාවේ හේතුඵල ධර්මයන් හැටියට දකින්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අහිමි පින්වතුන්, අකුසල් අභියෝගයන් ජය ගන්නා මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදන්නවාය කියලා. පින්වත, “ශ්‍රද්ධාව අහිමි පින්වතා තමන්ට බාහිර කෙනෙකුගෙන් පිහිටක් ලැබේවි යැයි සිතමින් හැමෝගේ ම මුහුණු බලමින් යනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඉහත දුර්වලතාවයන් පුද්ගල සඤ්ඤාවෙන් නොව අවිද්‍යාවේ ම හේතුඵල ධර්මයන් හැටියට ම දකින්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පිළිම වන්දනාව ‘ගෝත්‍රික’ යැයි කියන පින්වතුන්ලා ම මතු වන අභියෝගයන් ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පූජනීය ධාතුන් වහන්සේලා වන්දනා කිරීම භික්ෂුවට නම් හාස්‍යජනක ක්‍රියාවක් මයි. පින්වත, අකුසල් අභියෝගයන් තමන්ට පීඩා කරද්දී, පූජනීය ධාතුන් වහන්සේලාගේ මුහුණ බලලා වැඩක් වෙන්නේ නැහැ. පින්වත, තමාගේ ම හෘද සාක්‍ෂිය දෙස බලන්න. පින්වත, අපේ මුවින් පිටවෙන වචන ලස්සන වෙන්න පුළුවන්, එහෙත් වචනවල සැඟවුණ ආරම්භය වන චේතනාවෝ අපිරිසිදු නම්, අපි කතා කරන වචන මනුෂ්‍ය ජීවිත තුළ මානසික හිංසනයන්ට මයි ආහාර වෙන්නේ. පින්වත, අවංකකම ගිලිහී යද්දී, පෙරළා සමාජය තුළ මතු වන සැකයට, විචිකිච්ඡාවට අලුත්, අලුත් ඇස් බැන්දුම් බෙහෙත් සොයන්න වෙනවා. පිංවත, මුවින් මහා සංඝරත්නයට පරිභව කරලා, දෝතින් මහා සංඝරත්නයට වන්දනා කිරීමෙන් කිසිම තේරුමක් නැහැ. පින්වත, උතුම් තෙරුවන්ට බොරු කළොත්, ඉන් උපදින අකුසල් සංස්කාරයෝ “අධර්මයෝ අධර්මයන් ම වඩත්” ය යන ධර්මතාවය මයි සක්‍රිය කොට දෙන්නේ.

පින්වත, පින යැයි කියන්නේ, වර්ණය, සැපය, බලයටයි. පින්වත, බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරනවා. පින්වත, මනුෂ්‍යයන්ට, දෙවියන්ට පමණක් නොවේ පැවිදි අපිටත් පින අත්‍යවශ්‍ය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් උපදින සත්පුරුෂ පිනේ සැබෑ ම උල්පත විය යුත්තේ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි. පින්වත, සමාධිමත් සිතට වැඩි බර දෙන සම්මා වායාමයෝ ඔබ උපයන පින, ප්‍රඥාව දිශාවට ආයෝජනය කොට දෙනවා. පින්වත, පින කියන අර්ථයට ලස්සන, ප්‍රණීත, විසිතුරු අතීත ඉතිහාසයක් සහ වර්තමානයක්, අනාගතයක් තිබුණත්, පින අනිත්‍ය වී යන සංස්කාරයන්ට අයිති ‘මායාවක්’, ‘ඇස් බැන්දුමක්’ බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, වර්තමානයේ අපි ඉදිරියේ දිග හැරෙන ලස්සන, විසිතුරු, ප්‍රණීත පාරිභෝගික ලෝකය, තාක්‍ෂණයෙන් දියුණු ලෝකය අපි හැමෝගේ ම පෙර පටිච්චසමුප්පන්න පිනේ ම ඵලයක්. පින්වත, පින ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන්, දුස්සීලභාවයන්ගෙන් භුක්ති වින්දොත් පින ගින්දරක් ම වෙනවා. පින්වත, පින අනුවණින් භුක්ති වින්දොත් සතර අපායට පිරිස් බලය සපයන මාර බලයක් ම වෙනවා. පින්වත, අපේ ම අතීත පටිච්චසමුප්පන්න පිනෙන් අසිරිමත්ව කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෙන් මොනවට තිරිහන් වන වර්තමාන ලෝකය තුළ, සංස්කාර මාරයා මනුෂ්‍ය අපේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් සතර අපායන්ට ගොදුරු සොයන අපූරුව පින්වත් ඔබට පෙනෙනවා ද? පින්වත, ඔබ ඉදිරියේ දිගහැරෙන පින තෘෂ්ණාවෙන් පිළිගත්තොත් සතර අපායත්, ඔබ ඉදිරියේ දිගහැරෙන පින විදර්ශනාවෙන් පිළිගත්තොත් උතුම් සම්මා ඥානයෝත් ඔබට දිනාගන්න පුළුවන්කම තිබෙනවා.

පින්වත, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණුව අපි ලැබිය යුත්තේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ සීමාව තුළ හිඳිමින් මයි. පින්වත, අපි පුහුණු කරන ශීලය, ත්‍යාගය, මෛත්‍රිය චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ සීමාවෙන් බැහැර වුණොත්, අපි පෙරළා තෘෂ්ණාවේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, සක්කාය දිට්ඨිය, මමත්වයේ දැඩිභාවය, ආත්මීය දෘෂ්ටිය තෘෂ්ණාවේ ප්‍රණීත ගොදුරු බිම් වෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදත් අපි, තෘෂ්ණාවේ ප්‍රණීත ගොදුරු බිම්වල කෙටි ආස්වාදයන්ට බැඳී යන්න හරිම දක්‍ෂයි. පින්වත, සමහර පින්වතුන්ලා සිටිනවා, මහා සංඝ රත්නය දෙතුන් වතාවක් ‘අභිවාදන සීලිස්ස’ ගාථාව කියලා ආශීර්වාද කළත්, සෑහීමකට පත් වෙන්නේ නැහැ. පින්වත, මෙවැනි පින්වතුන්ලාට පිනේ ආස්වාදය නිසා ම, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ දෙවෙනි ආර්ය සත්‍යය වන ‘තෘෂ්ණාව’ අමතක වෙලා යනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි මාර්ග අංගයට නෙක්ඛම්ම සංකප්පය පනවන්නේ අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන් තුළින් ශීලය සහ සමාධිය ඔබ තුළ අර්ථවත්ව වැඩෙන්නයි. පින්වත, මහා සංඝ රත්නය ඔබට සිදු කරන ආශීර්වාදය තුළින් ඔබ ලබන පිනේ කෙටි ආස්වාදයට වඩා, ආස්වාදය යටපත් කොට ගෙන ඔබ ඇති කොට ගන්නා කාමච්ඡන්දයෝ නැති සම්මා සමාධිමත් සිත ගොඩාක් වටිනවා. පින්වත, මහා සංඝ රත්නය පින්වත් ඔබට ආශීර්වාද කරන අවස්ථාවන්හි දී, චේතනාන්විතව ‘සියලු සංස්කාරයෝ අනිත්‍ය’ යැයි, දකින ධම්මානුපස්සනාව ම ඇති කොට ගන්න දක්‍ෂ වෙන්න. ඔබේ දක්‍ෂභාවය පෙරළා මහා සංඝ රත්නයට ද අයෝමය කුසල් ශක්තියක් වෙනවා.

පින්වත, අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී, පින්වත් කාන්තාවක් අවස්ථා කිහිපයක දී ම භික්ෂුවට වන්දනා කළා. පින්වත, ඇය වන්දනා කරන සෑම අවස්ථාවක දී ම, “මහා සංඝ රත්නයට මගේ සිතින්, කයෙන්, වචනයෙන් වරදක් සිදු වී තිබේ නම් මට කමාව ලැබේවා!” යැයි හෙමින් මුමුනන හඬ භික්ෂුවට ඇසුණා. පින්වත, එම පින්වත් කාන්තාව මේ මොහොත් බොහෝම ගෞරවයෙන් භික්ෂුවට වන්දනා කළත්, පින්වත් ඇය අතීතයේ භික්ෂුව විවේචනය කොට ඇති බව භික්ෂුවට තේරුම් ගියා. පින්වත, භික්ෂුවට නොහඟවා ඇය සංඝ රත්නයෙන් සමාව අයදින්නේ හේතුවක් නිසා මයි. පින්වත, තමන් අතින් සිදු වූ වරදක් කමා කොට ගැනීමෙන් එම වරද නැවත සිදු නොවන බව ඇත්තක් වෙන්න පුළුවන්, හැබැයි ඉතින් වෙච්ච වරදට අදාළව අකුසල් තම සංස්කාර ගිණුමට එකතු වෙලා නේද? පින්වත, ඔබේ හරි හෝ වැරදිත් ඔබට අයිති නැති කොට, අනුනගේ හරි හෝ වැරදි අපිට මොකට ද? පින්වත, ගිහි හෝ උතුම් පැවිදි පින්වතුන්ලාගේ වැරදි හෝ නිවැරදි හැසිරීම් සහ දේශනාවන් එම පින්වතුන්ලාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු සහ නොදියුණුභාවය හැටියට ම දකින්න. පින්වත, එවිට ඔබට පුළුවන් වැරදිකරුවා තුළිනුත් විවේචනයක් නොව ධර්මයක් දකින්න. පින්වත, සති ඉන්ද්‍රිය දුර්වල වෙද්දී, අධර්මයට පියාපත් ලැබෙනවා, ඇලීම් සහ ගැටීම් ලෝකය තුළ සිත් සේ පියාඹන්න. පින්වත, සමාජයේ ජීවත් වන වැරදි කරන හැමෝම සිහියට නගාගෙන, ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලතාවයන් යැයි ධම්මානුපස්සනාව මතු කොට ගන්න. පින්වත, ධම්මානුපස්සනාවෙන් උපදින විදර්ශනාමය කුසලය, ඔබට එල්ලවෙන විවේචනයෝ සුව සේ නිදි ගන්වාවි.

පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ටයි. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක සුරතල් කරන්නේ තෘෂ්ණාවයි. පින්වත, අවිද්‍යා තොටිල්ලේ තෘෂ්ණාවේ ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවේ නැළවිලි ගී හඬින් මත් වෙලා, රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයන්ගේ සන්දර්ශන දකින්න අපි හරිම ආසයි. පින්වත, තෘෂ්ණාවට දරදිය අදින, කාමච්ඡන්දයන්ගේ රස නහර පිනවන රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයෝ බෙලහීන කොට, සති සම්බොජ්ඣංගයෙන් නැගී සිටීමටයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැවිදි අපිව ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍යවේක්‍ෂා ශීලය, සම්මා ආජීව ශීලයෙන් සහ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් අපේ ශීලය නෙක්ඛම්ම සංකප්පයෙන් මොනවට පෙරා, කෙලෙස් මණ්ඩි රහිත ශීල විශුද්ධියක් බවට පත් කොට ගන්න යැයි, අවවාද කොට තිබෙන්නේ. පින්වත, ශිල විශුද්ධිය යැයි කියන්නේ මමත්වයේ දැඩිභාවයේ මණ්ඩි රහිත සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන් හොඳහැටි පෙරපු ශීලයයි. පින්වත, ශීල විශුද්ධිය, ශීලයේ කෙටි ආස්වාදයෝ බල රහිත කොට, ඔබව චිත්ත විශුද්ධියට පාවඩ එළන ශීලයයි. පින්වත, භික්ෂුව පසුගිය දිනවල විදේශීය ඡායාරූපවල දැක්කා, තම ආදරණීය සුනඛයන් සිප වැළඳ ගන්නා ස්වාමීන් වහන්සේලාගේ ඡායාරූප, පාට පාට අණ්ඩ දමා ගත් චීවර පොරවන ස්වාමීන් වහන්සේලාගේ ඡායාරූප සහ ගිහි පින්වතුන්ලාව සෙනෙහසින් සිප ගන්නා ස්වාමීන් වහන්සේලාගේ ඡායාරූප. පින්වත, මෙවැනි ඇවතුම් පැවතුම් උතුම් සංඝ සමාජයට මහා පළිබෝධයක් මයි. මෙම විදේශීය වැරදි පළිබෝධයෝ අපේ පොඩි සහ තරුණ ස්වාමීන් වහන්සේලාත් ආදර්ශයට ගත්තොත් ශීල විශුද්ධියක් නොව, ප්‍රාතිමෝක්‍ෂ ශීලය පවා බලවත් අනතුරට පත් වෙන්න පුළුවන්.

පින්වත, අතේ සල්ලි නැති වුණාට කමක් නැහැ, පින්වත, සිතේ ශ්‍රද්ධා ධනය පුරවා ගන්න. පින්වත, අතේ සල්ලි පුරවාගෙන, ඔබේ ආධ්‍යාත්මය ශ්‍රද්ධා ධනයෙන් හිස්ව ජීවත් වුණොත්, හිස් මිනිසෙක්ව ඔබට මිය යන්න සිදු වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, ඔබේ අතේ සල්ලි හිඟ වුවත්, ඔබට හැකි නම් ලෝකයේ ජීවත් වන සෑම ධනවත්, මධ්‍යම සහ දුප්පත් මනුෂ්‍යයෙක්ව සිහිපත් කොට ගෙන, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින්නට, පින්වත් ඔබ සැබෑම ශ්‍රද්ධා ධනයේ නිධානයක් ම වෙනවා. පින්වත, ඔබේ ජීවිතය ශ්‍රද්ධා ධනයේ නිධානයක් වෙද්දී, ඔබ තුළ ශීලය, සමාධිය, මෛත්‍රිය, ප්‍රඥාව වැඩෙන්නේ නෙක්ඛම්ම සංකප්පයට, සක්කාය දිට්ඨියේ වස විෂ බැහැර කරමින් මයි. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන්, කල්‍යාණ ධර්මය ශ්‍රවණය කිරීමෙන්, එම කල්‍යාණ ධර්මයෝ නුවණින් මෙනෙහි කිරීමෙන් උපදින ශ්‍රද්ධා ධනය, සම්මා ඥාන සහ සම්මා විමුක්තිය දක්වා ම ඔබේ තෘෂ්ණාව නිරෝධය කොට දමනවා. පින්වත, ලෝකය, රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයෙන් සහ දීර්ඝ ආදීනවයන්ගෙන් ගිනි ගනිමින් පවතින්නේ. පින්වත, කෙනෙක් පිනෙන් උපදින කෙටි ආස්වාදය ඉදිරියේ ජය පැන් බොද්දී, තවත් කෙනෙක් කෙටි ආස්වාදය අවසන දීර්ඝ ආදීනවයේ දුක් කඳුළු වගුරුවනවා. පින්වත, ශ්‍රද්ධා ධනය දුර්වල මාර ධර්මයෝ හරිම දක්‍ෂයි, කෙටි ආස්වාදයෝ හරි හරියට සමාජගත කරන්නට. පින්වත, සංස්කාර ලෝකයේ සැබෑ හැඩරුව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීම හෙවත් පංච නීවරණයෝ යම් තැනක ද, එතැන අතේ ධනයත්, සප්ත බොජ්ඣංගයෝ වැඩෙන මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් තැනක ද, එතැන ශ්‍රද්ධා ධනයේත්, ඒහිපස්සික අර්ථයෝ බව නුවණින් තේරුම් ගෙන ශ්‍රද්ධා ධනයට ඔබේ ජීවිතය විවෘත කොට ගන්න.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 පෙබරවාරි 15 ඉරිදා දිවයින පුවත්පතින්.