පින්වත, උපසම්පදා භික්ෂු ජීවිතයේ හෘද සාක්‍ෂිය හැටියට ගැනෙන තවත් අර්ථවත් වස්සානයක් උදා වෙලා. පින්වත, උතුම් උපසම්පදා ප්‍රාතිමෝක්‍ෂ සීලයටත් වඩා පියවරක් ඉදිරියට තබන වස්සානයේ සීලය, උපසම්පදා භික්ෂුවකගේ නොකැලැල් සීලයෙන් සවිමත් වන සම්මා වායාමයන්ගේ විවේකී පාරාදීසයක් වෙනවා. පින්වත, උපසම්පදා භික්ෂුවකගේ විවේකී සම්මා වායාමයෝ බාහිර ලෝකය මඟ හැර තමා තුළිනුයි විවේකය සොයන්නේ. පින්වත, ලෝකයේ සැබෑ විවේකය තිබෙන්නේ තෘෂ්ණාවේ මඟ වැසූ තමාගේ ම ඵස්සය තුළයි. පින්වත, දුර ගමන් යන්න කැමති විඳීමේ ලෝකය, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ට ළඟම තැනක නවතා ගන්න, සම්මා වායාමයන්ගේ විවේකය පැවිදි අපිට ගොඩාක් උපකාර කරනවා. පින්වත, කඳු වළලුවලින් වටවුණ, තේ දළුවල සුවඳ දැනෙන, විවේකයකින් තොරව කඩා හැලෙන දිය ඇලි බාහිර සතර මහා ධාතුව ගැන බණ කියන, මේ නිරහංකාර රාත්‍රියේ භික්ෂුවගේ, භික්ෂු ජීවිතයේ දහ අට වැනි වස්සානයයි, සිකුරාදා දවසේ පටන් ගත්තේ. පින්වත, රාත්‍රිය ශීතල වුණත්, ජීවිතය චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් උණුසුම්වයි අපි තබා ගත යුත්තේ. පින්වත, උදා වුණ අලුත් වස්සානය, ගෙවී ගිය අතීත සෑම වස්සානයක් ම උතුම් ධම්මානුපස්සනාවක් බවට මයි පත් කොට දෙන්නේ. පින්වත, ගෙවී ගිය භික්ෂුවගේ වස්සාන දහ හතක හොඳ සහ නරක මතක සටහන් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් දකිද්දී, උදා වුණ භික්ෂුවගේ දහ අට වැනි වස්සානය අවිද්‍යාව හේතුවෙන් සකස් වුණ අනිත්‍ය වූ සංස්කාරයන්ගේ ම තවත් මායාවක් බවට මයි ධම්මානුපස්සනාව තුළ විග්‍රහ වෙන්නේ.
පින්වත, සංස්කාර මායාවන්ට අපි පණ දෙන්න හොඳ නැහැ. පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි මමත්වයේ දැඩිභාවය සංස්කාර මායාවන්ට පණ දෙන්නේ උපසම්පදා සීලය ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි අවිද්‍යාවට පක්‍ෂපාතිත්වයෙන් මයි. පින්වත, “උපසම්පදා සීලය තුළ මා සිටිනවා, මා තුළ උපසම්පදා සීලය තිබෙනවා” යැයි ආත්මීය දෘෂ්ටිය අපිව නොමඟ අරිනවා. ගෞරවනීය පැවිදි අපිත් හරිම ආසයි “මට වස් විස්සයි, මට වස් හතළිහයි, මට වස් පනහයි” යැයි බොහෝම ආත්මාභිමානයෙන් ඉදිරියෙන් ම සිටින්න. අනේ සාධු! සාධු! ඒ උතුම් වැඩිහිටිභාවයන්ට අපි මෙත් සිතින් ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න ඕනේ. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට දවස ආරක්‍ෂා කරන මව්දෙමාපියෝ උන්වහන්සේලා මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත්, එවන් වැඩිහිටි උපාධ්‍යායන් වහන්සේලාගෙන් සද්ධර්මයේ මව් කිරි උරා බී, ළදරු පැවිද්ද උස් මහත් කොට ගත් භික්ෂුවක් මයි. පින්වත, උන්වහන්සේලාගේ වැඩිහිටි ඇසුර, දැක්ම, පෞරුෂත්වය නොලබන්න භික්ෂුවත් පැවිදි අනාථයෙක් ම වෙන්න තිබුණා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ වස් සීලයෙන්, ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලබන පූජනීය, ගෞරවනීය උපසම්පදා වැඩිහිටිභාවය යැයි කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවිතය මයි. පින්වත, එවන් දුර්ලභ ම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට වග කියන උතුම් වස්සානය පැවිදි අපි සහ ගිහි ඔබ, වස් ආරාධනයකට, වස් පින්කම් මාලාවන්ට, කඨින පින්කමකට, කඨින පෙරහැරට, චීවර පූජාවන්ට පමණක් ලඝු කොට දකින්න එපා. පින්වත, ගෞරවනීය පැවිදි අපේ උපසම්පදා සීලයෙන් පෝෂණය වූ, සංචාරයන් සීමා කොට තැබූ වස් සීලයත්, පින්වත් ගිහි ඔබේ උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ආජීව අට්ඨමක සීලයත් වස්සානයේ කොඳු නාරටිය හැටියට ම දකින්න. ගෞරවනීය පින්වත, උතුම් සීලයේ කොඳු නාරටිය බිඳගෙන සිදු කරන කඨින පින්කම්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ කොඳු නාරටිය බිඳ දැමීමට උපකාරක ධර්මයන් සකස් කොට දුන්නා වෙන්න පුළුවන්.
පින්වත, මේ ශීතල රාත්‍රියේ රැහැයියන්ගේ අඳෝනාවන්ගේ සීමාවක් නැහැ. පින්වත, කාම ලෝකයේ සත්ත්වයෝ කාමච්ඡන්දයන් විඳිද්දී, අනුන් ගැන, පරිසරය ගැන තැකීමක් කරන්නේ නැහැ. පින්වත, ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම්, බාහිර ලෝකය අමතක කරලා, තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය විඳිනවා. පින්වත, ඵස්සය තුළ අවිද්‍යාව සැඟවී තිබෙන තාක් කල් සැප, දුක්, උපේක්‍ෂාවෝ විඳින්න අපි හරිම ආසයි. පින්වත, මේ උදා වූ සුන්දර වස්සානය සැප හෝ දුක් විඳීම් බැහැර කොට ධර්මයේ උපේක්‍ෂාවෙන් හේතුඵල ධර්මයෝ මතු කොට දකින්න. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම විනයේ හේතුඵල ධර්මයක් හැටියට ම උතුම් වස්සානය දකින්න. පින්වත, දීර්ඝ ආයුෂ සහිත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක් අතීතයේ පැවතියා. මෙය සටහන් තබන භික්ෂුව ඒ අතීත පංච උපාදානස්කන්ධයෝ මේ සිතුවිලි නිසල රාත්‍රියේ නුවණින් මෙනෙහි කොට දකිනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව අතීත සම්මා සම්බුද්ධ ශාසනවල පටිච්චසමුප්පන්නව ඉපදිලා, උතුම් පැවිදි උපසම්පදාවන් ලබලා අද වගේ ම අතීතයේ වස්සානයන් ලක්‍ෂ කොතෙක් නම් ගෙවා දමන්න ඇති ද? පින්වත, වර්තමානයේ භික්ෂුව යැයි කියන්නේ පටිච්චසමුප්පන්නව අතීත සම්මා සම්බුද්ධ ශාසනවල උපසම්පදා වස් ලක්‍ෂ ගණනක් ගෙවා දැමූ, උපසම්පදාවෙන් ගොරහැඩි වූ භික්ෂුවක්. පින්වත, ඒ අතීත එකම පටිච්චසමුප්පන්න වස්සානයක්වත් වර්තමානයේ භික්ෂුවට අයිති නැහැ. පින්වත, ඒ පටිච්චසමුප්පන්න අතීත වස්සානයෝ සියල්ල ම මායාවක් සේ ම, මිරිඟුවක් සේ ම වෙනස් වෙලා ගියා. පින්වත, අතීත අවිද්‍යාව ඉතිරි කොට දුන්නේ වෙනස් වී ගිය සංස්කාරයෝ පමණක් මයි. පින්වත, සම්මා සම්බුද්ධ ශාසන අතුරුදන් කොට අපි පෙරළා පටිච්චසමුප්පන්නව ලෝකයට ම ගාල් වුණා.
පින්වත, පරිසරයේ සතර මහා ධාතුවේ වැඩි අයිතියත් අපෝ ධාතුව විසින් උදුරා ගත් මේ ශීතල රාත්‍රියේ, භික්ෂුවගේ විදර්ශනාමය සප්ත බොජ්ඣංගයෝ තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව වැඩෙන නිවැරදි දැක්ම, භික්ෂුවට සිහි කැඳවනවා, අතීත සම්මා සම්බුද්ධ ශාසනවල දී සිදු කළ වරද මේ භික්ෂු ජීවිතයේ දී යළි කර ගන්න එපාය කියලා. පින්වත, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සති සම්බොජ්ඣංගය මොනතරම් නම් කල්‍යාණ මිත්‍රයෙක් ද? පින්වත, අපිට රට වටේ, ලෝකය වටේ මොනතරම් නම් මිත්‍රයෝ සිටිනවා ද? දායක පින්වතුන් සිටිනවා ද? පින්වත, මෙසේ සටහන් තබද්දී, භික්ෂුවගේ මුවගට සිනහවක් නැගෙනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය තුළ ඔබව දුකෙන් මුදවන සැබෑ කල්‍යාණ මිත්‍රයා සිටින්නේ රට වටේ, ලෝකය වටේ නොවේ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ ඔබේම සති සම්බොජ්ඣංගයෝ තුළයි. පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සහ උතුම් සෝවාන්ඵල ආදි වූ අවබෝධාත්මක ධර්මයෝ මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් නිසා ම, මේ උතුම් දුර්ලභ අර්ථයන්ගෙන් දුර්ලභ ම ප්‍රයෝජනයක් ලබන්න නම්, පින්වත් ඔබත් සුලභ පුද්ගලයෙක් නොවී ලෝකයේ දුර්ලභ ම පුද්ගලයෙක් වෙන්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, ලෝකයත් ලෝකය තුළ ම තියලා, අපිත් ලෝකයේ ම කොටසක් වෙන්න හොඳ නැහැ.
පින්වත, අපි හැමදාම ජීවත් වෙන්න ඉපදුණා නොවේ. අතීත අවිද්‍යාවේ සංස්කාරයෝ අපේ ජීවිත සීමාසහිත කරලයි තිබෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුවගේ සීමාසහිත ජීවිතයෙන් තුන් කාලකටත් වැඩියෙන් දැනට ගෙවිලා ගිහිල්ලා. දැන් නම් බර කරත්තේ අදින්නේ වැඩිපුරම උපේක්‍ෂා ධර්මයන්ගේ ශක්තියෙන්. වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ උපේක්‍ෂා ධර්මයන්ට උපකාර කරනවා. ඒ වගේ මයි, භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත සංස්කාරයෝ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධවලටත් නොමිලේ ම උපකාර කරනවා. පින්වත, සංස්කාරයන්ට අදාළව ලෝකය දකිද්දී, බැඳීම් බහුල ලෝකය තුළ අපිව නිදහස් මනුෂ්‍යයෙක් බවට පත් කරනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය අයිති නිදහස් වීම්වලට, ශාසනය බැඳීම්වලට අයිති නැහැ. පින්වත, බැඳුණ තැන ඉදි වන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයයි. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ නාමයෙන් අපි මේ සොයා ගෙන යන්නේ බැඳීම් ම නේද? පින්වත, පැවිදි අපේ උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන්ට පසුවයි, බුදුරජාණන් වහන්සේ උතුම් සාමීචිපටිපන්න ගුණය පනවන්නේ. පින්වත, තමා චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ හික්මිලයි අපි අනුන්ව හික්මවිය යුත්තේ. පින්වත, අපේ හික්මීම මනින උපකරණය අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාවේ උපාදානයෝ විය යුතු නැහැ. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකය කවදාකවත් නිවැරදි වෙන්නේ නැහැ. එය සදාතනික ලෝක දහමක්. පින්වත, අපේම පටිච්චසමුප්පන්න අතීත සංස්කාරයෝ අපිව පසසනවා වගේ ම, අපිව විවේචනය කරනවා. පින්වත, ඔබ තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය මතු කොට ගෙන බාහිර ලෝකයට හොරෙන් ඔබේ ලෝකයෙන් නිදහස් වෙන්න. පින්වත, ඔබ ලෝකයෙන් නිදහස් වූ බව, බාහිර ලෝකය දැන ගත්තොත්, බාහිර ලෝකයේ තෘෂ්ණාවේ උපාදානයෝ, අවිද්‍යාවේ නිරෝධයටත් විවේචනයේ ගල්මුල් ගසාවි. පින්වත, ලෝකය අවබෝධ කොට ගන්න පෙර සංස්කාර ලෝකයේ හැසිරීම, ධර්මයේ උපේක්‍ෂාවෙන් හඳුනා ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, සංස්කාර ලෝකයේ වැරදි යනු හේතුඵල දහමක්. ලෝකය වැරදි යැයි දකින ඔබේ ආධ්‍යාත්මික ලෝකය නිවැරදි කොට ගන්න.
පින්වත, බැඳීම් හළ භික්ෂු ජීවිතයක් ගත කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට අනුශාසනා කොට තිබෙන්නේ. පින්වත, බැඳීම් භික්ෂු ජීවිතයකට හරිම බරක්. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ සැහැල්ලුව, “බැඳීම්” විසින් භික්ෂු ජීවිතවලට අහිමි කරනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව පාත්‍රයත්, තුන් සිවුරත්, ඖෂධ ටිකත් අරගෙන ඇවිත් හුදෙකලා විවේකී කුටියේ සිකුරාදා රාත්‍රියේ වස් අධිෂ්ඨානය සිදු කළා. කිසිම පින්වතෙකුගේ පෞද්ගලික වස් ආරාධනා වෙනදා වගේ ම, අදත් පිළිගත්තේ නැහැ. පින්වත, තවත් තුන් මාසයකට පස්සේ කුටියට වැඩියා වගේ ම, තුන් සිවුරත්, පාත්‍රයත් පමණක් අතැතිව ගමෙන් නික්ම යන්න ඕනේ. පින්වත, දෑත් හිස් වෙන කොට, ආධ්‍යාත්මය තුළ පිරී ඉතිරී යන දේවල් ගොඩාක් තිබෙනවා. ඒ දේවල් තමයි ශාසනය ජීවත් කරවන්නේ. පින්වත, පැවිදි අපි බැඳීම් පසුපස හඹා යායුතු නැහැ, බැඳීම්වලට යටත් විය යුතුත් නැහැ. බැඳීම් යනු තෘෂ්ණාවේ උපාදානයෝයි. පැවිදි අපි යටත් විය යුත්තේ උතුම් තෙරුවන්ට සහ චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පමණක් මයි. පින්වත, මේ සත්‍යය තේරුම් ගන්න නම්, සම්මා සමාධියක් තිබෙන්න ම ඕනේ. එතෙක් අපි අවිද්‍යාවේ රැවටිලිවලට ගොදුරක් වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව පරම විශ්වාසය තබන්නේ, භික්ෂුව චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළින් මතු කොට ගන්නා උතුම් විදර්ශනාමය කුසල් ධර්මයන් කෙරෙහි විශ්වාසයට පමණක් මයි. පින්වත, බාහිර ඇති සහ හැකි බැඳීම්වලින් තොර, යටත්වීම්වලින් තොර, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ගේ ඒකවිහාරී පෞරුෂත්වය, බාහිර ලෝකය පසුපස යාමෙන් නොව, පැවිදි අපි තුළින් ම මතු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, පැවිදි අපේ එම උත්තරීතර කැපවීම, පෙරළා පින්වත් ගිහි ඔබ සැමගේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව උදෙසා, පැවිදි අපේ සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ආයෝජනයක් බව සිහිනුවණින් තේරුම් ගන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 ජූලි 13 ඉරිදා දිවයින පුවත්පතින්.