ලෝකය තුළින් ලෝකය ම දකින්න.

පින්වත, මේ ගෙවී යන්නේ සුන්දර වස්සානයේ දෙවැනි සතිය. අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට උදැසන කුටියෙන් එළියට වඩින්න පෙරාතුව, “මේ උදෑසන මා විසින් අධිෂ්ඨානය කළා වූ වස් සීලය යළි ආවර්ජනය කරමි” යි, වස්සානය කෙරෙහි සතිය, සිහිය නැවුම් කොට ගත්තා. පින්වත, නැවුම් වන සතිය, සිහිය තුළ ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය වැඩ සිටිනවා. පින්වත, ආයාසයකින් තොරව ම සිත විදර්ශනාමය සම්මා සමාධිය තුළයි තිබෙන්නේ. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ, උතුම් සම්මා ඥානයන්ට ආහාරයක් වෙමින්. පින්වත, උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයේ පටන් පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා සද්ධර්මයේ ගුණයන් බාහිර ලෝකය තුළ සොයන්න යන්න එපා. මේ උතුම් ගුණයන් ඕපනයිකව ඔබ තුළින් ම මතු කොට ගන්න.

පින්වත, සද්ධර්මයත් ඔබත් දෙකක් වෙන්න එපා, එකක් වෙන්න. පින්වත, අපේ ආත්මීය දෘෂ්ටිය දැඩි නම් සද්ධර්මයත් අපිත් දෙකක් කොටයි දකින්නේ. පින්වත, අවිද්‍යාව සද්ධර්මය අපේ ජීවිතවලින් දුරස් කරලා ප්‍රණීත, විසිතුරු පොත් අල්මාරිවලට සීමා කරන්න ගොඩාක් කැමතියි. පින්වත, ලෝකයේ දුර්ලභ ම අර්ථයන් තිබෙන්නට ඕනේ අපේ ජීවිතවල. පින්වත, එවිටයි සුලභ මනුෂ්‍යයන් අතර අපිත් දුර්ලභ මනුෂ්‍යයෙක් වෙන්නේ. පින්වත, පැරදුම පසුපස්සෙන් පැමිණෙන ලෝකය තිබෙන්නේ දිනන්න නොවේ, දිනුමත්, පැරදුමත් අනිත්‍ය වී යන ධර්මයෝ යැයි අවබෝධ කොට ගන්න. පින්වත, මේ උදා වුණ පුණ්‍යවන්ත වස්සානයේ “විවේකය” තවදුරටත් ලෝකය තුළින් ලෝකය දකින්න නොවේ, ලෝකය තුළින් උතුම් සද්ධර්මය දකින්නයි.

පින්වත, ලෝකය තුළින් ලෝකය ම දකින්නා තම සළායතනයන්ගේ ඵස්සය තුළින් විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම් මයි සොයන්නේ. ඔහු පංච උපාදානස්කන්ධ ලෝකය සතුටින් මයි පිළිගන්නේ. පින්වත, ඔහු ලෝකයට විවෘත වූ කෙනෙක්. පින්වත, අතීතයේ “මම” සිටියා, වර්තමානයේ “මම” සිටිනවා, අනාගතයට “මම” යනවා. පින්වත, “මම” දක්කාගෙන උපාදානයන්ට බැඳීගෙන පටිච්චසමුප්පන්න භව චාරිකාවේ යනවා. පින්වත, “මම” විතරක් නොවේ, මගේ මිය ගිය අම්මා සහ තාත්තා, ආච්චි සහ සීයාත්, “මගේ ය” කියලා ම දකිනවා. එම ඥාතිවරයා මියගොස් නැවත ඉපදුණ තැන සොයනවා. මගේ මිය ගිය ඥාතිවරයා දුකක ඉපදුණා ද? පින් ගන්න බැරි තැනක ඉන්නවා ද? පින්වත, මිය ගිය ඥාතිවරයා නිසා ජීවත්ව සිටින ඥාතීන් තම අවිද්‍යාවට සංස්කාර ආහාර සොයා දෙනවා.

පින්වත, අදත් උදෑසන පිණ්ඩපාත ශාලාවේ දී පින්වත් කාන්තාවක් ප්‍රශ්නයක් ඇසුවා, “ස්වාමීන් වහන්ස, මිය ගිය තම පියාණන් පින් ගන්න බැරිව සිටිනවා. කුමක් ද කරන්නේ?” කියලා. මේ දේවල් කවුරු කියලා ද, කොහොම දැනගෙන ද කියලා භික්ෂුව ඇයගෙන් අහන්න ගියේ නැහැ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වෙද්දී, අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිට පනිනවා. පින්වත, අපිට මුල්විය යුත්තේ මිය ගිය ඥාතිවරයා නොව, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මුල්වුණොත් පමණක් මයි, ජීවත්ව සිටින පින්වත් ඔබත් අසරණයෙක් නොවී, සරණක් ඇත්තෙක් වෙන්නේ. පින්වත, ජීවත්ව සිටින ඔබ අසරණව, කෙසේ නම් මිය ගිය ඥාතිවරයාට පරලොවින් සරණක් වෙන්න ද?

පින්වත, අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් පසු කරලා, ලෝකයේ අතිදුර්ලභ ම අර්ථය වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ, පටිච්චසමුප්පන්න තෘෂ්ණාවේ උපාදානයන් ඔස්සේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි ඡන්දයෙන් පසු වන, පුණ්‍යවන්ත දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යයන්ට අවිද්‍යාවේ අඳුර ඉරා දමා, විදර්ශනා ප්‍රඥාවේ හිරු උදා කොට දෙන්න. පින්වත, විදර්ශනා ප්‍රඥාවේ ආලෝකය තවමත් විකසිතව තිබිය දී, තවදුරටත් අවිද්‍යා අඳුරේ අතපත ගාන්න එපා. පින්වත, බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කොට තිබෙනවා, මිය ගිය තම ඥාතිවරයාට පරලොව සැපය උදෙසා පින් අනුමෝදන් කරන්නය කියලා. එය ජීවත්ව සිටින ඔබගේ සත්පුරුෂ ඥාති සංග්‍රහයක් වගේ ම, උතුම් තෙරුවන්ට දක්වන කීකරුභාවයක් ම වෙනවා.

පින්වත, මිය ගිය ඔබගේ ඥාතිවරයාට පින් අනුමෝදන් කරන්න යැයි ඔබට දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ, මිය ගිය ඔබේ ඥාතිවරයා තෘෂ්ණාවෙන් උපාදානය කොට ගෙන පටිච්චසමුප්පන්නව නැවත ඉපදුණ තැන් සොයන්න යන්න කියලා අපිට දේශනා කොට නැහැ. පින්වත, ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජීවිතයට එකතු කොට ගත් පින්වතෙක් නම්, ඔබ නියත විශ්වාසයකට එනවා, මිය ගිය පින්වතෙක්ගේ පටිච්චසමුප්පන්න නැවත උපත ගැන නිවැරදිව ප්‍රකාශ කළ හැක්කේ චුතූපපාත ඥානය තිබෙන ගිහි හෝ පැවිදි පින්වතෙකුට පමණක් මයි කියලා. පින්වත, එවැනි ඥානයන් තිබෙන පින්වතුන් ලෝකයේ හරි ම දුර්ලභයි. එවැනි පින්වතුන් ගැන අපි දන්නේ නැහැ.

පින්වත, අපි ජීවත් වන අවිද්‍යාවෙන් ගොරහැඩි සමාජය තුළ මිය ගිය පින්වතුන්ගේ නැවත උපත ගැන කියන, මිය ගිය ඥාතියාට පින් ගන්න බැහැ වැනි කතා කියන ඕනෑ තරම් ශාස්ත්‍ර, ක්‍රමවේදයන් සමාජය තුළ තිබෙනවා. ඒවා හරි වේවා, වැරදි වේවා උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව එහි නැති බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, මිය ගිය තම ඥාතිවරයාගේ පරලොව ජීවිතය ගැන සැකසංකා ඇති කොට ගන්නා සෑම ජීවත් වන පින්වතෙක් ම පංච නීවරණයෝ තුළමයි ජීවත් වෙන්නේ. සැකය, බිය, විසිරුණ සිතුවිලි එම ජීවිතවල උරුමයක් ම වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ නමක් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ, පින්වත් ඔබ තුළ සප්ත බොජ්ඣංගයෝ මතු කොට දෙන්නයි. පින්වත, ඔබ උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කොට ගත් පින්වතෙක් නම්, ඔබේ මිය ගිය ඥාතිවරයාගේ නැවත උපත සොයන්න මිච්ඡා ධර්මයන් පසුපස යන්නේ නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු පින්වතෙක් වෙනවා. පින්වත, ඔබේ මිය ගිය ඥාතිවරයා සිහිපත් වන සෑම මොහොතක ම, ඔබ ඔබේ ඥාතිවරයා සශ්‍රීක දිව්‍ය තලයක දෙවියෙක්, දිව්‍යාංගනාවක්ව ඉපදුණ බව නුවණින් දකිනවා. එම දැක්ම ඔබට සතුටක්. එම සතුට ම ඔබට වර්ණය, සැපය, බලය උදෙසා හේතු වෙනවා. පින්වත් ඔබ තුළත් දේවතානුස්සතිය වැඩෙනවා. ඔබ තුළ වැඩෙන දේවතානුස්සතිය ම ඔබේ ඥාතිවරයාට පින් අවශ්‍ය නම් පුණ්‍ය ගංගාවක් ම වෙනවා. පින්වත, ඔබේ මිය ගිය ඥාතිවරයා දුකක ඉපදිලා, පින් ගන්න බැහැ වැනි මිච්ඡා දැක්මක් තුළ ඔබ ජීවත් වුණොත්, ඔබට අයිති වන්නේ සැකය, බිය සහ විසිරුණ සිතුවිලි මයි. ඔබ තුළ වැඩෙන්නේ ප්‍රේතානුස්සතිය මයි. පින්වත, ඔබේ මිය ගිය ඥාතිවරයාට සමාජ සම්මත ක්‍රමවේදයන්ට අනුව පින්පෙත් අනුමෝදන් කරන්න, මිය ගිය ඥාතිවරයා ඉපදුණ තැන් සොයන්න එපා යැයි දේශිත සම්බුදු වදනට විරුද්ධව යාමේ දිට්ඨධම්මවේදනීය විපාකයෝ ප්‍රේතානුස්සතිය තුළින් ම අපි අත්විඳිනවා.

උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්නා, පියවරෙන් පියවර සද්ධර්මයට ම සමීප වෙනවා. ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයෝ වැඩෙනවා. ඔහු තම මිය ගිය ඥාතිවරයා උපයෝගී කොට ගෙන, තමාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුවට උපකාරක ධර්මයන් සකස් කොට ගන්නවා. මුලින් ඔහු සිතුවේ තමාගේ මිය ගිය ඥාතිවරයා සශ්‍රීක දිව්‍ය තලයක දෙවියක්, දිව්‍යාංගනාවක්ව ඉපදිලා සිටිනවාය කියලා. එම දැක්ම තුළින් ඔහු දේවතානුස්සතිය පුහුණු කළා. දැන් ඔහු පියවරක් ඉදිරියට ඇවිත් තම මිය ගිය ඥාතිවරයා සිහිපත් වන සෑම මොහොතක ම “සුවපත් වේවා!” යැයි මෙත් සිතක් ම ඇති කොට ගන්නවා. පින්වත, මේ සටහන කියවන පින්වත් ඔබ, ඔබේ මිය ගිය දෙමාපියන්, ඥාතීන් සිහිපත් කොට ගෙන “සුවපත් වේවා!” යැයි කියලා, මෙත් සිතක් ඇති කොට ගන්න. පින්වත් ඔබ ඔබේ මිය ගිය ඥාතිවරයා උපයෝගී කොට ගෙන ඇති කොට ගත් මෛත්‍රී චිත්තය, පින්වත් ඔබට මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් ඔබට ලබා දෙනවා. පින්වත, දානයේ සහ සීලයේ ආනිශංසයන්ට වඩා මෛත්‍රියේ ආනිශංස ධර්මයෝ ගොඩාක් ඉහළයි. පින්වත, ඔබේ මිය ගිය ඥාතිවරයා සිහිපත් කොට ගෙන ඔබ ඇති කොට ගත් මෛත්‍රී චිත්තයේ ආනිශංසයෝ, ඔබේ ඥාතිවරයාට පින් අවශ්‍ය නම් පුණ්‍ය සාගරයක් ම වෙනවා. මෛත්‍රී සමාධියකට අත්වැලක් වෙනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්‍ෂයා තම මිය ගිය ඥාතීන් නැවත ඉපදුණ තැන් සොයමින් දුකට පත් වෙද්දී, තම මිය ගිය ඥාතියාට පින් ගන්න බැරි බව සිතමින් පංච නීවරණයෝ කඳු ගසමින්, ප්‍රේතානුස්සතිය ම පුහුණු කරද්දී, සම්මා සම්බුද්ධ ශාසනයේ දක්‍ෂයා තම මිය ගිය ඥාතිවරයා උපයෝගී කොට ගෙන මෛත්‍රියේ පුණ්‍ය ප්‍රතිලාභයෝ එකොළහක් ජීවිතයට මුහුකොට ගන්නවා.

පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ දක්‍ෂයා ඉක්මවා ගිය අතිදක්‍ෂයෙකුත් සිටිනවා. පින්වත, ඔහු තම ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන් දිශාවට විදර්ශනාත්මකව ශක්තිමත් කොට ගන්න වීර්යය වඩන පින්වතෙක්. පින්වත, ඔහු තම මිය ගිය ඥාතිවරයා තුළින් අදක්‍ෂ ප්‍රේතානුස්සතිය පිළිකුල් කොට, දේවතානුස්සතියෙන් තම පුණ්‍ය සිතුවිලි අවදි කොට ගෙන, මෛත්‍රියෙන් තම සීල සහ සමාධි ධර්මයන් බල ගන්වමින්, තම මිය ගිය ඥාතිවරයා උපයෝගී කොට ගෙන සම්මා ඥානයන්ට පාර සොයා යන පින්වතෙක්. ඔහුගේ සම්මා ව්‍යායාමය මිය ගිය තම ඥාතීන් උපයෝගී කොට ගෙන, තමාගේ උපත සහ මරණය කියන අර්ථයන් දෙකම නිරෝධය කොට දැමීමට වීර්යය වැඩීමයි. පින්වත, ඔහු ශ්‍රී සද්ධර්මය මතකයට පමණක් නොව, ඔහුගේ ආධ්‍යාත්මයට දරා ගත් කෙනෙක්. පින්වත, මේ අතිදක්‍ෂයා තම මිය ගිය ඥාතිවරයා සිහිපත් වෙද්දී, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි උතුම් ධම්මානුපස්සනාව ම මතු කොට දකිනවා. ඔහු තම ඥාතිවරයාගේ මරණය උපාදාන පච්චයා භවය, භව පච්චයා ජාති යැයි පටිච්චසමුප්පාද ධර්මයන්ට ම භාර දී, තම මිය ගිය ඥාතිවරයා තුළින් “මම” සහ “මගේ” යැයි දකින ආත්මීය දෘෂ්ටියේ කුණු හැව ගලවා දමනවා. පින්වත, ඔබේ මිය ගිය ඥාතිවරයා මුල්කොට ගෙන ප්‍රේතානුස්සතියට සමු දෙන්න. පින්වත, දේවතානුස්සතිය ඔස්සේ මෛත්‍රී සමාධියටත්, සමාධිමත් සිතෙන් මතු කොට ගන්නා උතුම් සම්මා ඥානයන්ටත් ඔබේ මිය ගිය ඥාතිවරයා විදර්ශනාමය කමටහනක් කොට ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත, මේ සටහන කියවා ඔබ තුළ ඇති කොට ගත් සප්ත බොජ්ඣංගයන් වැඩෙන උපේක්‍ෂාවට නැවුණ සිතෙන් අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරන්න. පින්වත, අතීත පටිච්චසමුප්පන්න භවාත්‍රයේ ඔබට ඥාතියෙක් නොවුණ කෙනෙක් කෙසේ නම් සොයන්න ද? පින්වත, ඔබේ නමින් මිය ගිය සාංසාරික අතීත ඥාතීත්වයන් උදෙසා ඔබට කළ හැකි කෘතවේදී ම යුතුකම, ජීවත්ව සිටින ඔබගේ භව නිරෝධා ජාති නිරෝධෝ යැයි දකින නිවැරදි දැක්ම උදෙසා, ඔබේ මිය ගිය ඥාති පරපුරම කමටහනක් කොට ගැනීමයි. මෙය සටහන් තබන භික්ෂුවට අම්මා, තාත්තා කියන මතකය සිහිපත් වෙද්දී, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාවමයි උපදින්නේ. පින්වත, උතුම් ධම්මානුපස්සනාව තෘෂ්ණාවේ උපාදානයන්ට ආහාර අහිමි කොට දමනවා. පින්වත, ඔබේ මරණය, අවිද්‍යාව පරදා ජය ගන්න, එවිටයි ඔබ උපත පරාජය කළා වෙන්නේ.

පින්වත, අපි සම්මතයන්ට පිටුපාන්න හොඳ නැහැ. පින්වත, සම්මතයන් තුළ අපේ මුතුන් මිත්තන්, අපේ වැඩිහිටියන්, අපේ ඉතිහාසය ජීවත් වෙනවා. පින්වත, සම්මතයන් අපි ආරක්‍ෂා කොට ගන්නවා වගේ ම, දියුණු වෙන තාක්‍ෂණික ලෝකයට ඇතුළු වෙන්නත් අපිට අවශ්‍යයි. පින්වත, ඒ සඳහා අවශ්‍ය, කෘතවේදීභාවයේ පුංචි කැපවීමක් කරන්න පමණක් මයි. පින්වත, එයටයි නායකත්වය යැයි කියන්නේ.

පින්වත, සම්මතයන් විනාශ කොට ගෙන, අපිත් විනාශ වෙන්න නම්, නායකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. පින්වත, අසම්මත චින්තනයෝ ඒ පුංචි කැපවීම කරන්න කැමති නැහැ. පින්වත, කරුණාකර “ඉතිහාසය” ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. එසේ නොවුණොත් අපි ඉතිරි කොට අපේකම මැරී යාවි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2025 ජූලි 27 ඉරිදා දිවයින පුවත්පතින්.