පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම් පොතේ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි සඳහන් කොළය අපේ ජීවිතවලින් ගැලවී ගියත්, අපේ සක්කාය දිට්ඨියේ පාඩම් පොත නම්, දිලිසෙන සුදට සුදේ පිට කවරයක් දමලා හරිම අගේට තිබෙනවා. පරණ බවක් පේන්න ම නැහැ. සක්කාය දිට්ඨිය පොතේ සුදෝ සුදු පිට කවරයේ නම, ලිපිනය, දූරකථන අංකය, ඊ මේල් තව ගොඩාක් ජාති සටහන් කොට තිබෙනවා. අපේ අනන්‍යතාවය තලු මරමින්, පංච උපාදානස්කන්ධයෝ දිරිමත් කරනවා. පින්වත, කාලය ගෙවිලා යනවා, අපි දුවනවා, අපි යම් දවසක නැවතුණොත්, අපි දකිනවා, කාලය නොවේ ගෙවිලා ගියේ, අපි නොවේ දිව්වේ, ඵස්සය හේතුවෙන් සකස් වන වේදනාවෝ මයි කියලා. පින්වත, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පින්වත, කාලයත්, ජීවිතයත් අතීත සංස්කාරයෝ මත නැවතිලා. පින්වත, අතීත, වර්තමාන, අනාගත කාලයට ඉඩ දීලා, කාලය කෙරෙහි විශ්වාසයෙන් බලාගෙන සිටින්න එපා. විවේකීව කාලය සමග සාකච්ඡා කරන්න. කවදා ද ඔබට භව නිරෝධය සාක්ෂාත් කොට දෙන්නේ කියලා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත්, අතීතයේ කාලය සමග විවේකීව සාකච්ඡා කළා, කවදා ද භික්ෂුවට භව නිරෝධය සාක්ෂාත් කොට දෙන්නේ කියලා. පින්වත, එවිට කාලය බොහෝම විශ්වාසයෙන් භික්ෂුවට කිව්වේ, “කාලය” ගැන නම් දශමයක්වත් විශ්වාසයක් තියා ගන්න එපා. කාලය වන “මමත්” අනිත්‍ය වූ ධර්මතාවයක් පමණක් මයි කියලා. පින්වත, කරුණාකර මේ මොහොත සතර සතිපට්ඨාන ධර්මතාවයන් තුළ ජීවත් වෙන්න. එය මයි භව නිරෝධයේ අර්ථවත් කාලය වෙන්නේ.
පින්වත, ලෝකය යැයි කියන්නේ, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට. පින්වත, ඇසට නොපෙනෙන අවිද්‍යා මුදුන් මුලෙන් විකසිත වන, ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා, විඳීම් ලෝකය පටිච්චසමුප්පන්නව ජීවත් කර වන්න සංස්කාර ආයුෂ ලබා දෙනවා. පින්වත, ආධ්‍යාත්මික රූපය සතර මහා ධාතුවෙන් සෑදුණ රූකඩයක් වෙද්දී, එම රූකඩයට සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණ පච්චයා නාමරූපං කියන ධර්මතාවය ආයුෂයෙන්, උණුසුමෙන්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයෙන් පණ දෙනවා. පින්වත, ඉන් ඉක්බිති සළායතන හේතුවෙන් සකස් වන ඵස්සයෙන්, ලෝකය පටිච්චසමුප්පන්නව යළි යළිත් ලෝකය ම ගොඩ නගනවා. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ පහස නොලැබුණොත්, නැවතීමක් නැති ලෝකය, නොනැවතීම භව වන්දනාවේ යනවා. පින්වත, අපි මේ යන්නේ පටිච්චසමුප්පන්න භව වන්දනාවක. මේ භව වන්දනාවේ ලාභ අලාභ, කීර්ති ප්‍රශංසා, නින්දා අපහාස, සැප දුක් මේ සියල්ල ම තිබෙනවා. පින්වත, ලෝකය දුකට පමණක් සින්නක්කරව ලියා දීලා නැහැ. ලෝකය තුළ කුසල් ධර්මයන්ට නෑදෑකම් කියන රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයකුත් තිබෙනවා. පින්වත, ඔබේ ලෝකයේ දුක වැඩි නම්, ලෝකයට අභියෝග කරන්න එපා. ලෝකයට අභියෝග කළොත්, සංස්කාර යුද්ධය වැඩි වේවි. පින්වත, අපි හැමෝම අවිද්‍යාවේ යුද විශේෂඥයෝ. සංස්කාර යුද පිටිය අපිට ආස්වාදයක්. යම් පින්වතෙක් කුසලයේ මෝටාර් එකක් විද්දොත්, ඊට එරෙහිව අකුසලයේ මෝටාර් දහස් ගණනක් එල්ල වේවි. පින්වත, මේ යුද්ධය, යුද්ධ කරලා ජය ගන්න බැහැ. යුද වදින ලෝකය ඉදිරියේ ඔබ මධ්‍යස්ථ වෙන්න. ඊට එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
පින්වත, ඵස්සය හේතුවෙන් සකස් වන ඇලීම් සහ ගැටීම් යැයි කියන්නේ, තෘෂ්ණාවේ නිවුන් දරුවන් දෙන්නා. තෘෂ්ණාවට උපේක්‍ෂාව කියලා තෙවැනි දරුවෙකුත් ඉන්නවා. එම තෙවැනි දරුවා භව සැපයට කීකරු දරුවෙක්. පින්වත, ඊයේ දවසේ ඔබ තුළ ගැටෙන සිතුවිලි කොතෙක් නම් ඇති වුණා ද? ඊයේ දවසේ ඔබ තුළ ඇලෙන සිතුවිලි කොතෙක් නම් ඇති වුණා ද? ඊයේ ඇති වුණ ඇලෙන සහ ගැටෙන සිතුවිලි හේතුවෙන් මොනතරම් නම් අකුසල් සංස්කාරයෝ ඔබ ජීවිතයට එකතු කොට ගත්තා ද? පින්වත, ලෝභ, ද්වේශ, මෝහයෝ, කාමරාග, පටිඝයෝ, බිඳුණු සිල් පද ඇලෙන සහ ගැටෙන සිතුවිලිවල නීරස අස්වැන්නයි. පින්වත, ඊයේ දවසේ අපේ සංස්කාර ගිණුමට එකතු වුණ නීරස අස්වැන්න ගැන, අද දවසේ අපිට නිච්චියක්වත් නැහැ. ඊයේ දවස අමතක කරලා, අද දවසේ අපි යළි ඇලෙනවා සහ ගැටෙනවා. පින්වත, කල්ප විනාශයකට ලෝකය සකස් වන කාලයේ දී, මහා සාගරය සිඳිලා යනවා. මහා සාගරය, ජලය වියළී ගිය එකම වැලි තලාවක් බවට පත් වෙනවාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. එදාට සීමාමායිම්, වැටකඩුළු, තාප්ප, දේශසීමා නැති කාෂ්ටක මහ පොළොවක් පමණයි ඉතිරි වෙන්නේ. පින්වත, සත්ත්වයාගේ ඇලෙන සහ ගැටෙන සිතුවිලිවලින් උපදින අකුසල් සංස්කාරයෝ, කල්ප විනාශයක දී මහා සාගරයත් වියළි වැලි කතරක් බවට පත් කොට දමනවා. පින්වත, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන් වීමෙන් පසුව ඇති වන කල්ප විනාශය ගැන සිතන්න එපා, වර්තමානයේ ඔබ තුළ සකස් වන ඇලෙන හෝ ගැටෙන සිතුවිලි ගැන සිතන්න දක්‍ෂ වෙන්න. තවමත් අපි ඇලීම් සහ ගැටීම් අකුසල් සාගරයේ කිමිදෙමින්, අනාගතයේ මහා සාගරය සිඳ දැමීමට හේතු වන අකුසල් සංස්කාරයෝ අවිද්‍යාවට ප්‍රණීත ආහාර කොට දෙනවා. පින්වත, වර්තමානයේ ඔබ තුළ සකස් වන කුසලයට ගැටෙන සහ අකුසලයට ඇලෙන සිතුවිලි කල්ප විනාශයකටත් වඩා රුදුරු බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, දෑස් පියාගෙන ජලය සිඳී ගිය මහා සාගරයේ ගිනියම් වූ වැලි තලාව සිහියට නගා ගන්න. පින්වත, සත්ත්වයාගේ අකුසල් කඳු හේතුවෙන් සකස් වන බාහිර සතර මහා ධාතුවේ විකෘතිය, ධාතු මනසිකාරයට ම කමටහනක් කොට ගන්න.
පින්වත, අවිද්‍යාව යම් තැනක ද දුකේ ජාන එතැන තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුවත් ජරා, ව්‍යාධි, මරණ දුක් කන්දක් හිස මත තබා ගෙනයි වැඩ සිටින්නේ. එම දුක් කන්ද භික්ෂුවට අබමල් රේණුවක තරම්වත් බරක් නැහැ. පින්වත, දුකේ බර දැනෙන්නේ දුක වින්දොත්. පින්වත, දුක ධම්මානුපස්සනාවට ආහාරයක් කොට දෙන්න. පින්වත, ධම්මානුපස්සනාව, ඥාන දර්ශනයන් තුළින්, අවිද්‍යාවෙන් වැසුණ ලෝකය විවෘත කොට පෙන්වනවා. පින්වත, ඔබේ කැමැත්ත සහ අකමැත්ත ඔබ මගේ කොට ගන්න එපා. එය ඔබට හරිම සංස්කාර හිසරදයක්. පින්වත, ඔබේ කැමැත්ත සහ අකමැත්ත ධම්මානුපස්සනාවට බාර දෙන්න. උතුම් ධම්මානුපස්සනාවට පුළුවන් ලෝකයේ බරෙන් ඔබව සැහැල්ලු කරන්න. කැමැත්ත සහ අකමැත්ත ධම්මානුපස්සනාවෙන් විනිවිද දකිද්දී, එතැන උපදින්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්මයි. දුක කියන්නේ භික්ෂුවට නම් කමටහනක් පමණක් මයි. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයෝ අපේ වැරදි දැක්ම නිවැරදි කරද්දී, අපි තුළ උපදින දිට්ඨි විශුද්ධිය, ඉපදීමයි දුකට හේතුව කියලා, අපි අකමැති දුකේ, ලස්සන පාඩම අපිට කියලා දෙනවා. ඒ ලස්සන පාඩමේ දී, අපි ඉලක්ක කරන්නේ දුක නොවේ, ඉපදීමයි. පින්වත, ඉපදීමට මේ සුභ උපන් දිනේ යැයි ආස්වාදයෙන් උපන් දින කේක් කපලා, අපි දුකටයි අත්පොළසන් දෙන්නේ. පින්වත, උපත සැමරුවොත් යළි උපදිනවා මයි. පින්වත, ඔබේ උපත ධම්මානුපස්සනාවෙන් සමරන්න. උපන් දිනය දවසේ කේක් ගෙඩියක් කැපුවාට කමක් නැහැ, විඳීම් ගැන සිහිනුවණින් පසු වෙන්න. ඒ වගේමයි තම උපන් දිනය දවසේ අඩ හාමතේ ජීවත් වන දස දහස් ගණනක් පින්වතුන් සමාජයේ ජීවත් වෙනවාය කියන කාරණයත් සිහිපත් කොට ගන්න ඕනේ. පින්වත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන, ඔබේ පින්වන්ත උපත ධම්මානුපස්සනාවෙන් දකින්න. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, … , ජාති පච්චයා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව යැයි පටිච්චසමුප්පාද ධර්මයෝ සිහිපත් කොට ගෙන මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය යැයි නුවණින් දකින්න. එවිට ඔබ අවිද්‍යාවෙන් උපන් ඔබේ ජීවිතයෙන් ධම්මානුපස්සනාවයි දකින්නේ.
පින්වත, තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න. පින්වත, ඔබ තෘෂ්ණාව ජීවත් කළොත්, දුකයි ජීවත් වෙන්නේ. පින්වත, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියලා, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම පටන් ගත්තත්, අපි නොදන්නාභාවය නිසා ම, සිතාගෙන සිටින්නේ, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි කියලා. පින්වත, වචනයක වෙනසකට මොනතරම් නම් විනාශයක් කරන්න පුළුවන් ද? එම පුංචි වචනය වෙනස් කරන්නේත් තෘෂ්ණාව විසින් මයි. පින්වත, අනුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ නැහැ, අනුනගේ තෘෂ්ණාවෙන් පරිස්සම් වෙන්න. තෘෂ්ණාව නම් හරිම අරූපී අමාරුකාරයෙක්. පින්වත් ඔබ මේ අමාරුකාරයාට බිය වෙන්න එපා. වේදනානුපස්සනාවේ වේවැල අතට අරගෙන උපේක්‍ෂා සිතෙන් දමනය කොට ගන්න. පින්වත් ඔබ කලබලේට මේ අමාරුකාරයාට රිදෙන්න නම් ගහන්න යන්න එපා. ඔබ නොසන්සුන් වුණොත් තෘෂ්ණාවට මයි ආයුෂය, වර්ණය දුන්නා වෙන්නේ. පින්වත, ඔබේ හෘද සාක්‍ෂියට පොඩ්ඩක් තට්ටු කරලා අහන්නකෝ, තෘෂ්ණාව ගැන මොකද කියෙන්නේ කියලා. “අම්මෝ, තෘෂ්ණාව නැති ජීවිතේ රසයක් නැහැ” යි කියලා නේද කිව්වේ. පින්වත, අපි හැමෝම තෘෂ්ණාවට කැමතියි. පංච නීවරණ බොර දියේ දුකේ පතුල අපිට පෙනෙන්නේ නැහැ. පින්වත, දුකේ නිරෝධය උදෙසා, බරට බරේ පොත් මල්ල ඔසවාගෙන අපි පුණ්‍ය සිතින් සද්ධර්මයේ උපකාරක පන්ති ගියත්, නිවන් පාඩමේ මුල්ම පිටුව වන, ජාති, ජරා, ව්‍යාධි, මරණ සහ පංච උපාදානස්කන්ධ දුකට එකම හේතුව, තෘෂ්ණාව යන පාඩම් පිටුව ගැලවී ගිහින් නම්, උතුම් භව නිරෝධයේ සිහින, විඤ්ඤාණයේ තවත් මායාවක් ම වෙනවා නේද?
පින්වත, මේ දවස්වල දුක ලෝකය තුළ කඳවුරු බඳිනවා වැඩියි නේද? පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කුණු කූඩයට දමද්දී, දුක රජ වෙනවා. පින්වත, ලෝකය යැයි කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයට. පින්වත, ලෝකය තුළ සිදු වන සංස්කාර කරණම් දැකලා පසුතැවෙන්න එපා. පින්වත, චතුරාර්ය සත්‍යයෝ පසුබසිද්දී, දුකයි ලහි ලහියේ කඳවුරු බඳින්නේ. පින්වත, අපි මේ දෑස්වලින් දකින්නේ, අපි මේ කන්වලින් අසන්නේ, දෙවියෙක් හෝ මාරයෙක් දුන්න දෙයක් නොවේ, අපේ ම සංස්කාරයන්ගේ නිෂ්පාදනයක්. පින්වත, ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් තීව්‍ර වෙන කොට, අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික්කරුවෝ හැසිරෙන්නේ, වම් අතේ සුදු කොඩියත්, දකුණු අතේ ගිනි අවියත් තබා ගෙනයි. පින්වත, ලෝකය තුළ දුක් වැඩි වෙන්නේ අප්‍රමාදී පින්වතාට ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පින්වත, සත්පුරුෂ අප්‍රමාදී පින්වතාට ලෝකය අයිති නැහැ. ඔහුට අයිති ලෝකයෙන් නිවී යාමයි. පින්වත, පිනේ හාස්කමින්, අපි මහා රැවටීමක් තුළයි සිටින්නේ. මේ රැවටීම විවෘත කොට පෙන්වන්න බැහැ. සමාජය තුළ ඒ තරමට ම අවිද්‍යාව බලවත් වෙලා. උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවූ පින නිසා ම, අපි වර්ණය, සැපය, බලයේ සිරකරුවන් වෙලා. පින්වත, උතුම් තෙරුවන් හිස මත තබා ගත්තත්, චේතනාවෝ මාර ධර්මයන් නම්, බලාපොරොත්තු වෙන යහපත් අරමුණු ඉටු වෙන්නේ නැහැ. පින්වත, මාර චේතනාවෝ සඟවාගෙන, උතුම් තෙරුවන්ට අගෞරව කිරීමේ මහා පාප කර්මය, ඇතෙක් බරට විපාකයට පැමිණෙනවා. පින්වත, අවිද්‍යාව ප්‍රශ්න විසඳන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රශ්න අස්වද්දනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 ජූලි මස 06 වන ඉරුදින දිවයින පුවත්පතින්.