පින්වත, අපි ජීවත් වෙන්නේ කාත් කවුරුවත් නැති පංච උපාදානස්කන්ධ ලෝකයක. පින්වත, ඥාතීන්, හිතමිතුරන් යැයි කියලා අපි මෝහයෙන් ‘අයිති’ කොට ගත්, ‘මගේ’ කොට ගත් පිරිසක් අපි හැමෝට ම සිටිනවා. පින්වත, අපේ මෝහයේ තරම කියනවා නම්, අවිද්‍යාව අවසානයේ අපිට අයිති කොට දෙන්නේ, මිය ගිය මළ කඳක් පවුලේ සුසාන භූමියට කර ගසා ගෙන යෑම පමණක් මයි. පින්වත, තෘෂ්ණාව තිබෙන තාක් කල් ලෝකයේ නැවතීමක් නැහැ. පින්වත, ගර්භාෂ කුටියක්, බිත්තරයක්, ඕපපාතික උපතක්, පණු කුලයක් අපේ පටිච්චසමුප්පන්න නවාතැන් පොළවල් වෙනවා. පින්වත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන, අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබ ගොඩ ගැසූ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සතර අපා මළ කඳන් ගොඩ සිහියට නගා ගන්න. පින්වත, ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාල මළ කඳන් ගොඩක්.
පින්වත, අතීතයේ ගොඩ ගැසූ එම මහා මළ කඳන් ගොඩ, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි, ධම්මානුපස්සනාවට කමටහනක් කොට ගන්න. පින්වත, ඔබ ගොඩ ගැසූ එම අතීත මළ කඳන් ගොඩ ම, ධාතු මනසිකාරය තුළ විසිරුවා බාහිර සතර මහා ධාතුවට ම මුසු කොට දකින්න. පින්වත, පටිච්චසමුප්පන්න “අතීතය” ධම්මානුපස්සනාවෙන් වළ දමා, “අනාගතය” ධම්මානුපස්සනාවෙන් උදුරා දමා, “වර්තමානය” ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මය තුළ ජීවත් වෙන්න. පින්වත, ඔබේ ඥාතිවරයෙක් මිය ගියාම අවමංගල්‍යය අවස්ථාවේ දී දුකෙන් හඬන්න හොඳ නැහැ. මළ ගෙදර සතුටෙන් ඉන්නත් හොඳ නැහැ. පින්වත, දුක සහ සතුට යන දෙකම අයිති කාමච්ඡන්දයන්ගේ පංච නීවරණ ධර්මයන්ට. පින්වත, ඔබේ ඥාතිවරයාගේ මළ ගෙදර දී, සති සම්බොජ්ඣංගයෝ ඇති කොට ගන්න. පින්වත, ජාති පච්චයා ජරා, මරණ. පින්වත, ඉපදුණොත් මරණය නියතයක්. පින්වත, දුක හෝ සතුට වෙනුවට උතුම් ධම්මානුපස්සනාවෙන් ඥාතිවරයාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්න.
පින්වත, “ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව සහ ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුකට එකම හේතුව, පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව” යැයි කියලයි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ. පින්වත, අපේ තෘෂ්ණාව වැඩිකමට ම, අපිට තෘෂ්ණාව අමතක වෙලයි තිබෙන්නේ. පින්වත, අපිට තෘෂ්ණාව අමතක වීම හේතුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ, අපේ පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයෝ මයි. පින්වත, අපේ අතීත අකුසල් සංස්කාරයන්ට සිත් සේ විපාක දෙන්න, තෘෂ්ණාව පාර හදලා දෙනවා. පින්වත, තෘෂ්ණාව හරිම දක්‍ෂයි, අපේ ‘සක්කාය දිට්ඨියට’ වර්ණය, සැපය, බලය ලබා දෙන්නට.
පින්වත, ‘මම’, ‘මගේ’ යැයි දකින ආත්මීය දෘෂ්ටිය තෘෂ්ණාවේ හොඳම අසත්පුරුෂ මිත්‍රයා වෙනවා. පින්වත, අපි තෘෂ්ණාව ස්ථානගත කරන්නේ ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා කියන ධර්මතාවයට. පින්වත, බොහෝම සිහිනුවණින් තේරුම් ගන්න, තෘෂ්ණාව පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ආරම්භයේ දී ම, අවිද්‍යාව සමග පටිච්චසමුප්පන්නව අත්වැල් බැඳගෙනයි සිටින්නේ. පින්වත, අපේ අවිද්‍යාව සමග අප්‍රකටව සැඟවී සිටින තෘෂ්ණාව, අවිද්‍යාව හේතුවෙන් ම සකස් වන සංස්කාරයන්ට විපාක දීමට සිත් සේ දැනීම් හෙවත් විඤ්ඤාණයෝ සකස් කොට දෙනවා. පින්වත, පසුගිය දිනවල සිදු වූ වාහන අනතුරුවල දී, අහිංසක මගී ජනතාව අසරණ ලෙස මිය ගියේ අදාළ රියදුරු මහත්වරුන්ගේ පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව නිසා මයි. පින්වත, අනතුරට පත් වූ මගී ජනතාවත් වේගයට කැමතියි. ඉක්මනට තම ගමනාන්තයට යන්න කැමතියි. පින්වත, මේ සියල්ල ම තෘෂ්ණාවේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ඔබ දැකලා තිබෙනවා ද, තමන් ගමන් කරන වාහනය පදවන රියදුරු මහත්මයාගේ අනාරක්‍ෂිත, නීති විරෝධී හැසිරීම් ගැන පුංචි හෝ අවධානයක් නොදක්වා, බස් රථයේ සින්දු කියමින්, විනෝද වෙමින්, මත්වතුර බොමින්, දූරකථනය කනේ තබා ගනිමින් සහ තද නින්දේ පසු වෙමින් පින්වත් මගීන් හැසිරෙන ස්වභාවය. මේ හැසිරීම් සියල්ල ම පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාවේ ඵලයෝ මයි. පින්වත, අවිද්‍යාව මගී ජනතාවගේ සහ රියදුරු මහත්වරුන්ගේ තෘෂ්ණාව උපයෝගී කොට ගෙන අතීත සංස්කාරයන් විපාක දීමට පරිසරය සකස් කොට දෙනවා.
පින්වත, සමාජයේ සිදු වන සෑම අනතුරකට ම වගකිව යුත්තා අවිද්‍යාවේ ජවය වන තෘෂ්ණාවයි. පින්වත, අවිද්‍යාව සමග පටිච්චසමුප්පන්නව අත්වැල් බැඳ ගන්න තෘෂ්ණාවයි, සංස්කාරයන්ට ගොදුරු සොයා දෙන්නේ. පින්වත, සමාජය තුළ සිදු වන වියරු මරණීය අනතුරු කර්මයට එසේත් නැතිනම් අකුසල් විපාකයන්ට භාර දී මෝහයෙන් දෑත් සොදා ගන්න එපා. එහෙම වුණොත්, දුකට හේතුව වන තෘෂ්ණාව ඔබට මඟ හැරේවි. පින්වත, තෘෂ්ණාව අවම කරන, තෘෂ්ණාව නිරෝධය කරන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබට අමතක වේවි. පින්වත, වර්තමානයේ අපිට සිද්ධ වෙලා තිබෙන්නේ සියල්ල කරුමයට භාර දීලා, එසේත් නැති නම් මිය යන, තුවාල ලබන අහිංසකයන් පව්කාර මනුෂ්‍යයෝ යැයි අසත්පුරුෂ සිතුවිලිවලට භාර දීලා, දුකට හේතුව වන තෘෂ්ණාවේ ප්‍රවර්ධනයට පංච නීවරණ ආහාරයෝ තව තවත් ලබා දීමයි. පින්වත, අපි මේ විසඳුම් සොයන්නේ, ප්‍රශ්න තව තවත් තෘෂ්ණාවෙන් අවුල් වෙන දිශාවට මයි.
පින්වත, අපි හැමෝගේ ම පටිච්චසමුප්පාද නූල් බෝලය අවුල් වෙලයි තිබෙන්නේ. පින්වත, සැපයට හේතුව තෘෂ්ණාව යැයි දකින තාක් කල්, නූල් බෝලය තව තවත් පැටලෙනවා. පින්වත, අවිද්‍යාව කැමති නැහැ තෘෂ්ණාව කරළියට ගන්න. අවිද්‍යාවේ ජන්ම ගතිය තෘෂ්ණාව ‘සැඟවුණු අමුත්තා’ කොට තබා ගැනීම මයි. පින්වත, සමාජය තුළ දිනෙන් දින ඔඩුදුවන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ඉදිරියේ කවුරුන් ද මේවාට සැබෑ හේතුව වන තෘෂ්ණාව ගැන කතා කරන්නේ? පින්වත, මහ පාරේ මරණීය වාහන අනතුරු වැඩි වෙද්දී, අපේ විසඳුම වාහනවල අනවශ්‍ය විච්චූර්ණ උපාංගයෝ ගලවා දැමීමයි. එසේත් නැති නම් රථවාහන පොලීසිය දඩ කොළ වැඩි කිරීමයි. පින්වත, රියදුරු මහත්වරුන්ගේ සහ බස් රථ හිමිකරුවන්ගේ තෘෂ්ණාව සඟවලා, රාජ්‍ය නිලධාරී මහත්වරුන්ගේ තෘෂ්ණාව බල ගැන්වෙනවා. පින්වත, අවිද්‍යාව කොළය වහලා තමන්ගේ පැවැත්ම ශක්තිමත් කොට ගන්නවා. පින්වත, නෝනා වැටුණත්, පොල්ල වැටුණත් මේ දෙකම අවිද්‍යාවේ එකම කාසියයි.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය කවදත් ශෝක පරිදේවයන්ගෙන් අනාරක්‍ෂිතයි. මනුෂ්‍ය ජීවිතවල තෘෂ්ණාව වැඩි වෙන කොට, මේ අනාරක්‍ෂිතභාවය මහා වියරුවක් වෙනවා. පින්වත, ඔබ මොනතරම් විනයගරුක වුවත්, විනය විරෝධී පුද්ගලයෙකුගේ ගොදුරක් බවට ඔබ පත් වෙන්න පුළුවන්. පින්වත, අපි හැමෝම පසුපස්සේ විපාකයට පැමිණෙන්න පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයෝ තිබෙනවා. පින්වත, නිවන ගැන සිතන්න පෙරාතුව, ඊළඟ ජීවිතයේ ලබන සුගතිය ගැන සිතීමට පෙරාතුව, වර්තමානයේ ඔබ ජීවත් වන තෘෂ්ණාවෙන් අනාරක්‍ෂිත පංච උපාදානස්කන්ධ ලෝකය ගැන සිහිනුවණින් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, අසද්ධර්මයේ අනාරක්‍ෂිතභාවයෙන් මිදී, සද්ධර්මයේ ආරක්‍ෂාව ජීවිතයට ලබා ගන්න.
පින්වත, මේ ලෝක ධාතුවේ ‘දුර්ලභ ම අර්ථය’ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. පින්වත, මේ ලෝක ධාතුවේ ‘දුර්ලභ ම දහම’ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. පින්වත, මේ ලෝක ධාතුවේ ‘දුර්ලභ ම පුද්ගලයන් අට දෙනා’ උතුම් ආර්ය මහා සංඝ රත්නයයි. පින්වත, උතුම් තෙරුවන් සරණ ගිය පින්වත් ඔබ අසරණ නැහැ. පින්වත, උතුම් තෙරුවන් නොහඳුනන සුලභ මනුෂ්‍යයන් අතර, ඔබ දුර්ලභ මනුෂ්‍යයෙක්. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් ගිහි ඔබ ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් උතුම් තෙරුවන් සරණ ගිය පින්වතෙක් නම්, ඔබ අනිවාර්යයෙන් ම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසට අයිති වන, ගිහි උපාසක, උපාසිකාවක්” ය කියලා. පින්වත, ඔබ උපාසක සහ උපාසිකා යන අර්ථය ලබන්නට සුදු සිල් ඇඳුම පලඳින්න ම අවශ්‍ය නැහැ. පින්වත, අර්ථයන් දැන සරණ යන උතුම් තෙරුවන් සරණ, පින්වත් ඔබව උපාසක සහ උපාසිකා යන ලස්සන සුවඳ මලින් සරසවනවා.
පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට, ඔබේ ඥාතීත්වය මොනතරම් නම් සමීප ද? පින්වත, ඔබට මෙතරම් සමීප සම්මා සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඔබ ආගන්තුකයෙක් වෙන්න එපා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඔබට ලැබුණු ඥාති සංග්‍රහයන් අටක් තිබෙනවා. ඒ තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ ඥාතීත්වය ඔස්සේ ඔබට උරුම උපාසක සහ උපාසිකා කියන අර්ථය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති ඥාති සංග්‍රහයන්ගෙන් පෝෂණය කොට ගන්න. එවිට, ඔබ පමණක් නොවේ, ඔබ ජීවත් වන සමාජයටත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ සුවඳ හමා යාවි.
පින්වත, රියදුරු මහත්මයෙකුගේ අකීකරු තෘෂ්ණාව මුල්කොට ගෙන සකස් වන බැඳීයාම් හෙවත් උපාදානයෝ හේතුවෙන් විනාශකාරී මාර්ග අනතුරක් සිදු වුණහම, එම ස්ථනයේ දී ම වේදනාකාරීව මිය යන පින්වතුන්ලාත් සිටිනවා වගේ ම, බරපතළ තුවාල ලබා ජීවිත කාලය පුරාවට ම දුක් විඳින්න සිද්ධ වෙන පින්වතුන්ලාත් සිටිනවා. පින්වත, තවත් පින්වතුන් තුවාල නොලබා ම අනතුරෙන් තම ජීවිතය බේරා ගන්නවා. පින්වත, එකම වාහන අනතුරක දී, එම වාහනයේ ගමන් ගත් මගී පින්වතුන්ලා එකිනෙකට වෙනස් අත්දැකීම්වලට මුහුණ දෙනවා. පින්වත, මේ එකිනෙකට වෙනස් අත්දැකීම් යනු ධර්මයේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, අදාළ පින්වතුන්ලාගේ පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයෝ, ඒ කියන්නේ ‘සංස්කාර අධිකරණය’ ලැබුණු අවස්ථාවෙන් සිත් සේ ප්‍රයෝජනය ගන්නවා. පින්වත, මෙවැනි අනතුරක දී, අකුසල් සංස්කාරයෝ වගේ ම, කුසල් සංස්කාරයෝත් ක්‍රියාත්මක වෙනවා. පින්වත, කෙනෙක් වේදනාකාරීව මිය යද්දී, තවත් කෙනෙක් තුවාල නොලබා ම බේරෙන්නේ සංස්කාර ක්‍රියාවලියේ විවිධත්වය නිසා මයි. පින්වත, මේ සිදුවීම්වලදී, අදාළ පින්වත් මනුෂ්‍යයන්ගේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ම අවිද්‍යාවේ පටන් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන් වීම දක්වා සක්‍රියව පවතිනවා.
පින්වත, මේ අපි කතා කරන්නේ ලෝකය ගැනයි; ලෝකයේ සදාකාලික හැඩරුව ගැනයි. පින්වත, සංස්කාර ලෝකයේ සදාකාලික හැඩරුව ඉදිරියේ පින්වත් ඔබ තවදුරටත් අනාරක්‍ෂිත නොවී, ආරක්‍ෂිතයෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞකික සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ ඉදිරියේ විවෘතව තිබෙනවා. පින්වත, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට යට වී, මේ උතුම් දහම ජීවිතයේ පෙට්ටගමට දමන්න එපා.
පින්වත, “ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, එහි කෙටි අර්ථය “ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පුහුණු වෙන්නා, අකුසල් යටපත් කොට කුසල් ධර්මයන්ගෙන් ආරක්‍ෂා වෙනවා” ය කියන අර්ථයයි. පින්වත, උතුම් නිවන ගැන සිතලා නොවේ, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ සුගතිය ගැන සිතලා නොවේ, වර්තමානයේ සකස් වන තෘෂ්ණාවෙන් අනාරක්‍ෂිත සමාජය ගැන සිතලාවත් ඔබේ ආරක්‍ෂාව උදෙසා බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව ජීවිතවලට එකතු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, මනුෂ්‍ය ජීවිතවල සමාධිමත් සිතේ දුර්වලභාවය වර්තමාන සමාජයට විශාල අනතුරක් කොට තිබෙනවා. පින්වත, ගැටෙන, චංචල, නොසන්සුන් සිතුවිලි අතීත අකුසල් සංස්කාරයන්ට පාවඩ එළනවා. පින්වත, පසුගියදා සිදු වුණ මාරක බස් අනතුරේ රියදුරු මහත්මයාට සහ පසුගියදා සිදු වූ පාසල් වෑන් රථ මාරක රිය අනතුරේ දී අදාළ ටිපර් රථයේ රියදුරු මහත්මයාට බුද්ධානුස්සතියෙන් හෝ මෛත්‍රියෙන් පුහුණු කොට ගත් සමාධිමත් සිතක් තිබුණා නම්, මොනතරම් නම් වාසනාවක් ද? පින්වත, සමාධිමත්භාවයක් නැති ජීවිතවල ආධ්‍යාත්මික ලස්සනක්, විසිතුරුභාවයක්, සතුටක් නැහැ. එවැනි පින්වතුන්ලා පාට පාට රූපවලින්, පාට පාට විදුලි ආලෝකවලින්, පාට පාට මල් වැල් සහ ප්ලාස්ටික් උපාංගවලින් ලස්සන, විසිතුරුභාවය සහ සතුට සොයනවා. තවත් සමහර පින්වතුන් මත්ද්‍රව්‍යවලින් සතුට සොයනවා. පින්වත, මේ සියල්ල සමාධිමත් නොවූ ජීවිතයක හේතුඵල ධර්මයෝ මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පඬු පෙවූ දුර්වර්ණ කළ චීවරයක් දරාගෙනයි සිටින්නේ. ඒත් උන්වහන්සේලාගේ පූර්වාදර්ශී ජීවිත වගේ ම, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මය ආර්ය ශීලයෙන්, මෛත්‍රියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, සම්මා ඥානයන්ගෙන් මොනතරම් නම් ලස්සන ද? ප්‍රණීත ද? පින්වත, පැවිදි අපි ලස්සන, ප්‍රණීත චීවර පරිහරණය කරනවා නම්, එය කළ යුත්තේ හරිම පරිස්සමින්. පින්වත, අපේ ඇතුළාන්තයේ දුර්වලභාවයෝ බාහිරට පෙනෙන්නට පුළුවන්. පින්වත, වැස්සත් සමග ම වස්සානයේ දෙවැනි මාසය ගෙවී ගියා. පින්වත, කෙලෙස් වැසිවලින් චීවර මාසය දක්වා අපි ආරක්‍ෂා වෙමු.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 සැප්තැම්බර් 21 ඉරිදා දිවයින පුවත්පතින්.