කීකරුභාවය නිසා ම පිනෙන් පිරෙන ජීවිත.

පින්වත් මහත්මයෙක් අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට නිතරම අනතුරු සිද්ධ වෙනවා. එම නිසා තමන්ට ආශීර්වාද කරන්නය කියලා. එම මහත්මයාට තිබුණේ සිනහවක් නැති පරාජිත මුහුණක්. පින්වත, ඔබත් නිරතුරුව ම අනතුරුවලට ලක් වෙන පින්වතෙක් ද? පින්වත, කරුණාකර ඔය කතාව වෙන කාටවත් ම කියන්න නම් එපා. සත්‍යකින් ම එය ඔබට ලජ්ජා විය යුතු කාරණයක්. එය ඔබේ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන පරාජිත අදහසක්. පින්වත, “අධර්මයෝ අධර්මයන් මයි වඩවලා දෙන්නේ.” පින්වත, නිරතුරුව ම ඔබ තුළ සකස් වෙන්නේ ‘අනතුරක් සිද්ධ වෙයි’ කියන බිය සහ විචිකිච්ඡාව නම්, ඔබ සෑම මොහොතක ම සිටින්නේ පංච නීවරණයන් තුළ මයි. පින්වත, අනතුරු පිළිබඳ සැකය සහ බිය නිසා ම, ලිස්සා නොයන පොළොවෙත් ඔබ ලිස්සා වැටෙනවා. පින්වත, කරුණාකර සැකය සහ බිය පහ කොට “ධර්මයෝ, ධර්මයෝ ම වඩත්” යැයි කියන අර්ථයට එන්න.

පින්වත, වර්තමානයේ පටන් ඔබ සිතන්න පුහුණු වෙන්න, මේ ලෝකයේ ජීවත් වන ආරක්‍ෂිත ම පුද්ගලයා ඔබයි කියලා. පින්වත, එවිට ඔබට පුළුවන් ඔය බියෙන් කලකිරුණ මුහුණේ ඉරියව් බැහැර කරලා සිනාසෙන්න. එවිට රුධිරය පිරිසිදු වෙලා ඔබේ මුහුණ පැහැපත් වේවි. පින්වත, ඔබ පුහුණු කරන්නේ, ඔබ තුළ වැඩෙන්නේ අනතුරක් පිළිබඳ බිය නම් ඉන් අදහස් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ ආනිශංස ධර්මයන්ගේ දුර්වලභාවයයි. පින්වත, ඔබ තුළ වැඩෙන මරණ බිය සහ අනතුරු බිය පහව යන්න බුද්ධානුස්සතිය සහ මෛත්‍රිය පුහුණු කරන්න. පින්වත, බියෙන් තැතිගත් ජීවිත සුවපත් කරන මහා ඔසුව උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මයි සොයාගත යුත්තේ.

පින්වත, අධි වීර්යය මමත්වයේ දැඩිභාවයට ප්‍රණීත ආහාරයක් වෙන්න පුළුවන්. පින්වත, අධි වීර්යය පංච නීවරණයන්ගේ ගොදුරක් වෙන්නත් පුළුවන්. පින්වත, හීන වීර්යය අයිති වෙන්නේ නම් පංච නීවරණයන්ට මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ අධි වීර්යය සහ හීන වීර්යයෙන් බැහැර වූ මධ්‍යස්ථ වීර්යයයි. පින්වත, මධ්‍යස්ථ වීර්යය යැයි කියන්නේ උතුම් මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වීර්යයයි. පින්වත, මධ්‍යස්ථ වීර්යය ඇති කොට ගන්න නම්, සති සම්බොජ්ඣංගයෙන් පෝෂණය වූ ධම්ම විචය බොජ්ඣංගයට අදාළව අපි සිහිනුවණ ඇති කොට ගන්න ඕනේ. පින්වත, ඉහත වචනවල අර්ථයට ඔබ බිය වෙන්න එපා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැනවීම්වලට අදාළව අධි වීර්යයෙන් සහ හීන වීර්යයෙන් බැහැර වී, පින්වත් ඔබ මධ්‍යස්ථ වීර්යය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ඇති කොට ගැනීමට සිහිනුවණ ඇති කොට ගත් මොහොතේ ම, ඔබ තුළ සති සම්බොජ්ඣංගය සහ ධම්ම විචය බොජ්ඣංගයයි ශක්තිමත් වෙන්නේ. පින්වත, එහි ඵලයයි මධ්‍යස්ථ වීර්යයේ රුවගුණ වන වීර්යය බොජ්ඣංගය. පින්වත, මේ වීර්යය බොජ්ඣංගය මයි ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා බොජ්ඣංගයන්ට චංචල බව සංසිඳුණ නිශ්චල පාවඩයක් වෙන්නේ.

පින්වත, මේ දිනවල අ.පො.ස.(උ.පෙ) විභාගයට පින්වත් දරුවන් සූදානම් වන නිසා ම, පින්වත් දරුවන්ට අධි වීර්යයෙන් සහ හීන වීර්යයෙන් බැහැර වූ මෙම මධ්‍යස්ථ වීර්යය ගොඩාක් වටිනවා. පින්වත් දරුවන් මධ්‍යස්ථ වීර්යය ජීවිතවලට එකතු කොට ගනිත්දී ම, උතුම් තෙරුවන්ට දැක්වූ කීකරුභාවය නිසා ම, ඔබේ ජීවිතය පිනෙන් පිරී යනවා. ඔබ උතුම් තෙරුවන්ට කීකරු දරුවෙක් වෙනවා. පින්වත් දරුවනි, උතුම් තෙරුවන් කෙරෙහි විශ්වාසය නිසා ම, විභාගය කෙරෙහි බිය සහ සැකය පහවී, ඔබේ විසිරුණ සිතුවිලි සන්සුන් වෙනවා. පින්වත් දරුවනි, දැන් ඔබට පුළුවන් බියෙන් සහ සැකයෙන් තොරව පාඩම් කරන්න; විභාගයට පිළිතුරු ලියන්න. පින්වත, මධ්‍යස්ථ වීර්යය මයි ඇලීම් සහ ගැටීම්වලින් තොරව, විභාග ප්‍රශ්න පත්‍රය ඉදිරියේ ඔබව සතිමත් කරන්නේ.

පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය පින්වත් දරුවන්ට මොනතරම් නම් භාග්‍යයක් ද? පින්වත, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් පෝෂණය වූ අම්මා සහ තාත්තාගේ මහා බ්‍රහ්ම ගුණයන්ට දරුවන් දක්වන ගෞරවය, කීකරුභාවය දරුවන්ට මොනතරම් නම් පුණ්‍ය නිධානයක් ද? පින්වත් දරුවන්ගේ අතීත පටිච්චසමුප්පන්න අකුසල් යටපත් කොට, පින අවදි කරන්න තම දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයෝ මොනතරම් නම් ශක්තියක් ද? පින්වත, බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දරුවන්ට දේශනා කොට තිබෙන්නේ “මෛත්‍රී සිතුවිලි ම වඩන්න” ය කියලා. පින්වත් දරුවනි, දෙමාපියන් සතුටු කරන්න, ඔබේ පින්වත් ගුරුතුමා, ගුරුතුමී සතුටු කරන්න, ඔබේ වැඩිහිටියන් සතුටු කරන්න. පින්වත් දරුවනි, එවිට ඔබ ඒ හැමෝට ම මෛත්‍රිය කළා වෙනවා. පින්වත් දරුවනි, දෙමාපියන්ට වන්දනා කරන්න ලජ්ජා වෙන්න එපා.

පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ වයස අවුරුදු හැට තුනයි. අදත් භික්ෂුව හරිම කැමතියි ගෞරවනීය වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න. භික්ෂුව ගෞරවනීය වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්නේ ශබ්ද නගලා වන්දනා ගාථාවන් කියලා. පින්වත, භික්ෂුවට විශ්වාසයි ඒ හඬ, සත්පුරුෂ දෙවියන්ට, බ්‍රහ්මයන්ටත් ඇසෙනවාය කියලා. පින්වත, අපි කරන කෘතවේදී වන්දනාවකින් පුළුවන් සත්පුරුෂ දෙවියන්, බ්‍රහ්මයන් පවා මෛත්‍රියෙන් සතුටු කරන්න. පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපදාවෝ ලෝකයාට ම පින බෙදන පුණ්‍ය නිධානයක් වෙනවා. විභාගවලට සූදානම් වන පින්වත් දරුවනි, උදේ, රාත්‍රී දෙමාපියන්ට පසඟ පිහිටුවා වන්දනා කරන්න. එය මධ්‍යස්ථ වීර්යයට පාර කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටසක් වෙනවා.

පින්වත, දෙමාපියන්ට වන්දනා කරන දරුවන්ට ශක්‍ර දෙවියන් පවා ආශීර්වාද කරනවා. පින්වත, දෙමාපියන් සතුටු කිරීම, ශක්‍ර දෙවියන්ගේ පටිච්චසමුප්පන්න සාංසාරික පුරුද්දක් වෙනවා. පින්වත් දරුවනි, නවීන තාක්‍ෂණික ලෝකය හේතුවෙන් ලබන පුංචි සැපයක් නිසා, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා සැපයක් අහිමි කොට ගන්න එපා. පින්වත, හෙට ලෝකයට තාක්‍ෂණය අත්‍යවශ්‍යයි. දරුවන්ගේ දැනුම උදෙසා තාක්‍ෂණය මහා මෙහෙයක් සිදු කරනවා. පින්වත, විනයෙන් තොර තාක්‍ෂණය අකුසලයට ඉණිමං තබන මාර ධර්මයක් ම වෙනවා. පින්වත, විනයෙන් තොර තාක්‍ෂණය අනාගතයේ දී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අතුරුදන් කොට දමන මාර පාක්‍ෂික හේතුඵල ධර්මයෝ වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව තාක්‍ෂණයට හරිම අකමැතියි. කෙලෙස් උපදවන මාර ධර්මයෝ භික්ෂුවට එපා මයි. මෙය භික්ෂුවගේ පෞද්ගලික අදහසක් පමණක් මයි.

පින්වත, භික්ෂුවට අවශ්‍ය ලෝකයට පරදින්න හෝ ලෝකය දිනන්න නොවේ, ලෝකයෙන් නිදහස් වෙන්න. විභාගවලට සූදානම් වන පින්වත් දරුවනි, ඔබලා නම් ලෝකය ජයග්‍රහණය කළ යුතුයි. ඔබ සූදානම් වන විභාග හොඳින් සමත් විය යුතුයි. අනාගතයේ දී ඔබලා ඉහළ වෘත්තිකයන්, ශක්තිමත් ව්‍යාපාරිකයන් විය යුතුයි. ඒ විතරක් නොවේ, පින්වත් දරුවනි, ඔබලා අනාගතයේ දී ඊළඟ පරපුර සමාජයට බිහි කරන ගුණාත්මක මහා බ්‍රහ්මයන් විය යුතුයි. පින්වත, එක පරපුරක් උපයෝගී කොට ගෙන තවත් ගුණාත්මක අනාගත පරපුරක් ශාසනයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වෙනවා.

පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. අපි ජීවත් වන සමාජය තුළ අවිද්‍යාව වැඩි වෙන කොට, මනුෂ්‍ය ජීවිතවල තෘෂ්ණාව ඔඩු දුවනවා. එහි ඵලය ඇලීම් සහ ගැටීම් මනුෂ්‍ය ජීවිතවල තීව්‍ර වීමයි. පින්වත, ඉහත ක්‍රියාන්විතයේ ඊළඟ ඵලය මනුෂ්‍ය ජීවිතවල ඉන්ද්‍රිය ධර්මයෝ පිරිහීමයි. පින්වත, අතීතයේ භික්ෂුව පින්වත් ඔබට ඡන්දය සකස් කොට දුන්නේ ‘උතුම් සෝවාන්ඵලය’ උදෙසායි. පින්වත, වර්තමානයේ භික්ෂුව මේ සටහන් තබන්නේ, “පින්වත් ඔබ තුළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන් කෙරෙහි ඡන්දය ඇති කොට දෙන්නයි.” පින්වත, පංච උපාදානස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවෙන් දුර්වල වන ඉන්ද්‍රිය ධර්මයන් ඉදිරියේ භික්ෂුව මතු කොට දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මයි. පින්වත, සංස්කාරයන්ට අදාළව අපවත් වෙන තෙක් පැවිදි අපිටත් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පින්වත, ලෝකයට දොස් කියන්න බැහැ. ලෝකය යැයි කියන්නේ පටිච්චසමුප්පන්නව අපිම සකස් කොට ගත් හේතුඵල ධර්මයක්. පින්වත, ලෝකය චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් නිවා දමන තෙක් ම, අපිට ලෝකය සමග ඇවිළෙන්න සිද්ධ වෙනවා.

පින්වත, උදෑසන පිණ්ඩපාත ශාලාවේ දී මහත්මියක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් අසනවා, “ස්වාමීන් වහන්ස, මම කායානුපස්සනාව දිගින් දිගට ම පුහුණු කරනවා. ඒත් අවසානයක් නැහැ නේ” කියලා. පින්වත, ඔබ භාවනාවේ අවසානයක් සොයන්න එපා. ඔබ අවසානයක් ගැන සොයන මොහොතක් පාසා ඔබ යළි යළිත් ආරම්භයක් ඇති කොට ගන්නවා. පින්වත, තෘෂ්ණාවේ මුවහත නිදහසේ ගෙවී යන්න ඉඩ දෙන්න. පින්වත, වරින් වර තෘෂ්ණාවේ මුවහත ගෙවෙන ප්‍රමාණය පරික්‍ෂා කරන්න යන්න එපා. එවිට තෘෂ්ණාවේ මුවහත තව තවත් මුවහත් වේවි. පින්වත, ජීවිතය විතර්කයන්ගෙන් උදුරාගෙන, නිදහසට අතහරින්න. පින්වත, ඔබ පුහුණු කරන භාවනාවේ ප්‍රගතිය ගැන, ඔබ යෙදී සිටින භාවනාවේ දැන් සිටින තැන ගැන, ඔබේ භාවනාවේ අවසානය ගැන ඔබ තුළ සකස් වන සෑම විතර්කයක් ම චිත්තානුපස්සනාවෙන් මකලා දමන්න. පින්වත, විතර්කයන්ගේ බර භාවනායෝගී ජීවිතවලට දෙන්න එපා. පින්වත, තෘෂ්ණාවේ තීන්ත ඔබේ ඵස්සය තුළ තිබෙන තාක් කල්, ඔබේ ඵස්සය ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවේ සංස්කාර චිත්‍ර අඳිනවා. පින්වත, භාවනාව කෙරෙහි තෘෂ්ණාව, භාවනාවේ ලොකුම සතුරායි.

පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මතුකොට ගන්නා සම්මා සමාධියෙන් පසුවයි, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ගේ මුල පටන් ගන්නේ. පින්වත, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නොතකා, සතර සතිපට්ඨාන භාවනාවන්ට යොමු වෙන්න එපා. පින්වත, සමාජයේ සමහර පින්වතුන් උත්සාහ ගන්නේ, අවම වශයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය ගැන අවධානය ලිහිල් කොට සතර සතිපට්ඨාන භාවනාවන්ගෙන් විදර්ශනා නුවණ ලබන්න. පින්වත, එවිට පදමට සකස් නොවූ සම්මා සමාධිමත් සිත විතර්කයන්ගෙන් සහ භාවනාවේ ආස්වාදයට මයි පාර කියන්නේ. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි මාර්ග අංගයට නෙක්ඛම්ම සංකප්පය පනවා ඇති බවත් අමතක කරන්න එපා.

පින්වත, තවත් සුන්දර වස්සානයක කෙළවර ළඟ ළඟම පෙනෙනවා. පින්වත් ගිහි සහ පැවිදි ඔබට සහ අපිට පෙනෙන වස්සානයේ කෙළවර අපේ ජීවිතවලට ආස්වාදයේ බරක් දෙන කෙළවරක් ද? එසේත් නැතිනම් අපේ ජීවිත ආර්ය ධර්මයන්ගෙන් නිදහස, නෙක්ඛම්මය අත්දකින නිකෙලෙස් කෙළවරක් ද? පින්වත, තීරකයා ඔබ මයි, අනුනට එය තීරණය කරන්න දෙන්න එපා. පින්වත, සංසාර බිය, සංසාර දුක, සංසාර දුර නොදැක උපදින පාට පාට රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයෝ යනු ලෝකයේ ම කොටසක්. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් උපදින කාමයේ සහ රූපයේ දීර්ඝ ආදීනවයෝ ද ලෝකයේ ම ඥාති ධර්මයෝයි. පින්වත, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි සිහිනුවණින් දකින සති සම්බොජ්ඣංගය, උතුම් ධම්ම විචය බොජ්ඣංගයට එළන්නේ ලෞකික ප්‍රඥාවේ සුවඳැති වීර්යයේ පාවඩයෝ මයි.

පින්වත, උතුම් සද්ධර්මයේ අර්ථයෝ හරිම නිරවුල්. පින්වත් ඔබ කෙටි ආස්වාදයේ කෙලෙස් සන්දර්ශනවලින් අවුල් වෙන්න එපා. පින්වත, ආස්වාදයේ ලෝකයට යන්න දීලා, ඔබ ඔබ දෙස සිහිනුවණින් බලා සිටින්න. පින්වත, ඔබ ආර්ය සිහියෙන් නැවතුණ තැන, තෘෂ්ණාවේ කිසිම ඉතිරියක් නැහැ. පින්වත, සංස්කාරයෝ හේතුවෙන් මෙතෙක් ඇවිළී, නිවී ගිය පහන් වැටක් පමණක් මයි ඉතිරිය වෙන්නේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2025 සැප්තැම්බර් මස 28 ඉරිදා දිවයින පුවත්පතින්.