ධර්මය තුළින් ධර්මය ම දකින්න.

පින්වත, තවත් සුන්දර වස්සානයක් ගෙවී ගියා. පින්වත, ගෙවී ගිය වස්සානයේ මතකය අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. පින්වත, කුටියෙන් නික්ම යන භික්ෂුව තුළ ඉතිරි වෙලා තිබෙන්නේ, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෝ පමණක් මයි. පින්වත, ඉහත ගුණයන් හතරත් අරගෙන යන එකේ තේරුමක් නැහැ. සංඝයා සතු එම උතුම් ගුණයන් සතරත්, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, අපේ භික්ෂු ජීවිතවලට ලැබිය හැකි විදර්ශනාමය ප්‍රතිලාභයක් තිබෙනවා. එම ප්‍රතිලාභය තමයි කෙලෙස් බර නිදහස් කරන සම්මා ඥාන සහ සම්මා විමුක්තිය යැයි කියන්නේ. පින්වත, සංඝ සමාජයේ අපි, අපේ කෙලෙස් බර අඩු කොට ගන්න ඕනේ. පින්වත, අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා අපිට මොනතරම් නම් බරක් ද? පින්වත, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා කියන ධර්මතාවය පැවිදි අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන්ගේ බරත් වැඩි කරනවා. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි මාර්ග අංගයට බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්ම සංකප්පය පනවා තිබෙන්නේ, කෙලෙස් බර අඩු කොට ගනිමින්, සම්මා සමාධිය උපද්දවා ගැනීමටයි. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ, සතියේ ආස්වාදයෝ සම්මා සමාධියටත් මහා බාධකයක් ම වෙනවා. පින්වත, පංච නීවරණ බර රහිත සම්මා සමාධිය, සම්මා සමාධියේ ම උපතට උපකාරක ධර්මයන් සකස් කොට දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම විනිවිද දැක, කෙලෙස් බර මිරිකා, පෙරා, සම්මා ඥානයන්ගේ නිකෙලෙස්භාවයන්ගෙන් සම්මා විමුක්තියේ නිදහස සාක්ෂාත් කොට දෙනවා.

පින්වත, ඔබ නිදහස් විය යුත්තේ ඔබ දරන පවුල්, ව්‍යාපාර, රැකීරක්‍ෂා බරෙන් නොවේ. පින්වත, සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ නෙක්ඛම්ම සංකප්පය අපේ ජීවිතවලින් බැහැර වුණොත්, ඉහත වගකීම් සියල්ල ම අපිට මහා බරක් ම වෙනවා. පින්වත, බිම්බිසාර රජතුමා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, අන්‍යශීලවෘත බරෙන් පරිපූර්ණ වශයෙන් නිදහස් වෙලා මගධ රාජ්‍යය පාලනය කළා. පින්වත, උග්ග ගෘහපතිතුමා කාමරාග, පටිඝ බරෙන් පරිපූර්ණ වශයෙන් නිදහස් වෙලා, ගිහි සමාජයට ම පූර්වාදර්ශී ගිහි ජීවිතයක් ගත කළා. පින්වත, ඔබ තුළ සකස් වන ඵස්ස පච්චයා වේදනා යැයි කියන ධර්මතාවය ගැන හොඳ සිහිනුවණ ඇති කොට ගෙන, අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව බර අවම කොට ගන්න. පින්වත, අවිද්‍යා නිරෝධා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව නිරෝධෝ, අවබෝධය තුළින් ලබන ජය සහ පරාජය, සතුට සහ දුක යන දෙකේ ම නිදහස, ලෝකයේ කෙලෙස් බර, ලෝකය තුළ ම තබා, අපි ලෝකයෙන් නිදහස් වීමයි. පින්වත, උතුම් සම්මා දිට්ඨියේ උපකාරයෙන් උපදින සම්මා සමාධිමත් සිත උපයෝගී කොට ගෙන, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ සිහිනුවණින් සිත පිහිටුවා ගෙන තෘෂ්ණාවට ක්‍ෂය වී යන්න ස්වාභාවිකව ඉඩ දෙන්න. පින්වත, ජීවිතයට එකතු කොට ගන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව වඩන උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝ තුළින්, දිනපතා ගෙවී යන තෘෂ්ණාවේ ප්‍රමාණය ගැන සිතන්න යන්න එපා. පින්වත, “මම” දැන් භාවනාවේ කොතන ද සිටින්නේ යැයි දැනෙන සිතුවිලි, “මම” කායානුපස්සනාවෙනුත්, සකස් වන “සිතුවිලි” චිත්තානුපස්සනාවෙනුත් මකා දමන්න ස්වයංක්‍රීයව ඔබේ සිහිනුවණ පුහුණු කරන්න ඕනේ.

පින්වත, මේ මොහොතේ ඔබේ සිතුවිලි ධර්ම මනසිකාරයෝ හේතුවෙන් ම සමාධිමත්ව නේද තිබෙන්නේ? ඔබේ නාසයට දැනෙන ආශ්වාස ප්‍රශ්වාසය පවා ගොරහැඩි නැති නිශ්චලභාවයක් තුළ නේද තිබෙන්නේ? පින්වත, ප්‍රවේගකාරී ජීවිතවලට ධර්ම මනසිකාරයෝ මොනතරම් නම් සංසිඳීමක් ලබා දෙනවා ද? පින්වත, මේ සංසිඳීමේ ආරම්භය ආශ්වාස ප්‍රශ්වාසයයි. පින්වත, ඔබ දන්නවා ද ඔබගේ ආශ්වාස ප්‍රශ්වාසය පරිපූර්ණ වශයෙන් සංසිඳී යන සහ ආශ්වාස ප්‍රශ්වාසය ජීවිතයෙන් මැකී යන ආස්වාදනීය අවස්ථාවක් ආනාපානසති භාවනාවේ මුල් අදියරේ දී තිබෙනවාය කියලා.

පින්වත, ඔබගේ නාසයට සහ උදරයට දැනෙන ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳී, ඔබගේ රෝම කූපයක් පාසා මතු වන ආස්වාදයේ ප්‍රීතිය සහ සැපය, ඔබගේ සෑම රෝම කූපයක් තුළින් ම, ඔබව ජීවත් කර වන ආශ්වාස ප්‍රශ්වාසයක් බවට ම පත් වෙනවා. පින්වත, ඔබේ නාසය වෙනුවට, ඔබේ සෑම රෝම කූපයක් ම ආස්වාදයේ ප්‍රීතිය සහ සැපයෙන් ඔබව ජීවත් කරවනවා. පින්වත, ඉනුත් ඔබ්බට වේදනාවේ ආස්වාදයෝ ඔබේ ජීවිතයෙන් ප්‍රීතිය සහ සැපය ද තාවකාලිකව නිවා දමා, ආස්වාදනීය උපේක්‍ෂාව තුළින් ඔබව ජීවත් කරවනවා. පින්වත, උපේක්‍ෂාවේ ආස්වාදයෝ ඔබේ ශරීරයේ රෝම කූපයක් පාසා වාතය වෙනුවට උපේක්‍ෂාවේ ආස්වාදයෙන් ඔබව ජීවත් කරවනවා. පින්වත, නාසයෙන් දැනෙන ආශ්වාස ප්‍රශ්වාසය වෙනුවට එම ආශ්වාස ප්‍රශ්වාසය සියුම් කොට, සංසිඳීමට සලස්වා, ඔබේ ශරීරයේ රෝම කූපයක් පාසා ප්‍රීතියේ, සැපයේ, උපේක්‍ෂාවේ හුස්මෙන් ඔබව ජීවත් කර වන දහමයි, ආනාපානසති භාවනාව යැයි කියන්නේ. පින්වත, මේ උතුම් ආනාපානසති භාවනාව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය කොට ගත්තොත්, භව නිරෝධයට ම හේතුඵල ධර්මයෝ සකස් කොට දෙනවා.

පින්වත, මේ උදා වුණේ භික්ෂුවගේ දහ අට වැනි වස්සානයයි. භික්ෂුව අතීතයේ ඔබට සටහන් තැබුවේ, “හිස ගිනිගත්තෙක් එම ගින්න නිවන්න යම් වෙහෙසක් ගනී ද, ඊටත් වැඩි වෙහෙසක් ගෙන භව ගින්දර නිවා ගන්න” කියන උතුම් සම්බුදු දහමයි. පින්වත, මෑත අතීතයේ භික්ෂුව ඔබට සටහන් තැබුවේ “වියරු, බියකරු සතර අපායෙන් මිදෙන්න, සුගතිය සාක්ෂාත් කොට ගන්න” කියන උතුම් සම්බුදු දහමයි. පින්වත, වර්තමානයේ භික්ෂුව ඔබට සටහන් තබන්නේ, “භව නිරෝධය ගැනවත්, සතර අපායෙන් මිදීම ගැනවත්, පරලොව සුගතිය ගැනවත් නොවේ, වර්තමානය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවත් වෙන්න” යැයි කියන උතුම් සම්බුදු දහමයි.

පින්වත, අපි උතුම් භව නිරෝධය කෙරෙහි, උතුම් සෝවාන්ඵල අවබෝධය කෙරෙහි සහ පරලොව සුගතිය කෙරෙහි කලබල වුණොත්, අනිවාර්යයෙන් ම වර්තමානයත් කලබල වෙනවා. ඒ කියන්නේ ආස්වාදයෝ ලෝභ, ද්වේශ, මෝහයෝ කලබල කරවනවා. පින්වත, සිහිනුවණින් තේරුම් ගන්න, වර්තමානයේ අපි පිනට, කුසලයට වගේ ම, ප්‍රමාදීභාවයට කලබල වුණොත්, පින්වත් අපි වර්තමානයත්, පරලොව සැපයත්, සෝවාන්ඵලයත්, භව නිරෝධයත් කියන සියලුම අර්ථයෝ ප්‍රමාදීභාවයට පත් කොට ගත්තා වෙනවා. පින්වත, වර්තමානය තුළ ඔබේ ජීවිතය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත්ව, අප්‍රමාදීව පුහුණු කරන්න. මේ අර්ථවත් අප්‍රමාදීභාවය ඔබට මෙලොවත්, පරලොව සැපයත්, උතුම් සෝවාන්ඵලයත්, උතුම් භව නිරෝධයත් හේතුඵල ධර්මයෝ තුළින් ම සකස් කොට දේවි. පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, සමාජයේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු සහ වැඩි වීම්වලට අදාළව භික්ෂුව මේ සටහන් තබන්නේ ඊට අදාළව උතුම් සම්බුදු දහම මයි.

පින්වත, සියලු සංස්කාරයෝ ඉබි ගමනින් වගේ ම, අශ්ව වේගයෙනුත් වෙනස් වෙලා යනවා. පින්වත, අපේ ම පටිච්චසමුප්පන්න අතීත සංස්කාර හේතුවෙන් තම වර්තමාන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුළ සකස් වන සංස්කාර අධිකරණ ක්‍රියාවලියට අපි ධර්ම මනසිකාරයෙන් යුතුව ම හිස නවන්න ඕනේ. පින්වත, අපේ ම මෙලොව සහ පරලොව කුසල් සහ අකුසල් වගාවන්ගේ අස්වැන්නයි, වර්තමානයේ අපි සතුටින් හෝ දුකෙන් බුක්ති විඳින්නේ.

පින්වත, මුගලන් මහෝත්තමයන් වහන්සේ සොරුන්ගේ ග්‍රහණයට හසු වී දැඩි කායික පහරදීම්වලට ලක් වී පිරිනිවන් පෑ මොහොතේ, බුදුරජාණන් වහන්සේ දුකෙන් පීඩිතව සිටි ධර්මාවබෝධය නොලැබූ ස්වාමීන් වහන්සේලාට දේශනා කළේ, “මුගලන් මහෝත්තමයන් වහන්සේට පුංචි හෝ අසාධාරණයක් වෙලා නැහැ” ය කියලයි. “මුගලන් මහෝත්තමයන් වහන්සේ මේ නෙලා ගත්තේ, පටිච්චසමුප්පන්න පෙර ජීවිතයක තම දෙමාපියන්ට කායිකව සහ මානසිකව සිදු කළ නරක වගාවේ, නරක අස්වැන්නයි” කියලා. පින්වත, තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා කුරිරු සහ මනුෂ්‍ය ධර්මයන්ට නොගැළපෙන ලෙස අපවත් කරද්දී, බුදුරජාණන් වහන්සේ එම අපවත් වීම තුළින් දැක්කේ උතුම් ධර්මයයි. අපිට බුදුරජාණන් වහන්සේ පූර්වාදර්ශ දුන්නේ ධර්මය තුළින් ධර්මය ම දකින්න කියලයි. පින්වත, ධර්මය තුළින් අධර්මය දැක්කොත්, අධර්මයෝ, අධර්මයන් මයි අපේ දැක්මට එකතු කොට දෙන්නේ. පින්වත, ප්‍රවේශමෙන්, අපේ සක්කාය දිට්ඨිය, ධර්මය අපෙන් සඟවන්න පුළුවන්.

පින්වත, වේළුකණ්ඨකී නන්ද මාතාව උතුම් අනාගාමීඵල අවබෝධය සාක්ෂාත් කොට ගෙන ගිහි ජීවිතයක් ගත කළ උපාසිකාවක්. ඇයට නන්ද නමින් එකම පුතෙක් සිටියා. පින්වත, මේ නන්ද පුතා සිදු කළ රාජ්‍ය විරෝධී වරදක් නිසා, රටේ රජතුමා නන්ද පුතාව හිස ගසා මරා දමන්න නියෝග කළා. පින්වත, තම එකම පුතාව රාජ්‍ය වධකයන් විසින් හිස ගසා මරා දමනවා නන්ද මාතාව බලාගෙන සිටියා. පින්වත, සියල්ල අවසානයේ දී, මේ අනාගාමීඵල අවබෝධය සාක්ෂාත් කොට ගෙන සිටි නන්ද මාතාව කියනවා, “තමාගේ එකම පුතාගේ හිස ගසා දමනවා තමා දෑසින් දකිද්දී, තම දරුවා කෙරෙහි ඇලෙන සිතක් හෝ රටේ රජතුමා කෙරෙහි පුංචි හෝ ගැටෙන සිතක් තමා තුළ සකස් වුණේ නැහැ” ය කියලා. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළින් උපන් උත්තම පුරුෂයන්ගේ උත්තම සිංහ නාදයෝයි.

පින්වත, ඉන්ද්‍රිය ධර්මයන්ගේ සැලෙන ප්‍රතික්‍රියාවෝ, විදර්ශනාත්මකව ශක්තිමත් කොට උපදින, බල ධර්මයන්ගේ පරිණතභාවය සංස්කාර ලෝකය තුළ කර්මය කර්මඵල විශ්වාසය නොසැලෙන විශ්වාසයක් බවට පත් කොට දෙනවා. පින්වත, කුසල්, අකුසල් සංස්කාර ලෝකයේ ජන්ම ගතිය සියලු සංස්කාරයෝ වෙනස් වී යාමයි. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය හරිම අනාරක්‍ෂිතයි. පින්වත, පිනේ ආස්වාදයෙන් අපි දමා ගන්නා පාට, පාට කෘත්‍රිම කණ්ණාඩි සංස්කාර මායාවෝ අපෙන් සඟවනවා. පින්වත, ඊයේ දවසේ භික්ෂුව පෞද්ගලික වාහනයක වැඩියා. වැසි සහිත කාලගුණයක් තිබුණේ. භික්ෂුව රියදුරු මහත්මයාට තුන් වතාවක් ම අවවාද කළේ අවම වේගයෙන් යන්න කියලයි. පින්වත, තෘෂ්ණාවෙන් කාර්යබහුල, තරගකාරී, අනාරක්‍ෂිත සංස්කාර ලෝකය තුළ, අපගේ එකම ආරක්‍ෂකයා විය යුත්තේ, අපේ ම නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය වූ සිහිනුවණයි.

පින්වත, සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ නෙක්ඛම්ම සංකප්පයට, ආස්වාදය විනිවිද දකින ආදීනවයේ ගොරහැඩි බව තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, නෙක්ඛම්ම සංකප්පයෝ මෛත්‍රියේ ආස්වාදය, ශීලයේ ආස්වාදය, පිනේ ආස්වාදයට අපිව කොටු නොකර, සැබෑ සම්මා සතියකට පාර පෙන්වා දෙනවා. පින්වත, සම්මා සතිය තුළ උපදින්නේ පංච නීවරණයෝ හිඟ සම්මා සමාධියයි. පින්වත, සම්මා සමාධිය යනු හොඳ, නරක, කළ යුත්ත, නොකළ යුත්ත, හරි, වැරදි කෙරෙහි සති සම්බොජ්ඣංගයෙන් උපදින ලෝකය විනිවිද දැකීමේ දොරටුව වෙනවා.

පින්වත, වැස්ස, මීදුම මැද්දේ ගෙවී ගිය සුන්දර වස්සානය අවසානයේ මේ උදා වෙලා තිබෙන්නේ, පුණ්‍යවන්ත වස්සානයේ දී ඵල දැරූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අස්වැන්න නෙලා ගන්නා පුණ්‍යවන්ත චීවර මාසයයි. පින්වත, චීවර මාසය ගෞරවනීය අපේ සංඝ සමාජයට ගොඩාක් කාර්යබහුල මාසයක්. පින්වත, කාර්යබහුලභාවය ඉදිරියේ අපි පංච නීවරණයන්ගෙන් ගොඩාක් ආරක්‍ෂාකාරී වෙන්න ඕනේ. පින්වත, පැවිදි අපේ ආධ්‍යාත්මය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයෙන් තමයි පෝෂණය කොට ගන්න ඕනේ. පින්වත, ගිහි පින්වතුන්ලාගේ පිනේ ආස්වාදයෝ අපේ ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ අර්ථයෙන් සිහිනුවණින් කිරා, මැන පිළිගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, ගෙවී ගිය මේ වස්සානය, ඊළඟ වස්සානය දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කර වන සම්මා සතියේ ජීව රුධිරයක් බවට පත් කොට ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2025 ඔක්තෝබර් 12 ඉරිදා දිවයින පුවත්පතින්.