පින්වත, ධර්මය සොයමින් ලෝකෙ වටා, රට වටා ඇවිදින්න අවශ්‍ය නැහැ. පින්වත, මෙවන් සුන්දර වස්සානයක බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපගේ චාරිකාවන් පවා සීමා කරන්නේ, රට තුළින්, ලෝකය තුළින් නොව, තමා තුළින් ම උතුම් ධර්මය මතු කොට ගැනීමට මයි. පින්වත, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය යැයි කියන්නේ, ධර්ම පාරාදීසයක්, හැබැයි එම ධර්ම පාරාදීසය සක්‍රිය වෙන්නේ විවේකී, නිදහස්, සම්මා සමාධිමත් සිතක් සෙවණේ බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, අවිවේකී, බැඳීම් වැඩි, කාමච්ඡන්දයෝ සහිත ජීවිත නම් ධර්ම පාරාදීසය දකින්නේ, රූපයේ සහ කාමයේ ආස්වාදයේ පාරාදීසයක් හැටියට මයි. පින්වත, කාමච්ඡන්දයෝ උතුම් ධර්ම පාරාදීසය පංච නීවරණයන් තුළ සඟවා තබනවා. පින්වත, මේවා සුන්දර හේතුඵල ධර්මයෝ මයි. මෙම සද්ධර්මයේ හේතුඵල ධර්මයෝ අපේ අප්‍රමාදීභාවයට කමටහන් කොට ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි.
පින්වත, නිදහස්, විවේකී, සමාධිමත් ජීවිතයක් තුළින් ධර්ම මනසිකාරයෝ ගලා ගෙන එනවා. පින්වත, කෙලෙස්වලින් බොර නොවූ ජීවිත, ලෝකය මතුපිටින් නොව විනිවිද දකිනවා. පින්වත, අවිද්‍යාවේ පටන් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් දක්වා ඔබේ ජීවිතය තුළ තිබෙනවා. පින්වත් ඔබට අවශ්‍ය නම්, අවිද්‍යාවේ නිරෝධයේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගේ නිරෝධයත් ඔබ තුළින් ම සාක්ෂාත් කොට ගන්න පුළුවන්. පින්වත, උතුම් නිවනට පක්‍ෂ වෙන්නා වූ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයෝ ම, ඔබේ ජීවිතය තුළින් ම මතු කොට ගන්නා ප්‍රණීත, උත්තරීතර ධර්මයෝ මයි. පින්වත, ඔබේ ජීවිතය නමැති ධර්ම පාරාදීසය නික්ලේශීව රස බලන්න නම්, නිදහස්, විවේකී, සම්මා සමාධිමත් සිතක සැඟවුණ රහස මතු කොට දකින්න.
පින්වත, ඔබේ ජීවිතය ලස්සන කරන සහ සත්පුරුෂ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, අමනුෂ්‍ය ප්‍රජාව ප්‍රිය කරන අර්ථය, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රියයි. පින්වත, රට පුරා රූපලාවණ්‍යාගාර වැඩි වෙන්නේ, සම්බාහන ආයතන වැඩි වෙන්නේ, පින්වත් මනුෂ්‍යයා කෘත්‍රිම ලස්සන සහ කෘත්‍රිම සතුටක් සොයන්නේ මෛත්‍රියේ දුර්වලභාවයන් නිසා මයි. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රිය ඔබේ ශරීරයේ ලේ ධාතුවට වඩා ප්‍රබලයි. පින්වත, මෛත්‍රියට පුළුවන් ඔබේ සෑම රෝම කූපයක් ම ප්‍රීතියෙන් සහ පස්සද්ධියෙන් කුල්මත් කරන්න. පින්වත, ඔබේ ආධ්‍යාත්මයේ ශක්තිය, ඔබේ ම රෝම කූපයකින් පවා මතු කොට දැකීමේ හැකියාව මෛත්‍රී සමාධිය තුළින් ඔබට මතු කොට දෙනවා. පින්වත, ඔබ වඩන මෛත්‍රී සිතුවිල්ලක් පාසා මෛත්‍රියේ ආනිශංසයෝ ඔබට ප්‍රකටයි. පින්වත, මෛත්‍රී සමාධියෙන් රුධිර ධාතුව පිනා යනවා, ශරීරය සිසිල් වෙනවා, ඔබේ ශරීරයේ සෑම දශමයක් ම මෛත්‍රී ආස්වාදයෙන් පිනා යනවා.
පින්වත, හතු පිපෙන්නා සේ පිපෙන සම්බාහන ආයතනවලින් ලබන කෘත්‍රිම සතුට මොන මායාවක් ද? මොන මිරිඟුවක් ද? පින්වත, සමාජගත වන මෛත්‍රියේ වියෝව, ආජීව අට්ඨමක ශීලයේ කොඳු නාරටිය කඩා බිඳගෙන මිච්ඡා සතිය තුළින් උපදින පංච නීවරණයන්ගේ කෙළිබිමක් බවට, අප්‍රමාදී මනුෂ්‍ය ජීවිත, මිථ්‍යා දෘෂ්ටියෙන් නවීකරණය කරනවා. පින්වත, හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකය පංච නීවරණ මත, තම සිඟිති දෙපා තබමින් සුන්දර වේගවත් දුකේ චාරිකාවක් යනවා. පින්වත, යන්නේ ආස්වාදයේ චාරිකාවක් වුවත්, එහි අවසානය දුකක්. පින්වත, ජැන්ඩියට ඩෙනිම්, ටී-ෂර්ට්වලින් සැරසිලා, ෆොටෝ ගහලා, වීඩියෝ කරලා, එකිනෙකා සිප වැලඳ ගෙන, සතුටු සිතින් යන්නේ ආස්වාදයේ චාරිකාවක් වුවත්, එහි කෙළවර ගැන මීට වඩා සිහිනුවණ ඇති කොට ගන්න.
පින්වත, මේ සටහන ලියන කොට වෙලාව උදෑසන තුනයි. මේ උදෑසන ජීවිතය යළි නැවුම් වෙලා. ආයාසයකින් තොරව ම අදහස් ගලා ගෙන එනවා. එම අදහස් හරිම සෞඛ්‍යයයි; හරිම මටසිලුටුයි. ඒවායේ කෙලෙස් බරක් නැහැ. ඒවායේ තිබෙන්නේ ප්‍රීතිය, පස්සද්ධිය, ඇලීම් සහ ගැටීම් නැති උපේක්‍ෂාවෝයි. පින්වත, තෘෂ්ණාව යට යද්දී, ආර්ය ධර්මයෝ උඩට එනවා. පින්වත, ආර්ය ධර්මයෝ හරිම ප්‍රණීතයි. පින්වත, ආර්ය ධර්මයන්ට පුළුවන්, ඇවිළෙන සිත් නිවන්න. පින්වත, ආර්ය ධර්මයන් තුළ ආදරයත් තිබෙනවා, එම ආදරය හරිම නික්ලේශීයි. එම ආර්ය ආදරය උපදින්නේ පටිච්චසමුප්පන්න අතීත ඥාතීත්වයේ විදර්ශනාමය දැනීම් තුළින්. අපි හැමෝම පටිච්චසමුප්පන්න ඥාති පරපුරක භව ඥාතීන්.
පින්වත, අපි ලෝකය දකින්න ඕනේ උතුම් සම්මා දිට්ඨියේ ඇසෙන්. පින්වත, සම්මා දිට්ඨියේ ඇසෙන් ලෝකය දකිද්දී, පින්වත් ඔබලා සෑම කෙනෙක් ම පටිච්චසමුප්පන්නව භික්ෂුවගේ දෙමාපියන්, දුවා දරුවන් මයි. පින්වත, ආර්ය ආදරය විදර්ශනාමය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවන්ගෙන් මොනවට පෝෂණය වෙලයි තිබෙන්නේ. එහි කාමච්ඡන්දයන්ගේ කුණු පැල්ලම් නැහැ. පින්වත, නොදැනුවත්භාවය හේතුවෙන්වත් ආර්ය ආදරය කෙරෙහි, රාග සිත් නම් ඇති කොට ගන්න එපා. එය හරිම අනාර්ය අකුසලයක්. පින්වත, ඔබේ ජීවිතය ආර්ය විවේකය තුළ තබන්න. ආර්ය විවේකයේ මුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මතු කොට ගන්නා සම්මා සමාධිමත් සිතයි. පින්වත, ආර්ය විවේකය යනු, ඔබ ලබන විවේකය, සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිමින්, විවේකය කෙරෙහි තෘෂ්ණාව පහ කොට ලබන විවේකයයි.
පින්වත, අපි සියල්ලෝ ම ජීවත් වෙන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයක. පින්වත, එවන් ලෝකයක අපි කෙසේ නම් නොකැඩෙන, නොබිඳෙන, නොවිසිරෙන හෙට දවසක් බලාපොරොත්තු වෙන්න ද? පින්වත, ජීවිතය නමැති කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය ඉදිරියේ ඔබ ආරක්‍ෂිත පුද්ගලයෙක් බවට පත් වෙන්න. පින්වත, ඔබේ ආරක්ෂකයා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, අවිද්‍යාවෙන් උපදින පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව, අපි හැමෝම අකුසලයෙන් අනාරක්‍ෂිත කොට තිබෙනවා. පින්වත, අපේ තෘෂ්ණාව අපිට සතුට, නිදහස, විවේකය අහිමි කරලා, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ සිරකරුවන් බවට පත් කරලයි තිබෙන්නේ. පින්වත, අපි තෘෂ්ණාවට එරෙහිව ඔසවන්නේත් තෘෂ්ණාවේ අසිපත මයි. පින්වත, ධර්මයේ නාමයෙනුත්, අධර්මයේ නාමයෙනුත් පෙරට එන්නේ තෘෂ්ණාවේ ඵලයෝ මයි.
පින්වත, ලෝකයට මෛත්‍රී කිරීමට පෙරාතුව ඔබ, ඔබට මෛත්‍රී කරන්න. පින්වත, “මම” සුවපත් වේවා! යැයි මෙනෙහි කළ පමණින්, ඔබ, ඔබට මෛත්‍රී කළා වෙන්නේ නැහැ. පින්වත, ඔබේ මෛත්‍රිය සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ. පින්වත, එවිටයි ඔබේ මෛත්‍රිය, ආජීව අට්ඨමක ශීලයේ ශක්තිය මතු කොට දෙමින්, සම්මා සතියක්, සම්මා සමාධියක් දෙසට ඔබව මෙහෙය වන්නේ. පින්වත, ඔබව සම්මා සමාධිය දෙසට මෙහෙය වන්නා, මෛත්‍රියේ ආනිශංස ධර්මයෝ ම බව, ආත්මීය දෘෂ්ටියට යට නොවී, ඔබ තේරුම් ගන්න ඕනේ. පින්වත, ඉන්ද්‍රිය සංවරය නැති ජීවිතයකට, ‘පින’ යැයි කියන්නේ ගින්දරක්. පින්වත, සමාජය තුළ සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රිය දුර්වල වෙද්දී, මුලින් ම අභියෝගයට ලක් වෙන්නේ, ඉන්ද්‍රිය සංවරය අහිමි කරන ශීලයේ ශක්තිය මයි.
පින්වත, කාමයේ ආස්වාදය යැයි කියන්නේ සළායතනයෝ පිනවීමට ඇති කැමැත්තයි. පින්වත, සළායතනයන්ගේ ඵස්සය හේතුවෙන් කල එළි බහින කාමයේ ආස්වාදය, ඔබගේ ඉන්ද්‍රිය සංවරභාවයට ගොඩාක් අකීකරුකම් කරනවා. පින්වත, තෙරුවන් කෙරෙහි අශ්‍රද්ධාව මෛත්‍රියට අභියෝග කරන අතර, දුර්වල වන මෛත්‍රිය, නෙක්ඛම්ම සංකප්පයට හිස ඔසවන්න දෙන්නේ නැහැ. පින්වත, නෙක්ඛම්මය දුර්වල වන තැන ලෝභ, ද්වේශ, මෝහයෝ තුළින් උණුසුම් වන, දුර්වල ආජීව අට්ඨමක ශීලය ඉන්ද්‍රිය අසංවරභාවයට ප්‍රණීත ආහාරයෝ වෙනවා. පින්වත, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමේ අසීමිත රුචිය, පින්වත් මනුෂ්‍ය ජීවිත තුළින් ඔඩු දුවන්නේ ඉහත හේතුඵල ධර්මයෝ නිසා මයි.
පින්වත, අභියෝගාත්මක ලෙස සමාජගත වන ප්‍රණීත, විසිතුරු ආහාර කෙරෙහි තෘෂ්ණාව සහ විනයෙන් තොර සමාජ මාධ්‍ය ආදි වූ තාක්‍ෂණික භාවිතයන් කෙරෙහි තෘෂ්ණාව, පින්වත, සිත රෝගී කර ගනිමින්, කය ලෙඩ කර ගැනීමේ තෘෂ්ණාව පින්වත් ලොකු සහ කුඩා මනුෂ්‍ය ජීවිතවල ප්‍රධාන ම සතුරා බවට පත් වී තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කොට තිබෙන්නේ, “කය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. කරුණාකර සිත ලෙඩ කර ගන්න එපා” කියලයි. පින්වත, මනුෂ්‍ය ජීවිත ගිල ගන්නා ඉන්ද්‍රිය අසංවරභාවය හේතුවෙන් ප්‍රණීත, විසිතුරු ආහාර කඩ, මත් වතුර කඩ, ඖෂධ කඩ සහ රෝහල් ජනාකීර්ණ වෙලා තිබෙනවා. පින්වත, ඉදිරියේ දී මේවා තව තවත් ජනාකීර්ණ වේවි. මේ සියල්ල ජනාකීර්ණ වෙද්දී, සුසාන භූමියත් ජනාකීර්ණ වන බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.
පින්වත, බුදු දහම ඔබව සීමා කරන්නේ නැහැ. පින්වත, බුදු දහම ඔබට අසීමිත නිදහසක් උදෙසා, අතිශය ආරක්‍ෂාකාරී ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කොට තිබෙනවා. පින්වත, විශේෂයෙන් ම නවීන තරුණ ප්‍රජාව බුදු දහම කෙරෙහි සැක උපද්දවා ගෙන තිබෙනවා. පින්වත, භාවිතා වන සමාජ මාධ්‍ය ජාලා කෙරෙහි අසීමිත රුචිය, ආධ්‍යාත්මය කේඬෑරි වෙන ලෝභ, ද්වේශ, මෝහයෝ ස්වයංපෝෂිත අලුත් පරම්පරාවක් නිර්මාණය කරමින් පවතිනවා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපිව බිය කරනවා, මෛත්‍රිය අපිව ආත්මාර්ථකාමී කරනවා, ශීලය අපේ සතුට, විනෝදය නැති කරනවා, දානය අපිව දුප්පත් කරනවා. පින්වත, මෙවැනි අමිහිරි අඳෝනාවන් නව යොවුන්භාවයෙන් සමාජගත වෙන්නේ, බුදු දහම නමැති ආරක්‍ෂාකාරී ඇඳුම කණපිට ඇඳ ගන්නා නිසා මයි. පින්වත, කරුණාකර කල්‍යාණමිත්‍ර ආශ්‍රයට කැමති වෙමින්, කල්‍යාණ ධර්මයන් ශ්‍රවණය කරමින්, මේ උතුම් දහම නුවණින් ජීවිතයට ගළපා ගනිමින්, සද්ධර්මයේ ආරක්‍ෂිත ඇඳුම හොඳ පිට ඇඳ ගන්න දක්‍ෂ වෙන්න.
පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වත් ගිහි පින්වතුන්ලාට ලෞකික සැප ලබා දෙන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අනාරක්‍ෂිත සැපයකට මාර්ගයක් නොව, ආරක්‍ෂිත සැපයකටයි මාර්ගය කියලා දෙන්නේ. පින්වත, මෙලොව දී ලබන අනාරක්‍ෂිත සැපය, විනෝදය තුළින්, පරලොව සතර අපායට බුදුරජාණන් වහන්සේලා මාර්ගය කියන්නේ නැහැ. පින්වත, අපේ කාමයේ සහ රූපයේ ආස්වාදයේ ඇස, වියරු ආදීනවයේ අන්ධභාවය අපෙන් වසන් කරලයි තිබෙන්නේ.
පින්වත, බුදුරජාණන් වහන්සේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් පින්වත් ඔබේ බිය, සැකය, විචිකිච්ඡාව පහ කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබට දේශනා කොට තිබෙනවා, “ඔබට බියක්, තැති ගැනීමක්, ඇති වුණොත්, උතුම් බුදු ගුණයන් සිහිපත් කොට ගන්න” ය කියලා. උතුම් බුදු ගුණයෝ ඔබේ බිය, තැති ගැනීම පහ කරනවා. පින්වත, වර්තමානයේ හුඟ දෙනෙක් ජීවිතයට මුහුණ දෙන්න බයයි. කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ තුළින් ජීවිතවලින් පලා යනවා. පින්වත, අභියෝග ඉදිරියේ දණින් වැටීම සහ පලා යාම වර්තමානයේ ජාතික චාරිත්‍රයක් බවට ම පත් වෙලා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වඳ බහිද්දී, ආත්ම විශ්වාසය සහ ආත්ම ගරුත්වය හීන, අනුන් මත යැපෙන ජාතියක් බවට අපි පත් වෙනවා. පින්වත, මේවා දෑස් පනාපිට පෙනෙන සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයෝ මයි.
පින්වත, දානය ඔබට වර්ණය, සැපය, බලය කියන ආනිශංස ධර්මයෝ තුනක් ලබා දෙනවා. පින්වත, ආජීව අට්ඨමක ශීලය ඔබට ජනප්‍රියභාවය, අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය ඇතුළු ආනිශංස ධර්මයෝ පහක් ඔබට ලබා දෙනවා. පින්වත, මෛත්‍රිය ඔබට දෙවියන්ට, මනුෂ්‍යයන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රියවීම, වසවිසෙන් ආරක්‍ෂා වීම, ප්‍රසන්න රූපයක් ලැබීම ආදි වූ ආනිශංස ධර්මයෝ එකොළහක් ඔබට ලබා දෙනවා. පින්වත, උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝ මෙපමණ යැයි කිව නොහැකි මහා විදර්ශනාමය කුසලයක් ඔබට ලබා දෙනවා. පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ මහා පුණ්‍ය නිධානයක්. පින්වත, මේ පුණ්‍ය නිධානය මත දෙපා තබා ගෙන අන්ධ ආධ්‍යාත්මයෙන්, සෙලියුලර් දූරකථනයේ බොත්තම් ඔබමින්, ඔබ තවමත් මොනවා ද මේ සොයන්නේ?
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 ඔක්තෝබර් මස 06 වන ඉරුදින දිවයින පුවත්පතින්.