පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වර්ණය, සැපය, බලය ලබා දෙන සුන්දර වස්සානයේ පළමුවෙනි සතිය ගෙවී ගියා. පින්වත, වස්සානය තවම නැවුම් වුණත්, හැමදාමත් උදෑසනට විසිපහකට වැඩි ගම්වාසීන් පිරිසක් පිණ්ඩපාතය බෙදන්න පැමිණෙනවා. පින්වත, ඈත ගම්මානවල පින්වත් මනුෂ්‍යයෝ සමථ සහ විදර්ශනා භාවනාවන්ට ගොඩාක් කැමතියි. එම පින්වතුන්ලා දෑස් පියාගෙන සමාධිමත් සිතින්, සළායතනයෝ අනිත්‍ය යැයි නුවණින් දකිද්දී, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපි ජීවත් කළා වෙනවා. පින්වත, තෘෂ්ණාව මොහොතක් ජීවිතයෙන් බැහැර කොට බලන්න, ඔබේ ජීවිතය හරිම නිදහස්. පින්වත, ඔබේ එම නිදහස් ජීවිතය තුළ ලෝකයේ දුර්ලභ ම අර්ථයන් හතර වන, උතුම් තෙරුවන් සහ කෘතවේදීභාවය වැඩ සිටිනවා.
පින්වත, බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස් වසර දෙදහස් හයසියයක් පමණ ගෙවී ගියත්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය එක විනාඩියකින්වත් පරණ වෙලා නැහැ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඉපදුණ දවස වගේ ම, වර්තමානයේත් නැවුම්ව තිබෙනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් ඈත් වෙන අපේ ජීවිත පරණ වෙනවා මිස, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවමානව තිබෙන තාක් කල් සම්මා සම්බුද්ධ ශාසනය පරණ වෙන්නේ නැහැ. පින්වත, මේ මොහොතේ උපන් නැවුම් ශාසනයක නැවුම් මිනිසෙක් වෙන්න. වසර දෙදහස් හයසියයක වයෝවෘද්ධ ලේබලයක් ශාසනයට අලවා, විකෘති කාලීන ධර්ම සොයන්න එපා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ විදර්ශනාමය ඵස්සය තුළින් සම්මා සම්බුද්ධ ශාසනය යළි, යළිත් නැවුම්ව උපදිනවා. උන්වහන්සේලාගේ වර්තමානය බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින්, ජීවමාන බුදුරජාණන් වහන්සේ පසුපසින් වඩින වර්තමානයක් මයි.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය වේගවත් කරන්නේ තෘෂ්ණාව විසින්. පින්වත, ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ තෘෂ්ණාවේ තුන්නිවුන් දරුවෝ. පින්වත, දරුවෝ කොහොමත් විඳීම් උදෙසා දඟ කරනවා වැඩියි. පින්වත, ඔබ පුහුණු කොට ගත් ඔබගේ විදර්ශනාමය ඵස්සය, දඟ කරන ලෝකය තුළ ඔබව නැවතුණ පින්වතෙක් බවට පත් කරනවා. පින්වත, නැවතිලා ලෝකය දෙස බලද්දී, අවිද්‍යාවේ යටපත් වීමෙන් තාවකාලිකව ලෝකය මැකිලා යනවා. පින්වත, ආයුෂය, උණුසුම සහ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, තාවකාලිකව නිවී ගිය ලෝකය තුළ තවමත් අතීත පටිච්චසමුප්පන්න පුරාවෘත්තයෝ හැටියට හොල්මන් කරනවා. පින්වත, තෘෂ්ණාවට දඟ කරන්න දෙන්න එපා, පංච උපාදානස්කන්ධ ධර්මයෝ ඇලීම් සහ ගැටීම්වලින් හති දමාවි.
පින්වත, තෘෂ්ණාව ආර්ය අෂ්ටාංගික මාර්ගය දිගේ සිහිනුවණින් දිගේලි කරන්න. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුසල් පියවර අට පමණක් ම රස හෝ නීරසභාවයෙන් තෘෂ්ණාවට ආහාරයක් කොට දෙන්න. පින්වත, අවිද්‍යාවෙන් පණ ලබන අරූපී තෘෂ්ණාව හරිම කැමතියි පටිච්චසමුප්පන්න සාංසාරික පුරුද්දට මිථ්‍යා දෘෂ්ටියේ, මිච්ඡා සංකප්පයන්ගේ, මිච්ඡා සීලයේ සහ මිච්ඡා වායාමයන්ගේ නීරස රස බලන්නට. පින්වත, ඔබේ තෘෂ්ණාව ඔබ පුහුණු කරන්න, තෘෂ්ණාවේ ම නිරෝධය දකින්න. පින්වත, ඔබේ තෘෂ්ණාව, තෘෂ්ණාවේ වර්ණය, සැපය, බලය උදෙසා පුහුණු කරන්න එපා. පින්වත, මේ හිරු බැස යන සවස් යාමයේ භික්ෂුව වැඩ සිටින කුටියේ ජනෙල් කවුළුව ළඟට ඇවිල්ලා පරිසරය දෙස බලද්දී, පරිසරය විඳින්න කැමති කෙනෙකුට සිත් සේ විඳින්න ඕනෑ තරම් දේවල් තිබෙනවා. පින්වත, කඳු වළල්ලෙන්, කඳු වළල්ල එකිනෙකට වෙනස් පාරිසරික රූප යස අගේට භික්ෂුවට පෙනෙනවා. පින්වත, මේ පාරිසරික රූපයන් දකිද්දී, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාව තුළ භික්ෂුවගේ ජීවිතය නවතිනවා. පින්වත, අතීතයේ නන්දන උයනේ දිව්‍ය අසිරියත් වෙනස් වෙලා ගියා.
පින්වත, කාම ලෝකය හරිම දුර්වර්ණ වගේ ම, කාම ලෝකය හරිම විචිත්‍රවත්. පින්වත, සූත්‍රගත ධර්මයන්ට අදාළව කාම ලෝකයේ රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයේ කාම පාරාදීසය දිව්‍ය තලයේ නන්දන උයනයි. පින්වත, පෙර ජීවිතයේ කාමයේ වරදවා නොහැසිරීමේ සිල් පදයෙන් පෝෂණය වූ, පෙර පටිච්චසමුප්පන්න පිනෙන් උපදින දිව්‍ය ප්‍රේමවන්තයන්ගේ සහ ප්‍රේමවන්තියන්ගේ පින පිරිහී යන තෙක් අවසන් නොවන දිව්‍ය මධුසමයට, පාරිසරික රසය මුසු කොට දෙන්නේ නන්දන උයනේ අසිරියයි. පින්වත, සූත්‍රගත ධර්මයන්ට අදාළව මිහිරි හඬින් නාද කරන දිව්‍ය පක්‍ෂීන්, මද සුළඟට නටන පාට පාට මලින් බර වූ ගස්වැල්, මදාරා මලින් හමන පිනේ සුගන්ධය, පින්වත, අපේ ම පටිච්චසමුප්පන්න සළායතනයන්ගෙන් අතීතයේ සිත් සේ අත්වින්ද මෙවන් ප්‍රණීත, විසිතුරු පාරිසරික සංස්කාරයෝත් අනිත්‍ය වෙලා ගියා නේද?
පින්වත, මොහොතක් අතීත පංච උපාදානස්කන්ධයට සිහිනුවණ යොමු කරන්න. පින්වත, අතීතයේ ඔබ කාම ලෝකයේ ප්‍රේම පාරාදීසය වන නන්දන උයනේ, වෙහෙසක් නොදැනෙන දිව්‍ය ප්‍රේමය අත්විඳලා, ඔබේ දිව්‍ය පින පිරිහුණ වෙලාවේ, ඔබේ දිව්‍ය සළු කිලිටි වෙලා, ඔබේ දිව්‍ය ශරීරය අපිරිසිදු වෙලා, දිව්‍ය ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තියෝ අතුරුදන් වෙලා, දිව්‍ය ජීවිතයෙන් චුත වෙන ලකුණු පහළ වෙද්දී, ඔබ දිව්‍ය සැප අහිමි වීමේ දුකෙන් හඬා වැටුණ හැටි සිහිපත් කරන්න. පින්වත, සියලු ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා.
පින්වත, තරුණ පෙම්වතියක් පිළිකා රෝගයෙන් පීඩා විඳලා මිය යන වෙලාවේ, තම රෝගී සයනය අසල සිටි පෙම්වතාට කිව්ව ලු, “අයියේ මාව බදා ගන්න, මට බයයි” කියලා. උපක්‍රමශීලී ධර්මයක් ගැන නොදත් තරුණ පෙම්වතාත් මරණාසන්න ඇයව තරයේ වැළඳගෙන. පින්වත, මිය ගිය පිංවත් ඇයගේ තෘෂ්ණාවේ උපාදානයෝ පටිච්චසමුප්පන්නව කොතනක පෙරළා පිළිසිඳ ගන්න ඇති ද? පින්වත, ඵස්සයේ අවිද්‍යාව තිබෙන තාක් කල් තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් උපාදානයේ බැඳීයාම් තුළ අපිව අතරමං කරනවා. පින්වත, යම් මරණාසන්න පිංවතෙක් ඔබට කිව්වොත්, “අනේ මගේ දෑත තරයේ අල්ලා ගන්න, අනේ මට බයයි, මාව වැළඳ ගන්න” කියලා, ඔබ ඒ දෙය කරන්න යන්න එපා. එය ඔහුගේ හෝ ඇයගේ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයට අනතුරක් මයි. පින්වත, ඔබ මරණාසන්න පින්වතා ඉදිරියේ උපක්‍රමශීලී වෙන්න. ඔහුගේ දෑත් දෙක එකතු කරලා, සාධු! සාධු! කියලා උතුම් තෙරුවන් සිහිපත් කොට දෙන්න. “උතුම් තෙරුවන් ඔබ අසල වැඩ සිටිනවා, බිය වෙන්න එපා” ය කියලා පැහැදිලි කොට දෙන්න.
පින්වත, ඔබ දෙපළ බැඳුණ ආදරණීය ආදරයේ කෘතවේදී ම අවස්ථාව වන්නේ මංගල පෝරුව මත දෑඟිලි බැඳ, අත පැන් වත්කිරීම නොවේ, ඔබ එකිනෙකා මරණාසන්න මොහොතේ, එකිනෙකා වෙනුවෙන් දක්වන ධර්මානුකූල ආදරණීය කෘතවේදීභාවය මයි. පින්වත, ජීවිත කාලය පුරාවට ආදරණීයව බැඳුණ ඔබේ ආදරය, පටිච්චසමුප්පන්නව මුලින් මිය යන කෙනා සතර අපායක අතරමං කොට දමන්න එපා. පින්වත, නන්දන උයනේ දිව්‍ය ආදරයත්, නිවසේ බිත්ති හතර මැද මනුෂ්‍ය ආදරයත් ඔබට කියන එකම කතාව, “සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා” යැයි කියන කතාව ම නේද?
පින්වත, අවිද්‍යාව කැමති අපිට ජීවත් වෙන හැටි කියලා දෙන්න. අවිද්‍යාව අපිට ධර්මානුකූලව මැරෙන හැටි කියලා දෙන්න කැමති නැහැ. පින්වත, අවිද්‍යාවට අවශ්‍ය නැවත උපදින මරණයක්. පින්වත, යළි පටිච්චසමුප්පන්නව නූපදින මරණයක් යැයි කියන්නේ, අවිද්‍යාවේ මළගමක් යැයි අවිද්‍යාව දන්නවා. අවිද්‍යාව මළ තැන ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය ම මැරිලා යනවා. පින්වත, වරක් තරුණ මහත්මයෙක් භික්ෂුවගෙන් අසනවා, “ස්වාමීන් වහන්ස, අපි උතුම් රහත්ඵලයට පත් වුණොත්, අපිට මුකුත් ම නැතිව යනවා නේද?” කියලා. භික්ෂුව එම තරුණ මහත්මයාට දැනුම් දුන්නේ “පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධයට අදාළව ඔබේ දැක්ම පිරිසිදු කොට ගන්න” ය කියලා. පින්වත, ඔබේ දැක්ම අපිරිසිදු වුණොත්, “නිවන” තුළත් මා සිටිනවා යැයි, ආත්මීය දෘෂ්ටියෙන් ම නිවන දකිනවා. පින්වත, නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ යැයි සළායතනයන්ගේ යළි නොඉපදීම දකින්නේ නැහැ. පින්වත, අපේ දැක්ම හරිම අපිරිසිදුයි. “මම” මුලට ගන්නේ හෝඩි පොතේ “අ” වගේ මයි. පින්වත, ඔබේ ජීවිතයෙන් “මම” පොඩ්ඩ, පොඩ්ඩ හිස් කොට ගන්න. පින්වත, “මම” දැඩි වුණොත්, අන්‍යශීලවෘතයෝ සහ විචිකිච්ඡාව අපේ දැක්ම තව තවත් අපිරිසිදු කොට දමනවා. පින්වත, දැනුම, අවබෝධය උදෙසා අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. හැබැයි ඉතින් දැනුම ආත්මීය දෘෂ්ටියෙන් ගත්තොත් අවබෝධය වෙනුවට, දැනුම කෙරෙහි සක්කාය දිට්ඨියයි යළි උපදින්නේ. පින්වත, භික්ෂුව අද උදෑසනත් පිණ්ඩපාත ශාලාවේ දී පටිච්චසමුප්පාද ධර්මයන්ගේ සමුදය සහ නිරෝධය සජ්ඣායනා කෙරෙව්වා. පින්වත, වර්තමාන පුහුණු කිරීම් තුළින් පටිච්චසමුප්පන්නව යටපත් වී ගිය අතීත ශාසනික පුහුණු කිරීම්වල දැනීම් වර්තමානයේ මතු වෙලා එන්න පුළුවන්. වර්තමානයේ පංච නීවරණ බරට අතීත සප්ත බොජ්ඣංගයන්ගේ සැහැල්ලුව යටපත් වෙන්න දෙන්න හොඳ නැහැ.
පින්වත, හොඳම පොලිය ඔබට ලබා දෙන භවාත්‍රයේ අසිරිමත් ම බැංකුව උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. පින්වත, උදා වුණ පින්බර වස්සානයේ දී උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඔබට ලබා දෙන ඉහළම පොලී ප්‍රතිලාභයන් සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝරත්නයට පූජා කරන බත් හැන්දෙන් වර්ණය, සැපය, බලය කියන ප්‍රතිලාභයෝ තුනක් ම ඔබට ලැබෙනවා. පින්වත, ඔබ දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගන්නා සීලය, ඔබට ජනප්‍රියභාවය, අභියෝගයන් ජය ගැනීම, භව භෝග සම්පත් ආරක්‍ෂාව, සිහිමුළා නොවූ මරණය සහ සුගතියේ උපත කියන ආකර්ෂණීය ප්‍රතිලාභයෝ පහක් ම ලබා දෙනවා.
පින්වත, ඉහත ප්‍රතිලාභයෝ ඔබ ගන්නා මාසයේ වැටුප වගේ ද? එසේත් නැතිනම් සියයට විස්සේ ලාභයට කඩේ බඩු විකුණනවා වගේ ද? පින්වත, අදායමෙන් තොරව ජීවත් වෙන්න බැරි බව ඇත්ත. ඒත් ඉතින් දානයෙන්, සීලයෙන් තොරව ආදායම ආරක්‍ෂා කොට ගන්න සහ පෙරළා ප්‍රවර්ධනය කොට ගන්නත් බැරි බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, දානය සීලය වගේ ද මෛත්‍රිය? පින්වත, මෛත්‍රියට බුදුරජාණන් වහන්සේ ආනිශංස ධර්මයෝ එකොළහක් ම පනවනවා. පින්වත, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි ඔබ ඇති කොට ගන්නා මෙත් සිතුවිල්ලට ආනිශංස ප්‍රතිලාභයෝ එකොළහක් ම ඔබට ලැබෙනවා. පින්වත, මේ භවාත්‍රයේ එක මෙත් සිතුවිල්ලකට ලැබෙන ඉහළම ආස්වාදනීය පොලිය එයයි.
පින්වත, සියයට දහයේ යාචක පොලී ගෙවන ලෝභ, ද්වේශ, මෝහ බැංකු පසුපස පමණක් දුවන්නේ නැතිව, මෙලොව සහ පරලොව දෙකම සුරක්‍ෂිත කොට දෙන, භවාත්‍රයේ ආකර්ෂණීය ම පොලී ගෙවන බැංකුව වන උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ විශ්වාසනීයව ආයෝජනය කරන්න. පින්වත, ඔබ දන්නවා ද හම්බ කිරීමත්, ඉතිරි කිරීමත් කියන කාරණා දෙකම විදසුන් නුවණින් දැක, තෘෂ්ණාවේ උපාදානයෝ බල ධර්මයන්ගෙන් පිරිසිදු කොට ලබන, උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ආර්ය ධනයෙන් නිකෙලෙස් වූ, ආර්ය ප්‍රතිලාභයෝ ඔබට ලබා දෙන්නේත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මයි.
පින්වත, දුක වැඩියි, ප්‍රශ්න වැඩියි, අසනීප වැඩියි, තරහකාරයෝ වැඩියි, බලාපොරොත්තු කඩවීම් වැඩියි කියලා, සිතුවිලිවලින් ගැටි ගැටී ශරීරයේ ලේ ධාතුව අපිරිසිදු කොට ගෙන ඔබේ නීරෝගීභාවයන් නැති කොට ගන්නේ නැතිව, මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින, එකම එක විදර්ශනාමය සිතුවිල්ලකින් මේ භවාත්‍රයේ ආකර්ෂණීය ම, විදර්ශනාමය, ආර්ය ධනයේ විදර්ශනාමය කුසල් ශක්තියෙන්, අකුසලයට අභියෝග කොට, කුසලයෙන් නැගී සිටින්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ තෘෂ්ණාව නිරෝධය කොට, ආර්ය ධනයෙන් පමණක් මයි ජීවිතය පිරිනිවීම තෙක් ම ගැට ගසා ගන්නේ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.