(මේ අතිපූජ්‍ය බෝධිසත්වගුණෝපේත නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනයක් උපයෝගී කොට සැකසු ලිපි පෙලකි. එම ධර්ම දේශනා යු ටියුබ් හී රදවා ඇත… හුදී ජන පහන් සංවේගය උදෙසාත්, ධර්ම දානය උතුම්ම දානය වන නිසාත් මෙය බෙදා හැරීමට තීරණය කලෙමි. උන්වහන්සේ බෝධි සත්ව ගුණැති උත්තමයෙකි. ඒ දහම සමස්ත බෞද්ධයන් ට මහඟු ප්‍රයෝජනයක් වනු නොඅනුමානය. මේ ව්‍යායාමයේදී අදල ධම් දෙසුම් ගබඩා කර අප වෙනුවෙන් තබාගත් සියල්ලන්ටම පුණ්‍ය අනුමෝදනා වේවා.)
🔸 ප්‍රශ්නය –
මරණානුස්සති භාවනාව වඩන්නේ ඇයි? එමගින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
මරණානුස්සති භාවනාව වඩන්නේ කෙසේද ?
පැහැදිලි කරදෙන්න.
🔸 පිළිතුරු –
මෙය බෝධිසත්වගුණෝපේත නා උයනේ අරියධම්ම ස්වාමින්ද්‍රන්ගේ පිලිතුරු සැපයිමකි.
මරණානුස්සති භාවනාව විශේෂ භාවනාවක්. මේක විශේෂයෙන්ම හදුන්වා දෙන්නේ ප්‍රඥාවන්තයාට, බුද්ධි චරිතයාට. මරණානුස්සති භාවනාව වැඩීම සඳහා ක්‍රම කීපයක් තියෙනවා. විසුද්ධිමාර්ගයේ තියෙනවා මාතෘකා 8 ක්. එයින් කීපයක් අපි හදුන්වන්න කැමතියි.
විශේෂයෙන්ම මේ මරණානුස්සති ය වැඩිමේදී තමන්ගේ හිතේ පහල කරගන්න ඕන සතිය. ඒ කියන්නේ මනා සතිය තිබෙන්නට ඕන. මනා සංවේගය තියෙන්ට ඕන. ඒ වගේම නුවණ හොදින් අවදියෙන් තියෙන්නට ඕන. මොකද කාරණය තමන්ගේ මරණය ගැන තැති නොගන්න, තම හිතවතාගේ මරණය ගැන ශෝක නොවන්න. තමන්ගෙ අහිතවතාගේ මරණය ගැන සතුටු නොවන්න. ඒ වගේ නුවණත් සංවේගයත් හොදින් තියෙන්නට ඕන.
මරණානුස්සතිය වැඩිමේදී ගුරු උපදේශ ලැබෙන්නේ. තමන් දුටු විරූ තමන් දැකල පුරුදු මරණයක් ගැන සිහි කරනවා. තමන්ගේ ගමේ තමන්ගේ ගෙදර, තමන් දන්නා හදුනන මරණයට පත්වෙලා තියෙන කාරණය හිතෙන් බලනවා. දැක පුරුදු විදියට ඒක හිතින් බලාගෙන මටත් මේ මරණය ඒකාන්‍තයෙන්ම පැමිණෙනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. මරණය නියතයි කියන විදියට තමන්ටත් ඒක ආරෝපණය කරගන්නව.
ඒකේ තියෙනවා පිලිවෙල රාශියක්.
කඩුවක් අමෝරාගෙන දැන් දැන් මරන්න එන වධයෙක් වගේ මේ මරණය උපන් දා පටන් මා පසුපස එන බව මෙනෙහි කරන්නට ඕන
ඒ වගේම ගහේ ඉදුණු ගෙඩියක් බිම වැටෙන්නා වගේ…
උදා වූ සුර්යයා බැහැගෙන යන්නා වගේ…
උදා වු හද මඩල බැහැගෙන යන්න වගේ…
අහසට නැගුණු වලාකුල විසිරි යන්නා වගේ…
කුඩා ඇල දොල නියං කාලේ හිදෙන්නා වගේ…
වතුර මතුපිට හැදිච්ච් දිය බුබුල බිදි බිදි යන්නා වගේ…
ඒකාන්තයෙන්ම මේ මරණය ක්ෂණයක් ක්ෂණයක් පාසා මා පසු පස එනවා. යම් වේලාවක මරණය වෙනවා වෙනවාමයි කියල තමන්ට තමන් ඒ මරණය ආරෝපණය කරගෙන හිතින් මෙනෙහි කරනවා. ඒකේදී අරමුණු වශයෙන් ගන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි කියන වචන දෙක.
ඒ වගේම සම්පත්ති විපත්ති හැටියට බලනවා. සෑම සම්පතියක්ම විපතකින් අවසන් වෙනවා. ඒ වගේම උපතින් ලබාගත්ත ජීවිත සම්පත්තිය විපතින් කෙලවරට යනව කියන එක මෙනෙහි කරමින් ජීවිතය අනියතයි මරණය නියතයි කියල හිතනවා. ඊළඟට මේ ලෝකේ හිටිය බොහෝ පුණ්‍යවන්තයෝ, ඒ වගේම මහා කාය බල ඇත්තෝ, බොහෝ ධනවත් අය ඒ වගේම බොහෝ සෘද්ධිවන්තයෝ බොහොම ඥානවන්තයෝ ඔක්කෝම ජීවිත අවසානයේ මරණයට ගියා නම් මා වන්නන් ගැන කවර කතාද ? ඒකාන්තයෙන්ම මරණය සිදුවෙනවා. ජීවිතය අනියතයි මරණය නියතයි මෙනෙහි කරනවා.
ඒ වගේම මේ ජීවිතය පවතින්නේ කරුණු කීපයක් උඩයි. ආශ්වාස ප්‍රාශ්වාස දෙක නිසා, ආහාර පාන දෙක නිසා, සතර ධාතූන් සමව පවත්නා නිසා මේ ආදී කරුණු නිසා මේ ජීවිතය පවතිනවා.
💥 ආශ්වාස ප්‍රාශ්වාස අවහිරවිමෙන් මරණය වෙන්න පුළුවන්…
💥 ගන්නා ආහාර පාන වස වීමෙන් අගුණ වීමෙන් මරණය වෙන්න පුළුවන්…
💥 ඒ වගේම සතර මහා ධාතු අසමානව පැවතීමෙන් මරණය සිදුවෙන්න පුළුවන්…
💥 ඉරියාපථ අපහසුතා නිසා මරණය සිදුවෙන්න පුළුවන්…
මේ හේතුකොටගෙන මරණය සිදුවෙන්න පුළුවන්. ජීවිතය අනියතයි මරණය නියතයි කියල හිතන්න පුළුවන්.
ඒ වගේම මේ ජීවිත කාලය කොතරම් කාලයක් පවතිනවාද කවදා නැතිවෙනවද කොයි විදියේ අසනීපෙකින් මරණය සිදුවෙනවද කොතෙන්දී මරණය සිදුවෙනවද? මරණය මත්තෙන් කොතනක මේ ජීවිතය නැවත උපදිනවද කියල විනිශ්චයක් තීරණයක් නැති නිසා මේ ජීවිතය අනියතයි මරණය නියතයි කියල හිතනවා.
ඒ වගේම තවත් දුරට හිතනවා මේ ජීවිතය ට බොහෝ අනතුරු තියෙනවා. රෝගාබාධ නිසා මරණය සිදුවෙනවා. අවි ආයුධ නිසා මරණය සිදුවෙනවා. ගින්න නිසා ජලය නිසා වස විස නිසා, සතින් දෂ්ට කිරීම මේ වාගේ විපත් නිසා මරණය සිදුවෙනවා. මේ ආදී හේතු රාශියක් නිසා මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය අනියතයි මරණය නියතයි.
ඉහලට ගත්ත හුස්ම පහලට ගන්න ඉස්සෙල්ල මරණය වෙන්න පුළුවන්. පහලට ගත්ත හුස්ම නැවත ගන්න ඉස්සර මරණය වෙන්න පුළුවන්. ඒ වාගේ කෙටි ක්ෂණයකින් මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. ඒක නිසා ජීවිතය අනියතයි මරණය නියතයි. මේ ක්‍රමයට විසුද්ධි මග්ගයේ හදුන්වනවා. විසුද්ධි මග්ගයෙ දැක්වෙන ක්‍රමය දිගට තිබුණත් කෙටි ක්‍රමයට මරණය මෙනෙහි කරන්න පුළුවන්.
මරණය මෙනෙහි කිරීමෙන් අපට පුළුවන්කම ලැබෙනවා තියෙනවා උපචාර ධ්‍යානය කියන ප්‍රථම ධ්‍යානයට සමීප ධ්‍යානයක් උපදවන්න පුළුවන්. පංච නීවරණ යටපත් වු ධ්‍යානයක් උපදවන්න පුළුවන්. එක එකක් වචනයක් ගානේ මේ උපචාර සමාධි උපදවා ගන්න පුළුවන්. ඒ උපචාර සමාධියත් අර ප්‍රථම ධ්‍යානයට බොහෝම ආසන්නයි.ඒ හා සමාන ආනිසංස ලැබෙනවා. ඒක වඩපු අයටත් එකොලොස් මහා ආනිසංස ලැබෙනවා.
🌼සුව සේ නින්ද යනවා.
🌼සුව සේ අවදි වෙනවා.
🌼නපුරු සිහින නොපෙනී යනවා.
🌼දෙවියන්ට ප්‍රිය වෙනවා.
🌼මනුෂ්‍යයන්ට පියවෙනවා.
🌼දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා.
🌼ඒ වගේම වස විස ආයුධ වගේ විපත්ති වලකිනවා.
🌼සමේ වර්ණය පැහැපත් වෙනවා.
🌼සිතේ සමාධිය වැඩෙනවා.
🌼මරණාසන්න මොහොතේ සිහි නුවණින් ඉන්න ලැබෙනවා.
🌼මරණින් මත්තේ සුගතිගාමී වෙනවා.
ඒ වගේම ජිවිතයේ අනිත්‍යතාව වැටහෙන නිසා කිසි දෙයක් කල් ගන්නේ නෑ. භාවනා රැකීම, සිල් සමාදන්වීම ගැනවත්, ආගමානුකූලව කටයුතු කිරීම කල් දාන්නේ නෑ.. අප්‍රමාද ගුණය වැඩෙනවා.
තෙරුවන් සරණයි !