දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසයි.

පින්වත, අපි ජීවත් වෙන්නේ බොහෝම වේගයෙන් මනුෂ්‍යකම් දුර්වල වෙන සමාජයක. පින්වත, මනුෂ්‍යකම් දුර්වල වෙද්දී, පින්වත් මනුෂ්‍යයා ආත්මාර්ථකාමී වෙනවා. පින්වත, අනුන් ගැන නොසිතන, තමා ගැන පමණක් සිතන කෙනෙක් වෙනවා. පින්වත, ආත්මාර්ථකාමීභාවය අපිට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ අහිමි කරනවා. පින්වත, ඔබ ආත්මාර්ථකාමී වන මොහොතක් පාසා මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් අහිමි කොට ගන්නවා. පින්වත, බලන්නකෝ, අපේ ජීවිතවලට අපි කර ගන්නා වූ අපරාධයක තරම. පින්වත, මෛත්‍රිය දුර්වල වෙද්දී, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කෙසේ නම් ඔබ තුළ පවතින්න ද? පින්වත, බිය, විචිකිච්ඡාව, තැති ගැනීම, සැකය අශ්‍රද්ධාවේ හේතුඵල ධර්මයෝ වෙනවා. පින්වත, ආත්මාර්ථකාමීභාවය, කර්මය කර්මඵල විශ්වාසයන් ඔබ තුළින් මකලා දමනවා. පින්වත, පොදු ප්‍රවාහන සේවයකට භික්ෂුවක් ගොඩ වුණොත්, පූජ්‍ය පක්‍ෂයට වෙන් කළ ආසනය පරිත්‍යාග කරන්න හුඟ දෙනෙක් කැමති නැහැ. පින්වත, සංඝ රත්නයට ආසනය පරිත්‍යාග කිරීමෙන් ලබන දානමය චේතනාවට වඩා, එම ආසනයේ වාඩි වෙලා ලබන කෙටි ආස්වාදය මහා වටිනාකමක් කොට දකිනවා. පින්වත, ආත්මාර්ථකාමීභාවය, අපේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සහ මෛත්‍රිය දුර්වල කොට දමද්දී, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට සහ සමාධියට අයත් ඉතිරි මාර්ග අංග හය ම දුර්වල කොට දමනවා. පින්වත, ඔබේ ආත්මාර්ථකාමීභාවයෙන් පීඩා ලබන්නේ අනුන් නොවේ, පින්වත් ඔබ මයි. පින්වත, අපි ඇති කොට ගන්නා වූ පරාර්ථකාමී චේතනාවෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම සක්‍රිය කොට දෙනවා.

පින්වත, ටික දවසක් නැවතිලා තිබුණ මිනී මරා ගැනීම ආයිමත් පටන් අරගෙන නේද? පින්වත, ඊළඟ ඉලක්කය කවුරුන් වෙයි ද දන්නේ නැහැ. පින්වත, අකල් මරණීය අභියෝගයන් ජය ගන්න නම්, කාරණා තුනකින් පින්වත් ඔබ සන්නද්ධ වෙන්න ඕනේ. පින්වත, ආයුධවලින් සන්නද්ධ වීමෙන් අකල් මරණ ජය ගන්න බැහැ. පින්වත, අකල් මරණ ජය ගන්න මාර්ගයක් තිබෙනවා. පින්වත, එම මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත, අකල් මරණ ජය ගන්නා ධර්මතාවයන් තුන තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සහ සම්මා වාචාවෝ යැයි කියන්නේ. පින්වත, ඉහත කාරණා තුන ඔබ තුළ දුර්වල වුණොත්, මනුෂ්‍ය හිංසනයට සහ මනුෂ්‍ය ඝාතනයට අදාළ මිච්ඡා කම්මන්තයෝ ඔබේ ජීවිතයට විවෘත වෙනවා. පින්වත, මිථ්‍යා දෘෂ්ටියෙන් උපදින තෘෂ්ණාවේ උපාදානයෝ තිබෙන තාක් කල් මිනී මැරීම, පාතාලය, අන්තවාදය සමාජය තුළ තිබෙනවා. පින්වත, කාම බැඳීයාම් සහ දිට්ඨි බැඳීයාම් උනන්නේ තෘෂ්ණාවේ උල්පතෙන්. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සහ මෛත්‍රියෙන් පෝෂණය වූ සම්මා වාචාවෝ හෙවත් යහපත් වචනවලින් පින්වත් ඔබ සන්නද්ධ වෙන්න. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ සහ මෛත්‍රියේ දුර්වලභාවයන් නිසා ම, අපේ රටේ යහපත් වචන ඇසෙනවා ගොඩාක් අඩුයි. පින්වත, මේ යන රටාවට සමාජය තුළ මිනී මැරුම් අඩු වෙන්නේ නැහැ. පින්වත, මිනී මරා ගැනීම් නැවත නැවත සිදු වෙද්දීත්, අපිට ඇසෙන්නේ මිච්චා වාචාවෝ මයි. පින්වත, අපේ ඇත්තෝ මිච්ඡා ධර්මයන්ගෙන් මිනී මැරීම් ප්‍රවර්ධනය කරනවා.

පින්වත, වැඩිහිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගෙන් භික්ෂුව දැනගත්ත කතාවක් උන්වහන්සේගේ ම වචනවලින් භික්ෂුව මෙහි සටහන් තබනවා. “ස්වාමීන් වහන්සේලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කොට තිබූ සංඝ සම්මේලනයකට සහභාගී වීමට කොළඹට වැඩියා. අපිට අවම වශයෙන් ගිලන්පස කෝප්පයක්වත් ලැබුණේ නැහැ. අහවල් රාජ්‍ය නායකතුමාගේ කාලයේ දී නම් ඔහොම තැනකට වැඩියහම දාන වේල, ගිලන්පස වරදින්නේ නැහැ” ය කියලා. පින්වත, භික්ෂුව ඉහත කාරණය සටහන් තැබුවේ ආහාර, ගිලන්පස ලැබීම හෝ නොලැබීම ගැන සඳහන් කිරීමට නොවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගිලන්පස බලාපොරොත්තුවෙන් සංඝ සම්මේලනයකට වඩින්නේ නැහැ. පින්වත, භික්ෂුව ඉහත කාරණය ගැන සටහන් තැබුවේ, මහා සංඝ රත්නයේ සුපටිපන්න ආදි වූ ගුණයන් කෙරෙහි, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කෙරෙහි, කර්මය කර්මඵල විශ්වාසය කෙරෙහි අල්ප දැනුම, මොනතරම් නම් ආයුෂ, වර්ණය, සැපය, බලයක් අහිමි කොට දෙනවා ද කියන කාරණය සිහිපත් කොට දෙන්නයි. පින්වත, කෙසොල් රජතුමාගේ මල්ලිකා බිසව අසදිස දානය පූජා කොට ගත් මොහොතේ, කොසොල් රජතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයෙක් අසදිස දානය විවේචනය කළා, “රාජ්‍ය ධනය අසදිස දානයට වියදම් කළා” ය කියලා. මේ කාරණය දැන ගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා, “අනුවණ පින්වතා, තමන් දන් පූජා කරන්නෙත් නැහැ, අනුනට දන් දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඔහු මෙලොව සහ පරලොව දෙකේ දී ම ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් පිරිහීමට ම පත් වෙනවා” ය කියලා.

පින්වත, අපේ දෑස්වලට පෙනෙන ලෝකය හරිම සුන්දරයි. අපි හැමෝම කැමති මේ ලෝකය විඳින්න, හඳුනා ගන්න. පින්වත, ලෝකයේ විසිතුරුභාවය, ප්‍රණීතභාවය, සුන්දරත්වය යැයි කියන්නේ, පටිච්චසමුප්පන්න අපේ ම පිනේ ඵලයක්. පින්වත, සුවඳැති මලට ඇදෙන බඹරුන් සේ අපි පිනට බැඳුණත්, පින යැයි කියන්නේ, අනිත්‍ය වී යන සංස්කාරයක් යැයි අපි දකින්නේ නැහැ. පින්වත, පින අසිහියෙන් වින්දොත් පවටයි පාර කියෙන්නේ. පින්වත, ඔබ අත්විඳින පටිච්චසමුප්පන්න පින සුරක්‍ෂිතව ප්‍රවර්ධනය කොට ගන්නා මාර්ගයක් තිබෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, තම භික්ෂු ජීවිතය ඉදිරියේ දිගහැරෙන පින සහ පව සිහිනුවණින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළිනුයි කළමනාකරණය කොට ගන්නේ. පින්වත, භික්ෂුවගේ පින හෝ පව, පෙරළා පින හෝ පව උදෙසා නම් නොවේ, උතුම් සම්මා ඥානයෝ සහ සම්මා විමුක්තිය උදෙසා මයි.

පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. අවිද්‍යාවේ සුළං වැඩි වෙද්දී, තෘෂ්ණාවේ ගිනි පැතිරෙන වේගය වැඩියි. පින්වත, පින නිසා ම උපන් ‘තාක්‍ෂණ මාරයා’ ගිහි සහ පැවිදි භේදයකින් තොරව පවට ම ඇලීම් සහ ගැටීම්වලින් පාවඩ එළනවා. පින්වත් මහත්මයෙක් පසුගිය දවසක තමාගේ හඳහන බලන්න ගිහිල්ලා. අයකිරීම රුපියල් දස දහසයි. කොළයක සටහන් කොට ම දුන්නා ලු, ලබන වසර ඉතාම අසුභයි කියලා. පින්වත, භික්ෂුව එම මහත්මයාට දැනුම් දුන්නේ, “ලබන වසර ඔබගේ ජීවිතයේ සුභ ම වසර යැයි සිතා ගන්න” කියලයි. පින්වත, ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ජීවිතය පූජා කළ පින්වතෙක් නම්, හෙට ගැන බිය වෙන්න එපා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් විකසිත වන සම්මා සමාධිමත් සිතක බියට, සැකයට, විචිකිච්ඡාවට රැඳෙන්න බැහැ. එහි රැඳෙන්නේ ධර්මයේ උපේක්‍ෂාවයි.

පින්වත, ආදරයේ සතුට හෝ දුක තීරණය කරන්නේ ඔහු හෝ ඇය විසින් නොවේ. පින්වත, එහි තීරකයා පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයයි. පින්වත, අතීත සංස්කාර හේතුවෙන් සකස් වන යහපත් සහ අයහපත් දැනීම් ඉදිරියේ අපි සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. පින්වත, දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා මයි. පින්වත, ආදරණීය ජීවිත ඉදිරියේ අතීත සංස්කාරයෝ දැනීම් සකස් කොට දෙන නිසා ම, ඉවසීම ගොඩාක් වටිනවා. පින්වත, ඉවසීමෙන් තොර ආදරය රාගය දිශාවටත්, ද්වේශය සහ පළිගැනීම දිශාවටත් හැරෙන්න පුළුවන්. පින්වත, දඩයක්කරුවෙකුගේ හැඩි දැඩි රූපයට වශී වී දෙමාපියන්ට හොරා එම දඩයක්කරුවා සමග දීග ගිය සෝවාන්ඵල අවබෝධය ලැබූ සිටු දියණියක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඇයගේ ඉවසීමේ ගුණය තම විවාහ ජීවිතයත් සාර්ථක කොට ගෙන, අවසානයේ තම දඩයක්කාර සැමියාට ද උතුම් සෝවාන්ඵල අවබෝධය උදෙසා පූර්වාදර්ශී වෙනවා.

පින්වත, පවුල් ප්‍රශ්න ඉදිරියේ ගොඩාක් ඉක්මන් වන ඔබට ඉවසීම ගොඩාක් වටිනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය නොදැක්ක ඔබ, ලෝකය දකින්නේ පටිච්චසමුප්පාද නිවැරදි දැක්මෙන් නොව, ආත්මීය දෘෂ්ටියේ වැරදි දැක්මෙන් මයි. එවිට ප්‍රශ්නයට මුල් වූ ඔබේ ම අතීත සංස්කාරයෝ ඔබට අමතක වෙලා යනවා. පින්වත, අවුලට හේතු වූ අකුසල් සංස්කාරයෝ මතු කොට දකිනවා වෙනුවට ඔබ අවුල, අවුලක් කොට ම දකිනවා. පින්වත, එක රූපයක් වෙනුවට තවත් අලුත් රූපයක්, එක විඳීමක්, හඳුනා ගැනීමක් වෙනුවට තවත් අලුත් විඳීමක් සහ හඳුනා ගැනීමක්. පින්වත, තෘෂ්ණාව ඔබව සෝද සෝදා යළිත් ඇලීම් සහ ගැටීම් මඩේ ම දමනවා. පින්වත, දුකේ නිරෝධයට පිටුපා ඔබ දුකේ ප්‍රවර්ධනය ම සතුටින් ප්‍රාර්ථනා කරනවා. පින්වත, යහපත් වේවා, අයහපත් වේවා ඔබේ යුගදිවිය දුකේ නිරෝධයට කමටහන් ලබා ගන්නා ගුරුවරයා බවට ම පත් කොට ගන්න.

පින්වත, පංචශීලයට අයත් සිල් පද පහෙන්, “බොරු කීමෙන් වළකිමි” යැයි කියන සිල් පදය දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගන්න. පින්වත, බොරු කියන්නාට පුළුවන් ඉතිරි සිල් පද හතරට ම බොරු කරන්න. පින්වත, සමාජය තුළ බොරු කීම ප්‍රවර්ධනය වුණොත්, එම සමාජය තුළ පංචශීලය ම දුර්වල වෙලා යනවා. පින්වත, ජාතියක් හැටියට අපි එම අනතුරේ කරවටක් ගිලිලා නේද, සිටින්නේ? පින්වත, ඔබේ ආරක්‍ෂකයා ඔබ මයි. පින්වත, ඔබේ සතුරාත් ඔබ මයි. ඒ කියන්නේ ඔබ ම යහපතට සහ අයහපතට අදාළව රැස්කොට ගන්නා සංස්කාරයෝ මයි. පින්වත, බොරුවක් කීම හරිම පහසු බව ඇත්ත. පින්වත් ඔබ සිහිනුවණින් තේරුම් ගන්න, ඔබ බොරුවක් කියන මොහොතේ ම බොරුවට අදාළ විපාකයෝ පහක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. පින්වත, බොරුවේ පළමුවෙනි විපාකය තමයි ජනප්‍රියභාවයෙන් පිරිහීමට පත් වෙනවා. පින්වත, ජනප්‍රියභාවයට අභියෝග එල්ල වෙන කොට අපි තව තවත් බොරු කියනවා. පින්වත, අපිට හොරා අපේ ජීවිත අකුසල්වලින් බර වෙනවා. පින්වත, අකුසල්වලින් ලෝකය දිනන්න කවුරුන් හෝ බලාපොරොත්තු වෙනවා නම්, එය අපි මහ දවල් දකින මිරිඟුවක් ම වෙනවා. පින්වත, බොරුවේත් කෙටි ආස්වාදයක් තිබෙනවා.

පින්වත, අපි හැමෝම, හැමදාමත් වශී වුණේ බොරුවේ කෙටි ආස්වාදයන්ට මයි. පින්වත, එහි අවසාන දීර්ඝ ආදීනවය සමස්ත සමාජයේ ම පංචශීලය බිඳ වැටීමයි. පින්වත, සමාජගත වන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක් ඉදිරියේ ඇත්ත කතා කරන්න. පින්වත, දුකට ඇත්ත හේතුව තෘෂ්ණාවයි. පින්වත, අනුන් තුළින් නොව, ඔබ තුළින් තෘෂ්ණාව දකින්න. පින්වත, අපි හැමෝම උත්සාහ ගන්නේ, අපේ තෘෂ්ණාව, අනුනගේ තාෂ්ණාවෙන් වසා ගන්න නේද? පින්වත, සමාජයේ පංචශීලය පිරිහීමෙන් ප්‍රකට වන්නේ, අනුනගේ තෘෂ්ණාවෙන් වසා ගන්නට උත්සාහ කරන “මගේ” තෘෂ්ණාවේ නිරුවත නේද?

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2025 නොවැම්බර් මස 09 ඉරිදා දිවයින පුවත්පතින්.