ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට නොබනින්න.

පිංවත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක සීලයේ ආරක්‍ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පිංවත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලැබුවා වූ පිංවතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත්, ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පන්කරුවන් නිසා පීඩාවට පත්වෙන පිංවතෙක් නම්, ඊට පටිච්චසමුප්පන්න හේතුව වෙන්නේ, ඔබ පෙර ජීවිතයේ දී දානය පූජා කළත්, ඔබ සමාජයේ ධනවත්භාවයට සහ දුප්පත්භාවය සමග ගැටෙන සිතෙන් කටයුතු කරලා තිබෙනවා. වර්තමානයේදීත් පිංවත් ඔබ දැකලා ඇති, දන් පූජා කරන දුප්පත් සහ මධ්‍යම පාන්තික පිංවතුන් අනුනගේ ධනවත්භාවයට ගරු කරන්නේ නැහැ. ධනවත්භාවයට ධර්මානුකුල හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. අනුනගේ වර්ණය, සැපය, බලයට ගැටෙමින් තමන් වර්ණය, සැපය, බලය ප්‍රාර්ථනා කරනවා. පිංවත කරුණාකර මේ දෙය කරන්න එපා. අනාගතයේ ඔබ ලබන සැපය ඔබටම හිසරදයක් වේවි. පිංවත් ඔබ සෑම රාත්‍රියකම සමාජයේ ජීවත්වෙන සෑම ධනවත් සහ දුප්පත් පිංවතුන්ලා සිහියට නගාගෙන සුවපත් වේවා යැයි මෙත් වඩන්න. එයමයි ඔබේ ධනවත්භාවය සුවසේ භුක්ති විඳින්න මාර්ගය වෙන්නේ. ඔබ අනුනගේ ධනවත්භාවයට වෛර කරමින් දන් පූජා කළොත්, ඔබ ධනවතෙක් වෙච්ච දවසක, ඔබේ ධනවත්භාවය පසුපස ලෙඩ රෝග, සොර සතුරු බිය පමණක් නොව ඔබට විරුද්ධව ධනපති පංතිය භංග වේවා යැයි නැගෙන අධර්මයේ සටන් පාඨත් ඔබව පීඩාවට පත්කරන්න පුළුවන්.

පිංවත බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දිවා රාත්‍රී නොබලා දේශනා කරත්දි, එම ධර්මය ශ්‍රවණය කළ පිංවතුන්, පිංවතියන් එම ධර්මය තමා තුළින් දරා ගැනීමෙන්, තමා තුළින් පුහුණු කිරීමෙන්, තමා තුළින් අවබෝධ කිරීමෙන් සිදුකළා වූ කැපවීම් නිසාම වර්තමානයේදීත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවමානව වැඩසිටිනවා. පිංවත අනාගතයේ යම් දවසක අපි උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්, කියවීමෙන් පමණක් සෑහීමට පත් වී, එම ධර්මය තමා තුළින් පුහුණු කිරීමෙන්, තමා තුළින් දරා ගැනීමෙන්, අවබෝධ කිරීමෙන් බැහැර වුණොත්, එදාට මේ උතුම් සද්ධර්මයෝ අතුරුදන් වෙලා යන්න පුළුවන්. මහා සංඝරත්නය වෙහෙස මහන්සි වී සද්ධර්මය දේශනා කරත්දී, යම් පිංවතෙක් එම සද්ධර්මය ශ්‍රවණය කරන්නේ හුදු සද්ධර්මයේ ආස්වාදය උදෙසා පමණක් නම්, සැබවින්ම ඔබ සද්ධර්මයට ණයකාරයෙක් වෙන්න පුළුවන්. පිංවත උතුම් සද්ධර්මය තිබිය යුත්තේ පුස්තකාලවල හෝ සමාජ මාධ්‍යවල නොවේ. සද්ධර්මය තිබිය යුත්තේ පුහුණුකළ, අවබෝධකළ අපේ ජීවිත තුළයි. පිංවත සද්ධර්මයේ ආස්වාදය කෙටියි. තම මුහුණු පොත්වල සහ යූ ටියුබ් නාලිකාවල ධර්ම කාරණා පුරවාගෙන සිටියත්, පුස්තකාල රාක්කවල ධර්ම පුස්තක අට්ටි ගසාගෙන සිටියත්, තම ජීවිතවල ධර්මයේ අර්ථයන් දුර්වල නම්, සද්ධර්මයේ කෙටි ආස්වාදය දීර්ඝ මෝහයට අදාළ ආදීනවයන් උරුමකොට දෙන්න පුළුවන්. පිංවත දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි. නමුත් ධර්ම දානයත් අවබෝධයට මුල් අදින සැබෑ දානයක් බවට පත්වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කරමඵල විශ්වාසය ධර්ම දානයේ අරටුව බවට පත්වුණොත් පමණක්මයි. ප්‍රණීතභාවය සහ සියතින් සකසා ධර්ම දානය පූජා කිරීමත් අරටුවේ සුගන්ධයටම හේතු වෙනවා. පිංවත මෙය සටහන් තබන භික්ෂුවට ධර්ම දානය ගැන කාගෙන්වත් අහන්න අවශ්‍ය නැහැ. භික්ෂුව අතීතයේ දන් දුන්නේ ධර්ම පුස්තක නොවේ, ධර්ම කැසට් පටි නොවේ. භික්ෂුව දන් දුන්නේ භික්ෂුවගේ සතුටයි, භික්ෂුවගේ නිදහසයි, භික්ෂුවගේ ආත්මගරුත්වයයි. අවසානයේ භික්ෂුව දන්දීලා තිබෙන්නේ පටිච්චසමුප්පන්නව අතීතයේ භික්ෂුව රැස්කොටගත් කුසල් සංස්කාරයි. පිංවත ජීවිතය ළඟ නැවතිලා ලෝකය දෙස බලත්දි, භික්ෂුවට තවත් ලබන්න කිසිවක්ම නැහැ. ඒ වගේමයි භික්ෂුවට ඔබ උදෙසා දෙන්න දෙයකුත් නැහැ. භික්ෂුව සියල්ල පටිච්චසමුප්පාද ධර්මය තුළ විසිරුවා දමලයි වැඩසිටින්නේ.

පිංවත ඔබ තවමත් ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට බණින්න එපා. ප්‍රශ්නය තිබෙන්නේ ඔබේ දුර්වල සංස්කාරයන්ගේ. විවේකීව කාලය අරගෙන කුසල් සංස්කාරයන්ගෙන් ශක්තිමත් වෙන්න. පිංවත සංස්කාර අයිතිත් මාරයාටයි. සංස්කාර මාරයාගේ සුවච කීකරු ලේ උරුමය වන විඤ්ඤාණය නමැති මායාකරුවා, නිරතුරුවම සංස්කාරයෝ අපයෝජනය ලක් කරනවා. පිංවත් ඔබ කුමන පිංකමක් සිදුකළත්, පිනෙන් ජීවිතය පුරවා ගත්තත්, ඔබ පින කෙරෙහි ඇතිකොට ගන්නා ලෝභ සිත, වර්ණය, සැපය, බලය කෙරෙහි තෘෂ්ණාව කාය කර්මයන්ට වඩා බලවත් අකුසල් මනෝ කර්මයන් ඔබට අයිතිකොට දෙනවා. පිංවත නිදහස් වෙන්න හැදුවත්, නිදහස් වෙන්න දෙන්නැති ලෝකයක්, ඵස්සයේ සැඟවුණ තාෂ්ණාව ඉදිරියේ තිබෙන්නේ. පිංවත ඔබ උතුම් සෝවාන්ඵලයට පත්වෙනවා යැයි සිතුවොත්, ඒ සිතත් ඔබ අල්ලා ගන්නේ තෘෂ්ණාවෙන්ම නේද? පිංවත අතහැරීම ඉදිරියේ තෘෂ්ණාව තිබෙන්න බැහැ. අතහැරීම ඉදිරියේ තිබිය යුත්තේ චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව හෝ ධම්මානුපස්සනාවයි. පිංවත යමෙක් සිතනවා නම්, අතහැරීම ලේසියි කියලා, ඔහු අතහැරීමත් තෘෂ්ණාවෙන් අල්ලා ගත්ත කෙනෙක් වෙනවා. යම් පිංවතෙක් සිතනවා නම් අතහැරීම අමාරුයි කියලා, ඔහු ලෝකය තෘෂ්ණාවෙන් අල්ලා ගත්ත කෙනෙක් වෙනවා. පිංවත අතහැරීම කියන සිතුවිල්ල, අතහැරීම කියන වචනය අනිත්‍ය වූ වචී සංස්කාරයක් යැයි දකිත්දි, ඒ දැක්ක සිත අයිති වෙන්නේත් ධම්මානුපස්සනාවටමයි. පිංවත ඔබේ අධ්‍යාත්මක රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ඵස්සයෙන් සකස්වෙන වචී සංස්කාරයෝ අයිති ධම්මානුපස්සනාවටමයි. පිංවත මැරුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳෙන්න නම් තෘෂ්ණාව මරා දමන්න ඕනේ. ලෝකය පටන් ගන්නේ අවිද්‍යාවේ රසගුණ තිබෙන ඵස්සය ළඟින්. අපි අනාගතයේ යම් දවසක ලෝකය අවසන් කරන්නේත් ඵස්සය අසලින්මයි.

පසුගිය සතියේ මේ ප්‍රදේශයට හොඳටෝම වැස්ස. අදත් වරින් වර වැස්ස එනවා, යනවා. වැස්ස දවස්වලට තම පිල් කළඹේ මඩ තැවරෙයි කියලා බියටදෝ, මොනරු ගස් වලින් බහින්නේ නැහැ. දවස පුරාම ගස් උඩට වෙලා කෑ ගසමින් සිටිනවා. බඩගින්න කෙරෙහි තිබෙන තෘෂ්ණාවට වඩා තම පිල් කළඹ කෙරෙහි තෘෂ්ණාව වැඩියි. සත්තුන්ගේ ලෝකයත් සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්මයි. භික්ෂුව මුල් වතාවට කුටියක් අසල මීමින්නෝ ජෝඩුවක් අද සවස දැක්කා. වැස්ස වැටිලා, තණපත් දලු දමලා, පරිසරය කොළ පාටින් නව යොවුන් වෙත්දි, සතුට වැඩිකමට දෝ මීමින්නෝ ජෝඩුව ආදරේ කරනවා. සත්තුන්ගේ ආදරය, මිනිසුන්ගේ ආදරය කියලා වෙනසක් නැහැ, ආදරය යම් තැනක ද, එතැන තෘෂ්ණාව දොරේ ගලා යනවා. පිංවත ඇයගේ නෙතින් ගලන කඳුළක්, ඔබගේ නෙතින් ගලන කඳුළක් සේ දකින්න ඔබ අකමැති නම්, ඔබ තවම ආදරයට සුදුස්සෙක් වෙන්නේ නැහැ. ආදරය නමැති හෝඩි පොතේ මුල්ම වචනය මනුෂ්‍යත්වයයි. පිංවත මේ සවස්යාමේ වැහි අඳුර නොතකා ගමේ පිණ්ඩපාත මඩුව දෙසින් ශ්‍රමදානයක හඬ ඇසෙනවා. සොදුරු සම්මා සම්බුද්ධ ශාසනය නිසා සමාජය පිබිදෙනවා, මිනිස් හදවත් කුසලයෙන් තිරිහන් වෙනවා. සත්‍යකින්ම ධර්ම විනය නමැති ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ නිමේෂයේදීත් ජීවමානව වැඩසිටිනවා. භික්ෂුව උන්වහන්සේව මේ නිමේෂයේදීත් මනසින් දකිනවා. ඒත් භික්ෂුව උන්වහන්සේට සාධුකාර දෙන්නේ නැහැ. උතුම් ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ මේ මොහොතේ ජීවමානව දැක්කා වූ සිත, චිත්තානුපස්සනාවෙන්ම දකිනවා. එවිට මුළු ලෝකයම අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක්ම වෙනවා. පිංවත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගාගෙන, එම සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේ දී පූජනීය අළු ගොඩක්, පූජනීය ධාතූන් වහන්සේලා ගොඩක්වුණ හැටි නුවණින් දකින්න. උතුම් දශපාරමී පුණ්‍ය ශක්තිය පිරිනිවන් මංචකයේ දී අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමැති උත්තරීතර සංස්කාරයෝත් වෙනස් වෙලා යත්දි, අපි පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේ තුළින් මෝහයට නොව, සතර සතිපට්ඨාන ධර්මයන්ටමයි පණ දියයුත්තේ. එවිටයි අපි හැමෝම ධර්ම විනය නමැති ජීවමාන බුදුරජාණන් වහන්සේට දීර්ඝායුෂ ලබා දුන්නා වෙන්නේ. පිංවත වර්තමානයේ ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේව දුශ්ශීලභාවයෙන් අපයෝජනයට ලක්කරමින්, පිරිනිවී ගිය ගෞතම බුදුරජාණන් වහන්සේට සාධුකාරදීම නම්, සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂයට අනතුරක්මයි වෙන්නේ.

පිංවත බුදුරජාණන් වහන්සේගේ ධර්මය වරද නිවැරදිකොට ගැනීමට මිසක්, වරද විවේචනය කිරීමට නොවේ. අපි හැමෝම සත්‍යය ඉදිරියේ තවමත් වැරදිකරුවෝ. පිංවත අපේ පරම පැතුම තෘෂ්ණාවයි. අපේ පරම ව්‍යායාමය තෘෂ්ණාවයි. අපේ පරම බලාපොරොත්තුවත් තෘෂ්ණාවමයි. පිංවත භික්ෂුව ඇතුළු අපි හැමෝම කරන්නේ බොරුවක්. මේ බොරුව නිසා අපි අපිවම රවටා ගන්නවා. තෘෂ්ණාව මුලට දමා අපි සොයන සැපය රත්තරන් වීදුරුවක දැමූ විස සහිත මිහිරි පානයක් වගේමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක දෑස් පනාපිට දකිමින්, අපි දුකම සතුටින් පිළි ගන්නවා. ඔබ තෘෂ්ණාව සතුටින් පිළිගනී ද, ඔබ ඒ සතුටින් පිළිගන්නේ දුකයි. පිංවත සද්ධර්මය නුවණින් මෙනෙහිකොට, සති සම්බොජ්ඣංගයෙන් නැගී සිටින්න. සති සම්බොජ්ඣංගය ඉදිරියේ දිග හැරෙන්නේ සද්ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ සම්මා වීර්යයමයි. පිංවත සම්මා වීර්යයෙන් අතීත පංච උපාදානස්කන්ධ ලෝකය දෙස බලන්න. භික්ෂුවගේත්, ඔබගේත් අතීතය මායාවක්, මිරිඟුවක්. භික්ෂුව එම අතීත මායාව, මිරිඟුව අනිත්‍ය වී ගිය සංස්කාරයෝ හේතුවෙන් සකස් වූ දැනීම් යැයි, ධම්මානුපස්සනාවෙන්මයි දකින්නේ.

පිංවත ගෙවීයන අද ඉරිදා දවසේ ඔබේම දුකට විපක්‍ෂව, ඔබේ තෘෂ්ණාවට පුංචි හෝ විවේකයක් දුන්නා ද? පිංවත් ඔබ අද දවසේ තෘෂ්ණාව අඩු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සිතුවිලි කීයක් නම් පෝෂණයකොට ගත්තා ද? ඔබේ හෘදසාක්‍ෂියට තට්ටුකොට අහන්න. පිංවත අපි හැමෝගේම අතීත අකුසල් වැඩියි. අපි මුවින් සිනාසුණත්, අපේ ජීවිත ඇතුළතින් ලෝකෙට හොරා හඬනවා. පිංවත ඔබ දන්නවා ද ඊට හේතුව කුමක් ද කියලා. අපි අතීත සංසාරයේ අනුන් ඉදිරියේ බොරුවට සිනාවෙලා, බොරු හිතවත්කම් පෙන්වලා, අනුනට හදවතින් ද්වේශ කරලා, නපුරු, නරක සිත් ඇතිකොටගෙන තිබෙනවා. පිංවත සංස්කාර අධිකරණය හරිම සාධාරණයි. සංස්කාර යැයි කියන්නේ යාළුවෝ සහ තරහකරුවන් නැති අරූපී ධර්මතාවයක්. ඒ නිසාම විනිශ්චය තිතටම නිවැරදියි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2024/04/28 දිවයින ඉරුදින පුවත්පත.