පින්වත, අවිද්‍යාවේ මහ ගෙදර පංච නීවරණයෝ නිසා ම, කාමච්ඡන්දයෝ වැඩි වෙද්දී, සද්ධර්මයට අදාළ යහපත් පුරුදු අපිට අමතක වෙලා යන්න පුළුවන්. පින්වත, කාමච්ඡන්දයෝ නිවෙන, සංසිඳෙන, උපේක්‍ෂාසහගත වෙන සිතුවිලිවලට ප්‍රිය නැහැ. පින්වත, කාමච්ඡන්දයෝ කැමති ආස්වාදයෙන් ඇවිළෙන සිතුවිලිවලට. පින්වත, ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් ආරක්‍ෂා කොට ගන්න. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට එරෙහිව මෙහෙයවන, අවිද්‍යාවේ මුල් ම ප්‍රහාරක බල ඇණිය, ඵස්සය කෙරෙහි තෘෂ්ණාවයි. පින්වත, ඇසෙන් දකින, කනෙන් අසන, මනසින් දැනෙන ලෝකය යළි, යළිත් අවිද්‍යාවේ යටත් විජිතයක් බවට පත් කොට දෙන්නේත්, ඵස්සය කෙරෙහි තෘෂ්ණාව මයි.
පින්වත, අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට වඩින්න පෙරාතුව, “මා විසින් සමාදන් වූ වස් අධිෂ්ඨානය මේ උදෑසන යළි ආවර්ජනය කරමි” යි සිහිනුවණ නැවුම් කොට ගත්තා. පින්වත, කාමච්ඡන්දයෝ හේතුවෙන් යහපත් පුහුණු කිරීම් අපිට අමතක කොට දමන්න පුළුවන්. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවිතය තුළ දරාගෙන, අවිද්‍යා ලණු පොටේ, අතුරේ යන ගමනක් අපි යන්නේ. පින්වත, ඵස්සය අසලින් තෘෂ්ණාව ලිස්සුවොත්, ඇලීම්, ගැටීම් සංස්කාර මහ පොළොවටයි අපිව ඇදගෙන වැටෙන්නේ. පින්වත, ජීවිතය හරිම හදිසි අනතුරක්. ඵස්සයේ අවිද්‍යාව සිතුවිල්ලක්, සිතුවිල්ලක් පාසා ලෝකය සමග ගැටෙනවා, එක්කෝ ලෝකය සමග ඇලෙනවා. පින්වත, බැඳීයාම් හෙවත් උපාදානයන්ගේ බර බිමින් තියලා, ජීවිතයට විවේකයක් දෙන්න. හැබැයි ඉතින් විවේකය තුළ “මා සිටිනවා” යැයි කියලා, විවේකයත් තෘෂ්ණාවෙන් නම් ගන්න එපා. ඔබේ විවේකය ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ යැයි, ධම්මානුපස්සනාවෙන් ම දකින්න.
පින්වත, අවිද්‍යාවෙන් ඉන්ධන ලබන බාහිර පංච උපාදානස්කන්ධ ලෝකය, තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. අපි හැමෝගේ ම ජීවිත ඇලීම් සහ ගැටීම් දිශාවට බර වෙලා. පින්වත, ලෝකය උපේක්‍ෂාවෙන් විඳින්න තෘෂ්ණාව ඉඩ දෙන්නේ නැහැ. පින්වත, උතුම් සම්මා දිට්ඨිය අපිට කර්මය කර්මඵල විශ්වාසය ගැන කියලා දුන්නත්, අපි සොයන්නේ ලාභ, කීර්ති ප්‍රශංසා, ජයග්‍රහණ සහ සතුට පමණක් මයි. සංස්කාර ලෝකයේ ම කොටසක් වන අලාභ, නින්දා අපහාස, පරාජය සහ දුකට අපි කැමති ම නැහැ. පින්වත, ජීවත් වෙනවා වගේ ම, ජීවත් වෙන ඔබේ පංච උපාදානස්කන්ධ ලෝකය හඳුනා ගන්න. පින්වත, සළායතනයෝ ඉපදුණා ද, සළායතනයන්ගේ ඵස්සය, පෙරළා පටිච්චසමුප්පාද ලෝකය ජීවත් කරවනවා. පින්වත, අටලෝ දහම පටිච්චසමුප්පාද ලෝකයේ සැබෑ හැඩරුවයි. ලෝකයේ සැබෑ හැඩරුව අපි උපේක්‍ෂාවෙන් පිළිගන්න ඕනේ. පින්වත, ජීවිතයක් යැයි කියන්නේ, ආයුෂය, උණුසුම සහ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට. පින්වත, ජීවිතය තුළ තෘෂ්ණාව නැහැ. පින්වත, ඵස්සයේ විඳීමයි තෘෂ්ණාවට මුල් වෙන්නේ.
අතීතයේ වැඩ සිටිය උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත තුළත් ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණ ධර්මයෝ ක්‍රියාත්මකව තිබුණා, නමුත් එම උත්තරීතර ජීවිතවල තෘෂ්ණාව තිබුණේ නැහැ. පින්වත, තෘෂ්ණාව නිරෝධය කළ පූජනීය ජීවිත තුළින්, විකුණන සහ විකිණෙන තෘෂ්ණාවේ සාංසාරික පුරුදු නිවිලා ම යනවා. පින්වත, අපි තවමත් විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාර, විඤ්ඤාණ, ලාභ සොයන්න ආධ්‍යාත්මික සළායතනයෝ අවිද්‍යාවට විකුණනවා. පින්වත, අපි තවමත් අවිද්‍යාවෙන් අන්ධ සංස්කාර මුදලාලිලා. අපි තවමත් සිහිනුවණින් තේරුම් ගන්නේ නැහැ, රූපය වික්කොත් සහ රූපයට විකිණුනොත් අපි ලබන පරම ලාභය ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ යැයි කියලා.
පින්වත, මේ සවස් යාමයේ කුටිය වටාපිටාවේ පරිසරය හරිම මායාකාරියි. අහස සිප ගන්න තරගයක යෙදෙන කඳු වැටි පෙළේ එක පැත්තක් ඝන මීදුමින් වැසිලා, තවත් පැත්තක ලා මීදුම, තවත් පැත්තක සිහින් පොද වැස්ස අතරින් පතර දිලිසෙන කොළ පැහැයෙන් යුත් ශාක වියනක් යස අගේට පෙනෙනවා. පින්වත, විඳින්න කැමති ලෝකයට සංස්කාරයන්ගේ රස නහර පිනවන ප්‍රණීත ආහාරයක් බවට අවට පරිසරය පත් වෙලා. පින්වත, පරිසරය නමැති බාහිර රූපය යැයි කියන්නේ මායාකාරී සතර මහා ධාතුවක්. ඒ මායාකාරී සතර මහා ධාතුව නිරතුරුව ම වෙනස් වෙනවා. එම වෙනස් වීමයි අපි පාරිසරික විවිධත්වය, චමත්කාරය හැටියට දකින්නේ.
පින්වත, චමත්කාරජනක පාරිසරික රූපයන් ඉදිරියේ පැවිදි අපි ගොඩාක් සිහිනුවණ ඇති කොට ගන්න ඕනේ. පින්වත, අපේ පිනට, අපේ ඇසට අරමුණු වෙන චමත්කාරජනක පාරිසරික ආස්වාදයෝ විඳීමේ ගොදුරු බිමක් කොට ගන්න හොඳ නැහැ. පින්වත, විඳීම අයිති ඵස්සයේ තෘෂ්ණාවට යැයි සතිය සිහිය ඇති කොට ගනිද්දී, ඵස්සයෙන් ලෝකය ගැලවිලා යනවා. පින්වත, එවිට චමත්කාරජනක, මායාකාරී පරිසරය කායානුපස්සනාවට අදාළ ධාතු මනසිකාරය විනිවිද උතුම් ධම්මානුපස්සනාවට කමටහනක් ම වෙනවා. පින්වත, පරිසරය හරිම ලස්සනයි. ලස්සන පරිසරය අනිත්‍ය වූ සතර මහා ධාතුවක් යැයි දකින සිත, එක තැනම කෙලෙස්වලින් නිශ්චලයි.
පින්වත, මරණය අයිති වෙන්නේ අවිද්‍යාවට. පින්වත, පිරිනිවීම අයිති වෙන්නේ සම්මා විමුක්තියට. පින්වත, මරණය යැයි කියන්නේ ජාති පච්චයා ජරා, මරණ කියන ධර්මතාවයට. පින්වත, පිරිනිවීම අයිති වෙන්නේ ජාති නිරෝධා ජරා, මරණ නිරෝධෝ කියන ධර්මතාවයට. පින්වත, මරණය කෙරෙහි තෘෂ්ණාවේ උපාදානයෝ ඇති කොට ගන්න එපා. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ “මරණය” පටිච්චසමුප්පන්න තවත් උපතකට පාර කියනවා. පින්වත, රෝගීව මිය යයි ද? නීරෝගීව මිය යයි ද? පින්වත, හොඳ සිහියෙන් මිය යයි ද? අසිහියෙන් මිය යයි ද? පින්වත, නගරයේ මල් ශාලාවේ ද? ගමේ මල් ශාලාවේ ද? පින්වත, සඳුන් දැවයෙන් තැනූ පෙට්ටියක් ද? රබර් ලෑලි පෙට්ටියක් ද? පින්වත, එම්බාම් කරයි ද? කුණු වෙලා යයි ද? පින්වත, දේහය පසුපස සුසාන භූමියට යන්න පිරිවර සිටී ද? පින්වත, භූමදානය කරනවා ද? ආදාහනය කරනවා ද? පින්වත, මේ සියල්ල අයිති ලෝකයට. පින්වත, මේ සියල්ල අයිති ඵස්ස පච්චයා වේදනාවන්ට.
පින්වත, වයෝවෘද්ධ අම්මා කෙනෙක් භික්ෂුවගෙන් අසනවා, “ස්වාමීන් වහන්ස, තමන් මැරෙන වෙලාවේ අනිත්‍ය සිහිපත් කර ගන්න අමතක වෙයි ද?” කියලා. පින්වත, ඔය සිතුවිල්ල අයිතිත් ඵස්සය හේතුවෙන් සකස් වන විඳීමට. ඒ කියන්නේ ලෝකයට. පින්වත, මරණයට යළි පටිච්චසමුප්පන්නව උපතක් දෙන්න එපා. පින්වත, මරණය සිහිපත් වෙද්දී, අවිද්‍යාව මඟ හැර, ජාති නිරෝධා ජරා, මරණ නිරෝධෝ යැයි උතුම් ධම්මානුපස්සනාවට ම පණ දෙන්න. පින්වත, ඔබේ මරණය ආයෝජනය කළ යුත්තේ, උපතේ නිරෝධය උදෙසා මයි.
පින්වත, අද දවස පුරාම මෙහෙට වහිනවා. ඉදිරි තුන් මාසය මේ ප්‍රදේශයට තදින් වහින මාස තුනක්. පින්වත, ස්වභාව ධර්මය වස්සානයේ සැබෑ අරුත කියා දෙනවා. පින්වත, මේ උදා වුණේ පුණ්‍යවන්ත වස්සානයේ තුන්වැනි සතිය. පින්වත, වස් අධිෂ්ඨානයේ මතකය අමතක වෙන්න දෙන්න එපා, මතකය අලුත් කොට ගන්න. පින්වත, වස්සානය සිහිපත් වෙද්දී, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපේ මතකයට වඩින්න ඕනේ. පින්වත, එවිටයි අපේ වස් අධිෂ්ඨානයේ අරුත පිනෙන්, විදර්ශනාවෙන් පිරී ඉතිරී යන්නේ. පින්වත, මෙවර වස්සානයට භික්ෂුවට පහසුකම් සහිත හුරුබුහුටි, විවේකී කුටියක් ලැබුණා. පින්වත, පින ගින්දරක් වෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, සම්මා වායාමයන්ගෙන් උපදින පින සම්මා සතිය ඔස්සේ, සම්මා සමාධියටයි ඉලක්ක කරන්න ඕනේ. පින්වත, සම්මා සමාධිය, උතුම් සම්මා ඥානයන් උදෙසා, පෙරළා ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනාත්මකව ශක්තිමත් කොට දෙනවා.
පින්වත, මේ රාත්‍රිය පරිසරය ම මීදුමින් වැසී ගිය ශීතල නැවුම් රාත්‍රියක්. පින්වත, බාහිර සතර මහා ධාතුවේ ආස්වාදය විඳිය යුතු නොව, අවබෝධ කළ යුතු දහමක්. පින්වත, මේ ශීතල රාත්‍රියේ ඔබට තනිකමක් දැනෙනවා ද? පින්වත, එම දැක්ම තුළ “මම” සිටිනවා යැයි දකින්න එපා. පින්වත, “මම” කායානුපස්සනාවෙන් ගලවා දමන්න. එවිට එම තනිකමේ දැනීම මැකිලා යාවි. පින්වත, ඔබේ තනිකම විතර්කයන්ගෙන් ඔබට කරදර කරනවා නම්, තවදුරටත් ඔබ තනි වෙන්න එපා. පින්වත, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ශීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, මේ කවරෙක් හෝ සමීපයට ගන්න. පින්වත, ඔබේ තනිකම එවිට පිනෙන් ආලෝකවත් වේවි.
පින්වත, අපි හරිම පුණ්‍යවන්තයි. අපිට සද්ධර්මයේ සරණ හිමි යහපත් සදාචාරාත්මක, සිල්වත් වර්තමානයක් සහ අනාගතයක් තිබෙනවා. හැබැයි ඉතින් අවිද්‍යාව ම සරණ ගිය තෘෂ්ණාවේ කැත සහ කුණු එම වර්තමානය සහ අනාගතය තුළ ඕනෑවටත් වැඩියෙන් නැතුවා නොවේ. පින්වත, මේවා සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්. පින්වත, අවිද්‍යාව වැඩි තැන තෘෂ්ණාවේ කැත සහ කුණු වැඩියි. පින්වත, තෘෂ්ණාවේ මේ කැත සහ කුණු ධර්මයක් කොට ම දකින්න. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. පින්වත, අකුසල් සංස්කාරයෝ අකුසලයට ම බර දැනීම් සකස් කොට දෙනවා. පින්වත, සමාජයට නොඇලී සහ නොගැටී හේතුඵල ධර්මයන්ට අදාළව සමාජය දකිද්දී, සද්ධර්මයට ගරුකරන පුණ්‍යවන්ත ඔබේ පුණ්‍යවන්තභාවය, තව තවත් ශක්තිමත් වෙනවා.
පින්වත, පුණ්‍යවන්ත, සදාචාරාත්මක වර්තමානයක් සහ අනාගතයක් පමණක් නොවේ, අපිට පුණ්‍යවන්ත, භාග්‍යවන්ත, ප්‍රෞඪ ඉතිහාසයකුත් තිබෙනවා. පින්වත, එම ප්‍රෞඪ ඉතිහාසය හරිම පුණ්‍යවන්තයි. පින්වත, එම ප්‍රෞඪ ඉතිහාසය තුළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත් ලියවිලා තිබෙනවා. පින්වත, ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් කුමරෙක් වූ මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ, සංඝමිත්තා උත්තමාවියගේ ශ්‍රී නාමයනුත් එම ඉතිහාසය තුළ මොනවට ලියවිලා තිබෙනවා. පින්වත, අතීත රහතන් වහන්සේලා දස දහස් ගණනකින් පූජනීය වූ ඒ ප්‍රෞඪ ඉතිහාසය තුළ රටට, ජාතියට, සම්මා සම්බුද්ධ ශාසනයට ජීවිත පූජා කළ මාතෘභූමියේ පවට නොව, මාතෘභූමියේ පිනට උපන්, රාජකීය පෞරුෂත්වයෙන් මාතෘභූමිය ස්වයංපෝෂිත කළ පුණ්‍යවන්ත රජවරුන්ගේ නාමාවලිය සිහියට නැගෙද්දී, භික්ෂුවට හදවතින් සාධු! සාධු! කියල මයි මෙනෙහි වෙන්නේ.
පින්වත, අපිට තිබෙන්නේ පරාධීන වූ, අසත්පුරුෂ වූ, අමතක කොට දැමිය යුතු ඉතිහාසයක් නොවේ. පින්වත, අපිට තිබෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මනුෂ්‍යත්වයෙන්, සටන්කාමීත්වයෙන්, ස්වයංපෝෂිතභාවයෙන් වර්තමානයට පාඩම් කියලා දෙන ඉතිහාසයක්. පින්වත, එවන් ඉතිහාසයක් අමතක කොට දමන්නෝ විජාතික, ආධ්‍යාත්මය මළ චර්යාවන්ට දරදිය අදින ජාති අසත්පුරුෂයන් බවට මයි පත් වෙන්නේ. පින්වත, මේ නිරාගමික, මිථ්‍යා දෘෂ්ටික ජාති අසත්පුරුෂ ධර්මයෝ අතීතයේ දීත් ඉතිහාසයට බාධා කළා. පින්වත, අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, සීලයේ ශක්තියෙන් නැගී සිටිමු. පින්වත, දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනයි, අකුසලය පෙරළා දමා, ස්වයංපෝෂිතභාවයෙන්, මනුෂ්‍යත්වයෙන් පෝෂණය වූ ඉතිහාසයේ සුවඳ අනාගතයට ජීවත් කරවන්නේ.
පින්වත් උපකාරක පන්ති කරන ගුරු මහත්මයෙක් භික්ෂුවට මතක් කළා, පාසල් දරුවන්ගේ විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්න යනවාය කියලා. එය ඇත්තක් ද, බොරුවක් ද කියන්න භික්ෂුව දන්නේ නැහැ. පින්වත, කවුරුන් හෝ ඉතිහාසයට බිය නම්, ඔහු වර්තමානයට සහ අනාගතයට අදක්‍ෂයෙක් මයි. ඔහු රට, ජාතිය, සම්මා සම්බුද්ධ ශාසනය පමණක් නොව, ජාතියේ ප්‍රෞඪ ඉතිහාසයත්, විජාතික අසත්පුරුෂ චර්යා ධර්මයන්ට විකුණන්නෙක් ම වෙනවා. පින්වත, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් යළි, යළිත් ගොඩ නැගෙනවා. පින්වත, ගොඩ නැගෙන ලෝකය නැවත කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, මේ ලෝක ඇත්ත ඉදිරියේ ජාතියට අත්‍යවශ්‍ය, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය මයි. පින්වත, ප්‍රෞඪ ජාතියක ගාම්භීර දෑත් සහ දෙපා බොරුවට ආදරයෙන් පිරිමදිමින්, ජාතියේ පෞරුෂත්වයේ ආධ්‍යාත්මය වන ඉතිහාසය මකා දමන්න එපා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 අගොස්තු 03 ඉරිදා දිවයින පුවත්පතින්.