කැමැත්ත අකමැත්ත ඉදිරියේ ධර්මයේ උපේක්ෂාව.

පිංවත ඔබ සිතනවා ද ඔබට කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවාය කියලා. සමාජයේ ජීවත්වෙන සමහර පිංවතුන් සිතනවා තමන්ට සමාජයෙන්, රජයෙන් විතරක් නොවේ දෙවියන්ගෙන්, අමනුෂ්‍යයින්ගෙන් පවා අසාධාරණයන් සහ පීඩාවන් සිද්ධ වෙනවාය කියලා. අධික වැසි සහිත කාලයට වැස්ස පීඩා කරනවාය, අධික වියලි කාලයට හිරුඑළිය අපිට පීඩා කරනවාය කියලා කියන පිංවතුන් මොනතරම් නම් අපි අතර සිටිනවා ද? පිංවත ඔබ අත්විඳින ඔබ අකමැති සෑම අත්දැකීමක්ම පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස්වෙන හේතුඵල ධර්මයෝමයි. පසුගිය දිනයක පිංවත් මහත්මයෙක් භික්ෂුවට කොළ අටකින් යුක්ත ලිපියක් යොමු කළා. එම කොළ අට පුරාවටම ලියලා තිබෙන්නේ තමන්ගේ කායික සහ මානසික ප්‍රශ්නයි. පිංවත සමාජයෙන් සම්මා දිට්ඨියේ අර්ථයන් ගිලිහීයත්දි, විපාකයන්ට පැමිණෙන කුසල් සහ අකුසල් සංස්කාරයෝ අපි මම ය, මගේ ම යැයි සක්කාය දිට්ඨියෙන් දකිනවා. සංස්කාරයෝ අයිති අවිද්‍යාවටයි කියලා අපි දකින්නේ නැහැ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට හැමදාමත් අසනීප තත්ත්වයන් ඇතිවෙනවාය කියලා. එම පිංවත් දරුවාගේ මුහුණේ සිනහවක් නැහැ. කයේ ක්‍රියාශීලීභාවයක් නැහැ. භික්ෂුව එම දරුවාට දැනුම් දුන්නේ, මුලින්ම සිනහවෙලා ඉන්නය කියලා. ඔබ සිතන්න මේ ලෝකයේ සිටින නිරෝගීම දරුවා ඔබයි කියලා. පිංවත කරුණාකර අකුසලය විඳින්න පුරුදු වෙන්න එපා. අකුසලයේ දුක යටපත් කොටගෙන සතුටින් නැගී සිටින්න.

පිංවත සිංහල බෞද්ධ ජනතාවගේ පිනට උදා වූ සිංහල අලුත් අවුරුද්ද අතීතයට එකතු වුණා නේද? නැකත් මතභේද, චාරිත්‍ර වාරිත්‍ර, කිරිබත්, කැවුම්, කොකිස්, අවුරුදු උත්සව මේ සෑම දෙයක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා නුවණින් දකින්න. එම දැක්ම අයිති, සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින උතුම් ධම්මානුපස්සනාවටමයි. ගෙවීගිය සිංහල අවුරුදු සතිය පුරාවට ඔබ තුළ ඇතිවුණ හොඳ සහ නරක සෑම සිතුවිල්ලක්ම සිහියට නගාගෙන, එම සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න. එවිට ඔබ වර්තමානයේ චිත්තානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. ගෙවීගිය සිංහල අවුරුදු සතියේ ඔබ තුළ සකස්වුණ සෑම සැප වේදනාවක්ම, දුක් වේදනාවක්ම, උපේක්‍ෂා විඳීමක්ම සිහියට නගාගෙන, එම සෑම වේදනාවක්ම අනිත්‍ය බව නුවණින් දකින්න. එවිට ඔබ වර්තමානයේ වේදනානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. පිංවත මොහොතක් දෑස් පියාගෙන ඉහත ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ වේදනානුපස්සනාව ඔබ තුළ වැඩුණ ඔබේ අධ්‍යාත්මික රූපය, මොහොතක් ඔබ අට්ඨික සංඥාවෙන් දකින්න. එවිට ඔබ වර්තමානයේ කායානුපස්සනාව තුළ ජීවත් වෙනවා. පිංවත කරුණාකර අතීතයට එකතු වූ සිංහල අලුත් අවුරුද්ද තුළින් වර්තමානයේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝ ජීවිතයට එකතුකොට ගන්න. පිංවත 2025 වසරේ ඔබට වාසනාවන්ත සතුට පිරි සිංහල අලුත් අවුරුද්දක් අවශ්‍ය නම්, ඊට එකම මාර්ගය කාලා, බීලා, නටලා අසිහියෙන් වඩන කාමච්ඡන්දයන් නොව, උතුම් සම්මා දිට්ඨියේ ශක්තියෙන් ඇතිකොට ගන්නා සම්මා සතියම බව සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත සල්ලි රජ වූ සමාජයක ව්‍යවස්ථාව අයිති පංච නීවරණ ධර්මයන්ටයි. පංච නීවරණයෝ සතුට සොයන්නේ සංස්කෘතියෙන්, සදාචාරයෙන් හෝ සීලයේ ශක්තියෙන් නොවේ. පංච නීවරණයෝ සතුට සොයන්නේ අධ්‍යාත්මික පිරිසිදුභාවය කිළිටි කරන අකුසල් මූලයන් තුළින්මයි. පිංවත කරුණාකර පරිස්සම් වෙන්න. අනුන්ගෙන් නොව අනුන් නිසා ඔබ තුළ සකස්වෙන ලෝභ, ද්වේශ, මෝහ ධර්මතාවයන්ගෙන්. එක් මනුෂ්‍යයෙක් අරක්කු බීලා දුශ්ශීලභාවයෙන් විනාශවෙත්දි, තවත් මනුෂ්‍යයෙක් අරක්කු බොන අය සමග ගැටිලා අකුසලයෙන් විනාශ වෙනවා. පිංවත අපි කවදා ද මේ සමාජය නිවැරදි කොටගන්නේ? වරදකරු නොව, වරදට හේතුව මතුකොට දකින හේතුඵල ධර්මයෝ අපි කවදා ද මතුකොට ගන්නේ? මෙම ආසනය මත වාඩිවෙලා, භික්ෂුව සමාජය දෙස සිහිනුවණින් බලත්දි, පුද්ගල සංඥාවෙන් වරදකරුවෙක් දකින්නේ නැහැ. පිංවත වරද නොමනා ලෙස ජනතාව පාලනය කරන සමාජ ක්‍රමයයි. පිංවත වරද සමාජ ක්‍රමය යැයි දකිත්දි, දෙකෝටි විසි ලක්‍ෂයක් ජනතාවට සුවපත් වේවා යැයි කියලාමයි භික්ෂුවට සිතෙන්නේ. පිංවත මතගැටුම් වලින් සහ පුද්ගල සංඥාවන්ගෙන් භේදභින්න වූ සමාජයට හේතුඵල ධර්මයෝ මතුකොට දැකීම මයි නිදන්ගත සමාජ අවුල් වලට විසඳුම වෙන්නේ.

පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ සමාජවාදයවත්, ධනවාදය ගැනවත් නොවේ. උතුම් ලොවුතුරා දහමේ හේතුඵල ධර්මයෝයි. සමාජගත ප්‍රශ්නවලට හේතුව අමතකකොට ඵලයන්ට නොකෙරෙන බෙහෙත් සොයනා අපි වර්තමානයේ කොතැන ද සිටින්නේ? ජාති, කුල, ආගම්භේද, ධනවත් සහ දුප්පත් භේද, සිල්වත් සහ දුසිල්වත් භේද, මාංශ සහ නිර්මාංශ භේද. පිංවත බත් පිඟානේ මාළු කෑල්ලත්, පොලොස් ව්‍යංජනයත් මනසින් උසස් මනුෂ්‍යයෝ අපි, භේදයක් බවටම පත්කොට ගන්නවා. ලොවුතුරා දහම සෙවණේ හැදී වැඩුණ අපි තාමත් දක්‍ෂ වෙලා නැහැ, අපේ කැමැත්ත සහ අකමැත්ත ඉදිරියේ ධර්මයේ උපේක්‍ෂාව ඇතිකොට ගන්න. පිංවත එකිනෙකාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ දුර්වලභාවයන් පුද්ගල සංඥාවෙන් ගත්තොත්, අනුනගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ දුර්වලභාවය හේතුවෙන් පිංවත් ඔබ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වලකොට ගත්තා වෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය මාරයාය කියලා. රූපය ඇසුරෙන් සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ මාරයාය කියලා. පිංවත රූපය මාරයා නම්, රූපය ඇසුරෙන් සකස්වෙන දුර්වල ඉන්ද්‍රීය ධර්මයෝ අයිති මාරයාටමයි. පිංවත අපිට රූපයෙන් පලා යන්න බැහැ. රූපය සතුටින් පිළිගන්නත් බැහැ. රූපය දෙස ධර්මයේ උපේක්‍ෂාවෙන්මයි දැකිය යුත්තේ. පිංවත රූපය අයිති සතර මහා ධාතුවට, රූපය ආහාරයකොට යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය අයිති සංස්කාරයන්ට. සංස්කාරයෝ අයිති චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය මුල්කොටගත් අවිද්‍යාවටයි. පිංවත අවිද්‍යාව නමැති වෘක්‍ෂයේ කොළ, අතු, රිකිලි කාම ලෝකය පුරා පංච නීවරණ සුළඟේ දැවටී ලෙල දුන්න ද, අවිද්‍යා වෘක්‍ෂයේ ඇසට නොපෙනෙන මුදුන් මුල නිරය දක්වාම කිඳා බැස ඇති බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.

පිංවත සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගියත්, සිංහල අලුත් අවුරුද්දේ ජාතික සුවඳ, උදෑසනට පිණ්ඩපාතය බෙදන්න පැමිණෙන සමහරක් පිංවතුන් තුළින් තවමත් භික්ෂුවට දැනෙනවා. සිංහල අලුත් අවුරුද්දේ ජාතික සුවඳ යැයි භික්ෂුව සටහන් තැබුවේ තවමත් උදෑසන පිණ්ඩපාතයට පාත්‍රයට බෙදන කැවුම්, අතිරසවල සුවඳ නම් නොවේ. පිංවත විසඳුමක් පෙනෙන තෙක්මානයකවත් නැති ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වුණත්, මනුෂ්‍ය ධර්මයන්ට ගරු කරමින් උතුම් තෙරුවන් කෙරෙහි විශ්වාසයන්ට ගරු කරමින්, සිල්වත්භාවයෙන්, සිනාමුසු මුහුණෙන් අවුරුදු සැමරූ පිංවත් මනුෂ්‍යයින්ගේ ජීවිත තුළින් තවමත් ප්‍රකට කෙරෙන අධ්‍යාත්මික ගුණ සුවඳටයි. පිංවත අපි මේ ජාතික සුවඳ අනාගත පරපුරට ආරක්‍ෂාකොට තබන්නට ඕනේ. මේ ජාතියේ අධ්‍යාත්මික ගුණ සුවඳ, අරක්කු දුගඳින්, කාමරාග, පටිඝ දුගඳින් දූෂණය වෙන්න දෙන්න හොඳ නැහැ. විහාරස්ථානයක ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, මගේ පන්සල දැන් පොළක් වෙලාය කියලා. සමහරු පන්සලේ පිංකම් කරලා පිං හම්බ කරගෙන යනවා. තවත් සමහරු පන්සලේ පිංකම් සංවිධානය කරලා සල්ලි හම්බකරගෙන යනවාය කියලා. පිංවත පන්සලත් පොළක් බවට පත්කොට ගන්න උත්සාහ ගන්න යුගයක, බක් මහා සැණකෙලි නමින් හඳුන්වන අවුරුදු උත්සව පිංවත් ජනතාවගේ අධ්‍යාත්මික ගුණ සුවඳ මරා දමන, කාමරාග, පටිඝයෝ වඩන සංදර්ශන බවට පත්වෙමින් පවතිනවා නේද? පිංවත මුදල් රජ වූ සමාජයක යහපත් ගුණ ධර්මයෝ කුණු කූඩයට වැටීම ධර්මතාවයක්ම වෙනවා. පිංවත රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව කාමරාග, පටිඝයන්ගේ අකුසල් දුගඳ නොව, සමස්ත ජනතාවගේ ජාතික අධ්‍යාත්මික ගුණ සුවඳට ශක්තියක් ලබාදෙන අවුරුදු උත්සව බවට පත්කොට ගන්න. රට පුරා නැගී යන කාම රැල්ලට අවුරුදු උත්සව ගොදුරු වෙන්න දෙන්න එපා. පිංවත මත්වතුර නැතිව, මත්ද්‍රව්‍ය නැතිව, සංගීතයට නටන්නේ නැතිව මොන සතුටක් ද, මොන විනෝදයක් ද යැයි ප්‍රශ්න කරන සමාජයක් අපි ඉදිරියේ බිහිවෙමින් පවතිනවා. පිංවත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි අපිට කියලා දෙන්නේ සම්මා සතුටත්, මිච්ඡා සතුටත් අතර තිබෙන පරතරය, සුගතියත් දුගතියත් අතර තිබෙන මහා පරතරයයි කියලා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, සීලයෙන් පෝෂණය වූ සතුටයි, සම්මා සතුටක් බවට පත්වෙන්නේ. අශ්‍රද්ධාවෙන්, සිල්පද දුර්වල කොටගන්න සිතින් ලබන සතුට මිච්ඡා සතුටක් බවටමයි පත්වෙන්නේ. පිංවත ලැජ්ජාව සහ බිය නමැති දේව ධර්මයන්ගෙන් පෝෂණය වූ සිංහල බෞද්ධ අධ්‍යාත්මික ගුණ සුවඳ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගියත්, පිංවත් ඔබලාගේ ජීවිත තුළින් මැකී යන්න දෙන්න එපා.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, ඔබවහන්සේ ඥාතීන්ට, මියගිය අයට පිං අනුමෝදන් කරද්දි දශ දිශාවේම පිං බලාපොරොත්තු සත්ත්වයින් යැයි පිං දෙන්නේ ඇයි ද කියලා. පිංවත ඔබේ ඇසට සහ මනසට අරමුණුවෙන ලෝකය ඉතාමත් පටු වුව ද, අවිද්‍යාව ආධිපත්‍යය දරණ ලෝකය මහමෙරක් වගේම විශාලයි. පිංවත ඔබ කැමැති නම් පමණක් ඔබේ මවුබිම සමග බැඳුණ මියගිය ජාතියේ දරුවන් ගැන මෙහෙම සිතන්න. පිංවත 1971 වර්ෂයේ දී ඇති වූ කැරැල්ලේ දී මියගිය ජාති, ආගම්, පක්‍ෂ, සිවිල්, පොලීසිය, ආරක්‍ෂක හමුදා ආදී භේදයකින් තොරව මියගිය සියලුම දෙනාටත්, පිංවත 1983 වර්ෂයේ දී රට තුළ ඇවිලීගිය ජාතිවාදී කලබලවල දී මියගිය ජාති, ආගම්, සිවිල්, පොලීසියේ, ත්‍රිවිධ හමුදාවේ ආදී භේදයකින් තොරව සියලුම දෙනාටත්, 1989 වර්ෂයේ දී ඇති වූ කැරැල්ලේ දී මියගිය ජාති, ආගම්, පක්‍ෂ, සිවිල්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා ආදී වූ මියගිය සියලුම පිංවතුන්ලාටත්, පිංවත වසර තිහක් පුරාවට දිග්ගැසුණ උතුරේ කොටි ත්‍රස්තවාදී යුද්ධයේ දී මියගිය උතුරේ සහ දකුණේ ජාති, ආගම්, පක්‍ෂ, සිවිල්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව ආදී වූ මියගිය, ජීවිත පූජාකළ සියලුම පිංවතුන්ලාටත්, පිංවත මහා සාගරය වියරු ලෙසින් හැසිරීමෙන් මුහුද ගොඩගලා ඇති වූ සුනාමි විනාශයෙන් මියගිය ජාති, ආගම් භේදයකින් තොරව දහස් සංඛ්‍යාත අප්‍රමාණ වූ පිංවතුන්ලාටත්, ජාතියක් වශයෙන් අපි සියලු දෙනාම සිදුකොට ගන්නා උතුම් දානමය පින්, උතුම් සීලමය, මෛත්‍රීමය පින්, උතුම් ධර්ම දානමය පින්වල ශක්තියෙන් ඉහත මියගිය සියලුම භූමි පුත්‍රයෝ පිං බලාපොරොත්තු වේ නම් මෙම උත්තම පිං දකිත්වා, පරලොව ජීවිතයේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව උදෙසාම මෙම පිං හේතුවේවා යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්න. මේ මියගිය හැමෝම සහ අපි එකම අම්මාගේ දරුවෝ. අතීත සටන්බිම්වල දී ද්වේශයෙන්, වෛරයෙන් මියගොස් පටිච්චසමුප්පන්නව නරක, නපුරු අමනුෂ්‍යයින්, යක්‍ෂයින්, යක්‍ෂණියන්, බහිරවයන්ව උපත ලබා ජාතිය සමග පළිගැනීමේ චේතනාවෙන් පසුවෙන යම් අමනුෂ්‍ය පිරිස් වේ ද, එම රටත්, ජාතියත් සමග වෛරී සිතින්, පළිගැනීමේ සිතින් පසුවෙන සෑම මියගිය භූමි පුත්‍රයෙක්ම අපගේ මේ උතුම් මෛත්‍රියේ පුණ්‍ය සිතුවිලි දැක, සතුටු සිතින් මේ පිං අනුමෝදන් වෙත්වා! උදා වූ සිංහල අලුත් අවුරුද්දේ ජීවත්ව සිටින අපෙන් ලබන්නා වූ තුටු පඬුරක් සේ, කැවිලි පිඟානක් සේ පිං බලාපොරොත්තු සියලුම සත්ත්වයෝ මෙම පිං සතුටු සිතින් පිළිගනිත්වා!

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2024 අප්‍රේල් 21 වන ඉරුදින දිවයින පුවත්පත.