ඇත්ත වසා දමමින් ප්‍රශ්න වලින් පලා නොයන්න.

පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙනකොට, මනුෂ්‍ය ජීවිතවල මිච්ඡා ආජීවයෝ වැහි වහිනවා. මෙම මිච්ඡා ආජීවයන්ගේ මහා වැසිවලට තෙමිලා, අහිංසක ජනතාව වයස් භේදයකින් තොරවම බලවත් කර්ම රෝගයන්ට ගොදුරු වෙනවා. අද උදෑසන පිණ්ඩපාත මඩුවට පිළිකා රෝගය වැළඳුණ පිංවතියන් තුන් දෙනෙක් ඇවිත් සිටියා. සංඝ සමාජයේ අපි රකින ශීලයේ ශක්තියෙන්, මෙත් සිතින් ආශීර්වාද කරනවා හැරෙන්නට, මෙම අහිංසක පිංවතුන්ට අපි වෙන කුමක් නම් කරන්න ද? පිංවත සත්ත්වයා කර්මය මගේ කොටගෙන උපදියි. සත්ත්වයා කර්මය ඥාතියා කොටගෙන උපදියි. බුදුරජාණන් වහන්සේ මෙවන් අර්ථවත් ධර්මයන් අපිට දේශනාකොට තිබෙන්නේ, ධර්මානුකූලව සිහිනුවණින් සමාජය නිවැරදිකොට ගන්නයි. පිංවත වසවිස වෙළඳාම මිච්ඡා ආජීවයක් වෙනවා. දුම්වැටි, අරක්කු, මත්ද්‍රව්‍ය, හොර අරක්කු විකිණීම මිච්ඡා ආජීවයක්. පිංවත වර්තමානයේ එළවළු, පලතුරු, මාළු, කරවලවලට පවා වසවිස මුසු කරනවා. පිංවත ජනතාවාදී රජයක යුතුකම මේ මිච්ඡා ආජීව රැල්ලේ අත්තටු සිඳ දැමීමයි. එය එසේ නොවුණොත් සමස්ත ජාතියම පිළිකා ආදී වූ කර්ම රෝගයන්ගේ ගොදුරක්ම වේවි. පිංවත බල අරගලයන්ගේ කරවටක් ගිලුණ අපේ පවුකාර දේශපාලනය, ඉහත ඇත්ත කෙසේ නම් තේරුම් ගන්න ද?

පිංවත බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ලෞකික සැප ලැබීමේ එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මිච්ඡා ආජීවයෝ තහනම් ධර්මතාවයක්. උතුම් සම්මා ආජීවයන්මයි, පිංවත් ජනතාවගේ කායික, මානසික සැපයට මුල් වෙන්නේ. නමුත් වර්තමාන සමාජයේ මිච්ඡා ආජීවයන්ට රාජ්‍ය අනුග්‍රහයන් ලැබෙනවා. ඉන් අදහස් වෙන්නේ පිළිකා ආදී වූ කර්ම රෝගයන් වර්ධනය කරන්න රාජ්‍ය අනුග්‍රහයන් ලැබෙනවාය කියන කාරණයයි. පිංවත වේගයෙන් සමාජගතවෙන පිළිකා රෝගය කියන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් ඔබට දෙන දෙයක් නොවේ. අපි ජීවත්වෙන සමාජය තුළින්ම ඔබට ලැබෙන දෙයක්. පිංවත මුළු රටම පිළිකා ආදී වූ කර්ම රෝගයන්ට ගොදුරුවීමට පෙරාතුව කරුණාකර සමාජය නිවැරදි කොටගන්න. හෙට උපදින පරපුරට යම් පමණකට හෝ නිරෝගී අනාගතයක් ඇතිකොට දෙන්න, ඔබේ ගෞරවනීය යුතුකම සමාජය වෙනුවෙන් ඉටු කරන්න. වර්තමානයේ රටේ තිබෙන්නේ, බලකාමී දේශපාලනයේ වංචාකාරී ඝෝෂාවන් මිස, පිංවත් ජනතාව දුකෙන් මුදා ගන්න ඝෝෂාවක් නොවේ. පිංවත පසුගිය දවසක පිංවතෙක් ජනාකීර්ණ නගරයක සැකරින් යෙදූ ආහාර විකුණන වෙළඳ රථයක් ගැන අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයාට දුරකථනයෙන් දැනුම්දීලා තිබෙනවා. එවිට එම සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයා කියනවාලු, අපි වැටලීම් සිදුකරලා වැඩක් නැහැ. අපි ඔය ආහාර සාම්පල් අදාළ දෙපාර්තමේන්තුවට යොමුකළහම මුදලාලිගේ අල්ලසට යටවෙලා සැකරින්, සීනි බවට පත්වෙලා වාර්තාව එවනවාලු. අවසානයේ අපේ කාලය, ශ්‍රමය, ධනය නිකරුණේ වැය වෙනවා පමණක් නොවේ, අපි සතුරනුත් ඇතිකොට ගන්නවාය කියලා අදාළ සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයා බොහෝම කාරුණිකව දැනුම් දුන්නාලු. පිංවත අදාළ විෂ සහිත ආහාර පරිභෝජනයට ගන්නා අහිංසක දරුවන්ට, වැඩිහිටියන්ට කාගේ නම් පිහිටක් ද? පිංවත ප්‍රමිතිය තද නින්දේ පසුවෙන රටක, පිංවත් ජනතාවගේ සෞඛ්‍යය, මරණය දෙසට අයාලේ යනවාය කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා.

පිංවත අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි අපේ විමුක්තිය හෙවත් භව නිරෝධයට වීර්යය වඩනවා වගේම, අපිව සිවුපසයෙන් ජීවත්කරවන අහිංසක ගිහි සමාජයට, අපේ ශීලයන් ආරක්‍ෂා කොටගෙන, ධර්මානුකූලව ධර්මය පැහැදිලි කොටදිය යුතුයි. හැබැයි එහි සීමාවක් තිබෙනවා. සමාජගත අකුසල් වැඩිවීම හේතුවෙන්, සමාජගත තෘෂ්ණාවේ මාරාවේශය වැඩිවීම හේතුවෙන් සමාජය ධර්මානුකූලව නිවැරදිවීමට යොමු නොවෙනවා නම්, මෙය සටහන් තබන භික්ෂුවගේ පෞද්ගලික මතය, එතැනයි භික්ෂුවගේ සීමාව කියලා. පිංවත නොකෙරෙන වෙදකම්වලට බෙහෙත් කියලා තේරුමක් නැහැ. අපිත් විරුද්ධවාදීන් ඇතිකොට ගන්නවා පමණක්මයි. පිංවත පිළිකා රෝහලේ නම වෙනස් කළාය කියලා මේ සමාජගතවෙන කර්ම රෝග පෙළහර අඩපණ කරන්න බැහැ. සත්ත්වයා කර්මය සෙවණැල්ල කොටගෙනයි උපදින්නේ. එම නිසා අපි හැමෝම පසුපස පටිච්චසමුප්පන්නව විපාකයට පැමිණීමට අකුසල් සංස්කාර තිබෙනවා. මෙන්න මේ අතීත අකුසල් මැඩගෙන කුසලයෙන් නැගී සිටින්න නම්, ධාර්මිෂ්ඨ, කර්මය කර්මඵල විශ්වාසය තිබෙන නායකයෝ රටක ඉන්න ඕනේ. ධාර්මිෂ්ඨ නායකයෙක් ධර්මානුකූලව දන්නවා රටේ නීතිය, විනයගරුකභාවය බිඳ වැටුණොත්, රට අල්ලසට, දූෂණයට, වංචාවට යොමු වුණොත් පිංවත් ජනතාව අකුසලයෙන් අනතුරට යනවාය කියන කාරණය. වර්තමානයේ රටේ නීතියක්, විනයගරුකභාවයක්, ශිල්වත්භාවයක්, කෘතවේදීභාවයක් නැහැ. අද රටේ තිබෙන එකම ඝෝෂාව තෘෂ්ණාවෙන් මාරාවේශ වූ බලකාමී දේශපාලනයේ ගොරහැඩි ඝෝෂාව පමණක්මයි. පිංවත පවතින ක්‍රමයන් තුළ ජාතියට ඉදිරියේ දී හොඳක් නම් සිහිනයකින්වත් බලාපොරොත්තු වෙන්න එපා. අධර්මයෝ, අධර්මයන්මයි බලගන්වන්නේ. පිංවත සමස්ත ජාතියටම වෙනසක් අවශ්‍යයි, හැබැයි එම වෙනස මෙතෙක් බලයට පත්නොවූ තවත් කණ්ඩායමක් බලයට පත්කිරීමේ වෙනසක් නම් නොවේ. එම වෙනස ධර්මානුකූල වෙනසක් වියයුතුයි. කර්මය කර්මඵල විශ්වාසය පිළිගන්න, ස්ත්‍රීත්වයේ ආත්මගරුත්වය, ආරක්‍ෂාව සුරකින, මිච්ඡා ආජීවයට නීත්‍යානුකූලව වැට බඳින, නිෂ්පාදනය තුළින් ආර්ථිකයට පණ සොයන, ධර්මය සහ අධර්මය වෙන්කොට හඳුනන වෙනසක් ජාතියට අවශ්‍යයි.

පිංවත අධාර්මිෂ්ඨ පාලක පිංවතුන්ලාගේ තෘෂ්ණාවේ මානසික ව්‍යාධීන් හේතුවෙන් සමාජය තුළ නව යෞවනයෙන් තිරිහන්වෙන වසවිස සහිත ආහාර රැල්ල, පිංවත් ජනතාවගේ සෞඛ්‍යය සහ ජීවත්වීමේ අයිතිය සාහසික ලෙස උදුරා ගනිත්දී, මිච්ඡා ආජීවයේම ලේ ඥාතියෙක් වෙන මිනිස් වෙළඳාම, හතු පිපෙන්නාක් මෙන් පිපෙන ස්පා ආයතන හරහා ජාතියේ සදාචාරයේ ගෙල මිරිකා මරා දමමින් සිටිනවා. පිංවත ආදරණීය අම්මෙක් සහ අප්පෙක් නැති රටක, නපුරු කුඩම්මෙක් සහ නපුරු බාප්පෙක් ජාතියේ භාරකාරත්වය තම අයිතියක් කොටගනිත්දී, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ රටේ ජීවත්වෙන කුඩා ළදැරියගේ පටන් යෞවන, මධ්‍යම, වයෝවෘද්ධ කාන්තාවගේ ආරක්‍ෂාව, ආත්මගරුත්වය, රැකවරණය, සුබසාධනය රටේ රජතුමා විසින් සහතික කළයුතුයි කියන, උතුම් සදාචාරාත්මක ධර්මයෝ සංඝ සමාජයේ අපි කාටනම් දේශනා කරන්න ද? පිංවත බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උත්තරීතර ධර්මයෝ අසරණව බලා සිටියදී, සමාජය පණ දෙන්නේ මාර පාක්‍ෂික ධර්මයන්ටම නේද? සමාජගත මිච්ඡා ආජීවයෝ සත්‍යයෙන් කකියන හදවත් ඇති ඇත්තන්ට බල කරනවා, හොඳ සිහියෙන් මෙම සමාජ විකෘතීන් දෙස බලා සිටින්නට බැරිනම්, මිච්ඡා ආජීවයේ තවත් ලේ ඥාතියෙක් වෙන, මතින් මත් වී සිහිය විකල් කොටගෙන විනාශයන්, ආදීනවයන් ආස්වාදයක් ම කොටදකින්නය කියලා. පිංවත අකුසල් මාරයා මේ ඔබෙන් සාහසික ලෙස උදුරා ගන්නේ ඔබේ නිරෝගීභාවයයි. පිංවත් ඔබේ ජීවත්වීමේ අයිතියයි, පිංවත් ඔබේ පරලොව සැපයයි. පිංවත අපි සනාථ වූ ධර්මයක් උරුමකොටගත් අනාථයෝ පිරිසක් නේද? පිංවත බරපතළ සහ සාහසික ආකාරයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සමාජගත කරන මිච්ඡා ආජීව රැල්ලට එරෙහිව මෙත් සිතින් අවදි වෙන්න. පිංවත සත්ත්ව හිංසනය වෙනුවෙන් බල්ලෝ, පූසෝ, අලි, කුරුල්ලෝ වෙනුවෙන් විතරක් නොවේ, කැලේ ගහකොළ වෙනුවෙන් පරිසරය වෙනුවෙන් සටන් කරන, අධිකරණයට යන අප්‍රමාණ සංවිධාන තිබුණත්, පිංවත් මනුෂ්‍ය සමාජය අමු අමුවේ රෝගී කරන, මරා දමන අරක්කු, මත්ද්‍රව්‍ය රැල්ලට, වසවිස ආහාර රැල්ලට, ස්පා මනුෂ්‍ය වෙළඳාම් රැල්ලට සමාජය අන්ධ, ගොළු, බිහිරිභාවයෙන්මයි ප්‍රතිචාර දක්වන්නේ. පිංවත අපි මේ අසිහියෙන් ගොඩ නගන්නේ මාරයාගේ අකුසල් අධිරාජ්‍යයයි. තෘෂ්ණාවේ නිල සහ බල පෙරේතයන්ට, තෘෂ්ණාවේ සල්ලි කොළ පෙරේතයන්ට සව්දිය පිරීම උදෙසා, අහිංසක ජනතාවගේ අධ්‍යාත්මය මරා දමමින්, මනුෂ්‍ය වෙළඳාමෙන්, වසවිස ආහාර වෙළඳාමෙන්, මත්වතුර, මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් සමාජය ගමන් කරවන්නේ පිංවත් ජනතාව රෝගීභාවයෙන් උවමනාවෙන්ම ඔත්පල කරන මාර ක්‍රියාන්විතයක් දිශාවට බව නුවණින් තේරුම් ගන්න.

පිංවත පිළිකාවක් යනු කර්ම රෝගයක් බව ඇත්ත. නමුත් පිළිකා රෝගය කර්මයට බාර දී තෘෂ්ණාවේ මාරයාට තෑගි දෙන්නේ නැතිව, සමාජයට අකුසල් සංස්කාරයෝ පැටව් ගස්සවන, කර්මය කර්මඵල විශ්වාසය වඳ බැහැපු සමාජගත දේශපාලන කිලි සහ කුණු සමාජයෙන් සෝදා හරින්න. මිච්ඡා ආජීවයෝ වන වසවිස ආහාර වෙළඳාම, මත්වතුර, මත්ද්‍රව්‍ය වෙළඳාම, මනුෂ්‍ය වෙළඳාම, ස්පා තුළින් අධර්මයන්ගෙන් කායිකව සහ අධ්‍යාත්මිකව මරණයට කැපකළ අහිංසක මිනිසුන්ව මරණයෙන් නිදහස් කොටගන්න. පිංවත හෙට දවසේ ඔබේ මනුෂ්‍යත්වයේ පිංකම වියයුත්තේ සමාජගත මිච්ඡා ආජීවයන් හේතුවෙන් රෝගීභාවයට, මරණයට කැපකළ අහිංසක මනුෂ්‍යයින් මරණින් බේරා ගැනීම බව සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත දෙමටගොඩ මස් මඩුවේ මරණයට කැපකළ ගවයන්, එළදෙනුන් දෙසීයක් අද දවසේ සිටීවි. පිංවත කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් රාජ්‍ය අනුග්‍රයෙන් සමාජගත කෙරෙන මිච්ඡා ආජීවයන් හේතුවෙන් රෝගීභාවයෙන් මරණයට කැප වූ දස දහස් ගණනක් අහිංසක මනුෂ්‍ය ජීවිත තිබෙන බව භික්ෂුව විවෘතව සටහන් තබනවා.

පිංවත වර්තමානයේ ගම්මානවල ජීවත්වෙන පිංවතුන්ලා තුළ ලොකු වෙනසක් පෙනෙනවා. හුඟ දෙනෙක්ගේ හිසකෙස් කැපීම සහ රැවුල කැපීම අඩු කරලා. අතීතයේ ගමක මඟුල් උත්සවයක් තිබුණොත්, මඟුල් ගෙදර යන හැමෝම හිසකෙස් කපලා බොහෝම නැවුම් වෙලයි මඟුල් ගෙදර ගියේ. පසුගිය සතියේ භික්ෂුව වැඩසිටින ගමේ මඟුල් උත්සවයක් තිබුණා. කුටියේ කැපකරු මහත්මයා වැවී තිබුණ හිසකෙස් සහිතවයි මඟුල් ගෙදර ගිහින් තිබුණේ. පිංවත වර්තමානයේ හිසකෙස් කපන්න, රැවුල කපන්න බාබර් සාප්පුවේ අයකරන මිල ගණන් දිහා බැලුවහම, වර්තමානයේ ගමක මනුෂ්‍යයෙකුට මංගල උත්සවයකට යෑමටවත් හිසකෙස්, රැවුල කැපීම අභියෝගයක් වෙලා යැයි භික්ෂුවට සිතෙනවා. පිංවත තව තවත් සමාජයේ නිෂ්පාදනය බිඳ වැටී ආර්ථික ප්‍රශ්න උත්සන්න වුණොත්, සමාජයේ ජීවත්වෙන හුඟ දෙනෙක් තම හිසකෙස් සහ රැවුල් වැවීමේ අලුත් සංස්කෘතියක් බිහිවේවි. සමාජය දෙස බැලීමේ දී හිසකෙස් සහ රැවුල් වැවීමේ අලුත් රැල්ලක් තිබෙන බව පිංවත් ඔබටත් පෙනෙනවා නේද? පිංවත ලැජ්ජා වෙන්න එපා. සමාජයේ ආර්ථික ප්‍රශ්න නිසා හිසකෙස් සහ රැවුල වැව්වත්, මායාකාරී මාරයා ආර්ථික ප්‍රශ්න වසා දමා මහත් උජාරුවෙන් කියාවි, හිසකෙස් සහ රැවුල් වැවීමත් අලුත්ම මෝස්තරයක්ය කියලා. පිංවත ඇත්ත වසා දමමින්, ප්‍රශ්න වලින් පලා යන්න එපා. බොරුව ඔබව ජීවග්‍රහයෙන්ම ග්‍රහණයට ගනීවි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2024 අප්‍රේල් 14 වන ඉරුදින දිවයින පුවත්පත.