පින්වත, මෙම සටහන තබන මොහොතේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට අනුකම්පාවකින් තොරව ම වහිනවා. ඊයේ සවස හතරට පමණ පටන් ගත්ත වැස්ස, දැන් පාන්දර තුනයි තවමත් වහිනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය මායිමේ තිබෙන මහා ජලාශයේ බඩකට පිරෙන්න ම වතුර පිරිලා. ගම පුරා ම කුඹුරු යායවල පුංචි පැළ ගොයම, තල, රටකජු, ගොඩ ගොවිතැන් වැසි දියෙන් හොඳටෝම හෙම්බත් වෙලා ඇති. පින්වත, දැන් ඇතියි කිව්වට වැස්ස අහන්නේ නැහැ. පින්වත, අඩු හෝ වැඩි අන්ත දෙකට නොයා, කාටවත් හිරිහැරයක් නොවන මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න යැයි, කොතෙක් කිව්වත් මනුෂ්‍ය අපි අහන්නෙත් නැහැ නේ. පින්වත, මනුෂ්‍යයාගේ තෘෂ්ණාධික හැසිරීම්වල හේතුඵල ධර්මයෝ හේතුවෙන්, පාරිසරික හැසිරීම් ද වේගවත් වෙනවා. පින්වත් මනුෂ්‍යයෝ පරිසරය මරා දමද්දී, පෙරළා පරිසරය ද මිනිස්සු මරා දමනවා.
පින්වත, අනාගතයේ දවසක් ඒවි, අතීතයේ සහ වර්තමානයේ අපි අසාධාරණ ලෙස කපා දැමූ සෑම එක් ගසක් වෙනුවෙන් ම එක් මනුෂ්‍යයා බැගින් බිලි ගන්න. පින්වත, යම් පින්වතෙක් එක මනුෂ්‍යයෙකුට සිදු කරන කායික හෝ මානසික පීඩාවන් වගේ නොවේ, සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම අනතුරට පත් කරන පාරිසරික විනාශ කිරීම්වල ප්‍රතිවිපාකයෝ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ගේ පාරිසරික චේතනාවෝ හරිම පිරිසිදුයි. උන්වහන්සේලා ප්‍රාතිමෝක්‍ෂ ශීලයට අදාළව ගසක් කපනවා තබා, තණකොළ ගසක්වත් ගලවන්නේ නැහැ. එම නිසා ම විකෘති අව්, වැසි, සුළං ඉදිරියේ පැවිදි ශ්‍රාවකයන්ට බියක් නැහැ. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුව කිපෙනවා, සිහිනුවණින් පරිහරණය කරන්න.
පින්වත, පාරිසරික විකෘතීන් ඉදිරියේ අපි තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාවේ පාපමිතුරා හොඳින් හඳුනා ගන්න. පින්වත, වර්තමානයේ මුළු ලෝකය ම එකට ළං වෙලයි තිබෙන්නේ, අපිට පමණක් තනිවම පාරිසරික විකෘතීන් ජය ගන්න බැහැ. පින්වත, බාහිර ලෝකය ගැන නොසිතා ඔබේ හෘද සාක්‍ෂියට ඔබ අවංක වෙන්න. පින්වත, එවිටයි පාරිසරික විකෘතීන් හේතුවෙන් බියෙන් සලිත ලෝකය තුළ, ඔබ නොබියව ජීවත් වෙන්නේ. පින්වත, අසාධාරණ ලෙස පරිසරයට ගසක් අහිමි නොකළ මනුෂ්‍යයෙක්, ප්‍රචණ්ඩ සුළඟකට බිය විය යුතු නැහැ. පින්වත, අපි නොදන්නවාට අපිට විරුද්ධව අපි මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසූ පාරිසරික වැරදි සහිත ෆයිල් හෙවත් ලිපි ගොනු දහස් ගණනක් අපේ ම පටිච්චසමුප්පන්න සංස්කාර අධිකරණය තුළ ගොඩ ගැසී තිබෙනවා. පින්වත, අපේ රටේ අධිකරණයේ නීති තර්ක තුළින් විත්තිකරුවාට ඇප ලැබුණත්, සංස්කාර අධිකරණයේ ඇප නැති බව සිහිනුවණින් අපි තේරුම් ගන්න ඕනේ. පින්වත, සංස්කාර අධිකරණයේ දඬුවම්වල හැඩරුව පටිච්චසමුප්පන්නව වේදනාකාරී නිසා මයි, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට පනවන්නේ, “මහ පොළොව මතට කෙළ පිඬක්වත් දමන්න එපා” ය කියලා.
පින්වත, සංස්කාර අධිකරණයේ ඇප නැති නිසා මයි, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට, අපේ ආරක්‍ෂාව උදෙසා උතුම් සිල් පද දෙසිය විස්සක ප්‍රාතිමෝක්‍ෂ ශීලයක් පනවා තිබෙන්නේ. පින්වත, තෘෂ්ණාවේ වියරුව මට්ටු කරන්නයි, දහවල් දොළහෙන් පසුව ආහාරයෙන් වළකින්න, තුන්සිවුර සහ පාත්‍රයේ සීමාව තුළ ජීවත් වෙන්න යැයි පැවිදි අපිට අවවාද කොට තිබෙන්නේ. පින්වත, මෙම සීමාව පැන්නුවොත් කාමයෝ හිස ඔසවනවා. පින්වත, කාමයෝ හිස එසෙව්වොත්, ඇප නැති නඩු ෆයිල් අපේ ම පටිච්චසමුප්පන්න සංස්කාර අධිකරණයේ ගොඩ ගැසෙනවා. පින්වත, මේවා ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලාගේ සිවුපසයෙන් යැපෙන අපේ පුණ්‍යවන්ත පැවිදි ජීවිත සමග බැඳුණ සුන්දර හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ සියලු පෙනෙන සහ නොපෙනෙන ලෝක ධර්මයෝ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැක, අපේ භව ආරක්‍ෂාව උදෙසා මහා කරුණාවෙන් අපිට දේශනා කොට වදාළා පමණක් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අහිතක් නම් ඇති කොට ගන්න එපා, පැවිදි අපිට විනය කාරණා දෙසිය විස්සක් පැනවූවාය කියලා. මෙය සටහන් තබන භික්ෂුව ප්‍රාතිමෝක්‍ෂ ශීලයට නිරතුරුව ම හදවතින් ම වන්දනා කරනවා, ගෞවරනීය ප්‍රාතිමෝක්‍ෂ ශීලය, ඔබවහන්සේ මයි, භික්ෂුවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේවත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝත් දකින්න සැලැස්වූයේ. පින්වත, මේ සියල්ලට ම ඉහළින් කල්‍යාණමිත්‍ර ආශ්‍රය සහ කල්‍යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කිරීමත් තිබෙනවාය කියන අර්ථය අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, මේ ලෝක ධාතුවේ ලොකුම පරතරය තිබෙන්නේ පංච ඉන්ද්‍රියයන් පිනවීමේ කැමැත්ත වන තෘෂ්ණාවත්, ඊට ප්‍රතිවිරුද්ධ අර්ථය වන, චතුරාර්ය සත්‍යය ධර්මයන් අතරත් බව භික්ෂුව සටහන් තබනවා.
පින්වත, අපේ රටේ වැඩියෙන් ම මිනීමැරුම් සිද්ධ වන්නේ, වැඩිපුරම සොරකම් සිද්ධ වන්නේ හෙරෝයින් ආදි වූ මත්ද්‍රව්‍ය හේතුවෙන් වගේ ම අපේ රටේ වැඩියෙන් ම රණ්ඩු සරුවල්, මාර්ග අනතුරු සිද්ධ වන්නේ, රටේ ජනතාවගේ වකුගඩු, අක්මා, දිය වෙලා යන්නේ රටේ විකිණෙන නීත්‍යනුකූල මත් වතුර හේතුවෙන් කියලයි, භික්ෂුවට නම් සිතෙන්නේ. පින්වත, ඉහත කාරණය වැරදි නම් ඔබේ අදහසට අදාළව එය නිවැරදි කොට ගන්න. පින්වත, නීත්‍යනුකූල අරක්කු බදු මුදල්වල රසය රාජ්‍ය භාණ්ඩාගාරයට දැනෙන තාක් කල්, මතට තිත කියන කාරණය, ආදීනවය වසා පෙන්වන, කෙටි ආස්වාදයේ මංමුළාවීමක් පමණක් මයි. පින්වත, මත් වතුර වේවා, මත්ද්‍රව්‍ය වේවා අසීමාන්තිකව ඔඩුදුවා ඇති සෑම රාජ්‍යයක ම සැබවින් ම ඊට ඉහළින් තිබෙන්නේ මත් වතුර, මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් නොවේ. අදාළ රටේ ජීවත් වන ජනතාවට, රටේ ජාතික ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, දක්‍ෂයාට ලැබිය යුතු නිලතල, බලතල බෙදී යාමේ විෂමතාවයන් හේතුවෙන් ඇති වූ සමාජ ඛේදවාචකයන්ගේ හේතුඵල ධර්මයෝයි. පින්වත, රටක ජනතාවට ජීවත්වීමේ ප්‍රශ්න වැඩි නම්, “මත් වෙන්න එපා” යැයි කියන පාඩම ජනතාව ඉගෙන ගන්නේ නැහැ. පින්වත, හුඟ දෙනෙක් මත්ද්‍රව්‍ය, මත් වතුර ගන්නේ ප්‍රශ්න අමතක කරන්න. පින්වත, ඔහු කැමති සැබෑ පීඩිත ජීවිතයෙන් තාවකාලිකව මිදිලා, මත් මායාවේ කෙටි ආස්වාදයේ සිහින දකින්න. පින්වත, මත් මායාවේ කෙටි ආස්වාදය දීර්ඝ ආදීනවයේ වියරු ඇබ්බැහිවීමක් සිදු කරනවාය කියන කාරණය මත්ලෝලියා දකින්නේ නැහැ. පින්වත, සැබවින් ම ඔහු අසරණයි. පින්වත, එම අසරණභාවය සැබවින් ම මනුෂ්‍යත්වයෙන් දැකිය හැක්කේ එම අසරණභාවයේ ගොදුරක් වී, සත්පුරුෂ ආශ්‍රයෙන් මත් ඇබ්බැහියෙන් මිදුණ පින්වතෙකුට මයි.
පින්වත, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ හේතුඵල ධර්මයෝ මතු කොට දෙන දහමක්. පින්වත, යම් සමාජයක් පංචශීලයට අදාළව පස්වෙනි සිල් පදය වන සුරාවෙන් මත්වීමෙන් වළකින්න නම්, එම සමාජය තුළ පංචශීලයට අදාළව මුල් සිල් පද හතර හොඳින් රැකෙන්න ඕනේ. පින්වත, යම් සමාජයක ආර්ථික විෂමතාවයන් හේතුවෙන් පංචශීලයේ පළමුවෙනි සිල් පදය දුර්වල කරන මනුෂ්‍ය හිංසනය බලවත් ලෙස සිදු වනවා නම්, එවැනි සමාජයක කෙලෙසක නම් අවංකව මතට තිත තබන පස්වෙනි සිල් පදය ආරක්‍ෂා වෙන්න ද? පින්වත, පළමුවෙනි සිල් පදයෙන් යම් රාජ්‍යයක් අනාරක්‍ෂිත වුණොත්, ඉතිරි සිල් පද හතරේ අර්ථයන් කැඩී, බිඳිලා ම යනවා. පින්වත, යම් සමාජයකට යම් පමණකට හෝ පංචශීලය රැකෙන වැඩසටහනක් අවශ්‍ය නම් ජාති, ආගම්, පක්‍ෂභේදයන්ගෙන් තොරව “අපි හැමෝම මගේ ම දරුවෝ” යැයි පරාර්ථකාමීව දකින්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, සක්විති රජවරු ලෝකය දිනන්නේ පංචශීලයේ ශක්තියෙන්. පින්වත, සක්විති රජතුමා තමාට යටත් රාජ්‍ය නායකයන්ට කියලා දෙන රාජ්‍ය තාන්ත්‍රික ධර්මාවවාදය වන්නේ “දිවිහිමියෙන් පංචශීලය සුරකින්න” කියන පාඩමයි. පින්වත, අපේ සමාජයේ අතීතයේ පටන් ඕනෑම රාජ්‍ය නායක පින්වතෙක් තම පාලනය පටන් ගන්නේ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ජනතාවට දුන්න පොරොන්දු අමතක කොට, මනුෂ්‍ය හිංසනයේ පළමුවෙනි සිල් පදය කඩා බිඳගෙන මයි. පින්වත, අපි, අපේ ම පංචශීලයේ දුර්වලභාවයන් හේතුවෙන් සමාජගත වන ප්‍රශ්න ඉදිරියේ, කෙටි ආස්වාදයේ වීර කතා කියන්න අතිදක්‍ෂයෝ වුවත්, හේතුඵල ධර්මයෝ අකුරට කියා දෙන චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඉදිරියේ අන්ත අසරණයෝ.
පින්වත, පාර්ලිමේන්තුවේ වල් පැළ වෙනුවට, මල් පැළ සිටෙව්වත්, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දැන් පින්වත් ඔබට වැටහෙනවා නේද? පිංවත, සමාජයේ සිදු වන යහපත් සහ අයහපත් දේවල් තුළින් ධර්මයක් මතු කොට දකින්න. පින්වත් ඔබට දැන් වැටහෙනවා ද, සමාජය තුළ තිබෙන්නේ වල් පැළ හෝ මල් පැළ පිළිබඳව ප්‍රශ්නයක් නොව ලෞකික සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රායෝගිකව ජීවිතවලට ගළපා නොගැනීමේ ප්‍රශ්නයක්ය කියලා. පින්වත, අනාගතයේ කවුරුන් බලයේ සිටියත්, කවුරුන් බලයට පත් වුවත්, ඉහත ඇත්ත තේරුම් නොගත්තොත් ජාතියට අයිති වන්නේ පරාජයෝ මයි. පින්වත, අපිව පාලනය කරන්නේ අපි හෝ රටේ නායක පින්වතුන් නොවේ. පින්වත, අපිව පාලනය කරන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් කොට ගත්, අපි හැමෝගේ ම පටිච්චසමුප්පන්න සංස්කාරයෝයි. පින්වත, සද්ධර්මයේ අරුත දන්නා පින්වත් නායකයන් දක්‍ෂ විය යුතුයි, තමන්ගේ සහ පින්වත් ජනතාව තුළ සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම් කෙරෙහි සිහිනුවණින් පසු වෙන්න. පින්වත, පංචශීලයට අදාළ දැනීම් සමාජයේ යහපත උදෙසාත්, පංචශීලය නොසලකා හැරීමේ දැනීම් සමාජයේ අයහපත උදෙසාත් හේතු වෙනවා. පින්වත් ජනතාව තම ඡන්දයෙන් පාලක පින්වතුන්ලාව පත් කොට ගත්තත්, එම පාලක පින්වතුන්ලා ජයග්‍රාහීව රැකෙන්නේ ජනතා ඡන්දයෙන් නොවේ. පින්වත, ජයග්‍රහණයේ පින කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව ආරක්‍ෂා වෙන්නේ නැහැ. පින්වත, දානයට ආනිශංස තුනක් තිබෙනවා. ශීලයට ආනිශංස පහක් තිබෙනවා. මෛත්‍රියට ආනිශංස එකොළහක් තිබෙනවා. පින්වත් පාලක පින්වතුන්ලා ලබන වාර්තාගත ජයග්‍රහණයන් ජනතාවගේ ආශීර්වාදයෙන් නොසැලෙන දීර්ඝ විජයග්‍රහණයන් බවට පත් කොට දෙන සැබෑම ඡන්දය වන්නේ තම පොරොන්දු අකුරට ඉටු කරන, මනුෂ්‍ය හිංසනයෙන් තොර පංචශීලයේ ශක්තිය මයි.
පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි. පින්වත, කාමයේ කෙටි ආස්වාදයෝ, කාමයේ දීර්ඝ ආදීනවයෝ අපෙන් සඟවනවා. පින්වත, කෙටි ආස්වාදයෙන් වැසුණ තෘෂ්ණාවේ දෑස් විවෘත කොට දෙන කල්‍යාණ මිත්‍රයා, ලෞකික සැපයේ උරුමය දරාගත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි. පින්වත, ‘කෘතවේදීභාවය’ දුර්ලභ අර්ථයක්. පින්වත, ගෙවී ගිය සතියේ මහා වැසි, මහා සුළං හේතුවෙන් ජීවිත අහිමි වූ සියලුම රටවාසී පින්වතුන්ලාට, පින්වතියන්ලාට මේ උතුම් ධර්ම දානමය පින්, පරලොව ජීවිතයේ වර්ණය, සැපය, බලය ම පිණිස හේතු වේවා! යැයි ‘කෘතවේදී’ මෙත් සිතින් අපි ප්‍රාර්ථනා කරමු.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 දෙසැම්බර් මස 7 ඉරිදා දිවයින පුවත්පතින්.