පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය දවසින් දවස අලුත්, අලුත් විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා නේද? පින්වත, පාතාල මර්ධනය, මත්ද්‍රව්‍ය, නඩු, උසාවි, බන්ධනාගාර විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ නැවත, නැවත දැකීමෙන්, පින්වත් ඔබ මේවාට ඇලීමෙන් හෝ ගැටීමෙන් නේද, ජීවත් වෙන්නේ? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය කුසල් හෝ අකුසල් සංස්කාරයෝ උපයෝගී කොට ගෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත කිරීමයි. පින්වත, අපේ කරුමයට අපි දකින්නේ විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ මයි. පින්වත, දේශීය ආර්ථිකයට, දේශීය කෘෂිකර්මාන්තයට, දේශීය කර්මාන්තයට, දේශීය සංස්කෘතියට අදාළව, මේවායේ දියුණුවට අදාළව, විඤ්ඤාණයේ කුසල් මැජික් සන්දර්ශනයෝ ආශාවටවත් අපිට දකින්නට නැහැ. පින්වත, සත්තකින් ම අපේ අකුසල් වැඩියි. පින්වත, එහි ඵලයයි, අපි මේ දකින විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ. පින්වත, සමාජය තුළ අකුසල් මැජික් සන්දර්ශනයෝ ප්‍රවේගකාරී වෙද්දී, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට භාර දෙන්න. පින්වත, එවිට ඇලීම් සහ ගැටීම්වලින් තොර ධර්මයේ උපේක්‍ෂාවට නැමුණ ඔබේ ජීවිතය, ඔබට හරිම පහසුවක් වේවි.
පින්වත, තමන් අදහන දේශපාලනය තුළින් නිවන් දකින්න සිහින දකින ඉන්ද්‍රිය ධර්මයෝ බෙලහීන සමාජයක, භික්ෂුව වචන භාවිතා කරන්නේ හරිම පරිස්සමින්. පින්වත, එක වචනයක් වැරදුණොත් අකුසල් කර්මාන්ත ශාලා තම අකුසල් නිෂ්පාදන ධාරිතාවය ගොඩාක් වේගවත් කොට ගන්නවා. පින්වත, සිහිනුවණ තිබෙන අපි තේරුම් ගන්න ඕනේ, අකුසල් කර්මාන්ත ශාලාවල අකුසල් නිෂ්පාදන ධාරිතාවය වැඩි වුණොත්, සමාජගත වන විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ තව, තවත් සංකීර්ණ වෙනවාය කියන කාරණය. පින්වත, ලෝකය, ලෝකයේ ස්වභාවයෙන් ම තිබුණ දෙන්, අපි සම්මා දිට්ඨියෙන් උනන උතුම් සම්මා සංකප්පයන්ගෙන් ආරක්‍ෂිතව, ලෝකයාට කල්‍යාණමිත්‍රභාවයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් උපකාර කරමු.
පින්වත, අනුන් දෙස නොබලා, ඔබ දෙස ඔබ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ඇසෙන් බලන්න. එවිට ඔබේ ජීවිතය ඔබට සුන්දර දහමක් වේවි. පින්වත, එම දහම තෘෂ්ණාවේ නිරෝධය මුල්කොට ගත් දහමක්. පින්වත, එම දහම ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ඉදිරියේ සලිත නොවන දහමක්. පින්වත, තෘෂ්ණාවෙන් ඇලෙන සහ ගැටෙන, ඇත්ත සඟවන, බොරුවට ආවඩන ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකයක් මැද, වියරු අකුසල් සංස්කාරයන්ගෙන් වෙන් වී සිටීමට ආරක්‍ෂිත ස්ථාන සොයන සතිමත් ඔබටයි, ඉහත ධර්මාවවාදය සටහන් තැබුවේ. පින්වත, එහෙත් මෙම ධර්මාවවාදයෝ පිළිගන්නේ මහා මනුෂ්‍ය සංහතියෙන් ඉතාමත් අල්ප පිරිසක්ය කියන කාරණය අපි මධ්‍යස්ථ සිතින් පිළිගන්න ඕනේ. පින්වත, ලෝකයේ නොතැවරී ලෝකය සමග ජීවත් වෙන්න. එවිට ජීවිතයට හරිම නික්ලේශී රසයක් දැනෙනවා. එම රසය උනන්නේ විදර්ශනාමය ධර්මයේ උපේක්‍ෂාවෙන්.
පින්වත, අපේ හැසිරීම ගොඩාක් දුර්වල වෙලා. පින්වත, පූර්වාදර්ශයන් දුර්වල නිසා ම සහ පූර්වාදර්ශී පින්වතුන්ලා නිහඬව සිටින නිසා ම, සමාජය නොමනා ගමනක් ඉදිරියට යන්නේ. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා හැසිරෙන්නේ එම උතුමන් වහන්සේලා අවබෝධ කොට වදාළ උතුම් සම්මා සම්බුද්ධ ඥානයන්ට අදාළවයි. පින්වත, උතුම් මහ රහතන් වහන්සේලා හැසිරෙන්නේ උන්වහන්සේලා අවබෝධ කොට වදාළ උතුම් සම්මා ඥාන සහ සම්මා විමුක්තියට අදාළවයි. පින්වත, උතුම් අනාගාමීඵල අවබෝධය සාක්ෂාත් කොට ගත් උත්තමයා හැසිරෙන්නේ උන්වහන්සේලා අවබෝධ කොට වදාළ කාම, රාග, පටිඝ නිරෝධය කළ හැසිරීම්වලට අදාළවයි. පින්වත, උතුම් සකෘදාගාමී සහ සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගත් උත්තමයා හැසිරෙන්නේ අචල ශ්‍රද්ධාව, ආර්ය ශීලය සහ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින හැසිරීම්වලට අදාළවයි. පින්වත, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී අපි, අපි තුළ වැඩෙන පංච නීවරණ ධර්මයන්ගේ උස් සහ මිටිකම්වලට අදාළව අපේ හැසිරීම් වෙනස් කොට ගන්නවා. පින්වත, අපේ හැසිරීම් හරියට සුළඟ වගේ නිරතුරුව ම වෙනස් වෙනවා. පින්වත, අපි තුළ ඇති වෙන අලෝභ, අද්වේශ, අමෝහ සිතුවිලි පෙරළා ලෝභ, ද්වේශ, මෝහ සිතුවිල්ලක් බවට පත් වෙන්න පුංචි නිමේෂයයි ගත වෙන්නේ. පින්වත, ඉන්ද්‍රිය ධර්මයන් තුළ ජීවත් වෙන අපි, උතුම් පැවිදි සහ ගිහිභාවයන්ට අදාළව සහ අපේ දැන උගත්කම්වලට අදාළව සහ අපි දරන පදවි, නිලතලවලට අදාළව ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන ආකාරයෙන් හැසිරෙන්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, දවසින් දවස අපි අදක්‍ෂයෝ වෙනවා.
පින්වත, ඔබේ හෘද සාක්‍ෂියට තට්ටු කරලා විවේකීව අහන්න පින්වත් ඔබ, ඔබේ අධ්‍යාපන දැන උගත්කම්වලට අදාළව, ඔබේ වත් පොහොසත්කම්වලට අදාළව, ඔබ දරන පදවි, තනතුරුවලට අදාළව ඔබ හැසිරෙනවා ද කියලා. පින්වත, අපේ දැන උගත්කම්වලට අදාළව හැසිරීමේ දුර්වලභාවයන් නිසා ම, බාහිර සමාජයට නොපෙන්වන, සැඟවුණ පුපුරා යාමක් මනුෂ්‍ය ජීවිත තුළ තිබෙනවා. පින්වත, තමන් අසාධාරණයට ලක්වෙන ප්‍රශ්නය මොනතරම් කටුක වුවත්, වර්තමාන සමාජය ලෝකයාට පේන්න අඬන්න කැමති නැහැ. පින්වත, ඔබ මුහුණ දෙන ප්‍රශ්නයක් ඉදිරියේ මුලින් ම ප්‍රශ්නයේ මුල මතු කොට දකින්න. පින්වත, ඕනෑම ප්‍රශ්නයක මුල උතුම් ධර්මයක් මයි. එම ධර්මය තමයි ‘අවිද්‍යා පච්චයා සංඛාරා’ කියන ධර්මතාවය. පින්වත, ඔබ මුහුණ දෙන ප්‍රශ්නයක මැද හෙවත් වර්තමානය යැයි කියන්නේ ‘ඵස්ස පච්චයා වේදනා’ කියන ධර්මතාවයයි. පින්වත, ඔබ මුහුණ දෙන කිනම් ප්‍රශ්නයක් වේවා එම ප්‍රශ්නයේ අවසානය යැයි කියන්නේ ‘ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ මයි.’ පින්වත, ඔබ මුහුණ දෙන ප්‍රශ්නයේ මුල, මැද සහ අග ධර්මානුකූලව සිහිනුවණින් දැක්කොත්, ඔබට රිදුම් දුන් ප්‍රශ්නය ඔබට උතුම් ධර්මයක් ම වෙනවා. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ තම ජීවිතය විසිරුවා දකින පින්වතාටයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කොට ගත් පින්වතා යැයි ධර්මානුකූලව කියන්නේ. පින්වත, ඔබේ ජීවිතය තුළින් දුකට එකම හේතුව වන තෘෂ්ණාවට සැඟවෙන්න දෙන්න එපා. පින්වත, තෘෂ්ණාව ජීවිතය තුළ සඟවාගෙන දුකට පිළියම් සොයන්නත් එපා. පින්වත, දුකත්, දුකට හේතු වන තෘෂ්ණාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ම ජය ගන්න දක්‍ෂ වෙන්න.
පින්වත, ඔබ මහා දුක් ගොඩක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්, ඒත් ඔබ අවාසනාවන්තයි කියලා නම් සිතන්න එපා. පින්වත, දුක, සතුටට පෙරළා ගන්න, ඔබ එක සිතුවිල්ලයි කැප කරන්න ඕනේ. පින්වත, ඊට අවශ්‍ය සති සම්බොජ්ඣංගයෙන් පෝෂණය වූ වීර්යය පමණක් මයි. පින්වත, සති සම්බොජ්ඣංගයෙන් උපදින වීර්යය දුර්වල පින්වතා, සියල්ල භාර දෙන්නේ “මගේ” කරුමයට. පින්වත, ජීවිතය කරුමයට භාර දුන්නොත් එතැන චතුරාර්ය සත්‍යය ධර්මයෝ නැහැ. පින්වත, එතැන තිබෙන්නේ මිච්ඡා සතියෙන් උපදින හීන වීර්යයයි. පින්වත, ඔබේ ජීවිතයට සතුට දෙන්න අනුනට බැහැ. පින්වත, ඔබේ සතුට ඔබ මතු කොට ගත යුත්තේ ඔබ තුළින් මයි. පින්වත, ඔබේ සතුට පාලනය කරන්න අනුනට ඉඩ දෙන්න එපා. පින්වත, එවිට අනුන් ඔබේ සතුට ඔබෙන් උදුරා ගනීවි.
පින්වත, වස්සානයෙන් පසුව භික්ෂුව වැඩ සිටින මනුෂ්‍ය දර්ශනයෙන් අවම විවේකී කුටියේ භික්ෂුව ලබන නික්ලේශී සතුට නැති කරන්න කාටවත් ම බැහැ. පින්වත, එම නික්ලේශී සතුට අනුන් දුන්න සතුටක් නොවේ, භික්ෂුවට අයිති සතුටකුත් නොවේ. පින්වත, භික්ෂුව ලබන මේ නික්ලේශී සතුට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් උනන සතුටක්. පින්වත, එම සතුට නොනැවතී සම්මා ඥාන සහ සම්මා විමුක්තිය දිශාවට ගලායන නික්ලේශී සතුටක්. පින්වත, ඔබේ දුක, සැපයට හැරෙන තෙක් දුකෙන් මඟ බලා සිටින්න එපා. පින්වත, සැපය යැයි කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. පින්වත, ඔබේ දුක චතුරාර්ය සත්‍යය ධර්මයන්ට යොමු කරන්න. පින්වත, එතැනයි දුකේ නිදහස යැයි කියන, උතුම් සම්මා විමුක්තිය තිබෙන්නේ.
පින්වත, ඔබේ ජීවිතයට රිදුම් දෙන අමිහිරි ප්‍රශ්න තිබෙනවා නම් කරුණාකර එම ප්‍රශ්නවල වරද අනුනට පවරන්න එපා. ඔබේ හදවතට රිදුම් දෙන ප්‍රශ්නය ඉදිරියේ කර්මය කර්මඵල විශ්වාසයෙන් ප්‍රශ්නය දෙස බලන්න දක්‍ෂ වෙන්න. පින්වත, භික්ෂුව ඔබගේ සිත රිදෙව්වොත්, එහි විපාකයෝ අනාගතයේ කවදාක හරි දවසක භික්ෂුවගේ සිත රිද්දනවා මයි. පින්වත, අපේ ම දෙය පෙරළා අපි ලබද්දී, එය දුකෙන් හෝ සතුටින් නොව ධර්මයේ උපේක්‍ෂාවෙන් පිළිගන්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, අපි හැමෝම උත්සාහ කරන්නේ ජීවිතය ජය ගන්න. පින්වත, ඔබ ජීවිතය ජය ගත්තත්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ජීවිතයේ හිමිකරුවා බව සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, ඔබ, ඔබේ ජීවිතයෙන් ජයග්‍රහණයන් බලාපොරොත්තු වුවත්, භික්ෂුවගේ ජීවිතයට ආශීර්වාදයක් වූයේ භික්ෂුව ලැබූ ජයග්‍රහණයන් නොව, භික්ෂුව ලැබූ පරාජයන් හේතුවෙන් සකස් කොට ගත්, සති සම්බොජ්ඣංගයෙන් පෝෂණය කොට ගත් ධර්මයේ උපේක්‍ෂාව මයි.
පින්වත, පරාජයන්, සති සම්බොජ්ඣංගයෙන් ධර්මයේ උපේක්‍ෂාවක් බවට පත් කොට ගනිද්දී, තවදුරටත් පරාජයන්ට භික්ෂුව තුළ රැඳෙන්න බැහැ. පින්වත, ජීවන ප්‍රශ්න ඉදිරියේ ඔබ මුලින් ම ඔබේ ජීවිතය ඉදිරියට මතු වෙන පරාජයන්, ජයග්‍රහණයන් බවට පත් කොට ගන්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා යැයි කියන්නේ අපරාජිත චරිතයක්. උන්වහන්සේලා පරාජයේ දී දුක් වී, ජයග්‍රහණයේ දී සතුටු වෙන්නේ නැහැ. පින්වත, උන්වහන්සේලා දුක සහ සතුට යන දෙයාකාරයේ ම චපල සංස්කාරයෝ උතුම් සතර සතිපට්ඨානයෝ තුළින් මයි විනිවිද දකින්නේ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 නොවැම්බර් මස 02 ඉරිදා දිවයින පුවත්පතින්.