මෛත්‍රියේ ගිණුම ශක්තිමත් කර ගන්න.

පින්වත, අපි හැමෝට ම පිරිවර සම්පත් ලබන්නට බැහැ. පින්වත, පෙර ජීවිතවල පුහුණු කළ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය වගේ ම හැමෝගේ ම සහභාගිත්වයෙන් සහ උපකාරයෙන් පිරී ඉතිරී යන්න පින්කම් සිදු කිරීමේ ඵලයයි, පිරිවර සම්පත් කියන්නේ. පින්වත, සමහර පින්වතුන් සිටිනවා, තමන් පූජා කරන පිරිකර අනුනට අත ගස්සවන්නවත් කැමති නැහැ. අනුන් අත ගැසුවොත් පින අඩු වෙයි කියලා හිතනවා. සමහරක් පින්වතුන් පිරිකර ගොඩාක් තනිව ම ගෙනත් පූජා කරනවා. ඉන් එක පිරිකරක්, පිරිකරක් අතේ නැති කෙනෙකුට දෙන්න කැමති නැහැ. පින්වත, භික්ෂුව බොහෝම විවෘතව කියනවා, ඔබ රැගෙන පැමිණි පිරිකර, පිරිකරක් නැති කෙනෙකුට අත ගසා පූජා කිරීමෙන් සහ පිරිකරක් නැති පින්වතෙකුට පූජා කිරීමට පිරිකරක් ලබා දීමෙන් ඔබ තනිවම සිදු කරන පූජාවට වඩා ගොඩාක් පින් වැඩියි. පින්වත, මෛත්‍රියට අදාළව, ත්‍යාගයට අදාළව අමතර පිනුත් ඔබට ලැබෙනවා.

පින්වත, ජරා, ව්‍යාධි, මරණ බහුල ලෝකයේ පින කියන්නේ මහා ලෞකික ධනයක්. පින්වත, මෛත්‍රියට, ශීලයට, ත්‍යාගයට ජාති භේද සහ ආගම් භේද අදාළ නැහැ. පින්වත, මනුෂ්‍ය සහ දිව්‍ය ජීවිතවලට පරිවාර සම්පත අත්‍යවශ්‍ය දෙයක්. පින්වත, වර්තමානයේ පවුල් සම්බන්ධතාවයන් සහ සමාජ සම්බන්ධතාවයන් දිනෙන් දින බිඳිලා යනවා. පින්වත, ඇසුරට යහළුවෙක්, ඥාතියෙක් නැති පින්වතුන් කොතෙක් නම් සිටිනවා ද? පින්වත, කෙරෝනා අවස්ථාවේ දී ඥාතීන්ගෙන් තොරව දේහයන් අදාහනය සිදු කිරීම, සිවිල් යුදමය අවස්ථාවන්හි දී ඥාතියෙක් නොදැක අතුරුදන්වූවන්ගේ ගොඩට වැටුණ දස දහස් ගණන් ජීවිත ඔබට මතක ද? පින්වත, පාංශුකූලයක්, මතක බණක් හිමි නැති මරණයක් යැයි කියන්නේ, පිරිවර සම්පත්වලට අදාළ අතීත සංස්කාරයන්ගේ දුර්වලභාවයයි.

පින්වත, යම් පින්වතෙක් කුමන හේතුවකින් මිය ගියත්, ඔහු පාතාලයේ වේවා, පාතාලයේ නොවේවා, ඔහු ධනවත් වේවා, දුප්පත් වේවා ඔහුගේ දේහයට ගෞරව දක්වන්න මහා පිරිසක් පැමිණීම හෝ දේහයට ගෞරව දැක්වීමට අල්ප පිරිසක් පැමිණීම තුළින් අධර්මයක් නොව හේතුඵල ධර්මයක් මයි අපි දැකිය යුත්තේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව අපවත් වෙච්ච දවසක, දේහයට ගෞරව දක්වන්න සිය දෙනෙක්වත් නාවොත්, කරුණාකර ඔබ කලබල වෙන්න එපා. පින්වත, ඊට එකම හේතුව භික්ෂුවගේ අපවත් වූ දේහයට බුහුමන් ලැබීමට අදාළ භික්ෂුවගේ අතීත සංස්කාරයන්ගේ දුර්වලභාවය මයි. පින්වත, භික්ෂුවට හොඳටෝම මතකයි, අපේ තරුණ කාලයේ අපි බස් රථයක ගමනක් යද්දී, සුසාන භූමියට රැගෙන යන දේහයන් මහ පාරේ අපි පසු කරද්දී, බස් රථයේ ආසනයෙන් නැගිටලා අපි දේහයට ගෞරව දක්වනවා. මේ මැරිලා ඉන්නේ කවුද කියලාවත් අපි දන්නේ නැහැ. පින්වත, සමාජගත වන අසත්පුරුෂ භේදයන් නොතකා, මිය ගිය පුද්ගලයා කවුරුන් වුව ද, එම දේහයට හදවතින් ම මෙත් සිතින් ගෞරව දක්වන්න. පින්වත, එම බුහුමන් දැක්වීම මිය ගිය පින්වතා උදෙසා නොවේ, මිය ගිය පින්වතා උපයෝගී කොට ගෙන ඔබ තුළ මතු කොට ගන්නා මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහ උදෙසායි. පින්වත, භික්ෂුවගේ ගිහි ජීවිතය පුරාවට මළ ගෙවල් ආශ්‍රයෙන් මහා මෛත්‍රියේ ශක්තියක් ජීවිතයට එකතු කොට ගෙන තිබෙනවා. පින්වත, නිදි වැරීමෙන්, සැරසිලි කිරීමෙන්, ශබ්ද විකාශනයෙන් මරණය ගමට දැනුම් දීමෙන්, ගුණ කථන කිරීමෙන් අප්‍රමාණ මනුෂ්‍යයෝ සතුටු කරලා තිබෙනවා. පින්වත, මේ සියල්ල අයිති වුණේ, ගිහි මගේ මෛත්‍රියේ, ත්‍යාගයේ ගිණුමට ම මිස අදාළ මළ ගෙදර සමාජිකයන්ට නොවේ.

පින්වත, ලෞකික සහ විදර්ශනා සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ, මිය ගිය පින්වතෙකුගේ දේහය තුළිනුත් පින සහ විදර්ශනාව මතු කොට ගත හැකි මාර්ගයක්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව අතීත ගිහි ජීවිතයේ දී, මළ ගෙවල් ආශ්‍රයෙන් ලැබූ මෛත්‍රියට, ත්‍යාගයට අදාළ පුණ්‍ය ප්‍රතිලාභයෝ වර්තමානයේදීත් අත්විඳිනවා. පින්වත, යහපත් වේවා, අයහපත් වේවා යම් පින්වතෙක් මිය ගියොත්, ඔහුගේ රුව ගුණ සිහියට නගාගෙන ‘සුවපත් වේවා!’ යැයි ඔබේ මෛත්‍රියේ ගිණුම ශක්තිමත් කොට ගන්න. පින්වත, අනුවණ පින්වතුන් සමාජය හදන්න ගිහිල්ලා තමන්ගේ මෛත්‍රියේ සහ ත්‍යාගයේ ගිණුම් බින්දුවට දමා ගන්නවා. පින්වත, සතුරෙක් වුවත් මිය ගිය ගිය කෙනාට වෛර කරන්න එපා. පින්වත, මිය ගිය අයට වෛර කිරීමෙන් අපිට කවදා හෝ කොරෝනා වර්ගයේ මරණයක් හෝ අතුරුදන්වූවන්ගේ වර්ගයේ මරණයක් අයිති වෙන්න පුළුවන්. පින්වත, ඒ කියන්නේ පාංශුකූලයක් හෝ මතක බණක් නැති මරණයක්.

පින්වත, අද උදෑසනත් දස දිශාවේ ම පින් බලාපොරොත්තුව සිටින සියලු සත්ත්වයෝ මේ පින් දකිත්වා!, අනුමෝදන් වෙත්වා! යැයි කියලා භික්ෂුව මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් සිදු කළා. පින්වත, මේ මිය ගිය එකම ඥාතියෙක්වත් භික්ෂුවට දැන් අයිති නැහැ, නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පනවනවා, මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නය කියලා. පින්වත, උතුම් තෙරුවන්ට කීකරුභාවය නිසා ම, ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ දී, අපි තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙනවා; මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහක් වැඩෙනවා; දානයට අදාළ ආනිශංස තුනක් වැඩෙනවා; අපේ සම්මා සතිය ශක්තිමත් වෙනවා. පින්වත, මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් නොකරන පින්වතාට ඉහත කිසිවක් ම ලැබෙන්නේ නැහැ. ඔහු ජීවත් වුවත් මනුෂ්‍ය ධර්මයන් මළ මනුෂ්‍යයෙක් ම වෙනවා.

පින්වත, ඔබ හැමෝම වගේ වෙන්න එපා. ඔබ හැමෝට ම වඩා වෙනස් කෙනෙක් වෙන්න. පින්වත, උත්තරීතර චතුරාර්ය සත්‍යය ධර්මයෝ හරිම දුර්ලභයි. පින්වත, සුලබ අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාව තුළ දුර්ලභ චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අර්ථවත්ව රැඳෙන්න බැහැ. පින්වත, තෘෂ්ණාවේ බලපරාක්‍රමය හමුවේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවිතවලින් පලා යනවා. පින්වත, තෘෂ්ණාව අපිට උගන්වන්නේ කාම බැඳීයාම්, දිට්ඨි බැඳීයාම්, අන්‍යශීලවෘත බැඳීයාම් තුළින් දුක සොයන්න මයි. පින්වත, මනුෂ්‍ය ජීවිත තුළින් උපාදානයෝ හෙවත් බැඳීයාම් සංකීර්ණ වෙද්දී, අපේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ දැක්ම ආත්මීය දෘෂ්ටියේ සිරකරුවෙක් ම වෙනවා. පින්වත, ආත්මීය දෘෂ්ටිය අපිට උගන්වන්නේ වරද, වරද හැටියටත්, වරදකරු, වරදකරුවා හැටියටත් දකින්නයි. පින්වත, අපේ ආත්මීය දෘෂ්ටිය පුද්ගල සඤ්ඤාවෝ මුල්කොට ගෙන සංස්කාරයෝ පොහොසත් කොට දෙනවා. පින්වත, ඔබ චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පූර්වාදර්ශී පින්වතෙක් නම්, යම් පින්වතෙක් සිදු කරන වරද සහ එම වැරදිකරු අවිද්‍යාව හැටියට ම දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, මේ පටිච්චසමුප්පාද නිවැරදි දැක්ම තුළ අපිට ඇලෙන්න හෝ ගැටෙන්න පුද්ගල සඤ්ඤාවක් නැහැ. පින්වත, දිට්ඨි විශුද්ධියෙන් සතිමත් ඔබේ උපේක්‍ෂා සහගත සිත එවිට ඔබව සම්මා ඥානයන් උදෙසා මයි මෙහෙය වන්නේ. පින්වත, උතුම් අනාගාමීඵල අවබෝධය ලැබූ උත්තමයාත් අවිද්‍යාව තුළයි ජීවත් වෙන්නේ. ඔහුත් චතුරාර්ය සත්‍යය ධර්මයෝ පරිපූර්ණ වශයෙන් අවබෝධය නොකළ, පංච උපාදානස්කන්ධ ධර්මයෝ බල ධර්මයන්ගෙන් විනිවිද දකින, අනුශය අවිද්‍යාවේ ම සාමාජිකයෙක් වෙනවා.

පින්වත, ලෝකය යැයි කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීමේ වරදයි. පින්වත, මීට වඩා වරදක් මේ ලෝකය තුළ නැහැ. පින්වත, අපි හැමෝම අත්විඳින ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ මේ ලොකුම වරදේ හේතුඵල ධර්මයෝයි. පින්වත, මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළත්, ඊට මුල් හේතුවත් චතුරාර්ය සත්‍යය නොදැනීමේ වරදයි. පින්වත, අවිද්‍යාවේ ආරම්භයයි, ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා පටිච්චසමුප්පන්නව ගලාගෙන යන්නේ. පින්වත, අපි හැමෝම අවිද්‍යාව ගැන කතා කරන්නේ තෘෂ්ණාව සඟවාගෙනයි. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ගැන සතිමත් වීර්යවන්තයා “තමා නිවැරදියි අනුන් වැරදියි” කියලා දකින්නේ නැහැ. ඔහු ලෝකය විග්‍රහ කොට ගන්නේ දිට්ඨි විශුද්ධියෙන් උපදින පටිච්චසමුප්පාද ධර්මයෝ මුල්කොට ගෙනයි. පින්වත, ඔහු ජාති, ආගම්, කුල භේද විසිරුවා දකින්නේ ආත්මීය දෘෂ්ටියේ සෙවණැල්ල තුළ නොවේ, අපි හැමෝගේ ම පටිච්චසමුප්පන්න ජීවන චක්‍රය වන පටිච්චසමුප්පාද ධර්මයන් තුළයි.

පින්වත, ලෝකයේ නොතැවරී, ලෝකය තුළ ජීවත් වන නිවැරදි දැක්ම පටිච්චසමුප්පාද ධර්මයෝ මයි. පින්වත, ලෝකය නිවැරදි කිරීමේ නාමයෙන් කෙටි ආස්වාදයන්ට රැවටී උඩ බලාගෙන කෙළ ගසා ගන්නා පින්වතුන් කොතෙක් නම් සිටිනවා ද? පින්වත, කතා කළොත්, කතා කරන්නේ අනුනගේ වැරදි මයි. පින්වත, අනුනගේ වැරදි ඉදිරියේ කලබල වෙන්නාට ඇසට නොපෙනෙන සංස්කාර අධිකරණය ගැන පුංචි හෝ වැටහීමක් නැහැ. පින්වත, දඬුවමට බිය වෙන්න එපා, වරදට බිය වෙන්න. පින්වත, අවිද්‍යාව අපිට කණපිටයි උගන්වන්නේ. පින්වත, දඬුවමට අපි බිය වෙනවා, නමුත් තවමත් අපි වරදට බිය නැහැ. එම නිසා ම, ඵස්සය ඉදිරියේ අවිද්‍යාව තවමත් නිදැල්ලේ ම හැසිරෙනවා.

පින්වත, අසත්පුරුෂ ආශ්‍රයන්, අසද්ධර්මයන් සහ අනුවණින් මෙනෙහි කිරීම් වැඩි වෙන සමාජයක ධර්මානුකූල ලක්‍ෂණය වන්නේ, පින්වත් මනුෂ්‍ය ජීවිත නමැති පටිච්චසමුප්පාද නූල් බෝලය, දෘෂ්ටි, මතවාද සහ බැඳීයාම්වලින් අග සහ මුල සොයා ගැනීමට නොහැකි සේ පැටලී යාමයි. පින්වත, වර්තමාන ‘තාක්‍ෂණික මාරයා වන සමාජ මාධ්‍ය ජාලා’ අතිශය ජනප්‍රිය වෙලා තිබෙන්නේ පින්වත් මනුෂ්‍ය ජීවිතවල දෘෂ්ටි, මතවාද සහ බැඳීයාම්වල සංකීර්ණභාවය නිසා මයි. පින්වත, බැඳීයාම් සකස් වන්නේ තෘෂ්ණාව මුල්කොට ගෙනයි, තෘෂ්ණාව සකස් වන්නේ ඇලීම් සහ ගැටීම් මුල්කොට ගෙනයි, පින්වත, ඇලීම් සහ ගැටීම් සකස් වන්නේ මධ්‍යම ප්‍රතිපදාව වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතික්ෂේප කරන නිසා මයි.

පින්වත, වයස අවුරුදු විස්සක් පමණ වයසැති තරුණ පුතෙක් කියපු කතාවක් භික්ෂුව මෙහි සටහන් තබනවා, “මගේ තාත්තා පසුගිය මහ මැතිවරණයට තරග කරලා පාර්ලිමේන්තුවට ගියා, හැබැයි මහ මැතිවරණයේ දී මගේ තාත්තාට මම ඡන්දය දුන්නේ නැහැ, මගේ තාත්තාට ඡන්දය දෙන අයව වැළැක්වුවෙත් නැහැ, මම තාත්තාට ඡන්දය නොදුන්නේ මගේ තාත්තා උතුම් තෙරුවන්ට ගරු කරන්නේ සහ විශ්වාස කරන්නේ නැති නිසා” යැයි සද්ධර්මය ශ්‍රවණය කරන පුතා කියනවා. පින්වත, රටේ සිදු වන සද්ධර්ම විකෘතීන් දකින විට එම පින්වත් මන්ත්‍රීතුමාට රටේ බුද්ධශාසන ඇමතිකම නොදුන්න එක පුදුමයක්. පින්වත, මේවා කාගේවත් පෞද්ගලික වැරදි නොවේ. පින්වත, වරදකරු අවිද්‍යාවේ තීව්‍රභාවයයි. පින්වත, මෙත් සිතින් මෙම විකෘතීන් දෙස බලමින්, මේ ලෝක ධාතුවේ පරම සත්‍යය වන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජගත කරන්න. පින්වත, වරද හෝ වරදකරු සමග ගැටෙනවා වෙනුවට, සත්‍යය ධර්මය “පූර්වාදර්ශීව” සමාජගත කිරීමයි අපේ වගකීම විය යුත්තේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2025 නොවැම්බර් මස 16 ඉරිදා දිවයින පුවත්පතින්.