ඉන්ද්‍රිය සංවරයට ගරු කරන්න.

පින්වත, අලුත විවාහ වෙච්ච තරුණ යුවළක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, අපි දරුවන් නොහදන්න තීරණය කළා” ය කියලා. පින්වත, එම දෙපළ සිතන්නේ දරුවන් ජීවිතයට බරක්ය කියලා. පින්වත, හැමෝම මෙහෙම සිතුවොත් සිංහල බෞද්ධයාට අනාගතයේ දී කුමක් සිදු වෙයි ද? මෙය සටහන් තබන භික්ෂුවගේ තාත්තාට සහෝදර, සහෝදරියන් පස් දෙනෙක් සිටියා. භික්ෂුවගේ අම්මාට සහෝදර, සහෝදරියන් හත් දෙනෙක් සිටියා. පින්වත, මේ අය දරුවෝ හැදුවේ නැති නම්, අරියඥාන කියලා කෙනෙකුත් නැහැ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපෙන් දුර්වල වෙද්දී, අපි බුදුරජාණන් වහන්සේට අකීකරු වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කොට තිබෙනවා, විවාහක දරුවන් විසින් තම ආදරණීය දෙමාපියන්ට කළ යුතු ‘කෘතවේදී’ යුතුකමක් තමයි, තම කුල පරම්පරාව ශක්තිමත් කිරීම කියලා. පින්වත් ඔබේ ආච්චි, සීයා, අම්මා, තාත්තා විසින් පවත්වාගෙන පැමිණි තම කුල පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යෑම විවාහක දරුවන්ගේ යුතුකමක්.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් එක්දරු තරුණ බිරිඳකට අනුශාසනා කරලා තිබුණා, “ඔබට සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම් සැමියාගෙන් දික්කසාද වෙන්න” ය කියලා. පින්වත, මේවා මානසික ව්‍යාධීන් හේතුවෙන් කියවෙන කාම බණ මිස, උතුම් සද්ධර්මය නම් නොවේ. පින්වත, විවාහක දෙපළකට දරුවන් හදන්න එපා යැයි කියන්න හෝ තරුණ බිරින්දෑවරුන්ට සැමියාගෙන් දික්කසාද වී පැවිදි වෙන්න යැයි කියන්න, කිසිම ස්වාමීන් වහන්සේ නමකට ධර්මානුකූලව අයිතියක් නැහැ. පින්වත, මෙවැනි විකෘති ධර්මයන්ගෙන් ප්‍රකට වන්නේ අදාළ ස්වාමීන් වහන්සේගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ දුර්වලභාවයයි. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වූ තැන මෛත්‍රිය, ශීලය සහ සමාධිය ද මිච්ඡා ධර්මයන් බවට පත් වෙන්න පුළුවන්.

පින්වත, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා පංච උපාදානස්කන්ධ ලෝකය හැදෙන්නෙත් නැහැ, හදන්නත් බැහැ. පින්වත, ලෝකයේ නොහැදෙන ගතිය නිසා ම අපි දක්‍ෂ විය යුතුයි, මෙතෙක් රැකිලා තිබෙන යහපත් මනුෂ්‍ය ධර්මයෝ හැකි තාක් වීර්යයෙන් අනාගතයට ආරක්‍ෂා කොට තබන්නට. පින්වත, අපි ජීවත් වන සමාජයේ මෙතෙක් රැකිලා තිබෙන උත්තරීතර ම ධර්මය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අහිමි වූ සමාජය මනුෂ්‍ය ධර්මයෝ මළ සමාජයක් වෙනවා. පින්වත, තෘෂ්ණාවට කිරුළු පලන්දන මොහොතේ, දුක රජ වන බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, අසද්ධර්මය ශ්‍රවණයෙන් මිථ්‍යා දෘෂ්ටිය සමාජගත වන වේගය ගොඩාක් වැඩියි. පින්වත, ලෞකික සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතික්ෂේප කරන වේගයත් ගොඩාක් වැඩියි. පින්වත, සත්පුරුෂ ඔබේ සැබෑ ශාසනික යුතුකම විය යුත්තේ සමාජගත වන මිථ්‍යා දෘෂ්ටියේ “වේගයට” වැඩි “වීර්යයකින්” උතුම් සම්මා දිට්ඨිය සමාජගත කිරීමයි. පින්වත, වේගය අයිති පංච නීවරණයන්ට. පින්වත, වීර්යය අයිති සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයන්ට. පින්වත, ඔබ ශාසනික අර්ථයන් ඉදිරියේ වේගවත් චරිතයක් නම්, කරුණාකර වේගය සහ වීර්යය කියන දෙඅර්ථයේ මහා වෙනස සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, වේගය ඉදිරියේ තිබෙන්නේ තෘෂ්ණාවයි. පින්වත, වීර්යය ඉදිරියේ තිබෙන්නේ සති සහ ධම්ම විචය බොජ්ඣංගයෝයි. පින්වත, වේගය සහ වීර්යය යැයි කියන දෙඅර්ථයේ සැබෑ අරුත සමහරක් පින්වතුන් නොතේරුම් ගැනීම නිසා ම, මෙය සටහන් තබන භික්ෂුවටත් ශාසනික වගකීම් ඉටු කිරීමට යෑමේ දී, බලවත් අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහි ඵලය භික්ෂුව සමාජය මඟ හැර සිටීමයි.

පින්වත, නිවැරදි කිරීමක් ගැන සිතා ගන්නවත් බැරි තරමට සමාජය පිරිහීමේ දිශාවට ගමන් කරනවා. පින්වත, වර්තමානයේ පමණක් නොවේ, අතීතයේත් ඕනෑතරම් මෙවැනි පිරිහීම් සමාජගත වෙලා තිබෙනවා. පින්වත, සමාජ පිරිහීම යැයි කියන්නේ හේතුඵල ධර්මයක්. පින්වත, “ධර්මයෝ, ධර්මයෝ ම වඩත්”, පින්වත, “අධර්මයෝ පෙරළා අධර්මයෝ ම වඩත්” යැයි කියන උතුම් සම්බුදු දහම තුළයි පංච උපාදානස්කන්ධ ලෝකය ක්‍රියාත්මක වන්නේ. පින්වත, අධර්මයන්ගේ මුදුන් මුල වන්නේ අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්මය ශ්‍රවණය කිරීම සහ අනුවණින් මෙනෙහි කිරීමයි. පින්වත, ඉහත තුන් අධර්මයන්ගේ ඵලය උතුම් සම්මා දිට්ඨිය මළ, මිථ්‍යා දෘෂ්ටියේ උපතයි. පින්වත, පිරිහීමට පත් වන සමාජයක මහා වේගයෙන් සංවර්ධනය වන්නේ මිථ්‍යා දෘෂ්ටියයි.

පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ මාරයා සංස්කාර ලාභ සොයන ලාභදායී ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය උදෙසා මාරයා සිල්වත්භාවය සහ දුසිල්වත්භාවය, මෛත්‍රිය සහ ද්වේශය, ත්‍යාගය සහ මසුරුභාවය යන යහපත් සහ අයහපත් දෙධර්මයෝ ම ආයෝජනය කරනවා. පින්වත, සම්මා දිට්ඨිය සහ මිථ්‍යා දෘෂ්ටිය යන අර්ථයන් දෙක ම උපක්‍රමශීලීව මාරයා තම ව්‍යාපාර ප්‍රවර්ධන වෙළඳ දැන්වීම් උදෙසා උපයෝගී කොට ගන්නවා. පින්වත, අපිට ලෝකය ගැන හිතලා, දැකලා, විඳලා මේ සංස්කාර ලාභ සොයන මාර ව්‍යාපාරය තේරුම් ගන්න බැහැ. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම දහම වන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් උපදින සම්මා සමාධිමත් සිතකින් මයි මේ ලෝක විකෘතිය විනිවිද දැකිය හැක්කේ. පින්වත, එතෙක් සමාජ පිරිහීම් ඉදිරියේ ඊට ඇලෙන්න හෝ ගැටෙන්න එපා. ඔබේ ජීවිතය සම්මා සමාධියට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මෙහෙය වන්න.

පින්වත, අද උදෑසන තරුණ අම්මා කෙනෙක් භික්ෂුවට කියනවා, තමන්ගේ දියණිය මිය ගිහින් මාස දෙකයි, ඇයට පින් අනුමෝදන් කරන්නය කියලා. පින්වත, මරණයට වයසක්, භේදයක් අදාළ නැහැ. පින්වත, පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයෝ ප්‍රතික්‍රියා දක්වද්දී, අයුෂයෙන් උණුසුම් වූ ජීවිතයක්, ශීතල මළ කඳක් වෙනවා. පින්වත, ඔබ අකල් මරණයන්ට අකමැති නම්, උතුම් ආජීව අට්ඨමක ශීලය තුළින් ඇති කොට ගන්නා ඉන්ද්‍රිය සංවරභාවයට ඔබ ගරු කරන්න ඕනේ. පින්වත, ඉන්ද්‍රිය සංවරභාවයෙන් තොරව කෙසේ නම් සමාධිමත් සිතක් ඇති කොට ගන්න ද? පින්වත, සමාධිමත් සිතකින් තොරව කෙසේ නම් දීර්ඝායුෂ ලැබීමට අදාළ සතර ඍද්ධිපාද ධර්මයෝ වැඩෙන්න ද?

පින්වත, දසකුසල් ධර්මයන් කෙරෙහි කැමැත්ත, දසකුසල් ධර්මයන් කෙරෙහි වීර්යය, දසකුසල් ධර්මයන් කෙරෙහි නොසැලෙන අධිෂ්ඨානශීලීභාවය සහ ඉහත ධර්මයෝ විදර්ශනාවෙන් විනිවිද දකින්නා තම පුණ්‍යවන්ත ජීවිතය සතර ඍද්ධිපාද ධර්මයක් බවට ම පත් කොට ගත්තෙක් වෙනවා. පින්වත, දිනෙන් දින සමාජය තුළ අකල් මරණ බිය වැඩි වෙනවා. පින්වත, අපේ ජීවිත මිච්ඡා සතර ඍද්ධිපාද ධර්මයන්ට තෝතැන්නක් වෙලා. අපි හැමෝම තම තමන් උදෙසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළත්, “සියලු සත්ත්වයෝ දීර්ඝායුෂ ලබත්වා!” යැයි මෙත් සිතින් දකින්න, එම සිතත් චිත්තානුපස්සනාවෙන් විනිවිද දකින්න, අපේ අසංවර ඉන්ද්‍රියෝ අපිට බාධා කරනවා. පින්වත, ඔබ විවේකීව සිටින සෑම මොහොතක ම “භවාත්‍රයේ සියලු සත්ත්වයෝ ම දීර්ඝායුෂ ලබත්වා!” යැයි මෙත් වඩන්න. පින්වත, එම ආදරණීය මෛත්‍රිය, උතුම් ශීලයෙන් උත්තේජනය වෙද්දී, අකල් මරණ සංස්කාරයෝ ඔබේ පින්වන්ත ජීවිතයෙන් පසු බසීවි.

පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය නිරතුරුව ම කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබට දේශනා කරන්නේ වර්තමානය තුළ මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයට ඔරොත්තු දෙන්නෙක් වෙන්නයි. පින්වත, එහි අර්ථය ඇලීම් සහ ගැටීම්වලින් තොරව සැප සහ දුක් ඉදිරියේ උපේක්‍ෂා සහගත සිතක් ඇති කොට ගැනීමයි. පින්වත, අපේ ජීවිතවලින් උපේක්‍ෂාව බැහැර වුණ තැන විදර්ශනාව කෙසේ වෙතත්, කුසල් සිතුවිලිත් අපි අහිමි කොට ගන්නවා. පින්වත, අපේ ජීවිත ගොඩාක් කැමතියි පංච නීවරණයන් තුළ අයාලේ යන්න. පින්වත, පංච නීවරණයෝ තුළ කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ සිත් සේ විඳින්න පුළුවන්කම තිබෙනවා.

පින්වත් මහත්මියක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මම වසවර්ති මාරයාටත් මෙත් වඩනවා” ය කියලා. පින්වත, ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් දුර්වලව වසවර්ති මාරයාට මෙත් වැඩුවොත් පංච නීවරණයන්ට ඔබ ආකර්ෂණය වෙන්න පුළුවන්. පින්වත, “සියලු දෙවියෝ සුවපත් වේවා!” යැයි මධ්‍යස්ථ සිතින් පොදුවේ දෙවියන්ට මෙත් වඩන්න. පින්වත, වසවර්ති මාරයා කියන අර්ථය මෛත්‍රිය උදෙසාවත් වැඩීම, පංච නීවරණ බහුල ජීවිතයකට අනවශ්‍ය උපද්‍රවයක් වෙන්න පුළුවන්. පින්වත, විතර්ක බහුල ජීවිත මධ්‍යස්ථ සිතින් ලෝකය දකින්න කැමති නැහැ. තම දෘෂ්ටි, මතවාදයන්ට අදාළව ලෝකය බෙදා වෙන් කොට ගන්නවා. එහි ඵලය ලෝකය ඔබට තව, තවත් සංකීර්ණ වීමයි. “සියලු මනුෂ්‍යයෝ සුවපත් වේවා!” යැයි මෛත්‍රී භාවනාවේ දී දකිනවා වෙනුවට, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු හැටියට මනුෂ්‍යයා වෙන් කොට දැකීම සංකීර්ණ සංස්කාර මායාවේ සිරකාරීත්වයට හේතු වෙන්න පුළුවන්.

පින්වත, තෘෂ්ණාවෙන් සංකීර්ණ සංස්කාර ලෝකය සිහිනුවණින් සරල කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, අපේ ඉලක්කය විය යුත්තේ ජාති, ආගම්, කුල වශයෙන් ලෝකයා වර්ග කරන සංස්කාර මායාවේ සිරකාරීත්වය නොවේ, පින්වත, ඉහත විවිධත්වයට හේතු වූ සංස්කාරයන්ගේ මුදුන් මුල වන අවිද්‍යාවයි. පින්වත, ලෝකය, ලෝකයට අදාළව, දෘෂ්ටි, මතවාදයන්ට අදාළව බෙදා වෙන් කොට දකින සෑම සිතුවිල්ලක දී ම, අපි පෝෂණය කරන්නේ අවිද්‍යාවයි. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ කල්‍යාණමිත්‍රභාවයේ ශක්තියෙන් අපි සම්මා ඥානයන් මතු කොට ගෙන උතුම් සෝවාන්ඵල අවබෝධයට පත් වූ කල්හි, ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, පින්වත් ඔබත් දෙකක් නොව, එකක් බවට පත් වෙනවා. පින්වත, බල ධර්මයන් පෝෂණය කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවයත්, පෙරළා පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්මෙන් විදර්ශනාත්මකව ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, හේතුඵල ධර්මයන්ට අදාළව පෝෂණය වෙනවා.

පින්වත, අපි යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලබන මොහොතේ අවිද්‍යාවේ නිරෝධයෙන් මුළු පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ම නිවී යනවා. පින්වත, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ම නිවී ගිය තැන, එම අරිහත් උත්තමයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කිනම් ඵලයක් ද? එම උත්තමයන් වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ලැබිය හැකි උතුම් ම අස්වැන්න වන සම්මා විමුක්තිය නෙළාගෙන අවසන්වයි වැඩ සිටින්නේ. ඉන් ඉක්බිති අරිහත් උත්තමයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු අනිත්‍ය වී ගිය ‘කෘතවේදී’ අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. පින්වත, අවිද්‍යාවෙන් හිස් වූ ජීවිතයක සම්මා විමුක්තියේ නික්ලේශී රසය, උතුම් රහතන් වහන්සේලාට “නිවී ගිය පහන් වැටක දිරා යන අතීත සංස්කාර ගොඩක්” පමණක් මයි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2025 නොවැම්බර් මස 23 ඉරිදා දිවයින පුවත්පතින්.