පින්වත, මහා සංඝ රත්නය යැයි කියන්නේ, කහ පාට, දුඹුරු පාට චීවරයක් දරාගත්තා යැයි කියන අර්ථය පමණක් නොවේ. පින්වත, මහා සංඝ රත්නය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න මහා ගුණයන් හතරක් දරාගෙනයි වැඩ සිටින්නේ. පින්වත, මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි. පින්වත, උතුම් සුපටිපන්න ගුණය යැයි කියද්දී, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට එකම හේතුව ‘තෘෂ්ණාව’ යැයි මහා සංඝ රත්නය දකිනවා. පින්වත, මේ දැක්ම තුළ ම නේද, අපි හැමෝම උතුම් පැවිදි ජීවිතයට පත් වුණේ? පින්වත, මහා සංඝ රත්නයේ උජුපටිපන්න ගුණය යැයි කියද්දී, උන්වහන්සේලාගේ උතුම් පැවිදි ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අට ම සක්‍රියව, ඍජුව ම වැඩෙනවා. පින්වත, ලෞකික ප්‍රඥාවට අදාළව මාර්ග අංග දෙකක්, ශීලයට අදාළව මාර්ග අංග දෙකක්, සමාධියට අදාළව මාර්ග අංග තුනක් තුළ උන්වහන්සේලා තෘෂ්ණාවට විරුද්ධ දිශාවට වීර්යය වඩනවා. පින්වත, මහා සංඝ රත්නයේ ඥායපටිපන්න ගුණය ලෞකික සහ ලෝකෝත්තර ඥානයන්ට අදාළව සම්මා ඥානයන් මයි අවදි කොට දෙන්නේ. පින්වත, මහා සංඝ රත්නයයේ සාමීචිපටිපන්න ගුණය පැවිදි අපි ඕපනයිකව දරාගත් උතුම් දහම, කරුණාවෙන් ලෝකයාට දේශනා කරනවා. පින්වත, අපි හැමෝම චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ හික්මෙන්නන් වුවත්, පින්වත, අපි තවමත් සියල්ලෙන් ම පරිපූර්ණ නැහැ. පින්වත, ගෞරවනීය උපසම්පදා භික්ෂුවකට උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් තිබෙනවා. පින්වත, ඉන් සතර පාරාජිකා හැර, සිල් පද සියයක් බිඳුණත්, උන්වහන්සේ තුළ සිල් පද එකසිය විස්සක් රැකෙනා බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, ඉහත අර්ථය නිසා මයි, “මහා සංඝ රත්නයට අත තැබීම, ගින්දරට අත තැබුවා” වෙන්නේ.
පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට මහා සංඝ රත්නය යැයි කියන්නේ මෛත්‍රියට අදාළව ආනිශංස එකොළහක් ජීවිතයට ලැබෙන මහා කප් රුකක්. පින්වත, පන්සල් වේවා, ආරණ්‍ය වේවා භික්ෂුවට වඩා උපසම්පදාවෙන් වැඩිහිටි සෑම ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකට ම, භික්ෂුව වන්දනා කරන්නේ හරිම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් මයි. පින්වත, වැඩිහිටි මහා සංඝ රත්නය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් වන්දනා කරද්දී, උන්වහන්සේලා ලබන සතුට නිසා ම, මෛත්‍රියට සහ ත්‍යාගයට අදාළව වර්ණය, සැපය, බලයත් වන්දනා කරන භික්ෂුවට ලැබෙනවා. පින්වත, අපේ දැක්ම අපිරිසිදු වුණොත්, අපි සංඝ රත්නය ආත්මීය දෘෂ්ටියෙන් දකිනවා. පින්වත, ආත්මීය දෘෂ්ටියෙන් ගෞරවනීය සංඝ සමාජය දෙස බලද්දී, සිල්වත් සහ දුසිල්වත් භේදයෝ අපි තුළ ඇති වෙන්න පුළුවන්. පින්වත, ගෞරවනීය සංඝ සමාජය දෙස ඔබ බලන දැක්ම නිවැරදි කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ආත්මීය දෘෂ්ටිය බිඳින නිවැරදි දැක්මේ මංගල පියවර වන්නේ, ‘අවිද්‍යා පච්චයා සංඛාරා’, ‘සංඛාර පච්චයා විඤ්ඤාණ’ යැයි දකින පටිච්චසමුප්පාද ධර්මයෝ තුළින් ගෞරවනීය සංඝ සමාජය විනිවිද දැකීමයි. පින්වත, මහා සංඝ රත්නය පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විනිවිද දකිද්දී, ඇලීම් සහ ගැටීම්වලින් තොර ධර්මයේ උපේක්‍ෂාවට මයි සිත නැමෙන්නේ. පින්වත, එම උපේක්‍ෂා සහගත සිත සතර සතිපට්ඨාන ධර්මයන්ට මයි ආහාරයෝ වන්නේ. පින්වත, උතුම් සංඝරත්නය භවය උදෙසා දුකක් උපදවන හේතුවක් බවට නොව, භව නිරෝධය උදෙසා කමටහනක් කොට ගන්න.
පින්වත, සියලු ම යහපත් සහ අයහපත් සංස්කාරයෝ අනිත්‍ය වී යන බව පරම සත්‍යයක්. පින්වත, දසපාරමී පුණ්‍ය ශක්තියේ ඵලයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවී ගිය අනිත්‍ය වූ ධර්මතාවයක් වුණා නේද? පින්වත, මේ උතුම් ප්‍රණීත සියලු ධර්මතාවයෝ අනිත්‍ය වී යන නිසා මයි, උතුම් තෙරුවන් නමැති මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට, ශීලයට, ත්‍යාගයට, මෛත්‍රියට අපේ ජීවිතය පරිත්‍යාග කොට, මේ උතුම් දුර්ලභ ධර්මයෝ අපි ආරක්‍ෂා කොට ගත යුත්තේ. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට කුඩම්මාගේ සැලකිලි දක්වමින් අධ්‍යාපනය, තාක්‍ෂණය, ආර්ථිකය ගැන කතා කිරීම, හරියට සතර අපාය අමතක කොට කාම ලෝකය ගැන කතා කිරීම වගේ ම, අනුවණකමක් වෙනවා. පින්වත, අසත්පුරුෂ ආශ්‍රයෝ සමාජය තුළ බලවත් වෙද්දී, සම්මා දිට්ඨියේ අර්ථයන් සමාජය තුළ විවේචනය වෙද්දී, අහිංසක පින්වත් ජනතාව ‘තෘෂ්ණා පච්චයා උපාදානයෝ’ හේතුවෙන් සතර අපාය දිශාවටයි නැමී යන්නේ. පින්වත, මිථ්‍යා දෘෂ්ටියෙන් පෝෂණය වන නිරාගමිකභාවය යනු සතර අපායට මදි නොකියන්න පිරිස් බලය සපයන අවිද්‍යාවේ භව නියෝජිතයායි.
පින්වත, කොසොල් රජතුමාගේ මල්ලිකා බිසව මහා ධනයක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහ රහතන් වහන්සේලාට උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන්, සියතින් ම සකසා අසදිස දානය පූජා කොට ගත් අවස්ථාවේ දී, එම පින්කම දැක සත්පුරුෂ මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන් පවා සාධු!, සාධු! කියලා පින් අනුමෝදන් වෙද්දී, ඉන්ද්‍රිය ධර්මයන් මළ කොසොල් රජතුමාගේ එක් ඇමතිතුමෙක් අසදිස දානය බලවත් ලෙස විවේචනය කළා. පින්වත, අතීතයේ එම පින්වත් ඇමතිතුමාගේ විවේචනය වර්තමානයේ අපේ සමාජයටත් ගොඩාක් සමීපයි කියලා භික්ෂුවට සිතෙනවා. පින්වත, ඉන්ද්‍රිය ධර්මයන් නොපිහිටි එම ගෞරවනීය ඇමතිතුමාගේ බලවත් විවේචනය වුණේ ජනතාවගේ බදු මුදල් ශත පහක වැඩක් නැති දානමය පින්කම්වලට වියදම් කරනවාය කියන චෝදනාවයි. පින්වත, අතීතය හේතුඵල ධර්මයන්ට අදාළව නැවත නැවත අලුත් වෙනවා. පින්වත, ඉහත පින්වත් ඇමතිතුමාගේ චෝදනාව අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, “අසත්පුරුෂ පින්වතා තමන් පින්කම් සිදු කරන්නේත් නැහැ, අනුන් සිදු කරන පින්කම් විවේචනය කරලා පව් පුරවා ගන්නවා” ය කියලයි. පින්වත, දස දිශාවේ කොහේ බැලුවත්, ඔබ දකින්නේ සත්පුරුෂ හෝ අසත්පුරුෂ ධර්මයක් මයි. පින්වත, එයයි ලෝකයේ සැබෑම අර්ථය. පින්වත, වේගවත් ද නොවී, ප්‍රමාදී ද නොවී, ලෝකය ඉදිරියේ මධ්‍යස්ථ වෙන්න.
පින්වත, මේ සවස් යාමයේ වලාකුළුවලින් තොර සුදු පැහැ අහස් කුස එක තැන නතර වෙලා. පින්වත, නිසල ආකාශය හරියට ම ඇලීම් සහ ගැටීම් යටපත් වූ සමාධිමත් සිතක් වගේ මයි. පින්වත, නිසල අහස් කුස දෙස විතර්කයන්ගෙන් හිස්ව බලා සිටිද්දී, භික්ෂුවගේ ආශ්වාස ප්‍රශ්වාසයත් සියුම් වෙලා යනවා. පින්වත, මානසික විවේකය ගොරහැඩි කය සැහැල්ලු කොට දමනවා. පින්වත, ආශ්වාස ප්‍රශ්වාසයේ සැහැල්ලුවෙන් කයත් සැහැල්ලු වෙලා ම යනවා. පින්වත, මෙම කායික, මානසික සැහැල්ලුව තුළ “වේදනාවෝ” කෙටි ආස්වාදයෝ සොයන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, වේදනාවේ ආස්වාදය තුළ රූපී සහ අරූපී තෘෂ්ණාවෝ සැඟවී තිබෙනවා. පින්වත, තෘෂ්ණාව යම් තැනක ද, උපාදානයෝ හරිබරි ගැහෙන්නේ භවයට කුරුමානම් අල්ලන්න මයි. පින්වත, ඔබ පුහුණු කරන අවිහිංසා සංකප්පය, නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය වෙද්දී, තමා අනුනට පමණක් නොවේ, තමා තමාටවත් හිංසා කොට ගන්නේ නැහැ. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදැක්ක අපි හැමෝම අසීමාන්තිකව ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් සහ පංච උපාදානස්කන්ධ දුකෙන් තමා තමාට හිංසා කොට ගන්නවා. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදැක්ක පින්වතා, සතර අපායටත් විවෘතවයි ජීවත් වෙන්නේ. පින්වත, සතර අපායෙන් නොමිදුණ පින්වතා, ප්‍රකෝටිපතියෙක්ව, මහේශාක්‍ය ජීවිතයක් ගත කළත්, තමා තම පටිච්චසමුප්පන්න ජීවිතය කෙරෙහි අවිහිංසාවෙන් නොබලපු පින්වතෙක් බවටයි පත් වෙන්නේ. පින්වත, මේ ජීවිතයේ සියලු යසඉසුරු අත්විඳින මහේශාක්‍ය පින්වතාත්, පටිච්චසමුප්පන්නව පෙරළා බල්ලෝ, බළල්ලු, ප්‍රේත, බහිරවයන් වන සංස්කාර ලෝකයක, අධර්මානුකූල වැරදි පූර්වාදර්ශයෝ සමාජගත කොට, සමස්ත මනුෂ්‍ය ප්‍රජාවට ම හිංසාවේ පිළිලයක් වෙන්න එපා.
පින්වත, අකුසලය කෙරෙහි ලජ්ජාව සහ බිය යැයි කියන්නේ මනුෂ්‍ය ධර්මයන් ඉක්මවා ගියා වූ ප්‍රණීත දේව ධර්මයන්ටයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසයෙන් පණ ලබන අකුසලය කෙරෙහි ලජ්ජාව සහ බිය පින්වත් ඔබට තිබෙනවා ද? පින්වත, අකුසලය කෙරෙහි ලජ්ජාව සහ බිය සමාජයෙන් පහව ගියොත්, සමාජයේ ඉතිරිය බවට පත් වෙන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ පමණක් මයි. පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, පිළිකා රෝගීන්ගේ ගහණය ගොඩාක් වැඩියි” කියලා. පින්වත, සමාජයේ මතු වන ප්‍රශ්න දෙස මතුපිටින් බලන්න එපා. පින්වත, එවිට ප්‍රශ්නයට හේතුව තව තවත් සැඟවී, ඵලය තව තවත් සමාජය ගිල ගනීවි. පින්වත, අපි ජීවත් වන සමාජය තුළ දෝරේ ගලාගෙන යන මිච්ඡා ආජීවයෝ, ශීලයේ දුර්වලභාවයන් සහ මිච්ඡා සංකප්පයෝ ගැන කතා නොකර, පිළිකා රෝගය ඇතුළු රෝගී තත්ත්වයන් ගැන කතා කරන්න බැහැ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව පිළිකා රෝගයකින් පෙළුණොත්, භික්ෂුව තම පිළිකා රෝගය කැප කරන්නේ සමාජයේ ජීවත් වන තවත් මනුෂ්‍යයෙක්ගේ නීරෝගීභාවය සහ පිළිකා රෝගයෙන් වැළකීමේ හේතුඵල ධර්මයන් උදෙසා මයි. පින්වත, එය කළ හැක්කේ ඇත්ත ඇති සැටියෙන් ම තමා තුළින් ම දකින හේතුඵල ධර්මයෝ තුළින් මයි. පින්වත, ව්‍යාපාර ලෝකයේ සෑම පින්වතෙක් ම බොහෝම සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ, “දුකට එකම හේතුව තෘෂ්ණාව” යැයි කියන කාරණය. පින්වත, වර්තමානයේ ගිලන්පස කෝප්පයක් වළඳන්න බැරි තරමට ආහාර වස විෂ සංස්කෘතිය ව්‍යාපාර ලෝකය තුළ බලවත් වෙලා. පින්වත, සමස්ත මනුෂ්‍ය ප්‍රජාවට ම පූර්වාදර්ශී විය යුතු පින්වත් ව්‍යාපාරික ඔබ, සමස්ත සමාජයට ම කර්ම රෝග සහ හීන ආයුෂ නමැති මිච්ඡා දානය දන් දෙන කෙනෙක් බවට පත් වෙන්න එපා.
අතිපූජනීය රාජගිරියන අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 පෙබරවාරි 22 ඉරිදා දිවයින පුවත්පතින්.