පින්වත, සිනාසෙන්න, විනෝද වෙන්න සුදුසු ලෝකයක් නොවේ, මේක. පින්වත, ඒත් අපි තළු මර මරා සිනාසෙනවා, විනෝද වෙනවා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ දී සිනාසෙනවා, විනෝද වෙනවා යැයි කියන්නේත් පෙර පිනක් මයි. පින්වත, එම පිනට භික්ෂුව සාදු! සාදු! යැයි කියලා පෙරළා පින් අනුමෝදන් කරනවා. පින්වත, ලෝකය දෙස සිනහවෙන් හෝ විනෝදයෙන් නොව සිහිනුවණින් බලන්න. පින්වත, කල්ප විනාශයක් ආරම්භයේ දී අවුරුදු සියයක්, දහසක් වැස්ස නැතිව යනවා. පින්වත, එදාට මනුෂ්‍ය ලෝකයේ ජීවත් වුණ සමස්ත මනුෂ්‍ය ප්‍රජාව ම කුසගින්නෙන්, හාමතෙන්, පිපාසයෙන්, ද්වේශයෙන්, වෛරයෙන්, එකිනෙකා මරාගෙන සතර අපායන්ට වැටෙනවා. මනුෂ්‍ය ප්‍රජාව ලෝකයෙන් තාවකාලිකව අතුරුදන් වෙලා යනවා. පින්වත, මහාමේරු පර්වතය යැයි කියන්නේ බුද්ධ විෂයක්. පින්වත, මහාමේරු පර්වතය අපේ දෑස්වලට පෙනෙන්නට නැහැ. පින්වත, අවුරුදු සියයක්, දහසක්, වැස්ස නැති වෙද්දී, පාරිසරික උෂ්ණත්වය නිසා ම, හිම දිය වෙලා පොළොවෙන් යොදුන් අසූහතර දහසක් උසැති මහාමේරු පර්වතය පෙනෙන්න පටන් ගන්නවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, මහාමේරු පර්වතය දකින්න එදාට මනුෂ්‍ය ප්‍රජාවක් නැහැ. පින්වත, මේ මහාමේරු පර්වතය කල්ප විනාශයේ උච්චම අවස්ථාවේ දී ගිනි ගෙන දැවී, ගිනි ඇවිළෙන මහා පස් කුට්ටි මහ පොළොවට වැටී මුළු මහ පොළොව ම අළු, දූවිලි බවට පත් වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර සත්‍ය දහම මේ මොහොතේදීත් අපි ඒහිපස්සිකව දකිනවා. පින්වත, මීට සති දෙකකට පෙරාතුව නේපාලයේ දී කඩා වැටුණ හිම කන්ද සහ මිය ගිය ජීවිත දෙස බලද්දී, මහ පොළොවෙන් උඩට උසින් සහ පළලින් යොදුන් අසූහතර දහසක් වූ මහාමේරුව කල්ප විනාශයක දී සිදු කරන ලෝක විනාශය ගැන බිය ඇති කොට ගෙන, අප්‍රමාදීව ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමට, මේ සිදු වන වියරු විනාශයෝ කමටහනක් කොට ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.
පින්වත, දුක ඔබට අයිති දෙයක් නොවේ, පින්වත, දුක අනුන් ඔබට දුන්න දෙයකුත් නොවේ. පින්වත, තරුණ අම්මා කෙනෙක් තම සිඟිති පුතු අනතුරකින් මිය ගිය වෙලාවේ, පුතාගේ දේහය බදාගෙන හඬනවා, “ඇයි පුතේ, මට මෙහෙම දුකක් දුන්නේ” කියලා. පින්වත, එම අසරණ අම්මාගේ දුක මිය ගිය පුතා දුන්න දුකක් නොවේ. පින්වත, දරුවා නමැති බාහිර රූපය කෙරෙහි අදාළ අම්මා ඇති කොට ගත් තෘෂ්ණාවේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, දරුවා හේතුවෙන් ඵස්සයේ තැවරුණ ‘තෘෂ්ණාව’, විඳීමේ කඳුළුවලට දුකේ රසය ලබා දෙනවා. පින්වත, අවිද්‍යාව නිරෝධයෙන් තෘෂ්ණාව නිරෝධය වූ තැන, අපිට ලෝකය මැකිලා යනවා. පින්වත, එදාට අපේ සළායතනයන්ට බාහිර රූපයෝ ඵස්සය වුවත්, ඒ සෑම රූපයක් ම සතර මහා ධාතුවේ රූකඩයක් පමණක් මයි. පින්වත, සතර මහා ධාතුවේ රූකඩයෝ තෘෂ්ණාවේ රිද්මයට නටවන ‘විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයෝ’ සම්මා ඥානයන්ගේ විදර්ශනා ඇසෙන් හිරු දුටු පිණි සේ මැකිලා යනවා. පින්වත, මේ රාත්‍රිය, කැලෑ පරිසරයේ සුළඟ ගොඩාක් වැඩි රාත්‍රියක්. පින්වත, කුටියේ ආලින්දයේ දැල්වෙන විදුලි බුබුළේ ආලෝකයෙන් ඔබ්බට පෙනෙන ඝනාන්ධකාර කළුවර රාත්‍රියේ සෞම්‍යභාවය තවත් වැඩි කරනවා. පින්වත, වේගවත් සුළඟේ රිද්මයට නර්තනයේ යෙදෙන ගස් කොළන්වල හඬ ‘ඇසුණා’ යැයි කියන ධර්මතාවයට යළි යළිත් කමටහනක් ම වෙනවා. පින්වත, අපගේ ඵස්සයේ තෘෂ්ණාව සිඳුණ තැන දුක, සැප සහ උපේක්ෂාවන්ට පවතින්න බැහැ. පින්වත, අපේ සෑහීමක් නොමැති, ‘අසීමාන්තික තෘෂ්ණාව’ පටිච්චසමුප්පන්න කාම, රූපී, අරූපී භව ගෙවල් උදෙසා උපාදානයෝ කාම, දිට්ඨි, අන්‍යශීලවෘත බැඳීයාම්වලින් අත්තිවාරම් බඳිනවා.
පින්වත, ජනප්‍රියභාවය අපි හැමෝට ම ලබන්නට බැහැ. පින්වත, ලැබුව ජනප්‍රියභාවයත් අපි හැමෝට ම ආරක්ෂා කොට ගන්නත් බැහැ. පින්වත, ජනප්‍රියභාවය යැයි කියන්නේ මෛත්‍රිය, ශීලය සහ හැමෝම එකතු කොට ගෙන පින්කම් සහ දන් පූජා කිරීමේ සුන්දර හේතුඵල ධර්මයක් යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ශීලයේ පළමුවැනි ආනිශංසය ජනප්‍රියභාවයයි. පින්වත, මෛත්‍රියේ ආනිශංසයෝ දෙවියන්, මනුෂ්‍යයන් අතර ජනප්‍රියභාවයට පත් කරනවා. පින්වත, මේ සියල්ල දානයේ වර්ණය, සැපය, බලය සමග සන්ධානගත වෙද්දී, පිරිවර සම්පත් සහිත ජනප්‍රියභාවයට සංස්කාරයෝ දැනීම් සකස් කොට දෙනවා. පින්වත, ඔබේ ජීවිතය තුළින් ජනප්‍රියභාවය ලැබීමට අවශ්‍ය අතීත සංස්කාරයෝ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ සහ වීර්යය දුර්වලභාවය නිසා ම යටපත් වී තිබෙන්නට පුළුවන්. පින්වත, ඔබට ජනප්‍රියභාවයට පත් වෙන්න අවශ්‍ය නම් බෞද්ධ ඔබේ ජනප්‍රියභාවයට එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, ඔබට ජනප්‍රියභාවය අවශ්‍ය නම් ඔබ තුළ සකස් වන ජනප්‍රියභාවයට අදාළ ‘තෘෂ්ණාධික සිතුවිලි අනිත්‍ය’ වශයෙන් දැක, චිත්තානුපස්සනාවේ අයෝමය විදර්ශනා කුසලය මුලින් ම ජීවිතයට ගන්න දක්ෂ වෙන්න. පින්වත, ජනප්‍රියභාවය කෙරෙහි තෘෂ්ණාධික සිතුවිලි ඔබ ප්‍රවර්ධනය කළොත්, ‘මමත්වයේ දැඩිභාවය’ ඔබේ ජනප්‍රියභාවයේ සිහින බොඳ කොට දමාවි. පින්වත, ඔබට ජනප්‍රියභාවය අවශ්‍ය නම්, ඔබව තෘෂ්ණාවෙන් උපාදානය කොට ගත් පින්වතුන්ලාට පමණක් බැඳී යන්න එපා, පින්වත, එවිට අනෙක් සියල්ලෝ ම ඔබට අහිමි වේවි. පින්වත, ඔබට ජනප්‍රියභාවය අවශ්‍ය නම් “සියලු සත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් සිතින් ම සමාජය දෙස දකින්න. පින්වත, එවිට ඔබව පක්ෂ සහ විපක්ෂ හැමෝම සතුටින් පිළිගනීවි. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ ඔබේ ම නිහතමානීභාවයයි; සම මෛත්‍රී සිත මයි.
පින්වත, ජනප්‍රියභාවයෙන් ඔබ ලබන ලාභ සහ අලාභයන් දෙකක් තිබෙනවා. පින්වත, ජනප්‍රියභාවයෙන් ඔබ ලබන ලාභය තමයි, ඔබ ලබන ජනප්‍රියභාවය සත්පුරුෂ ආශ්‍රයෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් හොඳින් පෝෂණය කොට ගෙන, ඔබ මෙලොව ජනප්‍රියභාවය ලැබුවා සේ ම පටිච්චසමුප්පන්න ඊළඟ ජීවිතයේ දී, ජනප්‍රිය දෙවියෙක් වෙලා ඕපපාතිකව දිව්‍ය තලයක ඉපදීම. පින්වත, ජනප්‍රියභාවයෙන් ඔබ ලබන අලාභය තමයි, ඔබ ජනප්‍රියභාවයෙන් ‘මාන්නයට’ පත් වෙලා, පාපමිත්‍ර ආශ්‍රයෙන් ජනප්‍රියභාවය කෙලෙසා ගෙන, සිහි මුළා වූ මරණයකින් පටිච්චසමුප්පන්නව සතර අපායේ ඉපදීම. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන, කල්‍යාණ ධර්මයෝ ශ්‍රවණය කරන සැබෑ දක්ෂයා, ලෝකයට අයිති ලාභ සහ අලාභ යන අන්තයන් දෙකෙන් ම මිදී, තම ජනප්‍රියභාවය උතුම් විදර්ශනා නුවණ උදෙසා ම උපයෝගී කොට ගන්නවා. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවය විදර්ශනා නුවණ උදෙසා ආයෝජනය කරද්දී, ඔබ ලබන කල්‍යාණමිත්‍ර ප්‍රතිලාභය වෙන්නේ ‘වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ’ යැයි දකින නිවී ගිය දහම පමණක් ම ය. පින්වත, ඔබත් සමාජයේ ජීවත් වන ජනප්‍රිය පින්වතෙක් නම්, ඔබේ ජනප්‍රියභාවය ඔබ ආයෝජනය කොට ඇත්තේ ඉහත සඳහන් කිනම් අර්ථය උදෙසා දැයි ඔබ ම තීරණය කරන්න. පින්වත, අවීචි මහා නිරයට වැටුණත් දේවදත්ත හාමුදුරුවෝ, අජාසත්ත රජතුමා යැයි කියන්නේත් එදා සමාජයේ ගොඩාක් ජනප්‍රිය චරිත. පින්වත, ජනප්‍රියභාවයට පත් වූ රූපය අනිත්‍ය වී යද්දී, ජනප්‍රියභාවය හේතුවෙන් සකස් වූ සෑම සිතුවිල්ලක් ම අනිත්‍ය වී යද්දී, ජනප්‍රියභාවය හේතුවෙන් සකස් වූ සෑම විඳීමක් ම අනිත්‍ය වෙද්දී, පින්වත, ජනප්‍රියභාවය තුළින් “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි උතුම් ධම්මානුපස්සනාව මයි අවදි කොට ගත යුත්තේ.
පින්වත, යම් රටක ආර්ථිකය පිරිහීමට පත් වෙද්දී, අදාළ රටේ ජනතාවගේ මෙලොව ජීවිතය පමණක් නොවේ, පරලොව ජීවිතය ද පිරිහීමට පත් වෙනවා. පින්වත, ආර්ථික පීඩාවන්ගෙන් කරවටක් ගිලුණ අහිංසක පීඩිත ජනතාව, ලෝකයාට හොරා හදවතින් දුක් විඳලා, තම කුසගින්න, නැතිබැරිකම් ලෝකයාට සඟවාගෙන ජීවත් වෙලා, සියල්ල අවසානයේ දී සිහි මුළාවට පත් වෙලා මිය ගිහින් සතර අපායේ උපදිනවා. පින්වත, රටේ දේශපාලනය කරන පින්වතුන්, තම හෘද සාක්ෂියට තට්ටු කොට අහන්න, දුකෙන් පීඩිත අසරණ මනුෂ්‍යයන්ගේ මෙලොව පමණක් නොවේ, අපේ පියවි ඇසට නොපෙනෙන පරලොව පිරිහීමටත් වගකිව යුත්තේ කවුරුන් ද කියලා. පින්වත, සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදින බව ඇත්ත, ඒත් දැන උගත් අවංක නායකයෝ යැයි කියන්නේ, ජනතාවගේ දුකට අදාළ කර්මයෝ යටපත් කොට දමා, සැපයට අදාළ කර්මයෝ විවෘත කොට දෙන්නාටයි. පින්වත, පාලනයකින් තොරව වෙළඳ පොළේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යද්දී, ව්‍යාපාරික ලෝකය එක පැත්තකින් බලවත් ආකාරයට මනුෂ්‍ය හිංසනයට අදාළ සිල් පදය දුර්වල කොට ගන්නවා. පින්වත, තවත් පැත්තකින් පංචශීලය, ‘නාමික දහමක්’ බවට පත් වෙලා සුරාව, මත් වීම, ශරීරය විකිණීම, සොරකම පීඩිත පාරිභෝගික ජනතාවගේ ගැලවුම්කරුවා බවට පත් වෙනවා. පින්වත, සත්පුරුෂ දේශපාලන නායකයෝ යැයි කියන්නේ ජනතාවගේ මෙලොව සහ පරලොව දෙකම ආරක්ෂා කොට දෙන්නාටයි. පින්වත, දුකට බර ලෝකය තුළ ඔබ පරාර්ථකාමී වෙන්න. පින්වත, භික්ෂුව මේ නිහඬ රාත්‍රියේ දී, මෙනෙහි කරන්නේ “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියන දහමයි. පින්වත, එම දහම පමණක් මයි, ආත්මාර්ථකාමී ලෝකය තුළ අපේ එකම සැනසිල්ලට තිබෙන්නේ. පින්වත, දුකෙන් පරාජිත ලෝකය තුළ අපරාජිතව තිබෙන්නේ ඉහත දහම පමණක් මයි. පින්වත, ආත්මාර්ථකාමී කෙලෙස් සහිත දේශපාලනය පරාජිත වුණාට, උතුම් බුදු දහම අපරාජිතයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 සැප්තැම්බර් 13 ඉරිදා දිවයින පුවත්පතින්.