පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්රාවකයා යටත් විය යුත්තේ, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයට පමණක් මයි. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් තිබෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ උතුම් ප්රාතිමෝක්ෂ ශීලය සම්මා සමාධි, සම්මා ඥාන සහ සම්මා විමුක්තියට පාර කියනවා. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලය පැවිදි ශ්‍රාවකයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න ගුණයන් හරි අගේට ඔපවත් කොට දෙනවා. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ ආනිශංසයෝ පහක් තිබෙනවා. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලය පැවිදි ශ්රාවකයාව සම්මා සමාධියෙන්, සම්මා ඥානයන්ගෙන් සහ සම්මා විමුක්තියෙන් සමාජය තුළ ජනප්‍රියභාවයට පත් කරනවා. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයෙන් ලබන ජනප්රියභාවය තුළ දුකට හේතු වන ‘තෘෂ්ණාවට’ පවතින්න බැහැ. පින්වත, එම ජනප්රියභාවය තුළ පවතින්නේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ රුව සහ ගුණ පමණක් මයි. පින්වත, අභියෝගයන්ට නොබියව මුහුණ දීමේ ශක්තිය උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ තවත් සුන්දර ආනිශංස ධර්මයක් වෙනවා. පින්වත, සම්මා සමාධියට සහ සම්මා ඥානයන්ට අභියෝග කරන ඉන්ද්රිය අසංවරය, ප්රත්යවේක්ෂාව නොහඳුනන, සිවුපසය කෙරෙහි තෘෂ්ණාව සහ උතුම් පැවිද්දට නොගැළපෙන මිච්ඡා ආජීවයෝ නමැති කෙලෙස් අභියෝගයෝ, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ ශක්තිය ඉදිරියේ අසරණ වෙලා යනවා. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලය පැවිදි අපේ භව භෝග සම්පත් වන ආර්ය වර්ණය, ආර්ය සැපය, ආර්ය බලය නමැති සම්මා ඥානයෝ සහ සම්මා විමුක්තියේ භව භෝග සම්පත් ආරක්ෂා කොට දෙනවා.
පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ ආනිශංසයෝ පැවිදි අපිට සිහිමුළා නොවූ අපවත්වීමකට විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගේ දොරටු විවෘත කොට දෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම පින්වතෙක් ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා” ය කියලා. පින්වත, ඉහත මානසික ව්‍යාධියේ රෝග ලක්ෂණ බවට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින, පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි නිත්‍ය සඤ්ඤාවෙන් උපදින තෘෂ්ණාවයි. පින්වත, ඉහත මානසික ව්‍යාධිය තුළ ආර්ය ශ්රද්ධාවට, ආර්ය ශීලයට කොහෙත් ම ඉඩක් නැහැ. පින්වත, සැබෑම ප්රාතිමෝක්ෂ ශීලයේ අර්ථයෙන් විකසිතව සිදු වන සිහිමුළා නොවූ උතුම් පැවිදි අපවත් වීමක දී, පෙරළා පටිච්චසමුප්පන්නව උපදින්නේ උතුම් බල ධර්මයන්ගේ ආර්ය හැඩරුව මයි. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලය මහා බලයක්. පින්වත, සත්පුරුෂ මනුෂ්‍යයන්, දෙවියන් සහ බ්‍රහ්මයන් වන්දනා කරන බලයක්. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලය සිල්ලර ප්‍රතිලාභයක් නොව අකුසල් බෙලහීන කොට දමන අයෝමය ප්‍රතිලාභයෝ පින්වත් ගිහි ඔබට තිළිණ කරන මහා පුණ්‍ය කෙතක් ම වෙනවා. පින්වත, සංඝ සමාජය ඉදිරියේ දිගහැරෙන අකුසල් අභියෝගයන් ඉදිරියේ, ගෞරවනීය පැවිදි අපි ප්රාතිමෝක්ෂ ශීලයෙන් නැගී සිටිමු. පින්වත, ප්රාතිමෝක්ෂ ශීලය ඉදිරියේ අභියෝගයන්ට පවතින්න බැහැ. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලය තෘෂ්ණාවේ වර්ණය, සැපය, බලයට යටත් කොට ගන්නත් බැහැ. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ ශක්තියෙන් උපදින සංඝ සමාජයේ සමගිය සමස්ත ශාසනයේ ම ආයුෂය වෙනවා.
පින්වත, කල්‍යාණ ධර්මයෝ නුවණින් මෙනෙහි නොකරන්නාට ලෝකය හෙවත් පංච උපාදානස්කන්ධයෝ පැටලෙනවා. පින්වත, ඔහුට රූපය පැටලෙනවා. ඔහුට රූපය පෙනෙන්නේ සතර මහා ධාතුවක් වශයෙන් නොවේ, පින්වත, ඔහු රූපය දකින්නේ, ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ම ආත්මය’ යැයි කියලා මයි. පින්වත, ඔහු විඳීම දකින්නේ, ඵස්සය හේතුවෙන් සකස් වෙන වේදනාවක් හැටියට නොවේ, පින්වත, ඔහු විඳීම දකින්නේත් ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි කියලා මයි. පින්වත, ඔහුගේ වැරදි දැක්මට තෘෂ්ණාවේ විෂ බීජ පදමට වැටෙද්දී, ඔහුගේ ජීවිතයෙන් සප්ත බොජ්ඣංගයෝ ගබ්සා වෙලා යන්නේ, පංච නීවරණයන් ගැබ්බර කරමින් මයි. පින්වත, උතුම් බල ධර්මයන් නූපන් අපේ ලෝකය, මානසික ව්‍යාධීන්ගෙන් පිරුණ ඇලීම් සහ ගැටීම් සන්දර්ශන බහුල පටිච්චසමුප්පන්න සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණ මායාවේ පාරාදීසයක් මයි. පින්වත, මායාකාරී සංස්කාර ලෝකය ඉදිරියේ අපි චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ගෙන් අප්‍රමාදීව සතිමත් වෙන්න ඕනේ. පින්වත, සතිමත්භාවයෙන් අපි පෙරළා චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ අප්රමාදී වෙන්න ඕනේ. පින්වත, ඇලීම්, ගැටීම් බහුල තෘෂ්ණාවේ මාරයා, චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සතිමත්භාවය හිස්, පාළු ගෙවල්වලට පැන, සංස්කාර වළං බිඳින හැටි සමාජය තුළ පේනවා නේද?
පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි සතිමත්භාවය හිස්, සළායතනයෝ නමැති පාළු ගෙවල්වලට පැන, තෘෂ්ණාවේ මාරයා, සංස්කාර වළං බිඳින වේගවත්භාවය දකිද්දී, පැවිදි අපේ එකම ආරක්ෂකයා විය යුත්තේ, උතුම් ප්රාතිමෝක්ෂ ශීලය මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අපේ ජීවිතය වෙන්නේ රට, ජාතිය, ආගම නොවේ. පින්වත, පැවිදි අපේ ජීවිතය වෙන්නේ උතුම් ප්රාතිමෝක්ෂ ශීලයයි. පින්වත, පැවිදි අපි සුරකින ප්රාතිමෝක්ෂ ශීලයේ ආනිශංසයෝ මයි රටත්, ජාතියේත්, සම්මා සම්බුද්ධ ශාසනයේත් ආයුෂය බවට පත් වෙන්නේ. පින්වත, ජාතික සහ ශාසනික අභියෝගයන් සංකීර්ණ වූ ඕනෑම කාලයක උතුම් සංඝ සමාජය, කණ්ඩායම්, කල්ලි සහ දේශපාලන මතවාදයන්ගේ ගොදුරු බවට පත් කොට ගැනීමේ මිච්ඡා ව්‍යායාමයන් සමාජය තුළ සිද්ධ වෙනවා. පින්වත, තෘෂ්ණාවේ මාරයා පැවිදි අපි වටා විවිධ රස සහ නීරස “ඇම” යෙදූ බිලී කොකු ඇති තරම් අටවලයි තිබෙන්නේ. පින්වත, පසුගිය දවසක පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, දේශපාලන පක්ෂයක් තිබෙනවා, අවශ්‍ය නම් ගන්න” ය කියලා. පින්වත, තෘෂ්ණා මාරයාගේ සංස්කාර බිලී පිත්තට ඇමුණූ එම “ඇම” නම් ගැඩවිල් පණුවෙක් නොව, සුපිරි ඉස්සෙක් මයි. පින්වත, මෙම සටහන් තබන භික්ෂුව මාරයාට ටොක්ක අනින්නේ, මුලින් ම හිස අත ගා බව සටහන් තබන්න ඕනේ. මෙය සටහන් තබන භික්ෂුව ඔය රස සහ නීරස “ඇමවල්” උපක්රමශීලීව ගිල්ල බව පෙන්නුවත්, ඒවා පෙරළා එළියට දමන්නේ තෘෂ්ණා මාරයාව කම්පාවට පත් කරලා මයි.
පින්වත, තවත් ආදරවන්තයන්ගේ දිනයක් ගෙවී ගියා නේද? පසුගිය පෙබරවාරි දහහතර වෙනිදා ‘දිවයින’ සහ ‘බුදු මඟ’ පුවත්පත්වල මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති සමථ විදර්ශනාමය ශීල සමාදානයේ දී, පින්වතුන්, පින්වතියන්ලා කිහිප දෙනෙක් ම භික්ෂුවටත් රතු පැහැති රෝස මල් පූජා කළා. පින්වත, මෙත් සිතින් සිදු කළ එම රෝස මල් පූජාවෝ ආදරය උදෙසා නම් නොවේ, පින්වත, එම පූජාවෝ ආදරයේ නිරෝධය උදෙසායි. පින්වත, ආදරයේ නිරෝධය තුළ තෘෂ්ණාවේ කිලිටි මුකුත් ම නැහැ. පින්වත, තෘෂ්ණාවේ ලාටු, සම්මා ඥානයන්ගේ තියුණු විදර්ශනා මුවහතින් ගැලවී යද්දී, ආදරයේ අරුත “නිවී ගිය” පහන් වැටක් ම වෙනවා. පින්වත, තෘෂ්ණාව නිරෝධය නොවූ ආදරණීය ආදරයට පුළුවන්, පටිච්චසමුප්පන්නව භවයෙන් භවයට ඉගිලෙන්න පියාපත් දෙන්න. පින්වත, සම ශ්‍රද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප්‍රඥාවෝ ඔබේ ආදරණීය ආදරයට පටිච්චසමුප්පන්නව භවයෙන් භවයට ඉගිලෙන්න පියාපත් දෙනවා. පින්වත, ගෙවී ගිය ආදරවන්තයන්ගේ දිනයේ දී, පින්වත් ආදරණීය ඔබ දෙපළ ඉහත සම ධර්මයෝ කෙරෙහි අධිෂ්ඨානය ඇති කොට ගත්තා ද? පින්වත, ඔබ දෙපළගේ ආදරණීය ආදරයේ නාමයෙන් ඔබ දෙපළ මුල් තැන දෙන්නේ කාමච්ඡන්දයන්ට හෝ සිත විසිරෙන විනෝදාස්වාදයට නම්, ඔබ දෙපළ තුළ වැඩෙන සම අශ්‍රද්ධා, සම දුස්සීල, සම මෝහ ධර්මයෝ ඔබලාගේ පටිච්චසමුප්පන්න ආදරය භව ගමනේ වියෝවක්, විරහවක්, සතර අපායක් බවට මයි පත් කොට දෙන්නේ. පින්වත, කාම, රාග, පටිඝයෝ නිවී යන තෙක් ම, ආදරණීය ආදරය දුක සහ සැප යන දෙකට ම සශ්‍රීක ගොදුරු බිමක් වෙනවා.
පින්වත, ගිහි පින්වතුන්ලා කාලය, ශ්‍රමය, ධනය වැය කරලා බොහෝම උද්යෝගයෙන් පින්කමක් සංවිධානය කරලා තිබිය දී, මහා වැස්සක් වැහැලා පින්කම අසාර්ථක වුණොත්, එසේත් නැතිනම් බලාපොරොත්තු වූ පින්වතුන්ලාගේ අඩුවක් සිද්ධ වුණොත්, අදාළ පින්කමේ සංවිධායක පින්වතුන්ලාට එය මානසික පීඩාවක් නේද? පින්වත, අද භික්ෂුව වැඩ සිටින ගමේ පන්සලේ, රටේ ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමකගේ ලොකු පින්කමක්. ඒත් මේ සවස් යාමයේ මේ ප්‍රදේශයට හොඳටෝම වහිනවා. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වී යන අෂ්ටලෝක දහම ඉදිරියේ අපි තවමත් ඇලීම් සහ ගැටීම් දෙපියයුරුවලින් කිරි උරා බොන, තවමත් උපේක්ෂාවේ ඉඳුල් කට ගාලා නැති සති ඉන්ද්රිය නොමේරූ දරුවෝ. එම නිසා ම, පින්කමක දී වුව ද බිඳ වැටෙන බලාපොරොත්තු සංස්කාරයන්ට ම ආහාර කොට දෙනවා. පින්වත, අපි හැමෝම තවමත් අවිද්‍යාවට ණයයි. පින්වත, ණය උදෙසා සංස්කාරවලින් අවිද්‍යාවට පොලී ගෙවනවා. පින්වත, වෙනස් වී යන අෂ්ටලෝක දහම ඉදිරියේ තුන් සිත පහදා ගෙනම පින්කම් සිදු කරන්න. පින්වත, පින්කමක මුද, මැද, අග සම්මා වායාමයක් බවට ම පත් කොට ගන්න. පින්වත, හුඟාක් පින්කම්වල මුල සහ මැද මහා උද්යෝගයෙන් සිද්ධ කළත්, පින්කමේ “අග” අපි හරිම ආත්මාර්ථකාමියි. පින්වත, පින්කමක මුල අපි හැමෝම සමගියෙන්, උද්යෝගයෙන් සිද්ධ කරනවා වගේ ම, පින්කමක “අවසානය” වන අදාළ පින්කම් භූමිය හොඳින් පිරිසිදු කොට, කණ්ඩායමක් හැටියට සමගියෙන් නික්ම යන්න අපි තවමත් අදක්ෂයි. පින්වත, යම් පින්වතෙක් “අවසානය” මඟ හැර යයි ද, ඔබ ඊට සතුටු වෙන්න, එයයි ඔබේ “ගිහි වතේ” ආරම්භය වෙන්නේ. පින්කමක දී, අනුනගේ දොස් දකින්නා තවමත් “කෙලෙස් වතෙහි” ජීවත් වෙන්නේ. පින්වත, ඔබ කවදා ද පළමුව පින්කමකට ගොස්, අන්තිමයාව පින්කම් භූමියෙන් අවංකව නික්ම යන්නේ, ඔහු සත්පුරුෂ ධර්මයන්ට ගොඩාක් සමීප පින්වතෙක් වෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 මාර්තු 01 ඉරිදා දිවයින පුවත්පතින්.