පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ අර්ථයන් නොසලකා හරිමින් සමාජ මාධ්‍යය නමැති මාර ධර්මය භාවිතයට ගැනීමෙන්, පැවිදි අපේ භව භෝග සම්පත් වන උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් පිරිහීමට පත් වෙන්න පුළුවන්. පින්වත, පැවිදි අපි සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කළ යුත්තේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජගත කිරීමට මිස, සංඝ සමාජයට ම හානි කරන මිච්ඡා වාචාවන් උදෙසා නම් නොවේ. පින්වත, මිච්ඡා කර්මයන් හේතුවෙන් සකස් වන ශාසනික අනතුරු නිසා මයි, බුදුරජාණන් වහන්සේ අතීතයේ සිදු වූ නොමනා ක්‍රියාවන් මුල්කොට ගෙන විනය කාරණා දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් ඇතුළුව උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය උපසම්පදා පැවිදි අපිට පනවන්නේ. පින්වත, මෙවන් අධිකරණයන් සහිත ශක්තිමත් ප්‍රාතිමෝක්‍ෂ ශීලයක් පනවා තිබියදීත්, නික්ලේශී බුදුරජාණන් වහන්සේ ජීවමානව ශාසනයට නායකත්වය සපයද්දීත්, උතුම් තෙරුවන්ට අකීකරු වූ අසත්පුරුෂ දේවදත්ත හිමි සංඝභේද අකුසලය සිදු කොට ගත්තාය කියන කාරණය අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, සංඝභේදය සිදු කොට ගත් දේවදත්ත හිමි ඇතුළු කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහයන් පවා ලැබුණාය කියන කාරණයත් අපි වර්තමාන ශාසනික අවුල් ඉදිරියේ ඉවසීමෙන් දකින්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, වර්තමානයේ සිදු වන ශාසන විරෝධී මිච්ඡා ධර්මයන්ට සහ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය කෙලෙසන මිච්ඡා හැසිරීම් සහ මිච්ඡා වාචාවන්ට වගකිවයුත්තන්ට බුදුරජාණන් වහන්සේ පැනවූ අධිකරණයන්ට අදාළව අතීතයේ කටයුතු නොකළ නිසා ම, අතින් කඩන්න පුළුවන්කම තිබුණ දේවල් පොරොවෙන් කපා ගන්නත් බැරි තරමට ම වර්තමානයේ දුර දිග ගිහින් තිබෙනවා. පින්වත, ප්‍රශ්නයට මුල, වරදකරු නොව, වරදකරුව බිහි කළ උතුම් තෙරුවන් කෙරෙහි අශ්‍රද්ධාවයි. පින්වත, වරදකරුවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි අපි ප්‍රවර්ධනය කළ යුත්තේ. එසේ නොවුණොත්, අපේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් දුර්වල වෙන්න පුළුවන්.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම පින්වතෙක් ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා” ය කියලා. පින්වත, මෙම මානසික ව්‍යාධියට හේතු වන කාරණය වන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි ඇති කොට ගත් අධිතෘෂ්ණාවයි. පින්වත, ඉහත ධර්මතාවයෝ පහ නිත්‍ය සඤ්ඤාවෙන් ‘මම ය’, ‘මගේ’ කොට ගැනීම ඉහත මානසික ව්‍යාධියේ රෝග ලක්‍ෂණයි. පින්වත, මෙම මානසික ව්‍යාධිය වෛද්‍ය උපදෙස් හෝ ඖෂධ අරගෙන සනීප කොට ගන්න බැහැ. පින්වත, පින්වත් වෛද්‍යවරයාත් රෝගකාරකයෙක් වන පංච උපාදානස්කන්ධ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයට ශාසනික තනතුරු ලබා දුන්නේ උතුම් රහතන් වහන්සේලාට පමණක් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ උපාසක, උපාසිකාවන්ට පමණක් මයි ශාසනික ගිහි තනතුරු ලබා දුන්නේ. පින්වත, ඉහත කාරණයෙන් ම අපි නිහතමානීව තේරුම් ගන්න ඕනේ, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ අපේ සක්කාය දිට්ඨියේ මානසික ව්‍යාධිය ශාසනික උන්නතිය උදෙසා මොනතරම් නම් පළිබෝධයක් ද කියන කාරණය. පින්වත, එම පළිබෝධයේ තරම වර්තමානයේ දිග් ගැසෙන සමාජ ප්‍රශ්න ඉදිරියේ, හරි ලස්සනට දිග හැරෙනවා. පින්වත, මේවා අලුත උපන් ප්‍රශ්න නොවේ, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිියදීත් ඉහත ප්‍රශ්න එදා සමාජය තුළ තිබුණා. පින්වත, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සූත්‍රගත ධර්මයේ දේශනා කොට තිබෙනවා, “දැන් සිටින සමරහක් තරුණ ස්වාමීන් වහන්සේලා වැඩිහිටි අපිට ගරු කරන්නේ නැහැ” ය කියලා. පින්වත, ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙනවා. පින්වත, වර්තමානයේ ඉතිහාසය අපිට බල කරලා කියනවා, සම්මා සම්බුද්ධ ශාසනය තුළ නොවේ අර්බුදය තිබෙන්නේ, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ අපේ මානසික ව්‍යාධිය තුළයි කියලා.
පින්වත, පිරිමි පක්‍ෂයේ කෙනෙක් කාන්තා පක්‍ෂයේ කෙනෙකුටත්, කාන්තා පක්‍ෂයේ කෙනෙක් පිරිමි පක්‍ෂයේ කෙනෙකුටත් මෛත්‍රිය දක්වන්න ඕනේ බොහෝම පරිස්සමින්. පින්වත, අපගේ මෛත්‍රිය රාගයක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, මේවා කාටත් පොදු මනුෂ්‍ය ධර්මතාවයන්. පින්වත, මෙම මනුෂ්‍ය ධර්මයන් ඉක්මවා ගොස් අපි උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් වන ධ්‍යාන සම්පත් ලබා ගැනීමට දක්‍ෂ වුණොත්, අපිට පුළුවන් රාගය තාවකාලිකව යටපත් කොට ගන්න. පින්වත, උතුම් සෝවාන්ඵල සහ සකෘදාගාමීඵල අවබෝධයේදීවත් රාගය පරිපූර්ණ වශයෙන් නිරෝධය වෙන්නේ නැහැ. පින්වත, රාගය අපේ ජීවිතවලින් පරිපූර්ණ වශයෙන් ම මැරී යන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදීයි. පින්වත, අපි පටිච්චසමුප්පන්නව සාංසාරිකව කාම භවයේ පුහුණු කළ ගොරහැඩි රාගයේ දැනීම්, වර්තමානයේ විරාගීභාවයට දක්වන්නේ පුදුමාකාර අකමැත්තක්. පින්වත, රාගය කැමති කාම භවයේ නවාතැන් සොයන්න මයි. පින්වත, රාගය පරිපූර්ණ වශයෙන් ම හළ ජීවිතයක, සම්මා ඥානයන්ගෙන් පෝෂණය වූ විරාගී සිත, ඉව අල්ලන්නේ සම්මා විමුක්තිය උදෙසා මයි. පින්වත, එතෙක් පින්වත් අපි සුන්දර මෛත්‍රිය භාවිතයේ දී, අපේ මෛත්‍රිය නෙක්ඛම්ම සංකප්පය තුළ බහා පරිහරණය කරන්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පනවන්නේ ශීලය උදෙසායි, ශීලය පනවන්නේ සමාධිය උදෙසායි, සමාධිය පනවන්නේ ඥාන දර්ශනයෝ උදෙසායි. පින්වත, මේ සියල්ලට ම ඉහළින් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය පනවන්නේ උතුම් සම්බුදු දහමට අදාළව නිවන් මාර්ගය කළමනාකරණය කොට ගැනීම උදෙසායි. පින්වත, බුදුරජාණන් වහන්සේ තම පැවිදි ශ්‍රාවකයන්ට අවවාද කොට තිබෙන්නේ, “යම් පින්වත් කාන්තාවක් සමග කතා කිරීමට සිද්ධ වුණොත්, මම මේ කතා කරන්නේ ‘මගේ ම අම්මා’ සමග යැයි දකිමින් කතා කරන්න” කියලයි. පින්වත, අපි මේ දකින්නේ ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, බල ධර්මයන්ගේ පහස නොලද, විඳීමේ පහසට ප්‍රිය, සැඟවුණ සහ විවෘත, සාංසාරික කාම, රාග, පටිඝයන්ගේ අකීකරුභාවයයි.
පින්වත, අතීතය යැයි කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වී අනිත්‍ය වී ගිය සංස්කාර ගොන්නක්. අතීතයේ අපි අත්වින්ද රූප, වේදනා, හඳුනා ගැනීම්, සංස්කාරයෝ, දැනීම්, මේ කිසිවක් ම වර්තමානයේ අපිට අයිති නැහැ. පින්වත, අතීත මතක සටහන් පවා දවසින් දවස මැකිලා යනවා. පින්වත, වර්තමානය ඔබ සතුටින් හෝ දුකෙන් භුක්ති වින්දත්, මේ ගත කරන වර්තමානය තවත් මොහොතකින් අයිති වෙන්නේ මායාකාරී අතීතයට මයි. පින්වත, ඔබ අනාගතය සැලසුම් කරද්දී, මේ අනිත්‍ය වී යන මායාකාරී අතීතය සහ වර්තමානයේ සැබෑ ධර්මානුකූල රුවගුණ සිහිනුවණින් දකිමින් සැලසුම් කරන්න. පින්වත, අපි සැලසුම් කරන අනාගතයත් කවදාහරි වැටෙන්නේ අතීතය නමැති මායාවට මයි. පින්වත, දරුවන් උදෙසා තම යුතුකම් අවසන් කළ වයෝවෘද්ධ යුවළක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, දැන් අපිට අයිති මුකුත් ම නැහැ, අතීත මතකයන් පවා දිනෙන් දින මැකී යනවා. අපි අතීතයේ සිදු කරපු දානමය, ශීලමය, මෛත්‍රීමය පින්කම්වල මතකයන් පවා මැකෙමින් යනවා. හිස් ජීවිතයක, හිස් වර්තමානයක් තුළයි අපි ජීවත් වෙන්නේ. අපිට අතීතය ගැන පසුතැවීම් නැහැ, අනාගතය ගැන බලාපොරොත්තුත් නැහැ. අපේ එකම අරමුණ වර්තමානය තුළ උතුම් තෙරුවන් මුල්කොට ගත් පුණ්‍ය සිතින් පසුවීම” යැයි කියලා. පින්වත, වර්තමානයේ වැඩිහිටි පින්වතුන්ලාට අතීතය අමතක වීමේ රෝගී තත්ත්වයන් තිබෙනවා නේද? එවැනි වැඩිහිටි පින්වතුන්ලා තම රෝගී තත්ත්වයන් ගැන පසුතැවෙන්නේ නැතුව, වර්තමානයේ සිත ලෙඩ නොකර ගෙන පුණ්‍ය හෝ විදර්ශනා සිතින්, වර්තමානයේ පසුවෙන්න. එවිටයි පින්වත් ඔබ, ඔබේ ජීවිතය වගේ ම, ඔබේ මරණයත් ධර්මානුකූලව කළමනාකරණය කර ගත්තා වෙන්නේ.
පින්වත, ‘විඤ්ඤාණයේ මායාවට’ රැවටෙන්න එපා. පින්වත, විඤ්ඤාණයේ මායාව ඔබට විවිධාකාර විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයන් පෙන්වන්න පුළුවන්. විඤ්ඤාණයේ මායාවට ඔබ රැවටුණොත්, අන්‍යශීලවෘතයන්ට ගොදුරු වෙන්න පුළුවන්. පින්වත, ගෙදර තනිපංගලමේ ජීවත් වන විශ්‍රාමික මහත්මයෙක් භික්ෂුවට කියනවා, තමන්ගේ මිය ගිය බිරිඳ නිවසේ සාලයේ තිබෙන සෝපාවේ වාඩි වෙලා සිටිනවා තමන්ට පෙනෙනවාය කියලා. දැන් මේ වයෝවෘද්ධ මහත්මයා දුකෙන් සිටින්නේ තමන්ගේ මිය ගිය බිරිඳ පටිච්චසමුප්පන්නව නිවසේ අමනුෂ්‍යයෙක්ව ඉපදිලාය කියලා. පින්වත, තමන්ගේ මිය ගිය බිරිඳ ජීවතුන් අතර සිටිය දී, දෙදෙනා ලෙන්ගතුව කතා කරමින් සිටින්නේ, රූපවාහිනිය නරඹන්නේ මේ සාලයේ තිබෙන සෝපාව මත හිඳගෙන මයි. මේ සෝපාවත්, මිය ගිය ඇයත් හරිම මිතුරුයි. පින්වත, මේ සෝපාව මත වාඩි වී සිටින තමන්ගේ බිරිඳගේ රූපයට ජීවත්ව සිටින මහත්මයාගේ දෑස හොඳින් හුරු වෙලයි තිබෙන්නේ. පින්වත, තම මිය ගිය බිරිඳ කෙරෙහි ඇති කොට ගත් තෘෂ්ණාවේ උපාදානයෝ, වර්තමානයේ හුදෙකලාව නිවසේ ජීවත් වන මහත්මයාගේ චක්ඛු විඤ්ඤාණයේ මායාවට ආහාර සොයා දෙනවා. පින්වත, සත්‍යකින් ම තම මිය ගිය බිරිඳ මිය ගොස් පටිච්චසමුප්පන්නව අමනුෂ්‍යයෙක්ව ඉපදී නිවසේ සෝපාව මත වාඩි වී සිටින්නේ නැහැ. පින්වත, මිය ගිය බිරිඳ කෙරෙහි ඇති කොට ගත් අතීත පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව, නැති අමනුෂ්‍යයෙක් සාලයේ සෝපාව මත මතු කොට පෙන්වනවා. පින්වත, “මෙවැනි ඇස්බැන්දුම්වලටයි විඤ්ඤාණයේ මායාව හෙවත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ” යැයි ධර්මයේ සඳහන් වෙන්නේ.
පින්වත, ඔබටත්, ඔබේ නිවසේ මිය ගිය ඥාතීන්, නිවසේ සෝපාවල වාඩි වී සිටිනවා පෙනෙනවා නම්, නිදි යහනේ නිදා ගෙන සිටිනවා පෙනෙනවා නම්, නිවසේ ඇවිදිනවා පෙනෙනවා නම්, කරුණාකර තොවිල් නටන්න, ප්‍රේතයන් අල්ලන්න යන්න පෙරාතුව ඉහත කාරණය චක්ඛු විඤ්ඤාණයේ මායාවට අදාළව ධර්මානුකූලව සිතන්න දක්‍ෂ වෙන්න. ඔබේ මිය ගිය ඥාතියාගේ කට හඬ ඔබට ඇසෙනවා නම්, එය ශ්‍රෝත විඤ්ඤාණයේ මායාව හැටියට දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, භික්ෂුව අදාළ වයෝවෘද්ධ මහත්මයාට උපදෙස් දුන්නේ, තම මිය ගිය බිරිඳ ජීවතුන් අතර සිටිය දී, මෙම සෙටියේ වාඩි වී සිටියාය කියන කාරණය අමතක කරන්න. මෙතෙක් දැක්කා වූ සෝපාව මත වාඩි වී සිටි මිය ගිය බිරිඳගේ රූපයත් අමතක කොට දමන්න. නැවත ඔබට මිය ගිය බිරිඳගේ රූපය සෝපාව මත දර්ශනය වුණොත්, “චක්ඛු විඤ්ඤාණයේ මායාව අනිත්‍යයි” කියලා දකින්න. ඔබට දර්ශනය වූ රූපය ඇසුරෙන් ඔබේ සිතට විතර්කවලට ඉඩ දෙන්න එපා. පින්වත, චක්ඛු විඤ්ඤාණයේ මායාව ඔබ මිය ගිය බිරිඳ හැටියට දැක්කොත්, ඔබ තුළ වැඩෙන්නේ “අධර්මයෝ, අධර්මයන් ම වඩත්” ය කියන ධර්මතාවයයි. එහි අවසාන ඵලය ඔබේ සිතුවිලි විසිරී අන්‍යශීලවෘතයන්ගේ ගොදුරක් බවට පත් වීමයි. පින්වත, මිය ගිය බිරිඳ හැටියට පෙනෙන අමනුෂ්‍ය රූපය, බිරිඳ හැටියට නොව, අනිත්‍ය වූ චක්ඛු විඤ්ඤාණයේ මායාවක් යැයි අනිත්‍ය වශයෙන් අතහැරියොත්, ඔබ තුළ වැඩෙන්නේ “ධර්මයෝ, ධර්මයන් ම වඩත්” ය කියන ධර්මතාවයයි. පින්වත, එවිට ඔබ තුළ වැඩෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ඇලීම් සහ ගැටීම්වලින් තොර උපේක්‍ෂා සහගත සිතයි. පින්වත, නිවසේ තොවිල් නටන්නට පෙරාතුව, ඔබව මායාවෙන් නටවන, මායාකාරී විඤ්ඤාණයේ මැජික්කරුවාව තමා තුළින් හඳුනා ගන්න දක්‍ෂ වෙන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 නොවැම්බර් මස 30 ඉරිදා දිවයින පුවත්පතින්.